සඟමිත් තෙරණිය ලක්දිවට වැඩම කළ
උඳුවප් පුර පසළොස්වක
කොළඹ ආනන්ද විද්‍යාලයෙහි
හිටපු සහකාර විදුහල්පති,
බෙල්ලන්විල රාජමහා විහාරවාසී,
ශාස්ත්‍රපති
අතපත්තුකන්දේ ආනන්ද හිමි
අත්තානංධාරෙන්තෝ චකුසු
අපායෙසු වට්ටදුක්ඛේසුච
අතතමානෝභත්වා ධාරේතී තිධම්මෝ
ඉහත ධර්ම පාඨයෙන් කියැවෙන්නේ ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා ධර්මය විසින් ම
අපායගාමීවීමට ඉඩ නොතබා සසර දුකින් අත්මුදවන බවයි. එසේ නම් ඔබ අදට යෙදී
ඇති උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙහි විවිධ ධර්මානුකූල ක්‍රියාවන්හි
නිරත වෙමින් ධර්මයෙහි රැකවරණය ලබා ගැනීමට සුදුසු පුද්ගලයකු වීමට වෙර
දරන්නෙකු විය හැකිය. ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව අප අවසන් කරමින්
සිටින්නේ තවත් වර්ෂයක අවසන් දින කිහිපයයි. එම වර්ෂයෙහි අවසන් පුර පොහෝ
දිනය අපි උඳුවප් පුර පොහොය නමින් හඳුනාගෙන සිටිමු. එසේම ගෙවී ගිය පුර
පොහෝ දිනයන් නැවත ගණනය කරමින් එම පොහෝ දිනයන් කෙතරම් අර්ථවත්ව
ගතකළාදැ’යි සිතා බැලීමට අද දිනය ඉතා සුදුසු වනු ඇත.
ගෙවී යන වර්ෂයෙහි සිල් සමාදන්ව විසූ දිනයන් භාවනා කළ දිනයන් මතු නොව
වෙනත් පින්කම්වල යෙදී කෙතරම් ආධ්‍යාත්මික දියුණුවක් ලබා ඇති දැයි සිතා
සිත සනසා ගැනීමට ද මෙම පුර පොහෝ දිනය මහෝපකාරී වනු නිසැක ය. අද දිනයෙහි
විමසීම සඳහා ලක් කෙරෙන දහම් ගුණ කීපය පිළිබඳව සලකා බැලීමට පෙර උඳුවප්
පුර පොහෝ දිනයෙහි සිදුව ඇති ශාසනික සහ ශාසන ඉතිහාසයට අයත් සුවිශේෂී
සිදුවීම් පිළිබඳ සොයා බැලීම ආගමික ශ්‍රද්ධා භක්තිය වැඩි දියුණු වීම
සඳහා හේතු වනු ඇත.
ශාසන ඉතිහාසයෙහි සිහි කළයුතු සිදුවීම් කිහිපයකින් පිරිපුන් උඳුවප් පුර
පසළොස්වක පොහෝ දිනය පොදුවේ ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවටත්, අපේ මුළුමහත්
කාන්තා පරපුරටත් සුවිශේෂි දිනයකි. අනුලා බිසව ඇතුළු රාජකීය කාන්තාවන්
ප්‍රමුඛ අපේ ලාංකේය කාන්තාවන්ට ශාසනික පැවිද්ද ලබාදීම සඳහා සඟමිත්
තෙරණිය ලංකාවට වැඩමවා දෙන ලෙස ඉල්ලා මිහිඳු මහරහතන් වහන්සේගේ අනුමැතිය
ඇතිව අරිට්ඨ කුමරු ඇතුළු රාජකීය දූත පිරිසක් වප් පුර පොහෝ දිනයෙහි
ධර්මාශෝක මහ රජතුමා මුණ ගැසීම සඳහා දඹදිව බලා පිටත්ව ගිය අයුරු නැවත
සිහි කළ යුතුව ඇත.
එසේ පිටත්ව ගිය දූත පිරිස ධර්මාශෝක රජතුමා මුණ ගැසී කරුණු සැලකිරීමෙන්
පසුව ලක්දිව මෙහෙණි සසුන ඇතිකිරීමේ අවශ්‍යතාව තේරුම්ගත් රජතුමා සඟමිත්
තෙරණිය ඒ සඳහා පිටත්කර හැරීමට තීරණය කෙරිණි. ඒ සමඟම ශ්‍රී මහාබෝධීන්
වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩමවීම සඳහාද එතුමිය සුදුසු බවට තීරණය කරන ලදී.
