Print this Article


සිරිපා වන්දනා සමය ඇරැඹේ

සිරිපා වන්දනා සමය ඇරැඹේ

උඳුවප් පොහොය දිනයෙන් පසු කාලය පැවැති වර්ෂා සමය නිමාවී අවට පරිසරය පවිත්‍රවී ගහකොළ පවා නව පිබිදීමකින් ඵල දරන කාලයයි. ඒ කාලයේ මනාව හිරුඑළිය, පතිත වීමෙන් සම ශීත දේශගුණයක් පවතින අතර ඒ කාලය සිරිපා නැමදීමට සුදුසුම කාලය ලෙස අතීතයේ සිට භාවිතා කෙරේ. සොබා දහම විසින් වාරය ආරම්භයේ සිට වන්දානාකරුවන්ට පහසුවෙන පරිදි පරිසරය සකස් කරදීම සුවිශේෂී කාරණයකි.

ලෝක ගෝලය තුළ විශිෂ්ටතම නිර්මාණයක් සේ විද්වතුන් සහ විද්‍යාඥයන් පවා හඳුනාගෙන ඇති සමනළ කඳුවැටිය ගෞතම බුදුරදුන්ගේ ශ්‍රීපාද පද්මය පිහිටුවා තිබීම නිසා ලෝක පූජිත පූජාභූමියක් සේ දෙස් විදෙස් සැදැහැවතුන්ගේ නොමඳ ගෞරව බහුමානයට පාත්‍රවූ සිද්ධස්ථානයකි.

කැලණියේ නා රජවරුන් හමුවේ ශ්‍රී‍්‍ර සද්ධර්මය දේශනා කිරීමට වැඩම කළ ගෞතම බුදුරජාණන් වහන්සේට “සුමණ” නම් උපාසක තෙමේ කරන ලද ඇරැයුමක් අනුව සමනළ කඳු මුදුනේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවූ බව ඓතිහාසික තොරතුරු අනාවරණය කරයි.

කෘෂිකාර්මික රටක් වූ ශ්‍රී‍්‍ර ලංකාවේ ජලපෝෂක ප්‍රදේශයද වන්නේ සමනළ කඳු වැටියයි. මහවැලි, කැලණි, වලවේ සහ කළු යන ගංගා සතර රටේ ගහකොළට සතා සීපාවන්ට පමණක් නොව ආහාර භෝග වගාවට අවශ්‍ය ජලය සැපයෙන්නේද සමනළ අඩවියෙනි.

දැනට වසර දෙකකට පෙර යුනෙස්කෝව විසින් මේ සම්බුදු සිරිපා පිහිටි කඳුමුදුන සහිත සමනළඅඩවිය ලෝක උරුමයක් බවට පත් කිරීමෙන් අනතුරුව යළිත් විශ්ව යොමු වූ අතර එතැන්සිට දෙස් විදෙස් විද්වතුන්ගේ සහ සංචාරකයන්ගේ වැඩි අවධානයකටද යොමුව තිබේ.

මෙවර සිරිපා වන්දනාමාන වාරය එලැඹෙන උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වේ. අනතුරුව වෙසක් පොහොය දිනය දක්වා වූ කාලය තුළ ලක්ෂ 20 කට අධික සැදැහැවතුන් සිරිපා නැමදීමට පැමිණෙන අතර අති පූජනීය වූ ශ්‍රී පාදස්ථානය පිළිබඳවත් එහි වත්මන් සංවර්ධන වැඩපිළිවළ ගැනත් සැකෙවින් විමසා බැලීමට මෙවර බුදුසරණින් ඉඩ හසර වෙන් කෙරේ.

වර්තමාන ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් එම තනතුරට පත්වීමත් සමග රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විශේෂ අවධානයත් ඉමහත් සහයෝගයත් අනුව අද වන විට ශ්‍රී පාදස්ථානය කරුණාකරන සෑම කෙනෙකුටම ඉතා පහසුවෙන් ආගමික වතාවත්වල යෙදීමට ඉඩකඩ සැලසී තිබේ.

