Print this Article


සුමඟට යොමු කරවන මනහර දම් දෙසුම ලෝ වැඩ සඟරාව

සුමඟට යොමු කරවන මනහර දම් දෙසුම ලෝ වැඩ සඟරාව

පැරණි සාහිත්‍යකරුවා නිර්මාණ කරන ලද්දේ උදර පෝෂණය සඳහා නොව සමාජ ශෝධනය සඳහාම ය. ඒ නිසාම ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහි විය. එම ශ්‍රේෂ්ඨ නිර්මාණ අතර ලෝවැඩ සඟරාව, සුභාෂිතය, ලෝකෝපකාරය යන පොත් උපදේශාත්මක කාව්‍යයන් ලෙස කාගේත් ගෞරවයට ලක් විය. සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වූ කෝට්ටේ යුගයේ දී වීදාගම මහා මෛත්‍රිය හිමිපාණන් විසින් රචිත ලෝ වැඩ සඟරාව දහම් කරුණින් පිරිපුන් බෞද්ධයන්ට අනගි දහම් පොතක් ලෙස සැලකේ

බුදු දහමින් පෝෂණය වූ අති ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකික සංස්කෘතිය පිළිබඳව බිඳක් ශ්‍රී ලංකාවේ වසර 16ක් සිරකරුවෙකු වශයෙන් සිටි රොබට් නොක්ස් ‘එදා හෙළදිව‘ නම් ඔහුගේ කෘතියෙහි දක්වා ඇත. මෙරට බොහෝ දෙනෙකු ගවමස් අනුභව නො කරන, මත් වතුර පිළිකුල් කරන පිරිස් බව ඔහු විසින් දක්වා ඇත. එහෙත් අද ඔහු මෙරටට පැමිණියහොත් තම ප්‍රකාශය පිළබඳව මහත් ලජ්ජාවකට පත්වනු ඇත.

රොබට් නොක්ස් හෙළි කරන සමාජයක් අදට දශක හය හතකට පෙරදී පැවති බව අපගේ මතකයට හැ‍ෙග්. ගමේ විහාරස්ථානය මුල්කොට සකස් වූ සමාජයක් පැවති එකල පාසල් සිසුන් දුසිරිතට යොමු කරන සාධක නොතිබුන බවද සුවිශේෂී ලක්‍ෂණයකි. සවස් කාලයේ දී ගමේ විහාරස්ථානයට ගොස් බුද්ධ ගජ්ජය, සකස්කඩ ආදී පොත් කියවීම සෑම ගමේ දරුවකුගේම දෛනික කාලසටහනේ එක් අංගයක් විය.

පාසලේ දී ලෝවැඩ සඟරාව, සුභාෂිතය, වැනි පොත් කියවීම අනිවාර්ය විය. එම පොත්වල කවි කටපාඩම් කොට කියවිය යුතු ය. ඒවායේ අර්ථය කිව යුතු ය. කවි කටපාඩමින් කියවීමේ හැකියාව පමණක් නොව එම පොත් වලින් දෙන උපදෙස් ජීවිතයට සම්බන්ධ කර ගනිමින් චරිත සංවර්ධනය සඳහා ද එමඟින් මහත් පිටිවහලක් ලැබිණි. දුසිරිතට යොමු නොවූ සුචරිතවත් සමාජයක් ඇති විය.

පැරණි සාහිත්‍යකරුවා නිර්මාණ කරන ලද්දේ උදර පෝෂණය සඳහා නොව සමාජ ශෝධනය සඳහාම ය. ඒ නිසාම ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහි විය. එම ශ්‍රේෂ්ඨ නිර්මාණ අතර ලෝවැඩ සඟරාව, සුභාෂිතය, ලෝකෝපකාරය යන පොත් උපදේශාත්මක කාව්‍යයන් ලෙස කාගේත් ගෞරවයට ලක් විය.

සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වූ කෝට්ටේ යුගයේ දී වීදාගම මහා මෛත්‍රිය හිමිපාණන් විසින් රචිත ලෝ වැඩ සඟරාව දහම් කරුණින් පිරිපුන් බෞද්ධයන්ට අනගි දහම් පොතක් ලෙස සැලකේ. ග්‍රන්ථය ආරම්භයේ දී ම එවැනි දහම් පොතක් ලිවීමට හේතු වූ කරුණු මෙසේ පැහැදිලි කර ඇත.

මනරම් නරදම් සැරිදම් සඟනට
මෙලෙසින් බැතියෙන් අදරින් නමකොට
වෙසෙසින් පෙළදම් නොමදත් දනහට
පවසම් කළකම් පල දන් හෙළුකොට

ජනයා සුමඟට යොමු කිරීම සඳහා ඉවහල් වන පාලි භාෂාවෙන් ඇති ධර්ම කරුණු සරල ලෙස සිංහල භාෂාවෙන් කියන බවයි කතු හිමියන් පවසන්නේ. පාලි භාෂාව නො වැටහෙන ජනයාට කළා වූ කුසලාකුසල කර්මයන් අනුව යහපත් හා අයහපත් විපාක ලැබෙන බව පැහැදිලි කොට සුමඟට යොමු කිරීමයි අරමුණ වී ඇත්තේ. එතැන් සිට කුසලාකුසල කර්ම පිළිබඳ විස්තර කරයි.

දහමට සරිකොට එළුවෙන් පෙරකී
කවියට සිත පහදා සිට නිසැකී
සිහිකොට කඳ පිළිවෙල දොස් නොයෙකී
නිවනට සපැමිණි සඟ සැට නමෙකී

අතීතයේ ශ්‍රී ලංකාවේ ගෙවිලියන් පිරිසක් විසින් ගායනා කරන ලද ධර්ම කරුණු ඇතුළත් කවියක් අසා ඒ පිළිබඳ සිත යොමු කොට භික්‍ෂූන් වහන්සේලා 60 නමක් රහත් වූ බව එම කවියෙන් කියැවෙයි. එබැවින් කවියෙන් කියන මේ දහම් කරුණු ද ශ්‍රවණය කොට සඟමොක් සුව ලබා ගන්නා ලෙස කරුණු ලබන ආරාධනයකි.

කතු හිමියන් වහන්සේ මුලින්ම සත්වයන්ට පින් නො කළ හැකි කාල 8 ක් ඇති බව සඳහන් කරයි. ධර්මයේ මේවා ‘දුෂ්ට ක්ෂණ’ ලෙස ද හඳුන්වයි. ඒ තැන්වල උපත ලදහොත් සසර කෙටි කර ගැනීමට ඉවහල් වන පින්කම් කිරීමට අපහසු වෙයි.

සිතුවත් බිය කරවන අරතරයේ
වැටුනොත් එක්සිය සතිසක් නිරයේ
බලවත් දුක් විඳි නෙය කරදරයේ
මඳකුත් පිනකට නැත අවසරයේ

බලවත් අකුසල කර්මවල අයහපත් විපාක වශයෙන් සත්වයින් උපත ලබන සතර අපායෙන් එකක් වූ නිරයේ ප්‍රධාන 8 ක් හා ශාඛා නිර 128 කි. සංජීව, කාල සූත්‍ර, සංඝාත, රෞරව, මහා රෞරව, තාප මහා ප්‍රතාප, හා අවීචිය යන මහා නිරයන් අටටම එක් නිරයකට 16 බැගින් ශාඛා නිර 128 කි. ඒවායේ ආයුෂ කල්ප ගණනින් වෙයි. එබැවින් අනන්ත දුක් විඳිමින් එම නිරයවල සිටියදී පින් කිරීමට නො හැකි වෙයි.

