Print this Article


ආගමික ප්‍රතිපදාවට පුද්ගලයා යොමු කෙරෙන ආනුපුබ්බික දේශනාව

ආගමික ප්‍රතිපදාවට පුද්ගලයා යොමු කෙරෙන ආනුපුබ්බික දේශනාව

ආනුපුබ්බික දේශනාව අනුව සසුන් පිළිවෙතට අවතීරණය වන කාමභෝගී ගිහියා විසින් දන් දීමත්, පංචශීල ප්‍රතිපදාව අනුගමනය කිරීමත්, පුණ්‍ය කර්මයන්හී නිරත වීමත් අවශ්‍ය වේ. මෙම ක්‍රියා තුන කෙනෙකුට ඉතා සරල දෙයකැයි සිතිය හැකිය. එහෙත් මෙම ක්‍රියා අනුගමනය කිරීමේදී එය මහත් උත්සාහයකින් ක්‍රියාත්මක කළ යුතු බව විස්තර කිරීම අනවශ්‍ය වේ. බෞද්ධ ආගමික ජීවිතයට හුරු වූ අයට පමණක් නොව සෙසු ආගමිකයනට වුව ද මෙම ආනුපුබ්බික දේශනය වැදගත් වේ.

බෞද්ධ ශ්‍රාවක පිරිස අතරින් භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිස පූර්ණ වශයෙන් ආධ්‍යාත්මික ජීවිතයට කැපවී කටයුතු කරති. උපාසක උපාසිකා දෙපිරිස අර්ධ වශයෙන් ආධ්‍යාත්මික ජීවිතයට යොමුව කටයුතු කරන්නේ ඔවුන් ගිහි සංයෝජනවලින් බැඳී පංචකාම ලෝකය තුළ කටයුතු කරන හෙයිනි. මෙම ගිහි ග්‍රාවක පිරිස ආධ්‍යාත්මික දියුණුවේ මට්ටම අනුව ප්‍රධාන කොටස් තුනකට අයත් වේ.

ගිහි ඕදාත වසාන බ්‍රහ්මචාරි, ගිහි කාමභෝගී ඕදාත වසාන හා කාම භෝගී යනුවෙනි. මෙයින් පළමු ගිහි පිරිස ගිහි ජීවිතයක් ගත කළ ද පංච කාම සම්පත් පරිහරණයෙන් වැළකී බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරති. ඔවුන් යම් පමණකට භික්‍ෂු භික්‍ෂුණීන්ගේ ප්‍රතිපදාවට සමීප හැසිරීමකින් යුක්ත වන අතර බොහෝ දුරට පූර්ණ දස ශීලයක පිහිටා කටයුතු කරති. වර්තමානයේ මෙම පිරිස අර්ධ ආරාමික පිළිවෙතක් අනුගමනය කරමින් ගහි ජීවිතය හා සම්බන්ධ වගකීම්වලින් මිදී භාවනාවට පූර්ණ වශයෙන් කැපවෙමින් කටයුතු කරන අය ලෙස හඳුනාගැනීම වරදක් නොවේ. මෙම පිරිසේ විශේෂත්වය වන්නේ ධර්මය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහිතව භාවනාවෙන් යම් පමණක දියුණුවක් අත්පත්කරගෙන තිබීමයි. දහමට අනුව මෙම පිරිස අනාගාමී ඵලය දක්වා ගමන් කළ හැකි අය වශයෙන් නම් කළ හැකිය.

දෙවන පිරිස පංචකාම සම්පත් අනුභව කරන අතර කලින් කලට ආධ්‍යාත්මික ජීවිතයට අදාළ චර්යාවන්හි නිරත වෙමින් කටයුතු කරති. වර්තමානයේ පොහොය දිනයන්හි සිල් සමාදන් වෙමින් නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාව පුහුණු කරන උපාසක උපාසිකා පිරිස මෙම ගණයට ඇතුළත් කළ හැකි වේ. ඔවුන්ගේ විශේෂත්වය වන්නේ පූර්ණ වශයෙන් කාමභෝගී ජීවිතයෙන් වෙන් නොවී කටයුතු කිරීමයි. මෙම පිරිස පළමු පිරිස තරම් ආධ්‍යාත්මික වශයෙන් ඉහළ දියුණුවක් අත්පත් නොකරගත්ත ද ඒ කරා ක්‍රමයෙන් ගමන් කරමින් සිටී.

