Print this Article


මිනිස් ක්‍රියාදාමය දෙස සිතන්න

මිනිස් ක්‍රියාදාමය දෙස සිතන්න

බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි ඇතැම් භික්‍ෂූන් වහන්සේලා විසින් සිදුකරනු ලැබූ ශාසන විරෝධී ක්‍රියා කලාප හේතුවෙන් සසුනෙහි යම් යම් පරිහානි දායක තත්ත්ව උද්ගත වී තිබේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියත් වැරැදි සහිත පුද්ගලයන් සමාජයෙන් දුරින් දුරුකර හැරීමට නොහැකි වූ බව එමගින් ගම්‍ය වේ.

බුද්ධ කාලයේ ජීවත් වූ භික්‍ෂූන් වහන්සේලා හය නමක් පිළිබඳව නිතර බණ පොතේ කරුණු කාරණා දක්වා තිබේ.ඔවුන් පිළිබඳව දක්වා ඇති හැම සිද්ධියකදීම එම භික්‍ෂූන් වහන්සේලා විසින් සිදුකළ කිසියම් ශාසන විරෝධි හෝ සමාජ විරෝධි කටයුත්තක් මුලට පැමිණේ. එම භික්‍ෂූන් වහන්සේලා හඳුන්වනු ලැබ ඇත්තේ “ජබිභග්ගිය” භික්‍ෂූන් වහන්සේලා යනුවෙනි. “ජ” යනු හයයි. එම භික්‍ෂූන් වහන්සේලා සය නම මෙසේ දැක්විය හැකිය. එනම්

* පණ්ඩුක භික්‍ෂූන් වහන්සේ
* ලෝහිතික භික්‍ෂූන් වහන්සේ
* මෙත්තිය භික්‍ෂූන් වහන්සේ
* භුම්මජක භික්‍ෂූන් වහන්සේ
* අස්සජි භික්‍ෂූන් වහන්සේ
* පුණබ්බ සුඛ භික්‍ෂූන් වහන්සේ

ඒ ඒ ස්ථානවල වාසය කළ මේ භික්‍ෂූන් වහන්සෙලා බොහෝ විට සිදුකරනු ලැබ ඇත්තේ ශාසන විරෝධි ක්‍රියාදාමයන්ය. මෙයින් අස්සජි සහ පුණබිබ සුඛ භික්‍ෂූන් වහන්සේ දෙනම වැඩ වාසය කරනු ලැබුවේ කීටාගිරියේ ය. උන්වහන්සේලා ඉතා මනරම් වෙහෙර විහාර ඉදිකරවාගෙන අතමිට ඇති දායක කාරකාදීන් සම්බන්ධ කරගෙන නිර්වාණ ගාමී ප්‍රතිපදාව ලෞකික ජීවිත සුඛාස්වාදය වෙනුවෙන් කටයුතු කරනු ලැබූහ. ඉතා මනරම් ලෙසින් ඉදිකරනු ලැබූ වෙහෙර විහාර තිබිණි. පන්සල් වත්තද විවිධ වටිනා කියන මල් වර්ගවලින් සරසනු ලැබීය. පන්සල තුළ පවතින සුන්දරත්වය නිසා ඒවා බලන්නට තරුණ දායක කාරකාදීහු විහාරයට පැමිණෙති. ඔවුන් සමඟද ඉතා සුහදව ප්‍රසන්න ලීලාවෙන් කතා බහ කරන එම භික්‍ෂූන් වහන්සේලා ඔවුන් සමඟ දැඩි සමීප ඇසුරට ඇතුළත් බවින් කටයුතු කරති.

