Print this Article


සැදැහැවතුන් හඳුනා ගනිමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
දස්සනකාමෝ සීලවතා
සද්ධම්මං සෝතු මිච්ඡති
විනෙය්‍ය මච්චේර මලං
සවෙ සද්ධෝති වුච්චති

පින්වත්නි,

සිල්වත් ගුණවත් අය දකිනු කැමැති වීම, ධර්මය අසනු කැමති වීම හා පරිත්‍යාගශීලිත්වය යන මෙම කාරණාත්‍රයෙන් යුක්ත වන පුද්ගලයා සැදැහැවතෙකැයි කියනු ලැබේ. යනු ඉහත මාතෘකා කරගත් ගාථාවේ අදහසයි.

ශ්‍රද්ධාව සෑම පින්කමක් කිරීමෙහිලා පදනම වෙයි.හොඳ ගොඩනැගිල්ලක් තැනීමට නම් පදනම ශක්තිමත් විය යුතුය. එසේම කුමන ආකාරයේ පින්කමක් කිරීමට වුවත්,ශ්‍රද්ධාව නමැති පදනම ස්ථිරව තිබිය යුතුය. එසේ නැත්නම් තනනු ලබන ගොඩනැගිල්ල ඇද වැටෙන්නාක් මෙන් කරනු ලබන කවර නම් පින්කමකින් වුවත් උපරිම ඵල නෙළා ගැන්මට හැකියාව නොලැබෙයි.

‘ශ්‍රද්ධාව’ යන්නෙහි නියම තේරුම ‘අවබෝධයෙන් යුත් විශ්වාසය ‘ යන්නයි. භක්තිය කියා ද එය කිව හැකිය. එහෙත් එය අන්ධ භක්තිය නොව බුද්ධිය සමඟ යන භක්තියයි . අන්ධ භක්තිය බුදුදහම ඉඳුරාම ප්‍රතික්ෂේප කරයි.

යම් අදහසක් මතයක් හෝ කාරණයක් බෞද්ධයා විසින් පිළිගත යුත්තේ මනා පරික්ෂණයකින් පසුවයි. රන්කරුවා දැවීමෙන් රන් පරික්ෂා කරන්නාක් මෙන් නොව විමසීමෙන් පසු පිළිගත යුතු යැයි බුදුරජාණන් වහන්සේ විමසීමෙන් පසු යම් තීරණයකට බැසගත යුතු බව එයින් පැහැදිලි වේ. යාච්ඤාවෙන් පුද පූජා පැවැත්වීමෙන් ශාස්තෘවරයා කෙරෙහි දක්වන අචල භක්තියෙන් විමුක්තිය ලබාගත හැකිවේ යැයි,ඇතැම් ආගම් වල ඉගැන්වේ. එහෙත් බුදුදහමේ එවැනි ඉගැන්වීම් ඉඳුරාම ප්‍රතික්ෂේප කරයි. බුදුන් වහන්සේ දේශනා කළේ “මාගේ ධර්මය මෝඩයින්ට නොවේ. බුද්ධිමතුන්ටය” කියා යි. බුදුවරු මග කියා දෙන්නෝය. ඒ අනුව අප අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ යුතුය. ඒ මග යා යුතුය.

සප්තාර්ය ධන අතර ශ්‍රද්ධාව පළමුවන ධනයය. එය භෞතික ධනයක් නොවේ.අධ්‍යාත්මික ධනයකි. යමෙකුගේ චිත්ත සන්තානයේ ත්‍රිවිධ රත්නය පිළිබඳ අචල විශ්වාසයක් පවතී නම් ඒ නිසා ඔහුට අවශ්‍ය නොයෙක් නොයෙක් පින්දහම් කරගත හැකිවේ.

සැදැහැවත් පුද්ගලයා හැඳින ගැනීමේ ලක්ෂණ තුනක් මුලින් ඉදිරිපත් කළ ගාථාවෙහි දැක්වේ. එයින් පළමුවැන්න සිල්වතුන් දැකීමේ කැමැත්තයි. එසේ කැමැත්ත ඇති වන්නේ සීලය කුමක්ද? කියා දන්නා සීලය අගය කරන්නට පිළිවන් තැනැත්තාටයි. කය හා වචනය දෙක සංවර කර ගැනීම සීලයයි. එනම් කයින් සිදුවන අකුසල් වලින් හා වචනයෙන් සිදුවන අකුසල් වලින් වෙන්වීමයි. පංචවිධ දුශ්චරිතයෙන් වෙන් වීම මෙයින් අදහස් කෙරෙයි.

දිනපතා රැකිය යුතු බෞද්ධයාගේ නිත්‍ය ශීලය වනුයේ පංච ශීලයයි. පංච ශීලය යනු නීතියක් හෝ විධානයක් නොවේ. මෙහි කිසිදු බල කිරීමක් නැත.මෙහි ඇතුළත් වන්නේ බෞද්ධයාගේ ශික්ෂණයට අදාළ කාරණා පහක් පිළිගැනීමට කරන ඇරයුමකි.

සමාජ සුබ සාධනයට අවශ්‍ය සතුට සමගිය සමාදානය ඇති කරලීම සඳහා සහභාගිවීමට කරන කැඳවීමක් මෙයින් ද්වනිත වේ. පළමුවන සිල්පදය කියන බෞද්ධයා පොරොන්දු වන්නේ පණ ඇති සතුන්ට හිංසා පීඩා කිරීමෙන් වැළකීමයි. ජීවියෙකුට කවර හෝ අන්දමේ හිංසා පීඩාවක් නොවන අන්දමින් හැසිරීම, මෙයින් අදහස් කෙරෙයි. තමන්ගේ ජීවිතයට තමන් යම් තරමක් පි‍්‍රය කරන්නේ නම් අනුන්ගේ ජීවිත ගැන ද එසේ කල්පනා කිරීමට මෙයින් සිත යොමු කරවයි.

