Print this Article


පාරමී දම් පුරන නිවසේ පින්කෙත

පාරමී දම් පුරන නිවසේ පින්කෙත

සමහර දරුවන් ඉන්නවා මවුපියනට වචනයෙන් විශාල ලෙස වේදනා ගෙන දෙනවා. කෲර ලෙස බැන වදිනවා. අම්මා තාත්තා සමඟ එකටඑක කියනවා. එහෙම අවස්ථාවක ඔවුන්ගේ සිතට විශාල දුකක් ඇතිවෙනවා. ඔබ නිසාම මවුපියන්ගේ දෑස් වලින් යම් දිනක කඳුළු කැට පිටවුණොත් ඒක විශාල පාපයක්. කඳුළු කැට ගණනට ජීවිතයේ වන්දි ගෙවන්නට සිදුවේවි. සසර දුක් විඳින්ටත් ඒ පව හේතු වෙනවා.  මවුපියන්ගේ හිතට ගින්දරක් මොනයම් අයුරින්වත් දෙන්න එපා

මාතාපිතූ උපට්ඨානං - පුත්ත දාරස්ස සංගහෝ
අනාකුලාච කම්මන්තා - ඒතං මංගල මුත්තමන්ති

මහා මංගල සූත්‍රයේ සඳහන් වන මෙම ගාථාව මවුපියන් ගැන කියවෙනවා. මවට සහ පියාට බුදුරජාණන් වහන්සේ හඳුන්වා දී තිබෙන්නේ මහා බ්‍රහ්මයෝ ලෙස. සමහර විට ගෙදර බුදුන් ලෙසත් මවුපියෝ හඳුන්වනවා. ගෙදර බුදුන් ලෙස හැඳින්වූවාට මවුපියන් බුදුවෙලා නැහැ.

අප දන්නවා බෝසත්වරු බුදුවීමට පෙර පාරමිතා පිරුවා. උන්වහන්සේ පාරමිතා තිහක් පිරුවා. ඒ වගේම අපේ මවුපියොත් පාරමිතා පුරනවා. ඒ ගෙදර බුදුන්වීමට සඳහා පමණයි. මවුපියන්ටත් ‘ආහුන්‍යෙය’ කියන ගුණය තිබෙනවා. ඒ තමා දුර සිට යමක් ගෙනවිත් පූජා කිරීමට සුදුසු වෙනවා. ඒ වගේම මේ ගුණය තිබෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේට, පසේබුදුන් වහන්සේට, රහතන් වහන්සේලාට හා ආර්ය මහා සංඝරත්නයට. නමුත් මවුපියන් ආහුන්‍යෙය ගුණයෙන් යුතු වන්නේ ඒ පුද සත්කාරය ලැබීමට සුදුසු වන්නේ දරුවන් තුළින්. සිංහල අවුරුදු කාලයට දරුවෝ එක එක පැතිවල ඉඳල මහගෙදරට එනවා. දරුවෝ තෑගිබෝග, කෑම බීම අරගෙන එනවා. ඔවුන්ට ඒ පූජාවෙන් මහත් පිනක් රැස්වෙනවා.

මේ ලෝකයේ අපට ඉන්න කල්‍යාණ මිත්‍රයෝ අතර අප ළඟින්ම ඉන්නේ මවුපියන්. බෝසතාණන් වහන්සේ බුදුවීමට පාරමිතා පිරුවා. ඒ වගේම අප සියලු දෙනාගේම මවුපියන් ද පාරමිතා පුරනවා. බෝසතාණන් වහන්සේ 1.දාන පාරමිතාව, 2. දාන උප පාරමිතාව, 3. දාන පරමත්ත පාරමිතාව සම්පූර්ණ කළා. දාන පාරමිතාවට අයත් වන්නේ තමාගේ ශරීරය තුළ තිබෙන අවයවයි. (ඇස්, ඉස්, මස්, ලේ ආදිය) දාන උප පාරමිතාව වන්නේ ශරීරයෙහි පිට තිබෙන දේයි (කෑමබීම, මිල මුදල්, වතුපිටි ආදිය) දාන පරමිත්ත පාරමිතාවට අයත් වන්නේ මුළු ශරීරයම දන් දීමයි. මේ පාරමිතා බෝසතාණන් වහන්සේ පිරුවේ බුදුවීමට. ඒ වගේම අපගේ මවුපියන් ද මේ පාරමිතා තුනම පුරමින් ඉන්නේ.

