Print this Article


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 21 ධම්මික මහරහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 21

ධම්මික මහරහතන් වහන්සේ

බු ද්ධ ශාසනය හරිම පුදුමාකාරයි. දෙව් මිනිස් සත්වයන්ට පරිපූර්ණ පිවිතුරු ජීවිතයක් ඇතිකර ගැනීමේ භාග්‍යය බුදුරජාණන් වහන්සේ විසින් උදා කර දී තිබෙනවා. ජීවිතයක් අපිරිසුදු වන සියලු අකුසල් ප්‍රහාණය කොට ගෞතම බුදු සසුනේ නිකෙලෙස් භාගයට පත් වූ ධම්මික නම් උතුම් මහ රහතන් වහන්සේ ගැන අද අප සිත පහදවා ගනිමු.

ඒ මීට කල්ප තිස් එකකට පෙර යුගය යි. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු හැත්තෑ දහසක් වූ ඒ යුගයේ සිඛී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. එදින සිඛී බුදුරජාණන් වහන්සේ මහ වනය මැද දෙව් පිරිසක් අරභයා මිහිරි ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් වැඩ සිටියා. එකල මුව වැද්දෙකු ලෙස ධම්මික ස්වාමින්වහන්සේ ඉපිද සිටියා. මහා වනයේ මුවන් දඩයම් කිරීම පිණිස ගිය මුව වැද්දාට දෙවියන් පිරිවරාගෙන බබලමින් සිටින බුදුරජාණන් වහන්සේ දැක ගන්නට ලැබුණා. මේ උතුමාණන් වහන්සේ යහපත අයහපත හොඳ නරක පෙන්වා දෙමින් සැප සලසන දහමක් ඉතාම මිහිරි හඬින් දේශනා කරනවා නොවේද? යැයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බ්‍රහ්ම ස්වරයටත් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය කෙරෙහිත් සිත පහදවා ගත්තා.

ඒ චිත්ත ප්‍රසාදය නිසා සකස් වූ පිනෙන් මරණින් මතු දෙව්ලොව ඉපිද බොහෝ දිව්‍ය සැප වින්දා. බුද්ධ ශුන්‍ය යුගයක් ලෙස කල්ප තිස් එකක අති දීර්ඝ කාලයක් ගෙවී ගොස් මේ මහා භද්‍ර කල්පය උදා වුණා. මේ මහා භද්‍ර කල්පයේ කකුසඳ, කෝණාගමණ, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලා පහළ වී පිරිනිවන් පා වදාළා. ඒ බුදු සසුන් අතුරුදහන් වී ගියා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු එකසිය විස්සක් වූ යුගයේ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වනවිට හෙතෙමේ දෙව් ලොවින් චුත වී කොසොල් ජනපදයේ බමුණු පවුලක උපත ලැබුවා. ධම්මික යන නමින් හැඳින්වූ මේ තරුණයාට අනේපිඬු සිටුතුමාණන් විසින් සැවැත්නුවර ජේතවනාරාම විහාරය ඉදිකොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළ ඒ උතුම් පින්කම දැක ගන්නට ලැබුණා. බුද්ධ ශාසනය ගැන සිතේ ඇතිවුණ ශ්‍රද්ධාවෙන්ම ගිහි ජීවිතය අත්හැර දමා බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදි බව ලබා ගත්තා.

ඒ දිනවල අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ක්‍ධකූට පර්වතයේ වැඩ වාසය කළා. එකල ධම්මික ස්වාමින්වහන්සේ එක්තරා උපාසකයෙකු විසින් කරවා දුන් ආවාසයක වැඩ විසුවා. නමුත් ධම්මික ස්වාමින්වහන්සේ තමන් වහන්සේගේ ආවාසයට පැමිණෙන ආගන්කුක භික්ෂූන් වහන්සේලාට නිතර නිතර ආක්‍රෝෂ කළා. පරිභව කළා. උන්වහන්සේලා වෙහෙසට පත් කළා. වචන නම් වූ ආයුධ වලින් ආගන්තුක භික්ෂුන්ට පහර දුන්නා. එවිට ඒ කිසිදු ආගන්තුක භික්ෂුවක් එහි රැඳී සිටියේ නැහැ. ආවාසය හැර දමා බැහැරට වැඩම කළා.

