|
|
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ ඉල් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ දෙසැම්බර් 02 වනදා සඳුදා |
|||
චතුරාර්ය සත්‍යය පිළිබඳ කුඩා පොත් කීපයක් ඇතත් මෙතරම් ලිහිල් ලෙසත් විස්තරවත් එය දැක්වුණු මෙතරම් මහත් ග්‍රන්ථයක් මේතාක් හෙළබසින් පළ වී නැත. නූගතුන්ට පමණක් නොව උගතුන්ටද හස්තසාර වස්තුවක් වූ මේ චතුරාර්ය සත්‍ය විභාගය එයටම සුදුසු සමතා අතින්, ලක්දිව අද්විතීය ධර්මධරයෙකු අතින් ලියැවීම ධර්මඥානය පතන හෙළයන්ගේ භාග්‍යයකි. ග්‍රන්ථ කර්තෘ වූ අභිධම්මික රේරුකානේ චන්දවිමල තෙරපාණන් වහන්සේ සෑම දෙනාගේම නොවක් පැසසුමට බඳුන්හ. එයින් කියවෙන්නේ එතෙක් චතුරාර්ය සත්‍යය වැනි නිර්වාණගාමී ප්‍රතිපදාවක් සහිත ගැඹුරු ධර්මයක් පිළිබඳව ලියවුණු වෙනත් පොතක් නො මැති බවත් ය. මෙවන්නක් ලියන්නට සුදුසුකම් ඇති වෙනත් සමතකු නොමැති බවත් ය. ආනන්ද මෛත්‍රෙය නා හිමි වැනි සුවිශේෂී භික්‍ෂූන් වහන්සේ කෙනකු විසින් අද්විතීය ධර්මධරයකු වැනි ආත්මීය ගෞරව නාමයකින් හැඳින්වීමෙන් හැඟෙන්නෙ රේරුකානේ මා හිමියන්ගේ ධාර්මික ජීවිතයේ ඇති විශිෂ්ට ගුණයය. රේරුකානේ චන්දවිමල මා හිමියන් මෙසේ ලියන ලද සුවිශේෂී වූ දහම් පොත් පෙළ නිසා තවත් බොහෝ ගිහි මිනිසුන්ගේ මෙන්ම භික්‍ෂු ජීවිතවලට ද ලැබුණේ ආලෝකයකි. රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ අවසාන කාලයේ උන්වහන්සේගේ උපස්ථායක ලෙස කටයුතු කළේ කිරිඔරුවේ ධම්මානන්ද නමැති භික්‍ෂූන් වහන්සේ ය. ධම්මානන්ද හිමියන් භික්‍ෂු ශාසනයට ඇතුල් වූයේ ද රේරුකානේ මා හිමියන්ගේ දහම්පොත් කියැවීමෙන් බුදු දහම පිළිබඳව මනා පැහැදීමක් ඇතිවීමෙනි. එවකට රේරුකානේ චන්දවිමල මා හිමියන් ඇසට නො දැක තිබුණ ද ගිහි කල ගුරුවරයකු වූ කිරිඔරුවේ ධම්මානන්ද හිමියන්ට මහණ වීමට අදහස පහළ වූණේ රේරුකානේ මා හිමි විසින් ලියන ලද පැවිදි දිවිය පිළිබඳ කරුණු සහිත ‘ශාසනාව තරණය’ කියැවීමෙන් පසුව ය. සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. කිරිඔරුවේ ධම්මානන්ද හිමියන්ට මෙම පින පාදා දුන්නේ රේරුකානේ මා හිමියන් අතින් ලියැවුණ පොත් හි බලය විසිනි. කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් රේරුකානේ මා හිමියන්ට උපස්ථාන කිරීමට පෙලඹෙන්නේ ද තමාට කළ උපකාරයට මහා නා හිමියන් වෙත කරන කෘතගුණ සැලකීමක් වශයෙනි. මෙසේ කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් මහණ වන්නේ වෙනත් භික්‍ෂූන් වහන්සේ නමක් යටතේ ය. එහෙත් 1980 ඔක්තෝබර් මාසයේ දී ධම්මානන්ද හිමියන් ශ්වේජින් නිකායට ඇතුළත් වෙමින් සහ රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස පොකුණුවිට විනයාලංකාරාමය සීමා මාලකයේ දී උපසම්පදාව ලබා ගනියි. වසර 17 ක් පමණ කාලයක් රේරුකානේ චන්දවිමල මා හිමිපාණන් වහන්සේගේ උපස්ථායකයා බවට පත්වීමෙන් මා හිමියන් වහන්සේ සමීපයේ හිඳින්නට හැකිවීම නිසා මාහිමිපාණන් වහන්සේගේ ඇවැතුම් පැවතුම් පිළිබඳව කිරිඔරුවේ ධම්මානන්ද හිමියන්ට ඉතා හොඳ අවබෝධයක් ලැබෙයි. ධම්මානන්ද හිමියන් පවසන්නේ “මහා නා හිමියන් තියුණු නුවණකින් යුක්ත වූ බවයි. එසේම ඕනෑම සියුම් ගැඹුරු කාරණයක් පිළිබඳව විනිවිද යන නුවණක් උන්වහන්සේට තිබුණි. විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් පවා සමහර කරුණු ගැන මහා නායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කරන විට උන්වහන්සේගේ දැනීම පිළිබඳව මවිතයට පත්වූහ. උන්වහන්සේ පුදුම ධාරණ ශක්තියකින් යුක්ත වූහ. යමක් එක් වරක් කියවූ පමණින් මතක සිටින ස්වභාවයක් පැවතුණි. අනූපස්වියේ දී පවා ඒ ධාරණ ශක්තිය උන්වහන්සේ තුළින් විද්‍යාමාන විය.” රේරුකානේ හිමියන්ගේ දැනුම සහ ධාරණ ශක්තිය පිළිබඳ ධම්මානන්ද හිමියන් එසේ ප්‍රකාශ කරති. තවත් කොටසක් දෙසැම්බර් 09 වන දා පත්‍රයේ පළවේ රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 10 සම්මෝහය දුරු කළ පොත් පෙළ |
||||
|
©
2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම |
||||