සඟමිත් තෙරණිය ගෙන වැඩි
බෝධිය
අනුරාධපුර ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිශාවේ
ප්‍රධාන අධිකරණ සංඝනායක
රැළපනාවේ ධම්මජෝති නා හිමි
ජය සිරිමා බෝ සමිඳුන් ජන ජීවිතයේ සිත් සතන් තුළ
රෑ දහවල් රැඳී පැවතියාක් මෙන් හෙළ රජ දරුවන් තුළද
ජය සිරිමා බෝ සමිඳුන් ජීව මානව වැඩසිට ඇත.
අනුරපුර මහරජ දහන කරගෙන රටේ අගනුවර කරගෙන
හෙළ රජ දරුවන් සිය ගණනක් ජය සිරිමා බෝ සමිඳුගේ
බෝපත් සැලෙන හඬ කනට ගනිමින් ඒ ඇසුරේම ජය සිරිමා බෝ සමිඳු සමීපයෙන්ම
රජකම් කරමින් විසූයේ ඒ නිසාම විය යුතුය. හැමදාමත් බෞද්ධ රජ දරුවන්ට ජය
සිරිමා බෝ
සමිඳුන්ගේ ආශිර්වාදය සහ ආරක්ෂාව සැලසී ඇත.
හැම වසරකම උදාවන පොසොන් පුන්සඳ සමඟ ගලා එන අනුබුදු මිහිඳු මා හිමිපාණන්
ගෙන ආ සජීවී සම්බුද්ධ පණිවිඩය එදා මෙදා තුර අපේ මේ මව්බිම දහම්
දිවයිනක් බවට පත් කරන්නට සමත් විය. එසේම අනුබුදු මිහිඳු මාහිමිපාණන්ගේ
නැගණියවූ සංඝමිත්තා මෙහෙණිය උඳුවප් පුන්සෙඳ් උදාවත් සමඟ අනුරපුර
මහමෙව්නාවට වැඩමවා රෝපණය කරන ලද සම්බුදු හිමිපාණන් බුද්ධත්වයට පත්වී
අනිමිස ලෝචනයෙන් පුද සත්කාර කළ ශ්‍රී මහා බෝ රදුන් ගේ දක්ෂිණ ශාඛාව වසර
2321ක් කල් අනුරපුර පින්බිමේ වැඩ වෙසෙමින් ලෝකයේ මුළු මහත් බෞද්ධ
ජනතාවගේ මුදුන් මල්කඩක් සේ පූජනීයත්වයට පත්ව ඇත.
දඹදිව ධර්මාශෝක රජ පවුල ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයේ ඉටුදෙවිවරු බඳුය.
ධර්මාශෝක රජතුමා තමන්ගේ එකම පුතා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එවා
දෙවන පෑතිස් රාජ යුගයේදී සම්බුද්ධ ශාසනය ලංකාවේ ස්ථාපනය කරනු ලැබීය.
නැවත දඹදිව ධර්මාශෝක රජුගේ එකම දියණිය සංඝමිත්තා මෙහෙණිය සමඟ දඹදිව
ශ්‍රී මහා බෝධි රාජයාගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවා මහමෙව්නාවේ රෝපණය
කරවා මහමෙරක් සේ ශ්‍රී මහා බෝ සමිඳු ලංකාවේ ස්ථාපිත කරනු ලැබීය.
ධර්මාශෝක රජ පවුලේ මෙම උත්තරීතර ආගමික මෙහෙවර නිසා අදත් ලෝකයේ
ප්‍රධානතම පූජනීය බෞද්ධ රට හැටියට අපේ මව්බිම ලෝකය පුරා කීර්තිමත් වී
පවතී.
ශ්‍රී ලංකාවේ අගනුවර ලෙස අනුරපුර දහසක් කල් පැවතියේද හෙළ රජ දරුවන්
සියයකට වැඩි පිරිසකගේ මහ රජදහන හැටියට අනුරපුර පැවතියේද අපමණ වැව්
අමුණු දාගැබ් වෙහෙර විහාර අනුරාධපුර පින්බිමේ ඉදි වූයේද ජයසිරිමා බෝ
සමිඳුන්ගේ මහිමයටය.
