Print this Article


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 22 සප්පක මහරහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 22

ගමක වේවා, වනාන්තරයක වේවා, නිම්නයක වේවා, කඳු ගැටයක වේවා රහතන් වහන්සේලා යම් තැනෙක වැඩ සිටිනවා නම් ඒ බිම ඇත්තෙන්ම සුන්දර යි. රහතන් වහන්සේ නමක් තුළ පවතින මේ අපූර්වත්වය පෙන්වා වදාළේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසිනු යි. ගෞතම බුදු සසුන බැබළුනේ එබඳු පාරිශුද්ධ සිත් ඇති උතුම් රහතන් වහන්සේලාගෙනි. චිත්ත සන්තානය මුළුමනින්ම පිරිසුදු කොට නිකෙලෙස් භාවයට පත් වූ ගෞතම බුදු සසුනේ පහළ වී වදාළ ‘’සප්පක” නම් මහ රහතන් වහන්සේ ගැන අද අප සිත පහදවා ගනිමු.

මීට කල්ප තිස් එකකට පෙර යුගයේ ආනුභාව සම්පන්න නාග රාජයෙකු ලෙස සප්පක ස්වාමින් වහන්සේ ඉපදී සිටියා. එකල සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොව වැඩ සිටියේ නැහැ. නමුත් පසේ බුදුරජාණන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් ‘රෝමස’ නම් පර්වතයක් ඇසුරු කරගෙන වැඩ වාසය කළා. දිනක් රෝමස පර්වතය අසලින් ගමන් කරමින් සිටි මේ නාග රාජයාට එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් එළිමහනේ සංසුන් ඉරියව්වෙන් සක්මන් කරනා අයුරු දැක ගන්නට ලැබුණා. ‘සම්භව‘ වූ ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රසන්න ඉඳුරන් දැක නා රජුගේ සිත පැහැදුනා.

ඔහු නා ලොව ඇති විශාල පියුමක් රැගෙන පසේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුනා. දැහැන් සුවයෙන් වැඩ සිටි සම්භව නම් පසේ බුදුරජාණන් වහන්සේගේ සිරසට ඉහළින් ඒ විශාල පියුම ඡත්‍රයක් මෙන් දරාගෙන සිටියා. එක දවසක් පුරාවටම මහත් වූ පැහැදීමෙන් ඒ නා රජු මේ බුද්ධ පූජාව සිදුකළා.ඒ සිදු කළ පිනේ් පුණ්‍යානුභාවයෙන් මරණීයව මතු දෙව් මිනිස් සුගතියේ බොහෝ කාලයක් කම්සැප වින්දා.

කල්ප තිස් එකක් ගෙවී ගොස් මේ මහා භද්‍ර කල්පයේ සතරවන බුදු රජුන් ලෙස අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන සමයේ සැවැත්නුවර බමුණු පවුලක උපත ලැබුවා. උපතින් සප්පක නම් වූ ඔහු තරුණ වියට එළඹි පසු නිතර නිතර දෙව්රම් වෙහෙරට ගොස් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ ශ්‍රී සද්ධර්මය ඉගෙන ගත්තා. සිතේ ඇතිවුණු ශ්‍රද්ධාවෙන්ම මාපියන් දෙපල දැසි දස්සන් අත්හැර දමා බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදි උපසම්පදාව ලබා ගත්තා. නොබෝ කලකින්ම ධර්මයත් විනයත් ඉගෙනගෙන සප්පක ස්වාමින් වහන්සේ හුදෙකලාවේ සමථ විදර්ශනා වැඩීම පිණිස ‘අජකරණී’ නම් නදී තෙරට වැඩම කළා.

එහි වූ ගල් ලෙනක් ඇසුරු කරමින් අප්‍රමාදීව ධර්මයේ හැසිරුණු උන්වහන්සේ ටික දිනකින්ම සියලු කෙලෙසුන් නසා මුළුමණින්ම සුන්දර සිතක් ඇති උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වී වදාළා.