බුදු දහමෙහි භික්‍ෂූන් වහන්සේලාට උගන්වනු ලබන්නේ පැවිදි බවට පත්වූ භික්‍ෂුව විසින් ‘අඤ්ඤෝමේ ආකප්පෝ කරණී හෝති “ (මාගේ ආකල්පය ගිහි සමාජයට වඩා වෙනස් විය යුතු බවය) නමුත් අස්සජි, පුණබ්බසුඛ යන භික්‍ෂූන් වහන්සේ කටයුතු කරනු ලැබුවේ එම කල්පනා වෙන් බැහැරවයි. එනිසා ශාසන මාමක ගිහි පැවිදි දෙපිරිසම එම භික්‍ෂූන් වහන්සේලාගේ වැරැදි ක්‍රියා කලාප නිසා කලකිරීමට පත් විය. සැරියුත් මුගලන් ආදි මහ රහතන් වහන්සේලාද එම භික්‍ෂූන් වහන්සේලාගේ විනය විරෝධී කටයුතු සළකා බලා ඔවුනට “ පබ්බාජනීය කර්මයෙන් “දඬුවම් කරනු ලැබීය. “පබ්බාජනීය ” කර්මය යනු විනය විරෝධි භික්‍ෂූන් වහන්සේ ශාසනයෙන් නෙරපා හරිනු ලබන දඬුවමය. කාලයක් ගතවෙද්දී අගසවු දෙනම කීටාගිරියෙහි වෙසෙමින් මෙම විනය විරෝධි තත්ත්වයන් සහමුලින්ම දුරුකර හැරීමට කටයුතු කරනු ලැබීය. මෙසේ ශාසන සෝධනයට පත්වීම නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසූහ. උන්වහන්සේ පැහැදිලි කරනු ලැබුවේ නිතර වැරැදි දෙය දැනුම් තේරුම් සහිතව අවවාද අනුශාසනා කරන පවිටු කමින් වළක්වන පුද්ගලයා යහපත් මිනිසුන්ට පි‍්‍රය බවයි. අයහපත් මිනිසුන්ට අපි‍්‍රය වෙයි යනුවෙන්ය.

මෙම බණ පදය පිළිබඳව විමසා බලන කල්හි ඉහත සඳහන් සිද්ධි දාමය මෙන්ම වර්තමාන සංකීර්ණ සමාජ පසුබිමද අධ්‍යයනය කළ යුතු වෙයි. කීටාගිරි නුවර වැඩි අස්සජි, පුනබ්බසුඛ භික්‍ෂූන් වහන්සේ දෙනම කටයුතු කරනු ලැබුවේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනු ලැබූ “ධම්ම විනයට” අනුගතව නොවේ. උන්වහන්සේලා වැඩ කටයුතු කළේ තමන්ගේ හිතුමනාපය පරිදිය. ඇතැම් ගිහියෝ අස්සජි , පුණබ්බසුඛ දෙනමගේ ක්‍රියා කලාපයට අකැමැත්තක් දැක්වූයේද නැත. නමුත් ශාසන මාමක අවංක අදහස් ඇති ගිහි අය උන්වහන්සේලාගේ වරද දුටුවද සිදුවන විපත දකිමින් නිහඬ වූහ. සැරියුත් මුගලන් අගසවු දෙනම උන්වහන්සේලාට පළමුව අවවාද දී වරදින් මුදවා ගැනීමට උත්සාහ කරනු ලැබූහ. නමුත් එය සාර්ථක වූයේ නැත. එයට හේතුව වන්නේ එම අවවාද පිළිගැනීමට එම භික්‍ෂූන්වහන්සේලා අකැමැති වීමේ හේතුවය.අවවාද නොපිළිගත් නිසාම ඔවුන් කරන වරදින් ඔවුන් මුදවා ගැනීමට හැකියාවක් ලැබුණේද නැත. පසුව සිදුවූයේ ඔවුන්ට දඬුවම් දෙන්නටය. එනම් සසුනෙන් නෙරපා හැරීමයි.

වර්තමාන සමාජයේ වුවද බොහෝ විට ගිහි පැවිදි දෙපිරිස අතරම එවන් සන්සිද්ධි දක්නට ලැබේ. බොහෝ විට තමන්ගේ වාසිය හා ලාභය පතා නීති රීති ඉක්මවා කටයුතු කරන අවස්ථා තිබේ. තමන්ගේ ලාභය සහ වාසිය වෙනුවෙන් වැඩ කටයුතු කිරීම බරපතළ වරදකි. එබඳු අවස්ථාවල බුදු සසුනෙහි ක්‍රියාත්මක වී ඇත්තේ ඒවාට දඩුවම් දීමය. අප සමාජය තුළද සිදුවන මෙබඳු ක්‍රියා කලාප නිසා බොහෝ විට මිනිසුන් අපහසුතාවයට පත්වේ.

