Print this Article


ධාතු වන්දනාව

ධාතු වන්දනාව

සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද වස්තු බෞද්ධයෝ ධාතු නමින් හඳුන්වති. පාත්‍ර ධාතුව, පටි ධාතුව ආදී වශයෙනි. උන්වහන්සේ පිරිනිවන් පෑවායින් පසු ආදාහනය කොට ශේෂ වූ ඇට කැබිලිති ද ධාතු නාමයෙන් හඳුන්වා ඇත. සාමාන්‍ය පෘථග්ජන මනුෂ්‍යයෙක් ආදාහනය කළහොත් ඔහුගේ අළු හෝ ඇටකටු හෝ වත්ත පිටියකට දැමුවහොත් එය පාළු වන බවට මහජනයා අතර මතයක් පවතී. එහෙත් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ -රහත් ධාතූන් වහන්සේ තිබෙන තැන අභිවෘද්ධියට පත්වන බවද මතයෙකි. විශේෂයෙන් සීවලී ධාතුන් වහන්සේ තිබෙන තැනට ලැබීම ඇතිවන බව විශ්වසා කෙරෙති.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළේ කුසිනාරාව වැනි කුඩා රාජ්‍යයකදී ය. එම නිසා එම රජවරු ආදාහනය කරවා සර්වඥ ධාතු ඔවුහු ම සතු කරගෙන සිටියහ. මේ නිසා අනෙකුත් මහා රාජධානිවල රජවරු පැමිණ ධාතු ඉල්ලා යුද්ධයට සැරසුණහ. ඒ අවස්ථාවේ සැමගේ ම ආචාර්යවරයෙක් වූ ද්‍රෝණ බමුණුතුමා ඉදිරිපත්ව, බුදුරජාණන් වහන්සේ සාමය, සමඟිය, අවිහිංසාව, කරුණා හා මෛත්‍රිය ඉතා උසස් අයුරින් අගය කළ ශාස්තෘවරයකු බවත් උන්වහන්සේගේ ධාතු බෙදා ගැනීමට යුද්ධ කිරීම උන්වහන්සේට කරන අගෞරවයක් බවත් පවසා ධාතු බෙදා දීමට ඉදිරිපත්ව ඇවිලෙන්නට ගිය මහා යුද්ධයක් සංසිඳ වූයේ ය. ඒ රජවරු තම තමන් ලත් ධාතු කොටස තම තමන්ගේ රට රාජ්‍යයන්ට ගෙන ගොස් චෛත්‍ය සාදවා නිධන් කොට පුද පූජා කළහ. පසුව ම ආ බුලයන්ට ලැබුණේ බුද්ධ දේහය ආදාහනය කළ තැන අගුරු ය. ඔවුහු ඒ අගුරු ගෙන ගොස් චෛත්‍යයක් සාදවා වන්දනා මාන කළහ.

එම චෛත්‍යය අංගාර චෛත්‍යය නමින් ප්‍රසිද්ධ විය.ධාතු වශයෙන් බොහෝ දෙනා විශ්වාස කරනුයේ ආදාහනය කළ පසු නො පිළිස්සී ඉතුරු වුණ ඇට කැබලි වශයෙනි. එහෙත් ධාතු යනු බුද්ධ ශරීරය දැවෙන විට ඇට උණු වී මුංපියළි කඩසහල් ආදී ප්‍රමාණවලට බිංදු බිංදු වශයෙන් වැටුණු ඒවාය යනු තවත් මතයෙකි.

රන්දෙණක බහා විශාල චිතකයක ආදාහනය කළ බුදු සිරුරෙහි ඇට එසේ උණු වී වැටෙන්නට ඇතැයි ද සිතිය හැකිය. බුද්ධ මහිමයෙන් ද එසේ වන්නට පිළිවන.

ලොව පුරා බෞද්ධ රට රාජ්‍යයන්හි විසිරී පවතින සර්වඥ ධාතූන් පිළිබඳ කල්පනා කර බලන විට එසේ උණු වී වැටුණු ධාතු යයි සිතීමට ඉඩ කඩ වැඩිය. එසේම සර්වඥ ධාතූන් වහන්සේ නමක් ගැන සුපරීක්‍ෂාවෙන් බලන විට උණු වී වැටුණු බව පැහැදිලි වන්නේ ය.

