Print this Article


විද්‍යාලංකාර පිරිවෙනේ නොමැකෙන පිය සටහන්

විද්‍යාලංකාර පිරිවෙනේ නොමැකෙන පිය සටහන්

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ 138 වැනි සංවත්සරය අනුස්මරණය මෙම 03 වනදා ආරම්භ කැරේ.

මහනුවර සමයේ දී පහළ වූ වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන්ගෙන් ඇරඹුණු ධර්ම ශාස්ත්‍රීය සේවය සංඝ පරම්පරානුගතව ව්‍යාප්ත වූහ.

විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව 1875 නොවැම්බර් මස 01 දා පෑලියගොඩ දී ඇරැඹුණේ බෞද්ධ ජනතාවගේ දැඩි අවශ්‍යතාවක පැතුම් ඉටු කරමිනි.


ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමි

විද්‍යාලංකාර ප්‍රථම පරිවේනාධිපතීන් වහන්සේ වූ රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නාහිමියන් සතු වූ අපරිමිත ධර්ම ශාස්තී‍්‍රය ඥානය මෙහෙයවීමෙන් බොදු ජනතාවගේ පහන් සංවේගය උදෙසා කළ සේවය උදාරය. එබැවින් වැඩිකල් නොගොස් විශ්වකීර්තිය විද්‍යාලංකාර පිරිවෙන වෙත ගලා ආවේ ය.

විද්‍යාලංකාර පිරිවෙන පර්යේෂණ ආයතනයක් බවට පත්කිරීමේ ගෞරවය හිමිවනුයේ විද්‍යාලංකාර දෙවන පරිවෙනාධිපති රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් වෙතය. පත පොත ඇසුරෙන් තම විචාර බුද්ධිය හා විමංසන ඥානය දියුණු කරගත් උන්වහන්සේ කළ ධර්මශාස්ත්‍රීය සේවය ඉමහත් ය. සංස්කෘත බසින් ලියැවී අතුරුදන්ව පැවැති ජානකීහරණය සන්නයෙහි අඩු ලුහුඬුකම් සකසා ශ්ලෝක යළි ප්‍රබන්ධකර පාඨකයාට ලබාදීමෙන් එහිමියන් කළ ‘හාස්කම’ අගය කළ සර් රොබට් චාමස් ආණ්ඩුකාරවරයා ඉතා දුර්ලභ බෞද්ධ කෘති සැකසීමට උන්වහන්සේට භාර දුන්හ.

අධ්‍යාපනික මෙන්ම ගොඩනැඟිලි අංශයේ ද නව පිබිදීමක් ඇති කරමින් අගනා සේවයක් විද්‍යාලංකාර පිරිවෙනට කළ පාලි හා ත්‍රිපිටක විශාරදයකු වූ විද්‍යාලංකාර තෙවන පිරිවෙන්පති ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද නා හිමියන් කළ ධර්මශාස්ත්‍ර මෙහෙය ඉතා අගය කළ යුතු ය.

ලොවින් තුරන් වී ඇති බැව් සැලකුණු මොග්ගල්ලාන පංචිකාව වැනි උසස් ග්‍රන්ථය සොයා මනාව සකස් කළේ ද, උපාධි පරීක්‍ෂණ ක්‍රමය හඳුන්වා දුන්නේ ද උන්වහන්සේ විසිනි. ශ්‍රී ධම්මානන්ද නාහිමි යුගයේ දී මෙරට පමණක් නොව විදෙස් රාජ්‍යයන්හිද ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳ විශාල උනන්දුවක් ඇතිවිණ. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ දර්ශන මහාචාර්ය ශ්‍රී රාහුල සංකෘත්‍යායන පඬිවරයා උන්වහන්සේගේ සිසුවෙකි. ස්වශක්තියෙන් නැඟී සිටීමෙන් දක්‍ෂ විද්‍යාලංකාර සඟ පරපුර කිසි දින කිසිවෙකුට බරක් නොවූ ඉතා දුෂ්කර අවස්ථාවන්හි පවා අභීතව ප්‍රශ්නවලට මුහුණ දුන් පිරිසක් ලෙස ඉතිහාසගතය.

නැතිව ගිය බෞද්ධ අධ්‍යාපන ක්‍රමය යළි ඇතිකිරීම සඳහා රට පුරා පාසල් ඇරඹීමේ ක්‍රමය උන්වහන්සේලාගේ තවත් ජාතික සේවාවකි. ඒ අනුව බෞද්ධ දරුවන්ට ජාත්‍යන්තර දැනුම ලබා දීම සඳහා ධම්මානන්ද නාහිමියන්ගේ අනුග්‍රහයෙන් ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ඇරඹිණ.