තමාගේ මිතුරකු හෝ වේවා තම සතුරෙක් හෝ වේවා තමා කල්පනා කළ යුත්තේ ඔහු ප්‍රකාශ කරන දෙය හරිද වැරැදි ද කියාය. කියන දෙය නිවැරැදි නම් මිතුරා වුවද සතුරා වුවද එම කාරණය තමාට පිළිගැනීමට සිදුවේ. කියන කාරණය වැරැදි නම් මිතුරා වුවද සතුරා වුවද එය බැහැර කළ යුතුය. බුදු දහමෙහි උගන්වනු ලබන්නේ පුද්ගලයාට වඩා වැදගත් වන්නේ පුද්ගල ක්‍රියාව බවය. පුද්ගලයා හැම විටම හොඳ නරක දෙකින්ම මිශ්‍රණය වී තිබේ. හොඳ මිනිසුන් හෝ නරක මිනිසුන් කියා වෙන්කර බෙදා ඇසුරු කිරීමට යා නොහැකිය. එයට හේතුව එම පුද්ගලයා අඩුපාඩු සහිත බවෙන්ද පිරුණු නිසාය. එනිසා හැම වෙලාවකම මිනිසාට වඩා මිනිස් ක්‍රියාදාමයන්ට වැඩි තැන ලබා දිය යුත්තේය.ක්‍රියාව හොඳ නම් එය පිළිගැනීමටත් නරක ක්‍රියාවක් කරන අවස්ථාවලදී එය ප්‍රතික්ෂේප කිරීමත් එක වගේම වැදගත් වේ.

බුදු දහමෙහි පුද්ගලයා වඩා පුද්ගල ක්‍රියාව දෙස බලන්න යැයි අවවාද දෙනු ලැබුවද, අපේ සමාජයේ ඇතැම් බෞද්ධයන් වුවද එම බුදු බණට පටහැනිව කටයුතු කරනු ලබන බව පෙනේ. එනම් ක්‍රියාවට තැන දෙනු වෙනුවට පුද්ගලයා ලෙස සිතන්නට පෙළඹවීය. වඩා හොඳ තැනැත්තා, අනෙකුත් තැනැත්තා, නරක තැනැත්තෙකි ආදි වශයෙනි. තමන් කරන, කියන දෙයකදී වුවද නිතර ඒ පිළිබඳව සොයා බලා තමන්ට අවවාද කරන්නට, අනුශාසනා කරන්නට කෙනකු ඉන්නවා නම් ඇත්තටම හොඳය. තමා කරන කියන වැරැදි වලින් මුදවා තමාට නිවැරැදි දෙය කියා දෙන කෙනකු තමා අසල සිටිනවා නම් ඇත්තටම හොඳය. බුදු දහමෙහි උගන්වනු ලබන්නේ කෙනකුගේ වෑයම විය යුත්තේ ද එබඳු තත්ත්වයේ කෙනකු තමා සමීපයට ගැනීමටය.