අජකරණීය නදිය ඇසුරු කරගෙන වනාන්තරයේ උන්වහවන්සේ වාසය කළේ ඉතාමත් සතුටින්. අජකරණී නදිය පිහිටි ඒ ගණ වනය උන් වහන්සේ නිසාම තවත් සුන්දර වුණා. තමන් වහන්සේට නිවන් සුව ලබන මග කියා දුන් ශාස්තෘන් වහන්සේ බැහැ දැකීම පිණිස සප්පක මහරහතන් වහන්සේ දිනක් සැවැත්නුවරට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ හමුවී දහම් කථාකොට අනතුරුව උන්වහන්සේ ඤාතී සමුහයාට සංග්‍රහ කිරීම පිණිස වැඩම කළා. ඤාතීන්ගේ ඇප උපස්ථාන ලබමින් දින කිහිපයක්ම සැවැත්නුවර වැඩ වාසය කළ සප්පක මහරහතන් වහන්සේ ඤාතීන් තෙරුවන් සරණෙහි පිහිටුවා පංචසීල ආරක්ෂා කිරීමට අනුශාසනා කොට වදාළා. අනතුරුව තමන් වහන්සේ වැඩසිටි අජකරණී නදී තෙරටම වැඩම කිරීමට උන්වහන්සේ කැමැති වුණා.

ඒ මොහොතේ් ඤාතී සමූහයා ඒ බව දැනගෙන ‘අනේ ස්වාමිනි මෙහිම වැඩවසන සේක්වා. අපි ඔබවහන්සේට අඩුවක් නො කොටම උපස්ථාන කරන්නෙමු’ යි සප්පක මහ රහතන් වහන්සේට ආරාධනා කළා. කාමයන්ම සිතෙහිම දිවි ගෙවන ඤාතීන් කෙරෙහිහටගත් අනුකම්පාවෙන්ම යුක්තව හුදෙකලා වාසයට තමන් වහන්සේ තුළ පවතින කැමැත්තද පෙන්වා දෙමින් සප්පක මහරහතන් වහන්සේ මේ උතුම් ගාථාවන් වදාළා.

යදා බලාකා සුචිපණ්ඩරචඡදා
කාලස්ස මේඝස්ස භයේන තජ්ජිතා
පලේහති ආලයමාලයේසිනී
තදා නදී අජකරණී රමේති මං

ඒ කෙකෙණියගේ අත්තටු සුදු නෙළුමේ පාටින් යුක්තයි. කළු වළාකුලට බියවෙලා ඇය තැති ගත්තා. ඉන්න තැනක් සොයාගෙන ඈ ඉඟිලි යන වෙලාවට මේ ‘අජකරණී’ නදිය මගේ සිත ඇඳ ගන්නවා.

යදා බලාකා සුවිසුද්ධපණ්ඩරා
කාලස්ස මේඝසස්ස භයේන තජ්ජිකා
පරියේසති ලේනමලේන දස්සනී
තදා නදී අජකරණී රමේති මං

කෙකිණියගේ අත්තටු සුදු නෙළුමේ පාටින් යුක්තයි. කළු වළාකුලට බිය වෙලා ඇය තැති ගත්තා. ඇයට සැැෙ¼ගවෙන්න තැනක් නැහැ. සැඟවෙන්න තැනක් සොයමින් ඇය පලායන කලට ‘අජකරණී’ නදිය මගේ සිත ඇද ගන්නවා.

කන්නු තත්ථ න රමෙන්ති
ජම්බුයෝ උභතෝ තහිං
සෝභෙන්ති ආපගා කූලං
මම ලේනස්ස පච්ඡතෝ

ගංතෙර දෙපැත්තේ ජම්බු ගස් තිබෙනවා. ඒවා සතුටු නො කරන්නේ කාවද? මගේ ලෙන පිටිපස්සේ තියෙන ඒ ජම්බු ගස් පළාතම ලස්සන කරනවා.