උපනත් පේතව පව්කොට නොපණත්
කලෙකත් නො ලැබෙයි සෙම්සෙටු පමණත්
උගුරත් නො තෙමෙයි සුරගඟ වැටුනත්
මඳකුත් පින් නො කළැකිමැයි සිතුනත්

ප්‍රේත ලෝකයේ උපත ලැබූ අයට සෙම් සොටු පමණකුත් නො ලැබෙයි. අනන්ත කාලයක් දුක් විඳිනුමිස පින්කර ගැනීමට කාලයක් නො ලැබෙයි.

මේ ආකාරයෙන් අප ජීවත් වන සක්වලින් පිට සක්වලක ඉපදීම, අඳ, ගොළු, බිහිරිව ඉපදීම, කල්ප ගණන් ආයුෂ ඇති රූපාවචර හා අරූපාවචර බ්‍රහ්මලෝකවල ඉපදීම, මිථ්‍යා දෘෂ්ටිකව ඉපදීම, අබුද්ධෝත්පාද කාලයක ඉපදීම, යන කාල හා තැන් පින් කර ගැනීමට නොහැකි අවස්ථාවන් ය. පින් කර ගැනීමට නොහැකි වුවහොත් සසර සැරිසරන අතරේ දී අනන්ත දුක් විඳීමට සිදුවේ.

පින් කළ හැකිවන්නේ මිනිස් අත් බවක් ලැබීමෙනි. මිනිස් අත් බවක් ලැබීම ද දුෂ්කර වේ. එය ධර්මයේ සඳහන් වන ආකාරයට ම කවියෙන් දක්වා ඇත.

දිගු පුළුලින් සක්වළවන් සිඳු කුස
සිය වසකින් උඩ එන කැස්බා හිස
විය සිදුරෙන් නැගෙතත් දුගතිය බැස
තව උපදින් නට බැරි මේමිනිස් කුස

දිගින් පළලින් චක්‍රාවාටය තරම් විශාල මහා සාගරයේ පාවෙමින් යන විය ගසක් (කරත්තවල ගොනුන් බඳින ලීයක්) සිදුර තුළින් සාගරය තුළ ජීවත් වන වසර 100 කට වරක් උඩට එන එක් ඇසක් අන්ධ වූ කැස්බෑවෙකු අහස දෙස බැලීම ඉතාම දුෂ්කර කාර්යයකි. මිනිස් අත් බවෙක ඉපදීම ඊටත් වඩා දුෂ්කර වේ.

බුද්ධෝත්පාද කාලයක් ලබන්නේ ද ඉතාම කලාතුරකිනි. මිනිස් අත් බවෙකුත් ලැබී බුද්ධෝත්පාද කාලයකුත් ලැබීම පින් කිරීමට සුදුසුම කාලයයි.

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබගන්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ
සුදනෙහි කිම වීරිය නොකරන්නේ

මෙවන් අවස්ථාවක් ලබා තිබියදීත් පින්කම් නො කරන්නේ නම් එය දුක් විඳිමින් සසර දිගු කර ගැනීමකි. වීදාගම මාහිමියන් විසින් ගොර බිරම් සසර පිළිබඳව කවියෙන් මනා ලෙස විස්තර කර ඇත. ලබා ඇති මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන පින් නො කළොත් සසරේ අනන්ත දුක් විඳීමට සිදුවෙයි. මරණය කොයි මොහොතේ තමා කරා ඒ දැයි කිව නොහැකි ය.

අද අද එයි මරු පින් කර ගන්නේ
කෙළෙසද සෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ
කුමට ද කුසලට කම්මැලි වන්නේ

ජනයා පිනට දහමට නැඹුරු කරවීමට ලෝවැඩ සඟරාවෙන් දක්වන මඟ පෙන්වීම සිත් කාවදින සුළුය.