ජය ශ්‍රී මහා බෝ සමිඳුන් නොවන්නට සමහර විට අදවන විට ශ්‍රී ලංකාවේ
සම්බුද්ධ ශාසනය හැකිළී මැළවී යන්නට ඉඩ තිබිණ. ඉහත කී පරිදි අනුරපුර මහ
මෙව්නාවේ මහමෙරක් සේ සදා කල් නොසැලී පවතිමින් හරියටම අනුබුදු වරයෙකුසේ
වැඩ වෙසෙන ජයසිරිමා බෝ සමිඳු සම්බුදු හඬ රටපුරා පතුරවමින් රටට හා
ජනතාවට ආරක්ෂාවද සෙත් ශාන්තියද ලබා දෙයි.
ජය සිරිමා බෝ සමිඳුන් අපේ රටේ බෞද්ධ ජන ජීවිතයට මොනතරම් කිඳා බැස
තිබුණේද යත් පහත දැක්වෙන ජන කවියෙන් ඒ බව අපූරුවට සනාථ කරයි.
ගමේ ඉඳං බත් බැඳගෙන තිසා වැවට එඤ්ඤයි
තිසා වැවේ රතු නෙලුමේ බත් දාගෙන කඤ්ඤයි
එතැන ඉඳං පේවි පේවි උඩමළුවට යඤ්ඤයි
උඩමළුවේ බෝධි සාදු පිරිමි පුතෙක් දෙඤ්ඤයි
දරු පවුල්වල බොහේ ශුභ සාධනයට ආශීර්වාදයට මෙන්ම දරුඵල ලබා දීමටද ජය
සිරිමා බෝ සමිඳුන් පිහිට වී ඇති බව මේ ජන කවියෙන් සනාථ වෙයි. මෙම
ඉතිහාසය තුළ ජය සිරිමා බෝ සමිඳුන් ජීවමාන අනුබුදුතුමෙකු සේ සලකා පුද
පූජා පවත්වමින් ගරු බුහුමන් දැක්වූ අයුරු මෙම ජන ජීවිත රටාවෙන්
පැහැදිලි වේ.
ජය සිරිමා බෝ සමිඳුන් ජන ජීවිතයේ සිත් සතන් තුළ රෑ දහවල් රැඳී
පැවතියාක් මෙන් හෙළ රජ දරුවන් තුළද ජය සිරිමා බෝ සමිඳුන් ජීව මානව
වැඩසිට ඇත. අනුරපුර මහරජ දහන කරගෙන රටේ අගනුවර කරගෙන හෙළ රජ දරුවන් සිය
ගණනක් ජය සිරිමා බෝ සමිඳුගේ බෝපත් සැලෙන හඬ කනට ගනිමින් ඒ ඇසුරේම ජය
සිරිමා බෝ සමිඳු සමීපයෙන්ම රජකම් කරමින් විසූයේ ඒ නිසාම විය යුතුය.
හැමදාමත් බෞද්ධ රජ දරුවන්ට ජය සිරිමා බෝ සමිඳුන්ගේ ආශිර්වාදය සහ
ආරක්ෂාව සැලසී ඇත.