අපේ අම්මා ශරීරයේ තිබෙන ලේ කිරි කරලා අපට පෙව්වා. දරුවෙක් අසනීප වූ විට ලේ අවශ්‍ය යැයි වෛද්‍යවරුන් කීවොත් දෙපාරක් නො හිතාම මවුපියන් ලේ දෙන්න කැමැති වෙනවා. ඒ වගේ දාන උප පාරමිතාවට අයිති දේත් දන් දෙනවා. ආහාරපාන, ඇඳුම් පැළඳුම්, ඉඩකඩම් පවරා දෙනවා. ගෙවල් දොරවල් හදලා දෙනවා. ඒ හැම දේටම පසුබට නොවී මවුපියන් ඉදිරිපත් වෙනවා. ඒ වගේම දාන පරමත්ත පාරමිතාව ලෙස අපේ මවුපියන් ජීවිතය වුණත් දරුවන් වෙනුවෙන් දන් දීමට සූදානමින් ඉන්නේ. සමහර දරුවන් මෝඩකමට හෝ මවුපියන්ගෙන් අසනවා අපට මොනවද කර තිබෙන්නේ කියලා. මවුපියන් කළ පරිත්‍යාග දරුවන්ට කිවුවොත් දින ගණනක් කියන්න පුළුවන්. කටට ආ පලියට හිතට ආ පලියට අම්මගෙන් තාත්තාගෙන් එවැනි දේවල් අහන්න නරකයි. ඒ දෙන්නා බොහෝ දුක් විඳලයි අප මේ තත්ත්වයට ගෙනාවේ. අම්මයි, තාත්තායි දරුවන් මේ විදිහට පාරමිතා පුරලා නැද්ද?. තිබෙනවා. එනිසයි කියන්නේ ගෙදර බුදුන් කියලා. දරුවන් වෙනුවෙන් ඒ පාරමිතා පුරන්නේ. දරුවන්ගේ යහපත වෙනුවෙන්.

අපේ සමහර දරුවන් ඉන්නවා මවුපියනට වචනයෙන් විශාල ලෙස වේදනා ගෙන දෙනවා. කෲර ලෙස බැන වදිනවා. අම්මා තාත්තා සමඟ එකටඑක කියනවා. එහෙම අවස්ථාවක ඔවුන්ගේ සිතට විශාල දුකක් ඇතිවෙනවා. ඒක පාපයක්. ඔබ නිසාම මවුපියන්ගේ දෑස් වලින් යම් දිනකට කඳුළු කැට පිටවුණොත් එක විශාල පාපයක්. කඳුළු කැට ගාණට ජීවිතයේ වන්දි ගෙවන්නට සිදුවේවි. සසර දුක් විඳින්ටත් ඒ පව හේතු වෙනවා. මවුපියන්ගේ හිතට ගින්දරක් මොනයම් අයුරින්වක් දෙන්න එපා. මවුපියන් කැමැති විදිහට හැදෙන දූ දරුවන්ට විශාල පිනක් රැස් වෙනවා. ඒ ඔවුන්ගේ සිත් සතුටු කරන නිසා. දේවාල ගානේ් දෙවියන් වැඳීමට පෙර ළඟ සිටින මවුපියන් වැඳීම දරුවන්ගේ යුතුකමක්.

යොවුන් වියේ සිටින සමහර දරුවන් සිටිනවා අතරමඟදී මුණ ගැසුනු යෙහෙළියන් හෝ යහළුවන් නිසා ඒ අය කියන දේ පිළිඅරගෙන මව්පියන්ට අකීකරු වෙනවා. ඔවුන්ගේ සිතට දුකක් ඇතිවුවොත් දරුවනේ එය ඔබට පාපයක්ම වෙනවා. ඒ පාපය ඔබේ සෙවනැල්ල වගේ ඔබ පසුපසින්ම ඇවිත් ඉඩ ලද විටක විපාක දෙනවාම යි. එදාට පසුතැවීමට සිදුවෙනවා. අතරමැද හමුවූ යහළුවනට තැන දෙන්න එපා. යහළුවන් යෙහෙළියන් ඔබ අතරට ළංවෙන්නේ ඔබව මවුපියන් උස්මහත් කළ නිසයි. එනිසා නව යෞවුන් ජීවිතය ගතකරන දුවලා, පුතාලාගේ හිතේ ආශාව වැඩි නිසා හිත නොමඟ යනවා. නොයෙක් නොයෙක් ලස්සන හීන ලෝක දකිනවා. ඒ ලස්සනට පෙනෙන ලෝකය ගොඩ නගා ගන්නට ඔබේ අම්මාටයි තාත්තටයි දුක් දෙන්න එපා.