එපමණක් නොව දහ අට ශ්‍රේණියකට අයත් වෘත්තිකයන් පිරිසක් ද බෝධීන්
වහන්සේගේ ආරක්ෂාව ඇතුළු විවිධ කාර්යන් සඳහා ලක්දිවට එවීම සඳහා තීරණය කළ
ආකාරය අපේ වංශ කථා මගින් අනාවරණය කෙරේ. නව දහමකට යොමු වූ ලක්වැසි ජනතාව
නවතම චින්තනයකට අනුව සංවිධිතව පෙළ ගැසීම සඳහා ඉහත කරුණු තුනම එකසේ
හේතුවූවා මතු නොව අපට ස්වර්ණමය ඉතිහාසයක් උරුම කිරීමට ද සමත් වූ බව
නොරහසකි.
මහා මහින්ද මහ රහතන් වහන්සේගේ වැඩමවීමත් සමඟ උන් වහන්සේගේ ධර්ම දේශනා
ශ්‍රවණය කළ දහස් සංඛ්‍යාත ලක්වැසියෝ බොදුනුවන් බවට පත්වූ ආකාරය පිළිබඳව
ඉතිහාසයෙහි මනාව සඳහන්ව තිබේ. දෙවනපෑතිස් රජතුමා තෙරුවන් සරණ යාමත්
සමඟම රජමාලිගයේදී මිහිදු මහ රහතන් වහන්සේ විසින් සුවිශේෂී ධර්ම
දේශනාවක් සිදු කරන ලදහ. එහිදී අනුලා බිසව ඇතුළු පන්සීයක් පමණ කුල
කාන්තාවන් සෝවාන් ඵලයට පත්වූ ආකාරය පිළිබඳවත් එසේ ආර්යත්වයට පත් එම
කාන්තාවන් පිරිස සසුන් ගතවීමේ ප්‍රාර්ථනාවෙන් පසු වූ ආකාරයත් ඉතා
ප්‍රකට සිදුවීමකි. ඒ අනුව අද වැනි පුර පොහෝ දිනයක සඟමිත් මහරහත් තෙරණිය
ලක්දිවට වැඩමවීම එම රාජකීය කුල කාන්තාවන්ගේ ප්‍රාර්ථනා සම්පූර්ණවීම
සඳහා හේතු වූවා පමණක් නොව සකල ශ්‍රී ලාංකේය කාන්තා පරපුරම පූජනීයත්වයට
පත්වීම සඳහා හේතු වූ බව සඳහන් කළයුතුව ඇත. ලෝකයේ කිසිඳු ආගමකින්
ස්ත්‍රියට නිසි නියම අගය කිරීමක් සිදුකොට නැති පසුබිමක බුදු දහමින්
සිදුකොට ඇත්තේ අගය කිරීමක් පමණක්ම නොව පූජනීයත්වයට ද පත් කිරීමකි. එසේ
පූජනීය වූයේ කාන්තාවන්ට සසුනට ඇතුළත්ව භික්ෂුණියක් වීමේ අවස්ථාවක්
ලැබීමත් සමඟය. ලාංකික වූ අපේ වනිතා පරපුරට එම පූජනීය අවස්ථාව ලබාදීම
සඳහා අද වැනි උඳුවප් පුර පොහෝ දිනයක ලක්දිවට වැඩම කළ සඟමිත් මහා රහත්
මෙහෙණිය පිළිබඳ අපේ කාන්තාවන් අද දිනයෙහි සිහි කළයුතු වන්නේ මහත්
කෘතවේදීභාවයකින් යුතුව ය. සගමිත් තෙරණිය සමඟ වැඩම කළ එකොළොස් නමක් පමණ
මෙහෙණින් වහන්සේලා වෙතින් අනුලා බිසව ප්‍රමුඛ කුල කාන්තාවන් පැවිදි බව
ලැබීම නව දහමක් ලෙස බුදු දහම ලක්දිව පැතිරයාම සඳහා විශාල ශක්තියක්
වූවාට ද සැකයක් නැත. මෙසේ අද වැනි දිනක ඇරැඹෙන ශ්‍රී ලංකාවේ භික්ෂුණී
ශාසනය මෙරට බුදු දහමේ ව්‍යාප්තිය සඳහා ශක්තියක් වූවා සේම චීනය ආදී රටවල
භික්ෂුණී ශාසනය පිහිටුවීම සඳහා ද මුල් වූ ආකාරය අපේ ඉතිහාසය මගින්
අනාවරණය කොට ඇත. එදා රෝහල් සේවාවන් වැනි සුභසාධක සේවාවන් හි
ප්‍රමුඛත්වය දරමින් අතීත ශ්‍රී ලාංකික භික්ෂුණිය සිදුකොට ඇති මහත් සේවය
අදට ද ආදර්ශයට ගත හැකි වේ.
