Print this Article


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 20 චන්දන මහ රහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 20

චන්දන මහ රහතන් වහන්සේ

උන්වහන්සේ මේ අයුරින් කල්පනා වුණා. ‘මේ සිත කාම රාගාදි කෙලෙස් වලින් යුක්තයි. මගේ බිරිඳ නිසා හෝ සිඟිති පුතා නිසා හෝ මා තුළ බඹසර ජීවිතය ගැන අරතියක් ඇති වුණොත් ඒක මට අලාභයක්. ඒ නිසා මේ ලාමක වූ කෙලෙස් නසා දමන්නට ඕන. භාග්‍යවතුන් වහන්සේ අනුශාසනාව සිහි කරන්නට ඕන, ඉතාමත් සුළු මොහොතකින් බිරිඳත් යෙහෙළියන් පිරිසත් පැමිණීමට පෙරම චන්දන ස්වාමින් වහන්සේ සියලු කෙලෙසුන් නසා ඒ උතුම් වූ නිකෙලෙස් භාවයට පත්වුණා

ගෞතම බුද්ධ ශාසනයේ පහළ වී වදාළ චන්දන නම් උතුම් මහ රහතන් වහන්සේ ගැන අද අප සිත පහදවා ගනිමු.

චන්දන ස්වාමින් වහන්සේ මීට කල්ප තිස් එකකට පෙර යුගයක වෘක්ෂ දේවතාවෙකුගේ ආත්ම භාවයක් ලබා සිටියේ ය. එකල සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් හිස් වූ බුද්ධ ශූන්‍ය යුගයක් විය. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ නොවන කාලවල කලාතුරකින් මේ ලෝකයේ පසේබුදුරජාණන් වහන්සේලා පහළ වන සේක. එකද එබඳුම දුර්ලභ කාලයක් විය. ස්වයංභූ ඤාණයෙන්ම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කොට සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වූ (පච්චේක බුද්ධ) පසේ බුදුරජාණන් වහන්සේලා ‘වසල’ නම් පර්වතයක් ඇසුරු කරගෙන වැඩ විසූ සේක.

එදින මේ වෘක්ෂ දේවතාවා හිමවත් පව්වේ පිපුණ නොයෙක් නෙයෙක් විසිතුරු මල් නෙලා ගෙන අහසින් ගමන් කරමින් සිටියා. ‘වසල’ පර්වතයේ පහසුවෙන්ම ශාන්ත ඉරියව්වෙන් වැඩ වසන සුදස්සන නම් පසේ බුදුරජාණන් වහන්සේට මේ දෙවියාට දැක ගන්නට ලැබුණා. ‘මේ උතුමාණන් වහන්සේ කෙලෙස් දුහුවිලි නැති සියලු ඕඝයන් තරුණය කළ ආස්‍රවයන් සියල්ල ප්‍රහාණය කළ උතුම් බුදුරජාණන් වහන්සේ නමක් නේද’ යැයි මහත් වූ චිත්ත ප්‍රසාදයක් ඇතිවුණා. හිමාල පර්වතයේ තිබෙන ‘කේලින්ද’ නම් සොඳුරු මල් මිටක් හිස මත තබාගෙන සුදස්සන පසේ බුදුරජාණන් වහන්සේ සමීීපයට පැමිණුනා. ‘ස්වාමිනි, මේ සුවඳැති පුෂ්පයන් ඔබවහන්සේට පූජා වේවා’ යැයි පවසමින් ගෞරවයෙන් ඒ මල් මිට පූජා කළා. ඒ දෙවියාගේ සිතේ තමන් කරගත් පින ගැන විශාල සතුටක් හට ගත්තා. ඒ දිව්‍ය ජීවිතයෙන් චුත වූ පසු ‘කේලින්ද’ මල් පූජා කළ පිනෙන්, දෙව් මිනිස් දෙගතියේ ඔහුට බොහෝ සැප විපාක ලබා දුන්නා.

දෙව් මිනිසුන්ගේ ජීවිත සැපවත් කරන සම්මා සම්බුදු කෙනෙකුගේ පහළවීමක් නොමැතිවම තිස්එක් කල්පයක අතිදීර්ඝ කාලය ගෙවී ගියා. මේ මහා භද්‍ර කල්පයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු එකසිය විස්සක් වූ යුගයේ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. ‘කේලින්ද’ මල් පූජාවෙනුත්, සසරේ රැස්කළ පින් බලයෙනුත් දෙවියන් අතර සිට හෙතෙම මේ සැවැත්නුවර මහත් වූ ධන සම්පත් ඇති සිටු නිවසක ‘චන්දන’ නමින් උපත ලැබුවා. තරුණ වියට පත් චන්දන සිටු පුත්‍රයාට දිනක් බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමේ වාසනාව ලැබුණා. කුරවීක කෙවිල්ලකගේ් බඳු මිහිරි බ්‍රහ්ම ස්වරයෙන් ජාති, ජරා, ව්‍යාධි,මරණ ශෝක පරිදේව ආදි ජීවිතය තුළ පවතින අනේක ප්‍රකාර දුක ගැනත්, ඒ දුකේ්හට ගැනීම ගැනත්, ඒ දුක නිරුද්ධ කිරීම ගැනත්, දුක් නිරුද්ධ වීම පිණිස පුගුණ කළයුතු ප්‍රතිපදාව ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ චතුරාර්ය සත්‍යය ධර්මය චන්දන සිටු පුත්‍රයාව මනාකොට වැටහුණා. එකෙණෙහිම ඔහු සෝතාපන්න වුණා.