අද ජීවත්වන බොහෝ දරුවන්ට මේ ගැන අවබෝධයක් නැහැ. කිසිම දිනක අප පසුතැවෙන තීරණ ගන්න හොඳ නැහැ. දුරදිග නොබලා ගන්නා තීරණවලින් දුක් විඳින්නේ තමන් විතරක් නොවේ. අහිංසක මවුපියන්ද දුක් විඳිනවා.

ඒ වගේම අප දන්නවා බොහෝ දරුවන් නොයෙක් නොයෙක් කරුණු නිසා මවුපියන්ට නො සලකා හරිනවා. පොඩි දේටත් බනිනවා. අම්මා තාත්තා හොඳ නරක කියා දුන් විට ‘අපට අපේ වැඩ කරගන්න ඉඩ දෙන්න’ කියා ඔවුන්ගේ අවවාද නො සලකා හරිනවා. වැඩිහිටි නිවාස වලට ගාල් කරනවා. වැඩිහිටි නිවාස වල වැඩිපුරම සිටින අම්මා හෝ තාත්තා අපේම අය වීමද ඉතාමත් කණගාටුවට කරුණක් වෙනවා. බෞද්ධයා යන්නෙහි සරල වචනය බුද්ධිමතා යන්නයි. බුද්ධිමතුන් බිහිකිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශයට කළහැකි දෙයක් නොවේ. දරුවන්ට පන්සල, දහම් පාසල පි‍්‍රය උපදවන තැනක් කිරීමට මවුපියන් වගබලා ගතයුතු වන්නේ එ නිසයි.

වයසට යන මවුපියන් ලෙස නො බලන දරුවන් ඔවුන් මැරුනට පස්සේ ලෝක මානයට මහ ඉහළින් මළ ගෙදර කරනවා. බොහෝ සැරසිලි කරනවා. නමුත් ඔවුන් ජීවත්ව සිටියදී බොහෝ වද දීලා දුක්දීලා මියගිය දවසට ගම පුරා කොඩිවැල් එල්ලා බැනර් ගහනවා. එදාට දරුවන්ගේ ඇස් ඇරෙනවා. ඉන්නකම් නොකළ ඒ සැලකිල්ල මිය ගිය දිනයේ මොකටද? මිල මුදල් වලින් කොතරම් දියුණු වුවත් වැඩක් නැහැ දරුවන් මිනිස්කම තුළින් දියුණුවක් ලබන්නේ නැත්නම්.

මෙහිදී මවුපියන්ට ඉටු කරන්න වැඩ කොසටක් තිබෙනවා. ඒ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා වගේම පොඩි කාලේ සිටම දරුවන්ටම ගුණධර්ම හොඳින් පුරුදු කිරීම. මවුපියන්ට ගෞරව කරන්න, සලකන්න, එකටෙක නො කියන්න, වැඩිහිටියන් කියන දේට සවන් දෙන්න. මේ ආදී දේ දරුවන්ට මුලින් කියා දිය යුත්තේ නිවසින්. එසේ හැදෙන දරුවන්ට මේ ජීවිතයේ දී බොහෝ පින් රැස් වෙනවා. පරලොව ජීවිතය සුගතිගාමි වෙනවා. මවුපියන්ට නො සලකන පුද්ගලයා වසලයා ලෙසයි භාග්‍යවතුන් වහන්සේ හඳුන්වා දුන්නේ.

හොඳට කාබී වසන රිසි සේ
දරුවෝ පමණක් සිටිති සුවසේ
දිරන මවුපියෝ වසති දුකසේ
මොවුන් වසලයි දනුව මෙලෙසේ

එනිසා මවුපියන්ගේ වටිනාකම හඳුනාගත් දරුවන් අද අප සමාජයට වැඩි වැඩියෙන් අවශ්‍යව තිබෙන බවයි අපට හැඟෙන්නේ.

සටහන: නයනා නිල්මිණි


මව්පිය සෙනෙහසක මහිමය - 5 වන කො‍ටස අධ්‍යාත්මික සුවය ලබාදෙන ශ්‍රද්ධාව සහ ප්‍රඥාව