1938 දී විද්‍යාලංකාර පිරිවෙන් ආදි කර්තෘ රත්මලානේ ධර්මාලෝක නාහිමියන්ගේ 50 වැනි ගුණසමරුව වෙනුවෙන් ඇරඹුණු එම විදුහලේ ප්‍රථම විදුහල්පතිවරයා වූයේ ප්‍රවීණ මාධ්‍යවේදී ඩී.බී. ධනපාලයන් ය. කළමනාකාර කටයුතු සහමුලින්ම ඉටු කළේ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක සූරීන් විසිනි.1947 දී විද්‍යාලංකාර පිරිවෙන් හි මූලිකත්වයෙන් කැලණියේ ගුරුකුල නමැති විද්‍යාලය ඇරඹිණ. මෙම පාසල් දෙකම අද ජාතික විද්‍යාල බවට උසස් වී ප්‍රදේශයට අමිල මෙහෙවරක යෙදෙයි. ‘විද්‍යාලංකාර පිරිවෙන’ නම ඇසෙන විටම අපට සිහියට නැගෙනුයේ එතුළින් පැන නැගුණ ජාතික හා ආගමික පෙරළියයි.

1849 දී එනම් යටත් විජිත යුගයේ දී ජනරාල් මේසි විසින් ඉන්දියාවේ දී සොයාගත් සර්වඥධාතූන් වහන්සේලා එංගලන්තයේ සිට මෙරටට වැඩමවා තැන්පත් කළේද විද්‍යාලංකාර පින් බිමේය.

මෙකල විදුලකර සඟසසුන බැබලවූ විද්වතුන් අතර ප්‍රමුඛයන් වූයේ කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නා හිමි, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නා හිමි, වාදීභසිංහ බැදිගම රතනපාල නා හිමි මාදෝවිට ශ්‍රී ඤාණානන්ද නා හිමි, මිරිස්සේ පඤ්ඤාසිරි හිමි, කිරින්දේ ධම්මානන්ද හිමි, කොටුවිල හේමාලෝක හිමි, හොරපාවිට හේමසිරි හිමි සහ බඹරැන්දේ සිරිසීවලී හිමි යනාදී කීර්තිධර සඟරුවනය.එමෙන්ම ආදි සිසු නායකයන් වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක හා ශ්‍රීමත් නිකල්ස් ආටිගල ආදී විද්වතුන්ද විද්‍යාලංකාර පිරිවන ලෝක පූජිත කිරීමට දායක වූහ.

විද්‍යාලංකාර පිරිවෙනේ පළමු උපාධි සම්මුති උත්සවය 1944 දී විදුලකර පිරිවෙන්පති ලුණුපොකුණේ ධම්මානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ධම්මානන්ද නාහිමිපාණන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවර කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියෝ විද්‍යාලංකාර පිරිවෙනේ සිව්වැනි පරිවෙනාධිපති ධූරයට පත් වූ අතර අනතුරුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති ධුරයට පත් වූහ.

ආගම චක්‍රවර්ති, සාහිත්‍යසූරි, ත්‍රිපිටක වාගිශ්වරාචාර්ය, උපාධ්‍යාය, පණ්ඩිත වැනි ගෞරව නාම වලින් හෙබි ප්‍රඥාසාර නාහිමියෝ කුසලතා ඥානයෙන් හා තත්වැසි නුවණින් යුතුව කටයුතු කරමින් ශිෂ්‍ය කටයුතු හා අධ්‍යාපන කටයුතු භාරව ක්‍රියා කළ ජනපි‍්‍රය සංඝපීතෘවරයෙකු ලෙස ප්‍රකට වූහ.

1956 දී ප්‍රඥාසාර නා හිමියෝ එතෙක් පැවති අධිරාජ්‍යවාදී ගැති ජාතිකපාලනය වෙනස්කිරීමේ විප්ලවීය ක්‍රියාදාමයට විද්‍යාලංකාරය මෙහෙයවමින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු නම් පංචමහා බලවේගයට නායකත්වය දුන්හ.

එම වසරේ මහජන රාජ්‍ය බිහිවීමත් සම¼ගම එතෙක් සිංහල උගතුන්ගේ මුදුන්මල්කඩ බවට පත්ව තිබූ විද්‍යාලංකාර මහ පිරිවෙන ජාතික විශ්වවිද්‍යාලයක් බවට පිළිගැනීමට රජය තීරණය කළේය. ඒ හා සමගාමීව විද්‍යෝදය මහ පිරිවෙන ද විශ්වවිද්‍යාලය තත්ත්වයට පත් කෙරිණ.