සුමණ නමැති ප්‍රාදේශීය පාලකයාගේ වාස භවනය පිහිටා තිබුණේද මේ සමනළ අඩවියේය.

එදා මහියංගනයේදී ශ්‍රී සද්ධර්මය අසා සර්වඥ ධාතු දෝතින් භාරගෙන මහියංගන මහා සෑය ඉදිකිරීමට මූලික වූයේද මේ සුමණ උපාසක බව ඉතිහාසයේ දැක්වේ.

මේ කරුණු සලකා බැලීමේදී බුදුදහමේ පෙන්වා දෙන කරුණාව, දයාව, මෛත්‍රීය පදනම් කරගෙන ඒ. යහගුණ දහම්වල පිහිටා ජීවත්වූ ජන කොටසක් සමනල අඩවියේ මිහිඳු මාහිමියන් වැඩම කිරීමට පෙරදීත් වාසය කළ බව විද්වතුන්ගේ මතයයි.

සුමන උපාසක තෙමේගේ අභාවයෙන් පසුව ඒ උතුම් මිනිසාගෙන් ජන සමාජයට ඉටු කෙරුණු ඉමහත් ආගමික ශාසනික මෙහෙවර හේතුවෙන් සුමන සමන් දෙවියන් ලෙස ජනතාව භක්තියෙන් සැමරීමට පටන්ගෙන් තිබේ. එතැන් සිට මේ සමනළ අඩවිය අවට තදාසන්න ප්‍රදේශවල ජනතාව කරුණාව, දයාව, මෛත්‍රීය මූලික කරගත් දැහැමි දිවි පෙවෙතක් ගතකර ඇති අතර එය සුමන දෙවි සංස්කෘතිය සේ සැලකේ.

දුටුගැමුණු, විජයබාහු, මහපැරකුම්, නිශ්ශංකමල්ල, දෙවැනි පැරකුම් ,වැනි ශ්‍රී‍්‍ර ලංකාව පාලනය කළ රජවරුන් සෑම කෙනෙකුම රාජ්‍ය අනුග්‍රහය ලබාදෙමින් ශ්‍රී පාදස්ථානයට වන්දනා මාන පුද පූජා පැවැත්වූ අතර ඇතැම් රජවරුන් ශ්‍රී පාදස්ථානයට ගම්වර පවා පූජා කළ බව පැරණි සෙල්ලිපිවලින් සනාථ වේ.

විජයබාහු සෙල්ලිපි, නිශ්ශංකමල්ල සෙල්ලිපි ඒ බව තහවුරු කරයි. දඹදෙණි යුගයේ දෙවැනි පැරකුම් රජතුමා ගම්පලදී සමන්දේව ප්‍රතිමාවක් නිර්මාණය කර මහා පෙරහරකින් උඩමළුවට වැඩම කර තිබේ. මෙය මුල්ම සමන්දේව පෙරහර ලෙස ඉතිහාසයේ දැක්වේ.

දඹදෙණි යුගයේ දෙවැනි පැරකුම් රාජ සමයේදී කෝට්ටේ යුගයේ 6 වැනි පැරකුම් රජ සමයේදීත්, සීතාවක රාජසිංහ රජ සමයේදීත් ශ්‍රී පාදස්ථානයට ගම්බිම් පූජා කිරීම, තේවාභාර සංඝරත්නයට දාන මාන ඇතුළු සිව්පසය ලබාදීම අඛණ්ඩව සිදු කෙරී ඇත.

රත්නපුර පලාබද්දල මාර්ගය, ශ්‍රී පාදස්ථානය නැමදීමට අතීතයේ සිට ගමන් ගත් රජ මාවතයි. කුරුවිට එරත්න මාර්ගය හා හැටන් නල්ලතන්නිි මාර්ගය ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට ඇති සෙසු මාර්ග දෙක වේ.