ආරම්භයක් හෝ අවසානයක් දැකිය නො හැකි මේ දිගු සසරේ ගමන් කරන අපගේ මව මියගිය ශෝකයෙන් හැඬූ වාරයක් වාරයක් පාසා ගලාගිය කඳුළු ධාරාව එකතු කළේ නම් මහ සයුරේ ජල කඳට වැඩි තරම්ය.

එකම සතෙකු තම මව් මළ දුකටා
වෙනම හැඬූ කඳුලේ බිඳු වලටා
මෙහැම මුහුදු දිය අඩුවන කලටා
තවම සසර ආලය ඇයි තොපටා

මෙසේ හඬ හඬා තව තවත් සසරේ ගමන් කළ යුතු ද?

ඉන්පසු අකුසල් කිරීමෙන් වන විපාක පිළිබඳ දීර්ඝ විස්තරයක් කරයි.

පර පණ නැසුවොත් කවර උපායේ
අපමණ දුක්දෙයි සතර අපායේ

දස අකුසල්වල විපාක ඉදිරිපත් කරන කතු හිමියන් වහන්සේ ප්‍රාණඝාතය නිසා සතර අපා දුක් විඳීමට සිදුවන බව පවසයි.

පෙර අඟ නක් එක් එළු දෙනක හිස සිඳා
සිය ළඟ වැළඳි ගිනිදැල් නිරය දුක් විඳා
ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා
මෙම රඟ වේය කාටත් අකුසලේ ලෙදා

පෙර එක් කාන්තාවක් එක් එළු දෙනකගේ ගෙල කපා මැරීමේ විපාක වශයෙන් තිරිසන් ආත්මවල ඉපිද ශරීරය වෙලාගත් ගිනිදැලින් යුතුව ඇගේ සිරුර ලෝම ප්‍රමාණයට බෙලි කැපුම් ලැබුවා ය.

බලයෙන් වත් කිසියම් සොර සිතකින්
සියතින් වත් දැන් වූ උපදෙසකින්
පරසන්තක දෙය ගත සොර කමකින්
නිරයෙන් නිරයට පැමිණෙයි එතෙකින්

අන්සතු දෙය සොරකම් කිරීමේ විපාකයෙන් නරකයෙන් නරකයටම යාමට සිදුවෙයි.

කෙළියට කඩක් සඟවා යහළුවෙකු ගෙනේ
එළිකොට නැවත දුන් මිනිසෙකුට එතෙ කිනේ
විළිවැස්මක් නොලදත් දෙවි වුවත් අනේ
කෙළියට වත් නොකරවු සොරකමක් දැනේ

කෙළිකවට කමට යහළුවෙකුගේ ඇඳුමක් සොරකම් කොට නැවත දුන් කෙනෙක් පෙර කරන ලද කුසල කර්මයක් නිසා දිව්‍ය ආත්ම භාවයක් ලැබුවද පිළිවැස්මක් නො ලද බවයි මින් කියැවෙන්නේ. එබැවින් සොරකම් කිරීමෙන් වැළකිය යුතු ය.

අසුකොට ගත නොතබති ආදාරය
වදකොට මැරුවත් නැත එවිචාරය
ලගුකොට නොසිතවූ පව් පරදාරය
නිරය ට ඇදගෙන යන එම පාරය

නැණ නැති අයෙක් පෙර පරදර පව් පැවැති
ගුගුරති ගැලෙති තිස්වා දහසින් උඩෙති
නිම් නැති තවම ලෝ කුඹු නිරයේ පැසෙති
නො කරති මෙපව් නුවණැති අය වැඩ කැමති

කාමයෙහි වරදවා හැසිරීම හෙවත් පරදාර සේවනය ඉතාම බරපතළය. ඔවුන් අල්ලා මැරුව ද ඒ පිළිබඳ සොයන කෙනෙක් නැත.

අතීතයේ පරදාර සේවනයේ යෙදුන අයෙක් ලෝකුඹු නිරයේ වැටී වසර 30000 කට වරක් උඩට එමින් මරහඬ දෙති. මේ කල්පය මුළුල්ලේම ඔහු අපා දුක් විඳිනු ඇත.