තම ගුරුමඟ යමින් පැරණි භාෂා ආගමික හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් නැවත සකස් කළ ප්‍රඥාසාර නාහිමියෝ පාලි හා සංස්කෘත භාෂා ග්‍රන්ථ රැසක් ටීකා සහිතව නව ව්‍යඛ්‍යානයන් සපයා පාඨකයා වෙත පිරිනැමූහ.ඊට අමතරව ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් ශාස්ත්‍රිය අනුවාද රැසක්ද දායද කළහ.

මෙම ශාස්ත්‍රීය මෙහෙයට අතදුන් යතිඳුන් අතර යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් සහ කොටහේනේ ප්‍රඥාකීර්ති හිමියෝද වූහ. මෙම යුගයේ පිරිවෙන් අධ්‍යක්‍ෂ ධුරය දැරුවේ යක්කඩුවේ ශ්‍රීප්‍රඥාරාම නාහිමියෝ ය.

අදිරදවාදි පාලනයෙන් හා ඉන් පසු මෙරට ධනවාදී සමාජයෙන් ජනතාවට විඳින්නට සිදු වූ දුක් ගැහැට, නොසැලකීම් හා ආර්ථික අහේනි මෙන්ම වසංගත රෝගාදී සෞඛ්‍ය ගැටලු කෙරෙහි සංවේදි වූ විදුලකර පිරිවෙන් නායකයෝ ඊට දීර්ඝ කාලීන විසඳුමක් පතමින් භික්‍ෂු දේශපාලන ව්‍යාපාරය ඇරඹූහ.

1956 සමාජ පෙරළියෙන් පසු විද්‍යාලංකාර පිරිවෙනට නිසි තැන ලබා දී ඔවුන් ජාතික සංවර්ධන ක්‍රියාදාමයට එකතුකර ගැනීමට පාලකයෝ නිහතමානී වූහ. විද්‍යාලංකාර පිරිවෙනට 75 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත් වූ ඓතිහාසික ත්‍රිපිටක මහා සංගීතියද අමතක කළ නොහේ. යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නා හිමි , වල්පොළ රාහුල හිමි, කුඩිරිප්පුවේ පඤ්ඤාසේකර හිමිවරු එහිලා වෙහෙස දැරූහ. විද්‍යාලංකාර පස්වන පරිවෙනාධිපතීන් වහන්සේ ලෙස යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමිපාණෝ ආගමික, සාහිත්‍ය, සංස්කෘතික, ශාස්ත්‍රිය අංශයන්ගෙන් පමණක් නොව දේශපාලනික වශයෙන්ද නායකත්වයක් දෙමින් ජනතාවාදී මහා සංග්‍රාමයට පූර්වාදර්ශයන් බවට විද්‍යාලංකාර පිරිවෙන පැමිණ වූහ.

ප්‍රඥාරාම නාහිමියෝ විද්‍යාලංකාර සමාජ මෙහෙවරෙහි අත්තිවාරම ලෙස විචාරකයෝ හඳුන්වන්නේ එබැවිනි. තුන්යම නිදිවරමින් ශිෂ්‍ය ප්‍රජාවගේ ආධ්‍යාත්මික දියුණුවත් සලසමින් සතුරු උවදුරු මර්දනය කරමින් විද්‍යාලංකාර සඟ පරපුරේ අනන්‍යතාවන් රැකදුන්හ. උන්වහන්සේ කළ භාෂා විප්ලවයද ඒ අතරින් ඉතා වැදගත්.

පූජ්‍ය පාද නාත්තණ්ඩියේ ප්‍රඥාකර නාහිමියෝ විද්‍යාලංකාර හයවන පරිවෙනාධිපතින් වහන්සේ වන අතර පිරිවෙන් හි ශාස්ත්‍රිය සේවාවනට හා ප්‍රගතිශීලී ක්‍රියාදාමයන්ට උරදුන් ස්වාමීන් වහන්සේ නමකි.

මෙවැනි උදාර තර යුග මෙහෙවරක යෙදුණු විද්‍යාලංකාර සඟ පරපුරේ වර්තමාන නියමුවාණන් වන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරන්දර කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා සද්ධම්මජෝතිකාධජ සාහිත්‍ය චක්‍රවර්ති පණ්ඩිත ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණෝ තම ගුරු පරපුර ගිය මඟ ගනිමින් අනූපමේය වූ ජාතික, ආගමික හා සමාජයීය සේවාවක් ඉටු කරති. විද්‍යාලංකාර වත්මන් දියුණුවේ මාර්ගෝපදේශකයන් වහන්සේද වත්මන් පරිවෙනාධිපති වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණන් වහන්සේ ය.