තෙරුවන් සරණ ගිය ගිහි උපාසකයෙකු ලෙස චන්දන සිටුපුත්‍රයා ධර්මයේ හැසිරෙමින් පවුල් ජීවිතය ගතකළා. නොබෝ කලකින් ඔහුගේ බිරිඳට පුතෙක් ලැබුණා. ටික කලක් ගතවෙද්දී චන්දන සිටු පුත්‍රයාගේ සිත ක්‍රම ක්‍රමයෙන් සිහි ජීවිතය ගැන කළකිරුණා. අපහසුවෙන් නමුත් බිරිඳගෙන් කැමැත්ත ලබාගෙන ඔහු ගිහිගෙයින් නික්ම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උතුම් පැවිදි බවත්, උපසම්පදාවත් ලබා ගත්තා. ධර්ම විනය යම් පමණකින් හදාරා චන්දන හිමියන් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන සැවැත්නුවරින් බොහෝ දුර පිහිටි වන ලැහැබකට සමථ විදර්ශනා වැඩීම පිණිස පිටත්වුණා. මහත් වූ වීර්යයෙන් ධර්මයේ හැසිරෙමින් සිටි උන්වහන්සේ ශාස්තෘන් වහන්සේව බැහැ දැක අවවාද අනුශාසනා ලබා ගැනීමේ අදහසින් දිනක් සැවැත්නුවරට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේව හමුවී දහම් අවවාද ලබා ගත් චන්දන හිමියන් ශාස්තෘන් වහන්සේට වන්දනා කොට සවස් කාලය ගත කිරීම පිණිස සැවැත්නුවරට පිහිටි අමු සොහොනකට පැමිණුනා.

තමන්ගේ ස්වාමි පුරුෂයා සැවැත්නුවරට පැමිණ මේ මොහොතේ අමු සොහොනේ සිටින්නේ යැයි චන්දන හිමියන්ගේ ගිහිකළ භාර්යාවට දැනගන්නට ලැබුණා. ඇයට ඉතාමත් ලාමක පවිටු අදහසක් ඇතිවුුණා. ‘සිඟිති පුතු කෙරෙහි සෙනෙහස ඇතිකොට හෝ ස්ත්‍රී මායිම් වලින් වසඟ කොට හෝ සිවුරු හරවා ගන්නෙමි’ යි සිතමින් ඇය ඉතා අලංකාර ලෙස සැරසී පුතාව වඩාගෙන තම යෙහෙලියන්ද සමඟ චන්දන ස්වාමින් වහන්සේ වැඩ විසූ සොහොනට ගියා. දුරින්ම පැමිණෙන තම ගිහිකළ භාර්යාව ඇතුළු පිරිස උන්වහන්සේට දැක ගන්නට ලැබුණා.

උන්වහන්සේ මේ අයුරින් කල්පනා වුණා. ‘මේ සිත කාම රාගාදි කෙලෙස් වලින් යුක්තයි. මගේ බිරිඳ නිසා හෝ සිඟිති පුතා නිසා හෝ මා තුළ බඹසර ජීවිතය ගැන අරතියක් ඇති වුණොත් ඒක මට අලාභයක්. ඒ නිසා මේ ලාමක වූ කෙලෙස් නසා දමන්නට ඕන. භාග්‍යවතුන් වහන්සේ අනුශාසනාව සිහි කරන්නට ඕන, ඉතාමත් සුළු මොහොතකින් බිරිඳත් යෙහෙළියන් පිරිසත් පැමිණීමට පෙරම චන්දන ස්වාමින් වහන්සේ සියලු කෙලෙසුන් නසා ඒ උතුම් වූ නිකෙලෙස් භාවයට පත්වුණා. තමන් වහන්සේව වසඟ කරගෙන ගිහි භාවයට පත්කරන අදහසින් පැමිණි තම බිරිද ඇතුළු පිරිස කෙරෙහි අනුකම්පාවෙන් චන්දන මහ රහතන් වහන්සේ වැඩ සිටි තැනින් සෘද්ධි බලයෙන් අහසට පැන නැංගා. අහසේ සිට ජීවිතවබෝධය ඇතිකරවන මිහිරි ශ්‍රී සද්ධර්මය දේශනා කළා. ඒ පිරිස තිසරණයේත්, උතුම් පංච සීලයේත් පිහිටුවා වදාළා. අවසානයේ උන්වහන්සේ අහසින්ම තමන් වහන්සේ වැඩසිටි වන පියසට වැඩම කොට වදාළා.