මේ කාරණය ගැන ආවාසය කරවා දුන් උපාසකයාගේ සිතේ කණගාටුවක් ඇතිවුණා. තමා විසින් කොතෙකුත් ආගන්තුක භික්ෂූන්ට සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස යන සිවුපසයෙන් සංග්‍රහ කළද ටික දවසකින්ම උන්වහන්සේලා මේ ආවාසය අත්හැර දමා යන්නේ කුමන හේතුවක් නිසාදැයි විමසූ කල්හි ධම්මික ස්වාමින් වහන්සේගේ ඇනුම් බැනුම් හේතුකර ගෙන ආගන්තුක භික්ෂුන් එහි නො සිටින බව ඒ උපාසකයාට වැටහුණා. එයින් කෝපයට පත් වූ ඒ උපාසක පින්වතා භාග්‍යවතුන් වහන්සේ සොයා ගෙන ගියා. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු සැල කළා. බුදුරජාණන් වහන්සේ ධම්මික ස්වාමින් වහන්සේ ගෙන්වා එහි ඇත්ත නැත්ත විමසා සිටියා. ධම්මික ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ වරද වරදක් වශයෙන් පිළිගත්තා.

මොහු අන් අයට ආක්‍රෝෂ පරිභව කළේ මේ ජීවිතයේ පමණක් නොවේ. මෙය මොහුට අතීතයේත් සිදු වූ දෙයක් යැයි අතීත පුවතක් ගෙනහැර දක්වමින් රුක්ඛධම්ම ජාතකය බුදුරජාණන් වහන්සේ විසින් පවසා වදාළා. අනතුරුව ගාථා තුනකින් ධම්මික ස්වාමින් වහන්සේට අවවාද කළා. ඉතාමත් නුවණැති ධම්මික ස්වාමින්වහන්සේ බුදුරජාණන් වහන්සේ තමන් තුළ ඇති වැරදි පෙන්වා දෙද්දී ඒවා වැරදි වශයෙන්ම පිළිගත්තා. නිවැරදි වීම පිණිස සිත පිහිටුවා ගත්තා. බුදුරජාණන් වහන්සේ ගාථා වලින් කළ අවවාදය හොඳින් සිතට ගත්තා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේම ඒ අවවාද හේතු කරගෙන සියලු කෙලෙස් දුරු කළා. උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත්වී වදාළා.

තමන් වහන්සේ මේ බ්‍රහ්මචාරී ජීවිතයේ අර්ථය වූ උතුම් අරහත්නය ලැබූ බව ශාස්තෘන් වහන්සේට සැල කරමින් ධම්මික මහරහතන් වහන්සේද බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ගාථාවක් පවසා වදාළා. අනතුරුව අනෙක් භික්ෂුන්ට තමන් වහන්සේගේ අරහත් සුවය පෙන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ විසින් අවවාද කළ ගාථා තුනත්, තමන් වහන්සේගේ අරහත් බව හෙළි කළ ගාථාවත් යන මේ උතුම් ගාථා සතර දේශනා කළා.

ධම්මෝ භවේ රක්ඛිත ධම්මචාරී
ධම්මෝ සුචිණ්ණෝ සුඛමාවහාති
ඒසානිසංසෝ ධම්මෝ සුචිණ්ණෝ
න දුග්ගතිං ගච්ඡති ධම්මචාරි

ධර්මයේ හැසිරෙන කෙනා රැක ගන්න ධර්මයට පුළුවන්. යහපත් ලෙස රැස් කරගත් ධර්මය තමයි සැප ලබා දෙන්නෙ. යහපත් ලෙස ධර්මය රැස්වීමේ ආනිශංසය මේකයි. ධර්මයේ හැසිරෙන කෙනා දුගතියක යන්නෙ නැහැ.

න හි ධම්මෝ අධම්මෝ ච
උභෝ සම විපාකිනෝ
අධම්මෝ නිරයං නේති
ධම්මෝ පාපේති සුග්ගතිං

ධර්මයත්, අධර්මයත් යන දෙක විපාක වශයෙන් සමාන වෙන්නේ නැහැ. අධර්මයෙන් සත්ත්වයා නිරය කරා ගෙන යනවා. ධර්මයෙන් සත්ත්වයා සුගතිය කරා ගෙන යනවා.

තස්මාහි ධම්මේසු කරෙය්‍යං ඡන්දං
ඉති මෝදමානෝ සුගතේන තාදිනං
ධම්මේ ඨිතා සුගත වරස්ස සාවකා
නීයන්ති ධීරා සරණ වරග්ග ගාමිනෝ

එනිසා ධර්මයටමයි කැමැති වෙන්න ඕනේ. අකම්පිත සිත් ඇති සුගතයන් වහන්සේගේ ධර්මය ගැන සතුටු වෙන්න ඕනේ. සුගතයන් වහන්සේගේ ධර්මයේ පිහිටන ශ්‍රාවකයන්ට නුවණින් යුක්තව උතුම් සරණ ලබාගෙන නිවන කරා යන්ට පුළුවනි.