ලැදිව රජෙක් බොරු බස් කී විගසකයා
නැතිව රිද්දි බලයත් ඒ මිනිස් කයා
පොලොව පලාගෙන ගොස් වැටුණි නරකයා
මෙලොව සතුනි ඉන් බොරුකීම නරකයා

අතීතයේ සිටි චේතිය නම් රජු අහසින් ගමන් කළ හැකි සෘද්ධි බල සහිත රජෙකි. බොරුකීමේ විපාක වශයෙන් ඔහුගේ සෘද්ධි බලයද නැති වී පොලොව පලාගෙන නිරයට වැටිණි.

මේ ආකාරයට අකුසල් කිරීමෙන් වන විපාක දක්වා අනතුරුව කුසල් කිරීමෙන් ලැබෙන ආනිශංස පිළිබඳවද ඉදිරිපත් කර වීදාගම මා හිමියෝ මිනිස් අත් බවෙන් උපරිම පල ලබා පින් කිරීම කෙරෙහි උනන්දු කරවති.

සිඟපත් එකෙක් පෙර අනුරු තෙරුන් දැක
තමලත් බතින් දුන්නේ එකම සැන්දෙක
බලවත් එයින් සුරපති වීය ඉන්දික
නැණවත් කරවු දන්පින් බල මෙයින් දැක

පෙර ආත්මයක සිඟාකෑමෙන් ජීවත් වූ මිනිසෙකු එක්තරා නිවෙසකින් තමන්ට බෙදීමට ගෙනා බත් හැන්ද පිඬු සිඟා වඩින අනුරුද්ධ මහ රහතන් වහන්සේට පූජා කරන්න යැයි කී පිනෙන් තව්තිසා දෙව්ලොව ‘ඉන්දික’ නමින් මහේශාක්‍ය දෙවියෙක් බවට පත්විය.

දවසක් විතර සිල් රැකි කුලඟනක් පෙරා
දහසක් සුරඹ පිරිවරමින්ම සුර පුරා
තවසක් දෙවිඳු ළඟ සිටි විඳ නිරන් තරා
විගසක් ව සිල් නොකරවු සිතින් දරා

පෙර දවසක් පමණ සිල් රැකි පිනෙන් එක් ස්ත්‍රියක් දහසක් දිව්‍යාංගනාවන් පිරිවරමින් අදත් දෙව්සැප විඳියි.

මෙසේ දාන, ශීල, භාවනා ආදී කුසල කර්ම සිදු කරමින් සඟමොක් සුව ලබා ගැනීමට ජනයා කුසල් කෙරෙහි නැඹුරු කිරීමට කරනු ලබන මනහර ධර්ම දේශනාවකි ලෝවැඩ සඟරාව. අතීතයේ දී පාසල්වල අනිවාර්ය ග්‍රන්ථයක් බවට පත් වූ මෙහි ඇති කවි 140ම එකල බොහෝ දෙනෙකුට කට පාඩමින් කිව හැකිය. දහම් පාසල්වල ද හැම දරුවෙක්ම පරිශීලනය කළේ ය. එහෙත් අද පාසල් සිසුහු බොහෝ දෙනෙක් ලෝවැඩ සඟරාව ගැන නොදනිති. දහම් පාසල්වත් නොවන්නට එය පරිශීලනයෙන් ඈත් වී බොහෝ කල්ය.

සාරධර්ම ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින සමයක දරුවන්ගේ චරිත සංවර්ධනය සඳහා මහත් පිටිවහලක් වන ලෝවැඩ සඟරාව, සුභාෂිතය වැනි ග්‍රන්ථ යළිත් පාසල් සිසුන්ට අනිවාර්ය කිරීම කාලෝචිත පියවරක් වනු ඇත.