උඳුවප් පොහෝ දිනයෙහි සිදුවූ සංඝමිත්තා ගමනයත් සමඟම අනෙක් ප්‍රමුඛතම
සිදුවීම වන්නේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැඩමවීමයි. මිහිඳු මහරහතන්
වහන්සේගේ අනුමැතියෙන් යුතුව දෙවන පෑතිස් රජතුමා විසින් සිදුකරන ලද
ඉල්ලීම පරිදි ධර්මාශෝක මහරජතුමා විසින් දඹදිව ජය ශ්‍රී මහා බෝධීන්
වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩමවීම සඳහා මොග්ගලී පුත්තතිස්ස
මහරහතන් වහන්සේගේ ද අනුශාසනයෙන් යුතුව අවශ්‍ය කටයුතු සම්පාදනය කළ අයුරු
අපේ වංශකථාවෙන් අනාවරණය කර තිබේ. ඒ අනුව මහාප්‍රාතිහාර්ය මධ්‍යයෙහි
ලබාගත් බෝධි ශාඛාව සඳහා මහා පුද පෙරහර පවත්වා දඹදිව රාජ්‍යයෙන් තෙවරක්
පූජාකොට කරවටක් දියෙහි බැස රජතුමා විසින් ම බෝධීන් වහන්සේ වැඩමවා
තැන්පත් කළ බව අපේ ඉතිහාසය මගින් අනාවරණය කොට ඇත්තේ මහත්
ශාසනාභිමානයෙන් යුතුවය.
සඟමිත් තෙරණිය ඇතුළු දහ අට ශ්‍රේණියකට අයත් වූ පිරිසට ගෞරවයෙන් යුතුව
බාර කරන ලද ජය ශ්‍රී බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අද වැනි උඳුවප් පුර
පසළොස්වක පොහෝ දිනයක දඹකොළ පටුනට වැඩම කළ බව සඳහන් වන අතර එම මොහොත
අතිශයෙන් භාග්‍යවන්තවූත් පුණ්‍යවන්තවූත් අවස්ථාවක් ලෙස සඳහන් කිරීම
නිවැරැදිය. එම අවස්ථාවේ දෙවන පෑතිස් රජතුමාද කරවටක් දියෙහි බැස සඟමිත්
තෙරණිය ඇතුළු පිරිසත් ශ්‍රී මහා බෝධි ශාඛාවත් පිළිගෙන රාජකීය පුද
පෙරහරින් යුතුව මහමෙවුනා උයන තෙක් වැඩමවූ ආකාරය පිළිබඳ අපේ ශාසන
ඉතිහාසය මගින් මනාව අනාවරණය කොට ඇත. අනතුරුව විවිධ ප්‍රාතිහාර්ය
මධ්‍යයේ දේවානම් පියතිස්ස රජතුමා විසින් ද ලංකා රාජ්‍යයෙන් බෝධීන්
වහන්සේට පූජා පවත්වා ඇති අතර එය ලක් පොළොවෙහි රෝපණය වීමත් සමඟ ලක්බිම
මහා පින්බිමක් පමණක් නොව බෝධීන් වහන්සේගේ මුල් සවිමත්ව ඇදීගොස් කොළ දළු
ලා වැඩෙන්නාක් මෙන් බුදු දහමද ලක්දිව පුරා විධිමත්ව ස්ථානගත විය.
එමෙන්ම බෝධීන් වහන්සේ සමඟ පැමිණි විවිධ වෘත්තීන් හි නිපුණතා ඇති
වෘත්තිකයන්ගේ ක්‍රියාකාරිත්වය නිසා අපූර්ව වූ බෝධි සංස්කෘතියක් ලක්දිව
ඇති වූ ආකාරය පිළිබඳවද අපේ වංශකථා මගින් තොරතුරු අනාවරණය කොට ඇත.
අපේ උරුමයන් සේ අද ද අභිමානයෙන් යුතුව සිහිපත් කෙරෙන අහස්කුස සිඹින
සුදෝ සුදු දාගැබ් මෙන්ම දුටු පමණින් සැදැහැ බැතියෙන් තුටු කඳුළු නෙතඟ
රැඳෙන අනුරපුර සමාධි පිළිමය වැනි ප්‍රතිමාවන් මතු නොව සාගරය පරදන මහා
වැව් අප ලද එම මහා ශිෂ්ටාචාරයේ ජීවමාන සාධකයන් ය. ඒ සඳහා සවිය ශක්තිය
ලබාදුන් අටළොස් කුලයකට අයත් එම වෘත්තිකයන්ගේ පැමිණීම ද සිදුවූයේ අද
වැනි උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයක ය. මෙම කරුණු පිළිබඳ නැවත නැවතත්
සිහිපත් කිරීමෙන් ආගමාභිමානය මෙන්ම දේශාභිමානයද වර්ධනය කරගත හැකිවනු
ඇත.