ශ්‍රී ලංකාවෙහි දුටුගැමුණු මහා රාජයා විසින් කරවන ලද රන්මැලි සෑයෙහි ද්‍රෝණයක් පමණ ධාතු තැන්පත් කොට ඇති බව මහාවංශයෙහි සඳහන් වී ඇත. දුටුගැමුණු රජතුමා රන්මැලි සෑ ධාතු ගර්භයෙහි වැඩ නිමවා එහි තැන්පත් කිරීම සඳහා ධාතූන් වහන්සේ ලබා දෙන ලෙස මහා සංඝයාගෙන් ඉල්ලා සිටියේ ය. මහා සංඝයා වහන්සේ එම කාර්යභාරය දාසැය හැවිරිදි සෝණුත්තර සාමණේරයන්ට පැවරූහ. ද්‍රෝණ බමුණන් විසින් කෝලියයන්ට බෙදා දෙන ලද ධාතු ද්‍රෝණය ඔවුහු දාගැබක් කොට නිධන් කොට පූජා පවත්වමින් සිටියහ. පසුකලෙක ගංවතුරෙන් දාගැබ කැඩී, ධාතු කරඬුව මුහුදුබත්ව තිබෙන විට නාගයන් විසින් නා ලොවට ගෙන යන ලදී. එම ධාතූන් වහන්සේ රුවන්මැලි සෑයෙහි නිධන් කරනු පිණිස ගෙන ඒමට සෝණුත්තර සාමණේරයෝ නා ලොවට වැඩම කළහ. මහකෙළ නාගරාජයා කරුණු විමසා ධාතු රැගෙන යාමට පැමිණි බව දැන වාසුලදත්ත නම් බෑණනුවන් ලවා දා කරඬුව සැඟවී ය. එසේ සඟවා සාමණේරයන් වහන්සේට නා ලොවින් පිටව යන ලෙස දැන්වීය. එවිට සාමණේරයෝ මහා සංඝයා වදාළ කරුණු නා රජුට කියා ධාතු කරඬුව ඉල්ලූහ. නා රජු ධාතූන් මා ළඟ නැත. තිබෙන තැනකින් හැරගෙන යනු මැනවැයි කීය. එවිට සෝණුත්තර සාමණේරයන් සියුම් අතක් මවා ධාතු කරඬුව රැගෙන නා රජුට කියනුයේ ‘අප ආ කාර්යය ඉටු විය. ඔබ සිටින්නැ’යි කියා ක්ෂණයකින් තමා සිටින පිරිවෙනට පැමිණියහ. නාගයෝ ද සාමණේරයන් වැඩ සිටින පිරිවෙනට පැමිණ හඬන්නට වැළපෙන්නට වූහ. මහා සංඝයා වහන්සේ ඒ නයින්ට ද ධාතූන් වහන්සේ නමක් දී සනසා යැවූහ. දුටුගැමුණු රජතුමා මහත් වූ ගරුසරු පවත්වා එම ධාතු රුවන්මැලිසෑයෙහි නිධන් කරවීය. එම ධාතූන් වහන්සේ රන් බුදුරුවක් මවා එහි තැන්පත් කළ බව රුවන්මැලි සෑය වඳින ගාථාවෙන් කියැවේ.

සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණමාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

යනු ඒ ගාථාවයි.

සතර දළදා ධාතු, ගී‍්‍රවා ධාතුව, ලලාට ධාතුව, අකු ධාතුව යන ධාතු නො විසුරුණු ධාතූන් වහන්සේ ය. තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට දෙන ලද කේශ ධාතු තිරියායෙහි ගිරිහඬු සෑයෙහි තැන්පත් කොට ඇති බව සඳහන් වේ. ශ්‍රී ලංකාද්වීපයෙහි පළමු චෛත්‍යය ගිරිහඬු සෑය වුවත් ඓතිහාසික වශයෙන් සඳහන් වන්නේ මහියංගණ චෛත්‍යය ප්‍රථම ස්ථානය ගන්නා බව යි. එහිද සුමන සමන් දෙවියන්ට දෙන ලද කේශ ධාතු තැන්පත් කොට ඇති බවත් පසුව සරභූ මහ රහතුන් වහන්සේ දැවෙන චිතකයෙන් ගත් ගී‍්‍රවා ධාතුව ද තැන්පත් කළ බවත් සඳහන් වේ.

