Print this Article


දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර – 2014 බුද්ධ චරිතය – 1 අභ්‍යාසය

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර – 2014 බුද්ධ චරිතය – 1 අභ්‍යාසය

මෙම ප්‍රශ්න පත්‍රය කොටස් 3 කින් සමන්විත වේ. එක කොටසකින් එක් ප්‍රශ්නයක්වත් ඇතුළත් වන සේ තෝරා ගෙන ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සැපයිය යුතුය.

(01) අ . සමාජ සම්භවය මහා බ්‍රහ්මයාගෙන් සිදු වූ බව දැක්වෙන ඍග් වේදයේ සඳහන් වන ශ්ලෝකය ලියා බුද්ධ කාලීන භාරතයේ පැවැති සමාජ ස්ථර 4 නම් කර එක් එක් ස්ථර මහා බ්‍රහ්මයාගේ කුමන අවයවවලින් හට ගත්තේ දැයි නම් කරන්න.

පිළිතුර
ඍග්වේදයේ සඳහන් වන ආකාරයට සමාජ සම්භවය සිදු වූ ආකාරය පිළිබඳ දැක්වෙන්නේ මේ ආකාරයෙන්ය.

බ්‍රාහ්මණෝස්‍ය මුඛමාසිද්
බාහුරාජන්‍ය කෘතඞ
ඌරු තදස්‍ය යද් වෛශ්‍යඞ
පද් භ්‍යාම් ශුද්‍රෝ අජායත

මෙම ශ්ලෝකයෙන් සමාජ සම්භවය සිදු වූ ආකාරය දැක්වෙන අතර එකල පැවැති සමාජ ස්ථර 4 නම්,,

බ්‍රාහ්මණ – මහා බ්‍රහ්මයාගේ මුඛයෙන්

ක්ෂත්‍රිය – මහා බ්‍රහ්මයාගේ බාහුවලින්

වෛශ්‍ය – මහා බ්‍රහ්මයාගේ ඌරුවලින්

ශුද්‍ර – මහා බ්‍රහ්මයාගේ පාදවලින් හට ගන්නේ යැයි දැක්වේ.

(ආ) බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි භාරතයේ පැවැති ප්‍රධාන රාජාණ්ඩු 4 නම් කර ඒ ඒ රාජ්‍යයන්හි අගනුවර හා පාලකයා නම් කරන්න.

පිළිතුර
බුදුරදුන් දවස භාරතයේ පැවැති ප්‍රධාන රාජණ්ඩු 4 මෙසේය.

1. මගධ රාජ්‍ය – රජගහනුවර බිම්බිසාර රජු
2.කෝසල රාජ්‍ය – සැවැත්නුවර පසේනදී කොසොල් රජු
3. වත්ස්‍ය රාජ්‍ය – කොසඹෑ නුවර උදේනි රජු
4.අවන්ති රාජ්‍ය – උදේනි නුවර චණ්ඩාපජ්ජෝත රජු

(ඉ) බෝසතුන්ට නම් තැබීමට පැමිණි පඬිවරු 8 දෙනා සඳහන් කර ඔවුන්ගේ නිගමන කෙටියෙන් දක්වන්න.

පිළිතුර
සිදුහත් කුමරුගේ උපතින් 5 වන දින නම් තැබීම සිදු විය. ශාක්‍ය දේශයේ ප්‍රකට පඬිවරුන් වූ රාම, ධජ, ලක්‍ෂ්ඛණ , මන්ත්‍රී භෝජ, සුයාම, සුදත්ත කොණ්ඩඤ්ඤ යන බමුණු පඩිවරු 8 දෙනා එම අවස්ථාවට සහභාගි වූහ. ඔවුහු කුමරුගේ සිරුරේ ලක්‍ෂණ බලා “කුමරු ගිහිගෙයි සිටියහොත් සක්විති රජ වෙතියි” ද “පැවිදි වෙතොත් බුදු වෙතැයි” ද ප්‍රකාශ කළහ. ඉන් තරුණ කොණ්ඩඤ්ඤ බමුණා පමණක් “ කුමරු ඒකාන්තයෙන්ම බුදු වෙතැයි පළ කළේය. කුමරුන්ගෙන් ලොවට සිදුවන අර්ථ සිද්ධිය සලකා “ සිද්ධාර්ථ” යැයි නම් තැබූහ.

(2) අ) බෝසතාණන් දුටු සතර පෙර නිමිති නම් කරන්න.

පිළිතුර
ලෙඩෙක්, මහල්ලෙක්, මළමිනියක් , පැවිදිරුවක්

(ආ) නිබ්බුත පද දක්වා ඒවා ප්‍රකාශ කළේ කවුරුන්දැයි දක්වන්න.