ඓතිහාසික තොරතුරු අනුව මිහිඳු මාහිමිපාණන්ගේ ඉල්ලීම අනුව සංඝමිත්තා
මෙහෙණිය සමඟ දඹදිව බුදුරදුන් පිටදී බුදුවූ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ
ශාඛාව ශ්‍රී ලංකාවට එවීමට ධර්මාශෝක රජු තීරණය කර ඇත. එහිදී දක්ෂිණ
ශාඛාව ආයුධයකින් නොකපා වෙන්කර ගන්නේ කෙසේදැයි ගැටලුවක් මතුවිය. මේ
අවස්ථාවේ එක් රහතන් වහන්සේ නමක් බුදුරදුන්ගේ අධිෂ්ඨාන පහෙන් එක්
අධිෂ්ඨානයක් හිතට ගනිමින් රන්තෙලි තුඩකින් දක්ෂිණ ශාඛාවේ කෙළවර වටේට
ඉරක් ඇඳීමෙන් පසු එම කොටස වෙන්වී තෙමේම රන් පාත්‍රයට වැඩම කළ බව ඉතිහාස
පුවත්වල දැක්වේ. මෙසේ දක්ෂිණ ශාඛාව පාත්‍රයට වැඩම කිරීමෙන් පසු එම
පාත්‍රය නැවක රඳවා ලංකාවට වැඩමකරවා ඇත. මේ එන ගමනේදී ප්‍රථමයෙන් දඹකොළ
පටුනටද නැවත තිවංක බමුණුගමට හෙවත් තන්තිරිමලේටද පැමිණ එහිදී එක් රැයක්
විශේෂ මණ්ඩපයක පාත්‍රය සහිත ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව රඳවා තබා ඇත.
ඊළඟ දිනයේ මහ සෙනග පිරිවරාගෙන සිරිමා බෝ සමිඳුගේ දක්ෂිණ ශාඛාව
අනුරාධපුරයට වැඩමවා මිහිඳු මාහිමියන් වෙත බාරදී ඇත.
මිහිඳු මාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර මහමෙව්නාවේ සිරිමා බෝ
සමිඳුගේ දක්ෂිණ ශාඛාව රෝපණය කර ඇත. මෙම රෝපණ අවස්ථාවේදී පාත්‍රයේ තිබූ
සිරිමා බෝ සමිඳුගේ දක්ෂිණ ශාඛාව හාස්කමකින් මෙන් ඉබේම පාත්‍රයෙන් ගැලවී
මඳක් ඉහළට ගොස් යළි එය සිටුවීමට සූදානම්කර තිබූ වල මත හෙමින් සීරුවේ
පාත්වී ඇත. එය සැබැවින්ම ප්‍රාතිහාර්යයකි. එයින් සනාථ වන්නේ සිරිමා බෝ
සමිඳු සමඟ සම්බුදු ගුණය හා ශක්තිය ජීවමානව පවතින බවයි. මෙම ඓතිහාසික
පූජනීය මෙහෙවර ඉෂ්ට සිද්ධ වූයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් බුද්ධවර්ෂ
236කට පසුවය.
උඳුවප් පුන් පොහොය දා සිදුවූ අනෙක් පූජනීය ශාසනික මෙහෙවර වූයේ භික්ෂුණී
ශාසනයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමය. විශේෂයෙන් දඹදිව සිට සංඝමිත්තා
මෙහෙණිය ශ්‍රී ලංකාවට වැඩම කරවීමේ ප්‍රධාන හේතුව වූයේ ශ්‍රී ලංකාවේ
භික්ෂුණී ශාසනයක් පිහිටුවීමය.
මිහිඳු අනුබුදු හිමිපාණන්ගේ බණදහම් වලින් පසු අරිට්ට කුමරු ඇතුළු
පිරිසක් පැවිදිබිමට පත්වූහ. පිරිමින් අතර ව්‍යාප්ත වන සංඝ ශාසනය ගැන
සැලකිලිමත්වූ දේවානම්පියතිස්ස රජුගේ මෙහෙසිය ඇතුළු කාන්තාවන්
පන්සියයකට පැවිදිබිමට ඇතුළත් වීමට අවශ්‍ය විය. මේ පිළිබඳව මිහිඳු
මාහිමියන් විමසීමේදී උන්වහන්සේ ඊට එකඟ නොවූවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු
කරගන්නට සිය නැගෙණිය වූ සංඝමිත්තා මෙහෙණිය මෙහි කැඳවා දීමට කටයුතු කර
ඇත. සංඝමිත්තා මෙහෙණිය ශ්‍රී ලංකාවට වැඩමවා ගත්තේ ශ්‍රී ලංකාවේ මෙහෙණි
සස්නක් පිහිටුවීම අරමුණු කරගෙනය.