ථූපාරාම චෛත්‍යයෙහි බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුවත්, පුරා ධාතු පාත්‍රයකුත් නිධන් කොට ඇති බව සැළවේ. මහාසේන රජු විසින් කරන ලද ජේතවන ථූපයෙහි බුදුරදුන්ගේ පටී ධාතුව නිධන් කොට ඇති බව කියැවේ. ධාතූන් වහන්සේ තැන්පත් කොට තිබූ කුන්තායුධය නිධන් කොට දුටුගැමුණු රජතුමා විසින් මිරිසවැටිය සාදා ඇත. බුදුරදුන්ගේ ලලාට ධාතූන් නිධන් කොට තිස්සමහාරාම චෛත්‍යය ගොඩනංවා ඇති බව ඓතිහාසික තොරතුරු වලින් හෙළි වේ.

බුදු, පසේබුදු, මහරහතන් හා සක්විති යන උතුමන් ථූපාරහ පුද්ගලයන් ලෙස බුදුරජාණන් වහන්සේ මහා පිරිනිබ්බාණ සූත්‍රයේ දී දක්වා ඇත. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී ම පිරිනිවන් පා වදාළ සැරියුත්, මුගලන් අගසව් දෙනමගේ හා දාරුචීරිය රහතුන්ගේ ධාතු නිධන් කොට ස්ථූප කරවූහ. ධාතු නිධන් කොට දාගැබ් තනා වන්දනා මාන කිරීම ගෞතම බුද්ධ ශාසනයේ පමණක් සිදු වූ දෙයක් නොවේ. පෙර බුදුවරුන්ගේ ශාසනවලදී ද සධාතුක ස්තූප පූජා පැවැතියේ ය.

එක් කලෙක අප ගෞතම බුදුරජාණන් වහන්සේ දනව් සැරිසරා වඩනා සේක්. තෝදෙය්‍ය නම් ගමට වැඩම කොට දේවාලයක් ළඟ වැඩ සිටි සේක. දේවාලයට නුදුරු කුඹුරක සීසාමින් සිටි බමුණෙක් බුදුරදුන් වෙත පැමිණ බුදුරදුන් නො වැඳ දේවාලයට වැන්දේ ය. බුදුරජාණන් වහන්සේ ඒ දේවාලයට කුමක් නිසා වැන්ඳේදැයි බමුණාගෙන් විමසූ සේක.

බමුණු තෙම “මේ අපේ පරපුරේ අය වඳින පුදන දේවාලයකැ”යි කීවේ ය. එවිට බුදුරජාණන් වහන්සේ මෙතැනට වැඳීම යහපත් යැයි වදාළ සේක. ඒ ගැන භික්‍ෂූන් ප්‍රශ්න කළවිට භික්‍ෂූන්ගේ සැකය දුරු කරවනු පිණිස, එතැන යට වී තිබුණ කාශ්‍යප බුදුරදුන්ගේ යොදුනක් උස රන් දාගැබ අහසේ රඳවා බොහෝ දෙනාට දක්වා පූජාවට සුදුසු, මෙබඳු තැන්වලට වැඳීම යහපතැයි වදාරා ‘පූජාරහේ පූජයතෝ’ ආදී ගාථාව දෙසූ සේක. මෙයින් පෙනෙන්නේ පුරාණ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවලදී ද දාගැබ් තනා ධාතු නිධන් කොට පුද පූජා පැවැත්වූ බවයි.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොට ගෙන ශ්‍රී ලංකාද්වීප වාසීන්ට කපිලවස්තු සර්වඥ ධාතු වන්දනාවට ද වාසනාව උදා විය. දිල්ලි කෞතුකාගාරයෙහි ඇති එම කපිලවස්තු ධාතු බුදුරදුන් උපන් ලුම්බිණියෙන් හමුවීම පූජනීයත්වය වැඩි වීමට හේතු වී ඇත.

නේපාලයේ කපිලවස්තු පුරය තුළ පවතින බෞද්ධ නටඹුන් 1898 දී පමණ ඩබ්ලිව්.ජී. පෙප්පෝ පුරා විද්‍යාඥයා විසින් සොයා ගන්නා ලදී. ඔහු කළ කැණීම්වලදී එහි මංජුසාවක බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා ඇති වැකියෙන් පැහැදිලි වූයේ බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කොට ඇති බවයි. අපට වන්දනා කරන්නට ලැබුණේ එම සර්වඥ ධාතූන් වහන්සේලා ය.

බුදු දහමෙහි කළගුණ සැලකීම, පිදිය යුත්තන් පිදීම යන ගුණ ධර්ම උසස් ලෙස වර්ණනා කොට ඇත. ධාතු වන්දනාවෙනුත් ඉස්මතු කොට දක්වනුයේ ද එම ගුණ ධර්මයන්ම ය.