තිස්වසරක යුද නිමාවත් සමග බියෙන් සැකෙන් තොරව සිරිපා නැමදීමට ජනතාවට ඉඩ කඩ සැලසීමත් සමග දස දෙසින් එන බොදු ජනතාව වසරකට ලක්ෂ 20 කට ආසන්න පිරිසක් අද වන විට ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගනිති.

පැල්මඩුල්ල රාජමහ විහාරාධිපති ,ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, වත්මන් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් එම තනතුරට පත්වීමත් සමග ශ්‍රී පාදස්ථානයේ එතෙක් පැවැති අත්‍යවශ්‍ය අඩු පාඩු රැසක් වහාම සම්පූර්ණ කිරීමට පියවර ගත්හ.

ඈත අතීතයේ ශ්‍රී පාදස්ථානාධිපති හිමිවරුන් විසින් ශ්‍රී පාද පද්මයට සිදුකළ පුද පූජා නා හිමියන් පත්වූ වහාම තමන් වහන්සේ ශ්‍රී පාදස්ථානයට වැඩම කොට උන්වහන්සේ සුරතින්ම පද්මය දෝවනය කර පුද පූජා පැවැත්වීම ආරම්භ කිරීම සුවිශේෂි සිද්ධියකි.

උඩමළුවේ පැවැති ඉපැරණි තත්ත්වය යළි ඇති කිරීම සඳහා එහි අතුරා තිබූ පිඟන් ගඩොල් ඉවත් කර යළිත් කලුගල් අතුරා එම ස්ථානයේ පෞරාණික පෙනුම ලබාදීමට නාහිමියෝ ක්‍රියා කළහ.

නාහිමියන් පත්වූ වහාම රජමාවත යළි විවෘත කිරීමද සඳහන් කළ යුතුය. රජ මාවතින් හා කුරුවිට එරත්න මාර්ගයෙන් සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාව උඩමළුව වෙත වැඩම කරවීම ආරම්භ කෙරිණි.

ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීමට වැඩම කරන මහා සංඝරත්නයට අවශ්‍ය පහසුකම් ලබාදීමටද නාහිමියන් පියවර ගෙන තිබේ. මහා සංඝරත්නයට අවශ්‍ය දාන මාන සහ නවාතැන් පහසුකම් සැලසීමට අද වන විට කටයුතු සූදානම් කර ඇත.

දොළොස්මගේ පහන අලුතින් නිමවා උඩමළුව කරා ගෙන යෑමට කටයුතු ආරම්භ කර තිබේ. ප්‍රවේශ මාර්ගයේ මකර තොරණක්ද අලුතින් ඉදිකර ඇත.

සැදැහැවතුන්ට කල්වේලා ඇතිව සමන්දේව ප්‍රතිමාවට ගරු බුහුමන් දැක්වීමට අවස්ථාව උදාකර දෙමින් පෙරහර නිසි වේලාවට උඩමළුවට පැමිණීමට විධිවිධාන යෙදීමද නාහිමියන්ගේ උපදෙස් අනුව සිදු කෙරේ.

මහා සංඝරත්නය, විදෙස් සංචාරකයන් ,ඇතුළු සියලුම ජන කොටස් සඳහා වෛද්‍ය ඒකකයක් අලුතින් ආරම්භ කිරීම විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. වෛද්‍ය උපකරණ, ඖෂධ, සහ දක්ෂ වෛද්‍යවරුන් මෙන්ම හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් වන විට සිරිපා මළුවේ සේවයේ යොදවා ඇත. මෙය විශේෂයෙන්ම විදේශීය සංචාරකයන්ගේද විශේෂ පැසසුමට ලක්වී තිබේ.

උඩමළුවේ අකුණු සන්නාහකයන් සවිකිරීම නිසා ශ්‍රී පාදස්ථානය නැමදීමට පැමිණෙන දෙස් විදෙස් විශාල පිරිසකට සිය සන්නිවේදන කටයුතු පහසුවෙන් කර ගැනීමට අවස්ථාව උදාවී ඇත. විදුලිබල ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ විශේෂ නියෝගයකින් මේ අකුණු සන්නාහකය සවිකර ඇති අතර ඇමැතිවරියගේ උපදෙස් මත අඛණ්ඩව විදුලි බලය සැපයීමද සිදු කෙරේ.