මිහිඳු මාහිමිපාණන් විසින් අරිට්ට කුමරු අත ධර්මාශෝක රජතුමන්ට
පණිවිඩයක් යවා ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව සමඟ සංඝමිත්තා නැගණිය ශ්‍රී
ලංකාවට වැඩම කරවාගෙන ඇත්තේ ඒ නිසාය. සිරිමා බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව
ශ්‍රී ලංකාවේ රෝපණය කිරීමත්, මෙහෙණිසස්න පිහිටුවීමත් එකවර සිදුවු උතුම්
ආගමික මෙහෙවරයන් බව ඉතිහාසයේ සඳහන්ව ඇත.
මේ අනුව ශ්‍රී ලංකාවේ කාන්තා පරපුරට නවෝදයක් ඇති කිරීම සඳහා පුරෝගාමී
වී ඇත්තේ සම්බුද්ධ ශාසනය හරහා සංඝමිත්තා මෙහෙණිය බව මෙම ඉතිහාසගත
තොරතුරුවලින් සනාථ වේ. ආගමික හා සාංස්කෘතික වශයෙන්ද, සංවර්ධනාත්මක නව
දැක්මක් තුළින්ද සිංහල බෞද්ධ ජනතාව අවදිවීමට මුල්වී ඇත්තේ සිරිමා බෝ
සමිඳු ශ්‍රී ලංකාවට වැඩමවා රෝපණය කිරීම සහ ශ්‍රී ලංකාවේ මෙහෙණි සස්නක්
පිහිටුවීමය.
ශ්‍රී ලංකාව තුළ සම්බුද්ධ ශාසනය හා බැඳුණු ආගමික ප්‍රබෝධයක් ඇති කරමින්
ශ්‍රී ලංකා ජන ජීවිතය ප්‍රති උත්පත්තියකට යොමු කළ මිහිඳු අනුබුදු
හිමිපාණන් සහ ශ්‍රී මහා බෝ සමිඳු ලංකාවට වැඩමවමින් කාන්තා විමුක්තියක්
ඇති කරලීමට පුරෝගාමීව කැපවූ සංඝමිත්තා මෙහෙණිය බෞද්ධ අපට ඉටුදෙවියන්
බඳුය.
ජීවිතයේ අවසන් හෝරාව දක්වාම ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින්, ශ්‍රී ලාංකික
බෞද්ධ ජනතාව වෙනුවෙන් මිහිඳු අනුබුදු හිමියන් සහ සංඝමිත්තා මෙහෙණිය කරන
ලද උදාර මෙහෙවර ජයසිරිමා බෝ සමිඳු මෙන්ම සදාකල්හි අප අතර රැඳී පවතී.
සිංහලයා ශිෂ්ට සම්පන්න දැහැමි මිනිසෙකු කිරීමේ ගෞරවය මිහිඳු
මාහිමිපාණන්ටන් සංඝමිත්තා මෙහෙණියටත් සදාකාලිකව හිමිවේ.
“මහරජ... මේ සතා සීපාවා වත්.. ගහකොළ වත් ... මහ පොළව වත්.. ඇළ දොළ
ගංඟාවත්, මා මේ සිටින කඳුවැටිය වත් ඔබට අයිති නැත. ඔබ මේ සියලු
සම්පත්වල තාවකාලික භාරකරුවා පමණි.” මේ අජරාමර සදාකාලික සනාථනය දෙවන
පෑතිස් රජුට කියාදුන්නේද සම්බුද්ධ හඬින් දෙවන පෑතිස් රජු අවදිකළ මිහිඳු
මාහිමියන් විසිනි.
සම්බුද්ධ ශාසනයේ නාමයෙන් මිහිඳු අනුබුදු හිමියන්ටද සිරිමා බෝ සමිඳු සහ
මෙහෙණි සස්න නාමයෙන් සංඝමිත්තා මෙහෙණියටද අපි සදාකාලික ණයගැතියෝ වෙමු. |