තෙවන පිරිස පූර්ණ වශයෙන්ම කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන සාමාන්‍ය බෞද්ධ ජනයා ලෙස හඳුනාගත හැකිය. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දැක්වෙන දීඝජානු කෝලිය පුත්‍රයා වැනි අය ඇතුළත් වන්නේ මෙම කොටසටය. ඔවුන්ගේ ස්වභාවය වන්නේ අඹුදරුවන් පෝෂණය කරමින් විලාසිතා අනුගමනය කරමින් සුවඳ විලවුන් භාවිත කරමින් විවිධ ධනෝපාර්ජන ක්‍රමයන්හි නිරතවෙමින් සංකීර්ණ ගිහි ජීවිතයක් ගත කිරීමයි. පංචකාම ලෝකයේ තිබෙන අත්දැකීම් හා ආස්වාදයනයන් ලබමින් සංකීර්ණ ගිහි ජීවිතයක් ගත කරන මෙම පිරිස අතින් පාප කර්ම සිදුවීමට තිබෙන අවස්ථා ද බහුලය. පූර්ණ වශයෙන්ම පිරිසුදු ජීවිතයක් ඔවුන්ගෙන් අපේක්‍ෂා කළ නොහැකි ය.

මෙවන් පිරිසක් සම්බන්ධයෙන් බුදුදහම කවර මඟපෙන්වීමක් කර තිබේද යන්න විමසිය යුතුයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීමේ දී පැහැදිලි ක්‍රමවේදයක් අනුගමනය කර තිබේ. එම ක්‍රමවේද අතරින් ආනුපුබ්බිකථාව හා සාමුක්කංසික දේශනා යන අංග දෙක වැදගත් වේ. ආනුපුබ්බික කථාව හා සම්බන්ධ දේශනය දානයෙන් ආරම්භ වී නෛෂ්ක්‍රම්‍ය සඳහා වන පිළිවෙතින් අවසන් වේ. (දානකථා ශීල කතා සග්ගකථා කාමානං ආදිනවං ඕකාරෙ සංකිලෙසං නෙක්ඛම්මේ ආනිසංසං) ආනුපුබ්බිකථාව තුළ අන්තර්ගතවන්නේ සාමාන්‍ය ගිහියෙකුගේ ආධ්‍යාත්මික ජීවිතයේ ආරම්භක අවස්ථාවයි. මහචත්තාරීසක සූත්‍රයේ දැක්වෙන දසවස්තුක මිථ්‍යා දෘෂ්ටියෙන් ඉවත් වී ලෞකික සම්‍යග්දෘෂ්ටියට අවතීරණය වීම මෙමඟින් සිදු වේ. මේ අනුව ලෞකික සම්‍යග්දෘෂ්ටියෙහි පිහිටි පුද්ගලයා මූලික වශයෙන් පිළිගන්නා කරුණු කීපයක් මෙහි සංක්‍ෂිප්තව දැක්වේ. ලෞකික සම්‍යග් දෘෂ්ටියට අයත් අංග වන දුන් දෙයෙහි විපාක ඇත. යාගයෙහි විපාක ඇත, හෝමයෙහි විපාක ඇත, යහපත් සේ හෝ අයහපත් සේ කර්මවල විපාක ඇත, මෙලොව ඇත, පරලොව ඇත, මව ඇත පියා ඇත (මවට පියාට සැළකීමේ ආනිසංස ඇත) ඕපපාතික සත්ත්වයන් ඇත, මෙලොවත් පරලොවත් තමාම දැන ප්‍රත්‍යක්‍ෂ කර සිටින නිවැරදි මඟට පිළිපන් මහණ බමුණන් ඇත යන පිළිගැනීම් ආනුපුබ්බික දේශනාව තුළ දාන කතා සීල කතා සග්ග කතා යනුවෙන් වෙනත් ආකාරයකින් සංක්‍ෂිප්තව ඇතුළත් වේ. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වූයේ ආරම්භයේදීම පුද්ගලයා කිසියම් ආගමික ප්‍රතිපදාවකට යොමුකිරීමයි. මරණින් මතු සියල්ල අවසන් වේය යන උච්ඡේද දෘෂ්ටිය මෙයින් බැහැර කොට තිබේ. පුද්ගලයෙක් තුළ මූලික සදාචාරය ඇතිවන්නේ මෙකී දසවස්තුක සම්‍යග්දෘෂ්ටියෙහි පිහිටීමෙන් ය. සාමාන්‍ය ආගමික ජීවිතයකට පුද්ගලයා යොමු කරන්නේ මෙකී ආනුපුබ්බිකථාවෙන්ය. අටුවාචාරීන් වහන්සේලා මෙකී දසවස්තුක සම්‍යග් දෘෂ්ටිය “කම්මස්සකථා සම්මාදිට්ඨි” යනුවෙන් හඳුන්වා ඇත. එයට හේතුව එයින් කර්මය හා කර්ම ඵලය පිළිබඳ විශ්වාසය මූලික වශයෙන් පුද්ගලයා තුළ වර්ධනය වන බැවිනි. ආධ්‍යාත්මික ජීවිතයේ ආරම්භය සනිටුවන් කෙරෙන මෙම දසවස්තුක සම්‍යග් දෘෂ්ටිය හේතුවෙන් පුද්ගලයා කුසල ප්‍රතිපදාවට අවතීර්ණය වේ. දසවස්තුක සම්‍යග් දෘෂ්ටිය නොමැති පුද්ගලයා සමාජ සදාචාරය නොපිළිගන්නා හෙයින් ඔහු තුළ යමක් පරිත්‍යාග කිරීමට, දෙමාපියන්ට සැළකීමට, සමාජයට යහපත කිරීමට සිතක් ඇති නොවන අතර මෙලොව පරලොව හොඳ නරක පිළිබඳ විශ්වාසයක් ද ඇති නොවේ. ගිහි කාමභෝගී ජීවිතයක් ගත කරන පුද්ගලයා තුළ මෙම ‘කම්මස්සකථා’ සම්‍යග්දෘෂ්ටිය වර්ධනය වී තිබීම ඔහු හෝ ඇය පාපයෙන් මිදී යහපතෙහ යෙදීමට ප්‍රමාණවත් වේ.