සාමාන්‍ය සමාජය තුළ තමා කරන වැඩවලට එරෙහිව නැගෙන්නා සතුරා ලෙසද තමා කරන හැම ක්‍රියාවකටම සුහදව සිටින්නා මිතුරා ලෙසද සලකනු ලැබුවත්, එය බොහෝ විට සත්‍ය නොවන බව කෙනකුට පසුව වැටහෙන්නට පුළුවන. වර්තමාන සිද්ධිය අතීතයට ගිය පසු ඒ ගැන නැවත කල්පනා කරන විට ඒ සිද්ධියට එදා එරෙහි වූ සතුරන් සිදුකරනු ලැබ ඇත්තේ ඇත්තටම සතුරු චේතනාවෙන් එය කළද තමාට සිදු වූයේ සතුරුකමක් නොව යහපතක් වන බව මෙදා තමාට වැටහෙනු ඇත. එම සිද්ධියේ පුද්ගල චේතනාව සහ ක්‍රියාදාමයන් පිළිබඳ නව අදහසක් මතුවෙයි. පුද්ගලයා කරනු ලබන සියලු ක්‍රියාදාමයන් මූලික වශයෙන් කොටස් දෙකකටද පසුව එම කොටස් නැවත දෙකකටද බෙදිය හැකි බව පෙනේ. එනම් මූලික වශයෙන් පුද්ගලයා කරනු ලබන ක්‍රියාදාමයන් බාහිර සමාජය විනිශ්චය කරන ක්‍රමය අනුව හොඳ ක්‍රියා නරක ක්‍රියා වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. පුද්ගලයා කරනු ලබන යහපත් ක්‍රියා පක්ෂය පුද්ගල චේතනාව සහ බාහිර ප්‍රතිඵලය අනුව නැවතද කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.

එනම්
1.යහපත් චේතනාවෙන් කරන යහපත් ක්‍රියා
2.නරක චේතනාවෙන් කරන යහපත් වැඩ

මෙහිදී පුද්ගල චේතනාව සමාජයට පෙනෙන්නේ නැත. සමාජය දකින්නේ එම චේතනාවෙන් කළ ප්‍රතිඵලය පමණි. පුද්ගල චේතනාව සමාජයට අවශ්‍ය නැත. නමුත් සිද්ධිය කර්මයක් බවට පත්වීමේදි චේතනාව බලපානු ලබයි. එසේම පුද්ගලයා කරනු ලබන නරක ක්‍රියාවන්ද එසේම කොටස් කර බෙදා දැක්විය හැකිය. එනම්

1. නරක චේතනාවෙන් කරන නරක ක්‍රියා
2. හොඳ චේතනාවෙන් කරන නරක ක්‍රියා

මෙහිදී ද අදහස පෙර පරිදිමය. සමාජයට පෙනෙන්නේ ප්‍රතිඵලය පමණි. චේතනාව සමාජයට පෙනෙනනේ නැත. සමාජය දකින්නේ එම චේතනාවෙන් කළ ප්‍රතිඵලය පමණි. පුද්ගල චේතනාව සමාජයට අවශ්‍ය නැත. නමුත් සිද්ධිය කර්මයක් බවට පත්වීමේදි චේතනාව බලපානු ලබයි. එසේම පුද්ගලයා කරනු ලබන නරක ක්‍රියාවන්ද එසේම කොටස්කර බෙදා දැක්විය හැකිය. එනම්

1.නරක චේතනාවෙන් කරන නරක ක්‍රියා
2.හොඳ චේතනාවෙන් කරන නරක ක්‍රියා

මෙහිදීද අදහස පෙර පරිදිමය. සමාජයට පෙනෙන්නේ ප්‍රතිඵලය පමණි. චේතනාව සමාජයට පෙනෙන්නේ නැත. නමුත් සිද්ධිය විපාක දෙන කර්මයක් වීමේදී පුද්ගල චේතනාව බලපානු ලබයි.

මෙයින් පැහැදිලි වන්නේ සමාජයේ විවිධ ක්‍රියාකාරකම් කරන පුද්ගලයන් විවිධ අරමුණු, පරමාර්ථ ඔළුවේ තබාගෙන ඒවා සූක්‍ෂම ලෙස හසුරුවමින් විවිධ ක්‍රියා දාමයන් සිදු කරනු ලබන බවය. ක්‍රියාවක වැදගත් බව පෙනෙන්නේ චේතනාව වුවද පොදු සමාජයට පුද්ගල චේතනාව එතරම් බලපෑමක් එල්ල කරන්නේ නැත. පොදු සමාජය බලාපොරොත්තු වන්නේ පුද්ගලයාගේ ක්‍රියාදාමය පමණි.