උණු ජලය ඇතුළු ජල පහසුකම් සැපයීම විධිමත් කෙරී ඇති අතර අබලන්ව පැවති පඩි පෙළ සම්පූර්ණයෙන්ම නවීකරණය කර ඇත.

මග දෙපස විශ්‍රාම ශාලා පහසුකම්ද පුළුල් කර ඇත.

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයෙන් සහාය ලබාගෙන නල්ලතන්නිය හා අවට ප්‍රදේශය සඳහා නාගරික සැලැස්මක් සකස් කර ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.

රජයේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී පාදස්ථානය හා ඒ අවට අවශ්‍ය භෞතික පහසුකම් වැඩි දියුණු කිරීමට පස් අවුරුදු සැලැස්මක් සකස් කර ක්‍රියාවට නැංවීමට නාහිමියෝ අදහස් කරති.

ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කරන කාලය ලෙස අප පෙරදී සඳහන් කළ උඳුවප් පොහොය දිනයේ සිට වෙසක් පොහොය දිනය දක්වා කාලය සිරිපා වාරය ලෙසත් වර්ෂයේ ඉතිරි කාලය අවාරය ලෙසත් සැලකේ.

උඳුවප් පොහොය දිනයෙන් පසු කාලය පැවැති වර්ෂා සමය නිමාවී අවට පරිසරය පවිත්‍රවී ගහකොළ පවා නව පිබිදීමකින් ඵල දරන කාලයයි. ඒ කාලයේ මනාව හිරුඑළිය, පතිත වීමෙන් සම ශීත දේශගුණයක් පවතින අතර ඒ කාලය සිරිපා නැමදීමට සුදුසුම කාලය ලෙස අතීතයේ සිට භාවිතා කෙරේ. සොබා දහම විසින් වාරය ආරම්භයේ සිට වන්දානාකරුවන්ට පහසුවෙන පරිදි පරිසරය සකස් කරදීම සුවිශේෂී කාරණයකි.

වර්ෂයේ ඉතිරි කාලය සොබාදහම විසින් අවට පරිසරයට හා සතාසීපාවන්ට අවශ්‍ය පරිදි නිදහසේ හැසිරීමට හැකිවෙන සේ අවාරය වැසි සුළං සහිත දේශගුණයකට හැරවේ. මග දෙපස ඇතුළු සියලු පරිසර පද්ධතියම , සතා සීපාවන්ට සිය ප්‍රජනනයන් සිදුකර ගැනීමට හැකිවනසේ එම කාලය නිදහස්ව තැබීමට අතීතයේ සිට පුරුදු වී සිටි බව කියැවේ. ගහකොළ වැඩෙන්න නිදහසේ ඉඩ ලැබෙන කාලය මේ අවාර කාලයයි.

අවාරේ දෙවියන් සිරිපා නමදින කාලය ලෙස අතීතයේ සිට පිළිගැනීමක් ඇත.

ගල්පොත්තාවෙල පිහිටි ශ්‍රීපාද විහාරයේ සිට සධාතුක කරඬු සහ දේවප්‍රතිමා, රජමාවත සහ කුරුවිට එරත්න මාර්ගයෙන් උඳුවප් පොහොය දිනයේ වැඩම කරවා උඩමළුවේ තැන්පත් කෙරේ. ඉපැරණි සම්ප්‍රදායානුකූලව නාහිමියන් විසින් ශ්‍රී පාද පද්මය අභියසට වැඩමකර එය දෝවනය කර, නැකැත් චාරිත්‍ර අනුව පුද පූජා ඇතුළු තේවාවන් පවත්වා, අලුයම සිල් සමාදන් කිරීමෙන් අනතුරුව ශ්‍රී පාද වාරය ආරම්භ වේ.