පිළිතුර
නිබ්බුතා නූන සා මාතා – නිබ්බුතා නූන සෝ පිතා
නිබ්බුතා නූන සා නාරි – යස්සායං ඊදිසෝ පතී

ඉහත ගාථාවෙන් දැක්වෙන්නේ නිබ්බුත පදය. මෙබඳු තැනැත්තෙකුගේ මව ඒකාන්තයෙන් නිවුණු තැනැත්තියකි. පියා නිවුණු තැනැත්තෙක් වේ. මෙම ප්‍රකාශය කරන ලද්දේ කිසාගෝතමී නම් කුමරිය විසිනි.

(ඉ) මහාභිනිෂ්ක්‍රමණයේ සිට පස්වග තවුසන් බෝසතුන් හැර යාම තෙක් සිදු වූ බෝසත් සිරිතට අදාළ සිදුවීම් පිළිවෙළින් විස්තර කරන්න.

පිළිතුර
කිසාගෝතමියගේ නිබ්බුත පද ඇසීමත්, රාහුල කුමරුගේ ඉපදීමත්, සතර පෙර නිමිති දැකීමත් මහාභිනිෂ්ක්‍රමණයට විශේෂයෙන් හේතු විය. උයන් කෙළියෙන් අනªතුරුව මාලිගයට ගිය කුමරු වෙනදාට වඩා සතුටින් කල් ගත කළ නමුත් පුතුගේ උපත ගැන මෙනෙහි කරත්ම තම ගමනට එය බාධාවක් වූ අයුරු නැවත නැවත සිතීය. නාටිකාංගනාවෝ නෘත්‍ය වාදනයන් ඉදිරිපත් කළ ද කුමරුට ඒ ගැන හැඟීමක් නොවීය. කුමරු තමන්ගේ ගී කීම්, නැටීම්,ගැන තැකීමක් නොමැති බව දත් නාටිකාංගනාවෝ වැටී නිදන්නට වූහ. නාටිකාංගනාවනගේ විප්‍රකාර දැක මිනිස් ජීවිතයේ හරය මෙය දැයි කල්පනා කර ඡන්න ඇමැති හට කතා කොට කන්ථක අසු සූදානම් කරවන්නට නියම කළහ. රන්වන් සිරුරෙන් යුතු සිඟිති කුමරු දෙස වරක් බලා ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව කන්ථක අසු පිට නැගී අනෝමා ගං තෛරට පැමිණ මඟුල් කඩුවෙන් කෙස් කපා රාජාභරණ මුදා කසාවත් හැඳ පැවිදි විය.

අනෝමා ගඟ අසබඩ අනුපිය නම් අඹ වනයෙහි සතියක් විවේක සුවයෙන් සිට තිස් යොදුන් මඟ ගෙවා රජගහ නුවරට පිවිසියහ. රජගහනුවර පාලකයා වූ බිම්බිසාර රජු හට බෝසතුන් පිළිබඳව සැල විය. රාජ දූතයන් යවා ඔහු කවරෙක් දැයි විමසනු ලැබීය. සුදොවුන් රජුගේ පුතු සිදුහත් කුමරු බව දැන මහත් සතුටට පත් ව තම මගධ රාජ්‍ය දෙකට බෙදා ගෙන පාලනය කරන්නට ඔහුට ආරාධනා කළහ. එය ප්‍රතික්‍ෂේප කළ බෝ සතුන් තම අරමුණ පැහැදිලි කළහ. “සම්බුද්ධත්වයට ලද වහාම තම රාජ්‍යයට පැමිණෙනු මැනැවැ’යි සුහදව ආරාධනා කළහ.

රජුගෙන් සමුගත් බෝසතුන් පාණ්ඩව පර්වතයේ භාර්ගව නම් තවුසාගේ අසපුවටද අනතුරවැ වේසාලිය සමීපයෙහි අසපුවක විසූූ ආලාරකාලාම තවුසා ළඟ ද අනතුරුව “උද්දකරාම පුත්‍ර” නම් තවුසා වෙතද ගොස් ඔවුන් දත් සමාපත්තීන් හදාරා චිත්ත දියුණුව ලබා ගත්හ.

ඉන් එහා දහමක් ඔවුන් ළඟ නොමැති බව දත් බෝසතාණෝ උරුවේල සේනානි නම් නියම් ගම අසල තවුස් පැවිද්දෙන් පැවිදිව සිටි කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි තවුසන් මුණ ගැසී ඔවුන් සමඟ උග්‍ර තවුස් දම් පිරූහ.

කලක් ඔවුන් ළඟ විසූවත්, ඔහු සොයන ධර්මය ඔවුන් ළඟ නොමැති බව අවබෝධ කරගෙන ඔවුන් අත හැර ගොස් දුෂ්කර ක්‍රියාවෙහි නිරත විය.