විප්ඵෝටිතෝ ගණ්ඩමූලෝ
තණ්හාජාලෝ සමූහතෝ
සෝ ඛීණසංසාරෝ න චත්ථි කිඤ්චනං
ඡන්දෝ යථා දෝසිනා පුණ්ණමාසියාති

කාමය කියන්නේ තුවාලයක් වගේ එකක්. ඒ කාමයේ මුල් ගලවල දැම්මා. තණ්හා දැල සිඳ බිඳ දැම්මා. ඔහුගේ සංසාරය දැන් ඉවරයි. දැන් ඔහු තණ්හා රහිත කෙනෙක්. පෝය දවසේ හැම දොස් රහිතව බබලන සඳක් වගේ.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ මේ කාමය කියන්නේ අල්ප ආශ්වාදයක් තිබෙන දෙයක්. බොහෝ දුක් තිබෙන දෙයක් කියලයි. නමුත් සාමාන්‍ය ජනයා පි‍්‍රයමනාප රූප වලින් ඇස් පිනවීම, පි‍්‍රයමනාප ශබ්දවලින් කණ් පිනවීම, මිහිරි සුවඳින් නාසය පිනවීම, ප්‍රණීත රසයෙන් දිව පිනවීම, පි‍්‍රය මනාප පහසින් කය පිනවීම උදෙසාම අව් වැසි නො බලා, ලෙඩ දුක් නො බලා වෙහෙසෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ (න තේ කාමායානි චිත්‍රානි ලෝකේ) කාමය කියලා කියන්නේ මේ ලෝකයේ තිබෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට නොවේ. ඒවා පංචකාම ගුණයි. (සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ) ඒ පංචකාම ගුණයන් කෙරෙහි යම් කැමැත්තක් ඇද්ද? යම් ඇල්මක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද ඒකට තමා කාමය කියන්නේ.

නුවණැති පුරුෂයන් විසින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ කරුණු ගැන තේරුම් අරගෙන මේ සියලු පංචකාමයන් විඳිමින් ගත කරන ගෘහ ජීවිතය අත්හැර දානවා. ධම්මික ස්වාමින් වහන්සේත් ඒ ගෘහ ජීවිතය අත්හැරියා. නමුත් පැවිද්දෙකුට තෘෂ්ණාව ඇතිවන දේවලුත් තියෙනවා. සිවුරු ගැන, පිණ්ඩපාතය ගැන, ආවාසය ගැන, දායකකාරකාදීන් ගැන භික්ෂුවකට ඇල්ම ඇති වෙනවා. ධම්මික ස්වාමින් වහන්සේත් තමන් වහන්සේගේ ආවාසයට ඇලුම් කළා. දායක උපාසක පින්වතාගේ සැලකිල්ලට ඇලුම් කළා. ඒ නිසාම බුදු සසුනේ ධර්මයේ හැසිරීම ප්‍රමාද වුණා.

නමුත් දෙවි මිනිසුන්ගේ අසහාය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ වූ බුදුරජාණන් වහන්සේ විසින් සැඟවී තිබෙන නිධානයක් පෙන්වලා දෙනවා වගේ ධම්මික ස්වාමින් වහන්සේට හඳුනා ගැනීමට නොහැකි වුණ තමන් තුළ තිබුණු වැරදි අකුසල් පෙන්වා දී වදාළා. සසරේ කළ පින් නිසා මහා බුද්ධියකින් මෝරා සිටි ධම්මික ස්වාමින් වහන්සේට ඒ වැරදි දැන ගෙන නිවැරදි වීමේ වාසනාව ලැබුණා. ඕනෑම කෙනෙකුට තමන් තුළ තිබෙන වැරදි හඳුනාගෙන නිවැරදි වීමේ භාග්‍යය බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවා වදාළ මේ ගෞතම බුදුසසුන තුළ තිබෙනවා.

එබඳු කෙනෙකුට පුන් පොහෝ දිනයේ වළාකුලින් මිදී දොස් රහිතව බබලන පුන් සඳක් වගේ තමන්ගේ ජිවිතය ආලෝකමත් කරගෙන ලෝකයම එළිය කිරීමේ භාග්‍යය උදා වෙනවා. රහතන් වහන්සේලා කියන්නේ ඒ අයුරින් තමන් බබලවාගෙන, ලෝකයාටත් ආලෝකයක් වූ ආශ්ර්යවත් පිරිසක්. අපත් ඒ උතුම් මහ රහතන් වහන්සේලා ගැන සිත පහදවා ගනිමු. මහ රහතුන්නම් වූ තරු කැට අතරේ බැබලුණු පිරිපුන් සඳක් බඳු ලොවම එළිය කරන සූර්යා ලෝකය බඳු ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන අප සිත පහදවා ගනිමු.

සටහන: නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 20 චන්දන මහ රහතන් වහන්සේ