දෙවනුව දැක්වෙන සාමුක්කංසික දේශනය චතුරාර්ය සත්‍ය පිළිබඳ විශේෂ අවබෝධය වේ. මෙම අවබෝධය උදෙසා පුද්ගලයාට විශේෂ දැක්මක් අවශ්‍ය වේ. කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට එම අවබෝධය පහසුවෙන් ඇති කරගත හැකි දෙයක් නොවේ. ඔහු හෝ ඇය කාමභෝගී ජීවිතයෙහි තිබෙන ආදීනව නුවණින් වටහාගත යුතු වේ. (කාමානං ආදිනවං) මෙම ආදීනව මැනවින් වටහාගත් කෙනෙකු තුළ නෛෂ්ක්‍රම්‍ය කෙරහි උනන්දුව ඇති වේ. (ඕකාරං සංකිලෙසං නෙක්ඛම්මේ ආනිසංසං) සූත්‍ර දේශනාවන්හි මෙය මෙසේ දැක්වූවද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දී එය එතරම් පහසු කාර්යයක් නොවේ. එබැවින් ක්‍රමයෙන් එම අවබෝධය ඇතිකරගත යුතු අතරම ක්‍රමයෙන් ක්‍රියාත්මක විය යුතු වේ. මූලික ආගමික ප්‍රතිපදාවකට අවතීර්ණ නොවී යමෙකු තුළ ‘සාමුක්ඛංසික’ දේශනාවෙන් ඇති කෙරෙන වැටහීම කොතෙක් දුරට වර්ධනය වේද යන්න ගැටලුවකි.සම්‍යග් දෘෂ්ටිය පරිසමාප්ත බවට පත්වන්නේ ආර්ය වූ ආනශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංයක් වූ සම්‍යග් දෘෂ්ටියෙනි( අරියා අනාසවා ලොකුත්තර මගගංගා) මෙකී ආර්ය සම්‍යග් දෘෂ්ටිය සඳහා පරතෝඝොෂය හෙවත් සද්ධර්මය මැනවින් ශ්‍රවණය කිරීමත්, ඇසූ ධර්මය නුවණින් මෙනෙහි කිරීමත් අවශ්‍ය වේ. (යොනිසො මනසිකාර) මේ අනුව ආනුපුබ්බික දේශනය යටතේ ආගමික ප්‍රතිපදාවකින් ගොඩනඟා ගන්නා මූලික පුහුණුවෙන් අනතුරුව සාමුක්කංසික දේශනයෙන් ලැබෙන අවබෝධය වෙත ක්‍රමයෙන් ගමන් කළ යුතු වේ.