“අත්තානං උපමං කත්වා න හනෙය්‍ය න ඝාතයේ” තමන් උපමා කොට අනුනට හිංසා පීඩා නො කළ යුතු බව ඉන් ඉගැන්වෙයි.

එසේ උගන්වා ඇත්තේ් හිංසාවට ලක්වන සත්ත්වයාට පාඩුවක් අලාභයක් සිදුවන්නාක් මෙන් ම එය සිදු කරන්නාටද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වන බැවිනි.

ඔහුට මෙලොව දී පමණක් නොව පරලොවදීද අනන්ත දුක්වලට භාජනය වීමට සිදුවේ.දෙවැනි ශික්ෂා පදය සමාදන්වීමෙන් කරන්නේ නුදුන් දෙය ගැනීමෙන් වැළකීමයි.

තමන්ට අයිති යමක් යමෙකු පැහැර ගැනීම තමාට දුක් දොම්නස් දනවන සුළු වන්නේ යම් සේද අනුන්ගේ දේපළ පිළිබඳවද තත්ත්වය එසේම යයි සලකා අනුන්ගේ දේපොළ රැකදීමට පොරොන්දු වීම මෙයින් අදහස් කෙරෙයි.

තෙවැනි සිල් පදය සමාදන්වීම ලිංගික විෂමාචාරයෙන් වැළකී සිටීමට උගන්වයි.මෙමගින් ස්වකීය පසිඳුරන් පිනවීමෙහිලා අනුන්ගේ නිදහසට බාධා නොකළ යුතු බව උගන්වයි.

සිවුවැනි සිල්පදය පිය තෙපුල් පැවසීමට යොමු කරවන්නකි. “සම්මා වාචා” යනුවෙන්ද උගන්වන්නේ මෙයයි.බොරු කීමට වැඩි තරම් වෙනත් පාප කර්මයක් නැත. කථා කළ යුත්තේ සත්‍ය වචනයයි. මිහිරි වචනයයි. එසේ නොමැති නම් නිශ්ශබ්දතාවය ඉතා යහපත් ය.

මනස දුර්වල කිරීමට හේතු වන ද්‍රව හා ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමේ සිල් පදය සමාදන් වීම පස් වැන්නයි. මත් උවදුර මුළු ලෝකයටම බරපතළ තරජනයක් වී තිබේ. කලකට ඉහත මත් උවදුරට ගොදුරුවූයේ වැඩිහිටි පෙළයි.

ශීඝ්‍රයෙන් ළමා පෙළ ඒ කෙරෙහි ඇබ්බැහිවෙමින් පවතින බව පෙනේ. එබැවින් මෙම මත් උවදුර සමස්ත මානව සමාජයම වසා පැතිරී සිටින ඝන අඳුරු වලා පටලයක් වැන්න. එයින් දුරුවීම තමාට මෙන්ම මුළු සමාජයටද මහත් සැනසීමකි. සැදැහැවතාගේ තවත් විශේෂ ලක්ෂණයක් ලෙස “ බණ ඇසීමේ කැමැත්ත” පෙන්වා දිය හැකිය.

බණ ඇසීමට කැමැති වන්නේ බණ දහම් ගැන රුචියක් ඇති තැනැත්තාය. බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් කල් මුළුල්ලේ දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස දෙසු සුවාසු දහසක් ධර්මස්කන්ධය ධර්මය ලෙස සැලකෙයි.

දහම් ඇසීමක් නොමැති නම් බෞද්ධයා පින් දහම් කිරීමට නො පෙළඹෙයි.

ධර්මයට කැමති පුද්ගලයා දියුණු වන බවත් ධර්මයට අකැමැති වන තැනැත්තා පිරිහෙන බවත්, පරාභව සූත්‍රය ආරම්භයේ ම දක්වා තිබේ.

සැදැහැවතෙකු සතු අනෙක් ලක්ෂණය වන්නේ පරිත්‍යාගශීලිත්වයයි. මසුරුකම දුරුකිරීම ත්‍යාගශීලි බවේ ලක්ෂණයයි.මනුෂ්‍ය සන්තානය අපවිත්‍ර වන්නේ රාග, ද්වේශ, මෝහාදි අකුසල් නිසාය. එයින් ප්‍රධාන අකුසල මූලය තෘෂ්ණාවයි. තෘෂ්ණාව යටපත් කළ හැක්කේ පරිත්‍යාගයෙනි. එබැවින් පරිත්‍යාගය හෙවත් දන්දීම කෙරෙහි විවිධ කුසලකර්ම අතර මුල් තැන ලැබෙයි.

එබැවින් හැකි පමණින් පරිත්‍යාගය කෙරෙහි යොමු වී පස් පව් දස අකුසලයන්ගෙන් වැළකී ඉතා අපහසුවෙන් ලබා උපන් මෙම මනුෂ්‍ය ජීවිතය මෙලොව පරලොව වශයෙන් සාර්ථක කරගැනීම සඳහා සැවොම උනන්දු විය යුතුය.

තෙරුවන් සරණයි

රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති සහ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ අපවත් වී වදාළ අත්තුඩාවේ සිරි රාහුල මහා නා හිමියන් අපවත් වී 2013 .12.01 වනදාට දෙවසරක් සපිරේ 2006.01.13 වනදා බුදුසරණ පුවත්පතෙහි පළවූ මෙම ලිපිය උන්වහන්සේට උපහාර පිණිස නැවත පළකිරීමකි.