තාම තම දසංඝසුප්පහීනා
භේකා මන්දවතී පනාදයන්තී
නාජ්ජ ගිරිනදිහි විප්පවාසසමයෝ
ඛේමා අජකරණී සිවාසුරම්මා

ගෙම්බන් නාද කරන්නේ ගාම්භීර විදිහට. ඒ ගොල්ලෝ සර්පයන්ගෙන් බේරිලා ඉන්න නිසා වෙන්න ඇති. මේ කාලයේ කඳු ගංගා වෙන් වෙලා තියෙන කාලයක් නොවේ. ‘අජකරණී’ නදිය කියන්නේ කෙම්බිමක්. හැම අතින්ම ලස්සනයි. රමණීය යි. මහ වනයේ වාසය කිරීමට තමන් වහන්සේ තුළ පවතින බලවත් කැමැත්ත මේ අයුරින් ප්‍රකාශ කළ සප්පක මහ රහතන් වහන්සේ ඤාතී සමුහය අත්හැර දමා ඔවුන්ගේ සත්කාර සම්මානත් අත්හැර දමා යළිත් අජකරණී නදී තෙරටම වැඩම කොට වදාළා. රහතන් වහන්සේ නමක් තුළ පවතින මහවනයේ හුදෙකලාව වාසයට ඇති කැමැත්ත ගැන භාග්‍යවතුන් වහන්සේ මේ අයුරින් පෙන්වා දී වදාළා. ‘මහ වනාන්තරය හරිම ලස්සනයි. ඒ වුණාට කම්සැප හොයන ජනයා ඒ වනයට ඇලෙන්නේ නැහැ. වීතරාගි වූ රහතන් වහන්සේලා නම් මහ වනයට හරි කැමැතියි. උන්වහන්සේලා කම්සැප හොයන්නේ නැති නිසයි එහෙම වුණේ.

කාමයන් කෙරෙහි ඇති ඇල්ම මුළුමනින්ම ප්‍රහාණය වී ගිය වීතරාගි සිත් ඇත්තේ උතුම් රහතන්වහන්සේලා තුළයි. ජීවමානව වැඩසිටිනා කාලය පුරාවට ඒ රහතන් වහන්සේලා දෙව් මිනිස් ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන් පූජා කරන දානමාන පිළිගත්තා. කුටි සෙනසුන් පිළිගත්තා. සිවුරු ඇතිරිලි පිළිගත්තා. බෙහෙත් ගිලන්පස පිළිගත්තා. ඒ සිවුපසය කෙරෙහි ඇල්මකින් නොවේ. පිරිනිවන් පානා තාක් කාලය පුරාවට තමන් වහන්සේලාගේ ජීවිතය පැවැත්වීමට පමණයි. අනුන් දෙන සිව්පසයෙන් යැපීමට තරම් ලෝකයාට ණය නැති උත්තරීතර ගුණ දහම් රාශියක් රහතන් වහන්සේ නමකගේ ජීවිතය තුළ පරිපූර්ණ වෙලයි තිබෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේ නමක් දැකීමත්, රහතන් වහන්සේ නමකට වන්දනාමාන කිරීමත්, රහතන් වහන්සේ නමක් උදෙසා සැදැහැ සිතින් යමක් පූජා කිරීමත් දෙව් මිනිස් ලෝකයාට විශාල යහපතක් සලසා දෙනවා.

පින් කැමැති කෙනෙක් මේ ලෝකයේ අවුරුද්දක් ගානේ මහා යාග, පොඩි යාග ආදි මහ දන් දුන්නත්, සෘජු මග ගමන් කරපු රහතන් වහන්සේලාට කරන වන්දනාවකින් හතරෙන් පංගුවක් තරම්වත් ඒක වටින්නේ නැහැ. රහතන් වහන්සේලාට කරන වන්දනාවම තමයි ශ්‍රේෂ්ඨ වන්නේ. සියල්ල දන්නා වූ සියල්ල දත්තා වූ සම්මා සම්බුුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ ගැන ඔය අයුරින්ම යි පෙන්වා වදාළේ. රහතන් වහන්සේ නමක් ග්‍රාමවාසී වුණත්, වනවාසී වුණත් කොයි යම් තැනක වාසය කළත් උන්වහන්සේ මේ ලෝකයේ දෙවියන් බඹුන් මිනිසුන් අතරේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙලයි වැඩ ඉන්නේ. ඒ මක්නිසාද යක්, ඒ කිසිවෙකුට ජය ගත නො හැකි වූ කෙලෙස් යුද්ධයෙන් උන්වහන්සේලා ජය ගත් නිසයි.

සටහන - නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 21 - ධම්මික මහරහතන් වහන්සේ