ආරණ්‍යයේ විසූ අනෙක් ස්වාමින් වහන්සේලාට වන්දන ස්වාමින් වහන්සේගේ සංසිදුන ජීවිතයේ වෙනස වැටහුණා. ‘ආයුෂ්මතුනි, ඔබවහන්සේගේ ඉඳුරන් වෙනදාට වඩා බොහෝම පැහැපත්. මුහුණත් ප්‍රසන්නයි. කිම, ඔබවහන්සේ මේ ධර්ම විනයේ යම් අධිගමනයට පැමිණියේදැ’යි විමසා සිටියා. ඒ මොහොතේ හදවතේ් හට ගත් නිරාමිස පී‍්‍රතියෙන් යුතුව තමන් වහන්සේ ලැබු අරහත්වයේ සැපය මේ උතුම් ගාථා හතරින් චන්දන මහරහතන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා.

ජාතිරූපේන පව්ඡන්නා - දාසීගණපුරක්ඛතා
අංකේත පුත්තමාදාය – හරියා මං උපාගමා

එදා ගිහිකළ මගේ බිරිද, රත්තරන් ආභරණවලින් සැරසාලා සේවිකාවන් පිරිවරාගෙන දරුවත් වඩාගෙන මා ළඟට ආවේ

තං ච දිස්වාන ආයන්තිං - සකපුත්තස්ස මාතරං
අලංකතං සුවසුනං - මව්චුපාසං’ ච ඔඩ්ඨිතං

පුතාගේ අම්මා ඒ විදිහට ආභරණවලින් සැරසිලා ඇඳ පැළඳගෙන එනකොට, මට ඇයව පෙනුනේ මාරයා අටවපු උගුලක් වගේ.

තතෝ මේ මනසිකාරෝ - යෝනිසෝ උදපජ්ජථ 
ආදීනවෝ පාතුරහු - නිබ්බිදා සමතිට්ඨථ

ඒ තුළින් ම මට යෝනිසෝ මනසිකාරය ඉපදුණා. සංස්කාරයන්ගේ ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතුව කලකිරීමෙහි සිත පිහිටියා.

තතෝ චිත්තං විමුච්චි මේ – පස්ස ධම්මසුධම්මතං
තිස්සෝ විජ්ජා අනුප්පත්තා - කතං බුද්ධස්ස සාසනන්ති

එනිසාම මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. සද්ධර්මයේ ආශිර්වාදය බලන්න. මා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා.

සියලු කෙලෙස බන්ධයන්ගෙන් නිදහස් වුණ ඒ රහතන් වහන්සේලාගේ් සංසිඳුණ ජීවිත කොතරම් අසිරිමත් ද? අවිද්‍යාව සියලු ඒ රහතන් වහන්සේලා යනු මේ ලෝකයේ ආශ්චර්යවත් වූත් අද්භූ®ත වූත් ශ්‍රේෂ්ඨතම වූත් පිරිස වන සේක. (යාවතා සත්තාවාසා, යාවතා භවග්ගං, ඒතේ අග්ගා, ඒතේ සෙට්ඨා ලෝකස්මිං. යදිදං අරහන්තෝ’ ති) සත්වයන්ගේ වාසස්ථාන යම්තාක් ඇද්ද භයාග්‍රයන් යම්තාක් ඇද්ද? ඒ සියල්ලටම ඉහළින් ලෝකයෙහි යමෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් වී සිටිත්ද, ඒ වනාහි රහතන් වහන්සේලා වන සේක.

සාමාන්‍ය ලෝකයේ මිනිසුන් තම බිරිඳගෙන් සතුටු වෙති. දරුවන්ගෙන් සතුටු වෙති. දේපල ධන සම්පත්වලින් සතුටු වෙති. ඇස, කණ, නාසය, දිය, කය පිනවීමෙන්ම සතුටු වෙති. නමුත් තෘෂ්ණාව මුළුමණින්ම ප්‍රහාණයට පත්කළ රහතන් වහන්සේ තුළ ‘මම’ යැයි හැගීමක් හෝ කිසිවක් කෙරෙහි හට නො ගනී. ඒ ලෝකයේ ඝණ අන්ධකාරය නම් වූ අවිද්‍යාව මෝර ජාලයෙන් ඒකාන්තයෙන්ම රහතන් වහන්සේ මිදී වාසය කරන නිසාම ය.

කෙලෙස් නිසා පීඩාවට පත් වූ සත්ත්වයන් අතරේ කෙලෙස් පීඩාවන් මුළුමණින්ම දුරුකොට පරිපූර්ණ වශයෙන් සංසිඳුණු ජීවිත ඇතිව මේ මිහිමඬල මත වැඩ විසූ උත්තම රහතන් වහන්සේලා ගැනත්, ලෝකයට රහතුන් බිහි කරවන ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය ගැනත්, රහතුන්ගේ් දහම් ලෝකයට විවර කොට වදාළ අසහාය ශාස්තෘන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේ ගැනත් අප සිත පහදවා ගනිමු.

සටහන: නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු - රාහුල මහරහතන් වහන්සේ