දසවස්තුක සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටි පුද්ගලයා පිළිවෙලින් පුණ්‍ය ප්‍රතිපදාවට අයත් දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ප්‍රගුණ කිරීම පිණිස ක්‍රියාත්මක වේ. ගිහි කාමභෝගී පුද්ගලයා විසින් ආගමික වශයෙන් අත්පත්කර ගන්නා අවසන් නිෂ්ඨාව වන්නේ සුගති සංඛ්‍යාත දෙව්ලොවක හෝ මනුෂ්‍ය ලෝකයක උපත ලැබීමයි. එම අරමුණ ඉෂ්ඨ වන පරිදි කාමභෝගී ගිහියාට මඟ පෙන්විය යුතු ආකාරය සිඟාලෝවාද සූත්‍රයෙන් පැහැදිලි කෙරේ. භික්‍ෂුව විසින් ගිහි සමාජය උදෙසා කළ යුතු මඟ පෙන්වීම යටතේ පවින් වැළක්වීම, යහපතෙහි යෙදවීම, කළණ සිතින් අනුකම්පා කිරීම, නො ඇසූ ධර්මය කියාදීම, ඇසූ ධර්මය පැහැදිලි කර දීම හා සුගති සංඛ්‍යාත ස්වර්ග මාර්ගය පෙන්වාදීම කළයුතු යුතුකම් වේ. මෙම යුතුකම් යටතේ නිර්වාණය අදහස් කර නොමැත.

එයට හේතුව සාමාන්‍ය සංකීර්ණ ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයෙකුට විමුක්තිය පිණිස පූර්ණ වශයෙන් කැපකළ නොහැකි බැවිනි. ගිහි කාමභෝගී පුද්ගලයාට නිවන් අවබෝධ කළ නොහැකිය යන්න මෙයින් අදහස් නොකෙරේ. නිවන් පිළිවෙතට අවතීර්ණය වන්නේ නම් ඔහු විසින් අත්හළ යුතු ගිහි සංයෝජන සමූහයක් වේ. ගිහි සංයෝජනයන්ගෙන් බැඳී වාසය කරන වර්තමාන කාමභෝගී ගිහි පිරිසට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය වූයේ අපායගාමී පාප කර්මවලින් වැළකී හැකිතාක් පුණ්‍ය කර්මයන්හී නිරත වී ස්වර්ග මාර්ගය විවෘත කර ගැනීමට වෙහෙසීමයි. බුදුරජාණන් වහන්සේගේ ආනුපුබ්බික දේශනාවෙහි අරමුණ වූයේ ආරම්භයේදීම මෙම ස්වර්ග මාර්ගය විවෘත කරදීමයි.

ආනුපුබ්බික දේශනාව අනුව සසුන් පිළිවෙතට අවතීරණය වන කාමභෝගී ගිහියා විසින් දන් දීමත්, පංචශීල ප්‍රතිපදාව අනුගමනය කිරීමත්, පුණ්‍ය කර්මයන්හී නිරත වීමත් අවශ්‍ය වේ. මෙම ක්‍රියා තුන කෙනෙකුට ඉතා සරල දෙයකැයි සිතිය හැකිය. එහෙත් මෙම ක්‍රියා අනුගමනය කිරීමේදී එය මහත් උත්සාහයකින් ක්‍රියාත්මක කළ යුතු බව විස්තර කිරීම අනවශ්‍ය වේ. බෞද්ධ ආගමික ජීවිතයට හුරු වූ අයට පමණක් නොව සෙසු ආගමිකයනට වුව ද මෙම ආනුපුබ්බික දේශනය වැදගත් වේ. දේවවාදි ආගමික ඉගැන්වීම්වල ද මේ හා සමාන ආගමික ඉගැන්වීම් ඇතුළත් වේ. මෙහිදී බුදුසමය වෙනස් වන්නේ සාමුක්කංසික දේශනාවෙන් පමණි. එය චතුරාර්ය සත්‍ය පිළිබඳ ඉගැන්වීමයි.

එය අයත් වන්නේ බුදුසමයට පමණි. කවර ආගමක් ඇදහුව ද පුද්ගලයා තුළ හොඳ නරක, මෙලොව පරලොව, සදාචාරය නීතිය යුක්තිය යන යහපත් අංග පිළිබඳ විශ්වාසයක් තිබිය යුතු ය.එසේ නොවුණහොත් සමාජයක මූලික සදාචාරයක් නොපවතී. නිර්වාණාවබෝධය ආරම්භයේදීම සිදුනොවන්නක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. (නාහං භික්ඛවේ ආදිකෙනෙව අඤ්ඤාරාධනං වදාමි) මේ අනුව ගිහි කාමභෝගී පිරිස ආගමික පිළිවෙත් අනුගමනය කරමින් ආරම්භයේ දී ආගමික ජීවිතයකට යොමු විය යුතුවේ. බුදුරජාණන් වහන්සේගේ ආනුපුබ්බික දේශනාවේ අරමුණ වන්නේ එවැනි ආගමික ජීවිතයකට පළමුව පුද්ගලයා යොමු කිරීමයි.