අනතුරුව ඔබගේ අවධානය යොමු කිරීම සඳහා නියමිතව ඇත්තේ ඒහිපස්සික, ඕපනයික
සහ පච්චත්තං වේදිතබ්බ යන ධර්මයෙහි අවසන් ගුණත්‍රය පිළිබඳවයි. ‘ඒහි
පස්සික’ යන්නෙන් අදහස් කරනුයේ පැමිණ පිළිවෙත් පුරා බලා සත්‍ය වටහා ගන්න
යන්නයි. අන් සියලු වැඩ පසුවට තබා ධර්මය තම සිතෙහි පිහිටුවා ගත යුතුය යන
අදහස ‘ඕපනයික’ යන්නෙන් පැහැදිලි කෙරෙන අතර ධර්මය පිළිපදින්නාට
ප්‍රත්‍යක්‍ෂ වශයෙන් එහි සුවය සහ යහපත දැනෙන බව ‘පච්චත්තං වේදිතබ්බ’
ගුණයෙන් ප්‍රකාශ කෙරේ.
බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නවලෝකෝත්තර ධර්මයන් උන්වහන්සේ විසින්
දේශනා කරන ලද්දේ පළමුව එම ධර්මයන් තම සන්තානයෙහි උපදවාගෙන ඥානයෙන් එය
ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් පසුවයි. එසේනම් එම ධර්මය පිළිබඳ කිසිඳු සැකයක්
ඇති කරගත නොහැක. ‘එන්න ධර්මය අසන්න. ඊට අනුව ක්‍රියා කරන්නැයි’ නොබියව
ප්‍රකාශ කරනුයේ ධර්මයෙහි ඇති එම ‘ඒහිපස්සික’ ගුණය නිසාය.
සිව්ආර්ය මාර්ග සිව් ආර්ය ඵල යන ලෝකෝත්තර ධර්ම අට ‘ඕපනයික’ වශයෙන්
සංඛ්‍යාත්මකව දක්වා ඇති අතර නිර්වාණය අරමුණුකොට ගෙන ධර්මය තම සන්තානයට
පමුණුවා ගැනීම ‘ඕපනයික’ ලෙස විස්තර කොට තිබේ. කෙතරම් දුක් කරදර
විඳීමෙන් වුවද ලෝකෝත්තර ධර්මයන් තම සිතට පමුණුවා ගැනීම කළයුතුය යන
හඳුන්වාදීම මත අතීතකාලීනව ඇතැම් භික්ෂූන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන්
යුක්තව ක්‍රියා කොට එම ධර්මය ලබාගත් ආකාරය පිළිබඳ බොහෝ තොරතුරු අපේ
ධර්ම සාහිත්‍යයෙහි සඳහන්ව ඇත.
නවලෝකෝත්තර ධර්‍මය ඥානවන්තයන් විසින් තම නැණ නුවණින් ම ප්‍රත්‍යක්ෂ
කරගත යුතුය යන අදහස ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි’යන්නෙන් ප්‍රකාශ වන
බව ධර්‍මයෙහි සඳහන්ව තිබේ. ප්‍රඥාවන්තයන් විසින් වෙන්වෙන්ව තම
සන්තානයන් මගින් දැකිය යුතු, ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයෙහි ඇති සැපය
සහ යහපත දකිමින් එහි රසය විඳිය හැකි ධර්මයක් ලෙසද මේ පිළිබඳ වැඩිදුරටත්
තොරතුරු සඳහන්වේ. මෙසේ මෙම ධර්මය ‘ස්වක්ඛාත’ යෙහිත් තම තමන්ට
ප්‍රත්‍යක්‍ෂව දැකිය හැකිය.
ඇස් පනාපිටම ප්‍රතිඵල ලැබිය හැකි නිසා ‘අකාලික’ වේ. එන්න පැමිණ
බලන්නැ’යි අන් අයට ප්‍රකාශ කිරීමට සුදුසුය. තම තමන්ගේ සිත්වලට පමුණුවා
ගැනීමට සුදුසු වේ. ප්‍රඥාවන්තයන්ට තම සන්තානයෙන්ම දැකිය හැකිය යන්න
ධර්මයෙහි ගුණයන් වශයෙන් ඉතා කෙටියෙන් දැක්විය හැකි ය.
දුරුතු පොහෝ දින සිට උඳුවප් පුර පොහෝ දිනය වූ අද දිනය දක්වා පුර පොහෝ
දිනයන් හි විශේෂතාවයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමෙන් හා උතුම් බුදුගුණ
හා දහම් ගුණ පිළිබඳ සිහිපත් කිරීමෙන් ලබන ලද පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්
සියල්ලන්ටම දෙලොව සැප සහ නිවන් සුව සැලසේවායි ප්‍රාර්ථනා කරමු. |