Print this Article


සැබෑ පැවිදි සුවය ගෙන දේ සදාතනික වූ සැනසුම් සුවය

අන්‍යයන් බැදී සිටින කාමබන්ධනයන් සිඳ දමා අන්‍යයන් වැටී සිටින කාම නමැති මඩ ගොහොරුවෙන් නැඟී ගිහිගෙය හැර දමා කසාවත පොරවා පැවිදිවී ලෝකයාට මෙලොව පරලොව දෙක්හිම යහපත සිදුකරගැනීමේ මාර්ගයට පිළිපන්ව වාසය කරන පැවිදි උතුමන් නොමැති නම් බුදුදහම අතුරුදහන්ව ගොස් බොහෝ කලක් වනු ඇත.නිසොල්මන් වන අරණක හුදකලාව සියලු සැප හැර දමා මුඩුකරගත් හිසකින් යුක්තව කසාවත දරමින් තුරුණුවියෙන් උපරිම ඵලනෙළීමට වෙරදරමින් බුදුසමිඳුන් පෙන්වා වදාළ උතුම් ගමන් මඟ වඩිනා අනන්ත වූ පැවිදි උත්තමයෝ මේ මිහිමත වෙසෙමින් උත්තරීතර සුවය නිරතුරුව ලබා ගනිති. සැබවින්ම සැබෑ පැවිදි සුවය ලැබීම දුර්ලභමය. ශ්‍රමණ ඵලය නෙළීම වඩාත් දුර්ලභය, සැපදායකය. දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලැබු නුවණැත්තකු දුර්ලභ පැවිදි ජීවිතයට ඇලුම් කොට උතුම් නිවනින් සැනසීම ලබන්නේ නම් ඔහුට වඩා උත්තමයෙකු පුණ්‍යවන්තයකු නොමැත

ලොව්තුරා ශාන්තිනායකයන් වහන්සේ නමක් ලොව පහළ වනුයේ සංසාරගතව අනේක දුක් විඳීන්නාවූ සත්ත්වයන් එම සසර දුකින් ගලවා ගනු පිණිස ය. උතුම් ශ්‍රී සද්ධර්මය පසක් කරගැනීමෙන් අනතුරුව එම දහම් සුවය ලබාදෙමින් නිර්වාණගාමි ප්‍රතිපදාවෙන් නිවන් පසක් කරගනු වස් ප්‍රඥාවන්ත වූවෝ ඒ උතුම් දහමට අනුගත වෙති. සම්මා සම්බුදුමුවින් දේශිත දහම අනුව ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදි දුක්වලින් මිදීම උදෙසාත් නොයෙක් පව්කම්කරමින් නැවත නැවත සතර අපායට පැමිණ දුක්විඳීමට සිදුවීමත් යන දුක්වලින් යුක්ත සංසාරයෙන් මිදී පරම සුන්දර වූ තණ්හක්ඛය සංඛ්‍යාත නිර්වාණ ක්ෂේම භූමියෙන් සැනසීම ලැබීම උදෙසා නැණවත් කුලපුත්‍රයෝ අත්‍යුත්තම වූ ප්‍රව්‍රජ්‍යා භූමියට සැපත් වෙති. බුදුවරයාණන් වහන්සේ නමකගේ පහළවීමත් සමග පහළ වන්නාවූ ඒ උතුම් කසාවත සහිත පැවිද්ද ලැබීම දුර්ලභ වූ කාරණාවකි.

අනේකවිධ දුක් විඳීන්නා වූ සත්ත්වයා නිවනට පැමිණිය නොහැකිව සසරම රැඳී වාසය කරන්නේ සත්ත්ව සන්තානනය තුළ පවත්නා වූ රාගාදී ක්ලේශ ධර්මයෝ නිසාවෙනි. එයින් මිදී විමුක්තිය ලද හැකි මඟ ශීල, සමාධි, ප්‍රඥා යන ධර්මයේ, තම චිත්ත සන්තානය තුළ දියුණු කර ගැනීම බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. සසරෙහි ඇති භයානකත්වය ලද ගිහියකුහට එම ගිහි ජීවිතය තුළදී මෙසේ වූ නිර්වාණගාමී ප්‍රතිපදාවන්හි නිමග්නවීම ඉතා දුෂ්කර ක්‍රියාවකි. ගිහි ජීවිතය තුළ තමාගේ ජීවිත රක්‍ෂණය උදෙසා කටයුතු සම්පාදනය කරගත යුතුය. අඹුදරුවන් පෝෂණය කිරීම පිණිස, ඔවුන් සතුටුභාවයට, පත්කිරීමට, නෑ හිතමිතුරන් සතුටුකිරීම පිණිස, සතුරු උවදුරුවලින් මිදීම පිණිස කළ යුතුදේ බොහෝය.

ශීල, සමාධි, ප්‍රඥා මාර්ග වැඩීම උදෙසා වෙන් කිරීමට සිදුවන කාලය ඉතා සීමිතය. සිත පිරිසිදුව තබාගැනීමත්, ශීලයෙහි අඛණ්ඩතාවය තහවුරු කරගැනීමත් ගිහි ජීවිතය ගත කරන්නෙකු හට දුෂ්කර වූවකි. එවන් වූ දුෂ්කරබව අවබෝධ කරගන්නා වූ නුවණැත්තා කාමභෝගයන්ගෙන් වෙන්ව උතුම් පැවිදි ජීවිතයක්ම ප්‍රාර්ථනා කරති.

සම්බාධො ඝරාවාසො රාජාපථො අබ්භොකාසො පබ්බජ්ජා

ගිහි ගෙය කෙලෙස් ධර්මයෝ උපදනා තැනක් බවත් පැවිද්ද ගුණ දහම් පිරීමට අවකාශ ඇති තැනක් ලෙස සලකා මාපියන් හැර සහෝදර සහෝදරියන් හැර නෑ මිතුරන් හැර ධනය හැර ගිහිගෙයින් නික්ම පැවිදි වන්නාහ. මෙසේ නික්මීම කෙතරම් අපහසු කාර්යයක්ද?

උතුම් පැවිදි සැපය ලෝකයා උසස් තත්ත්වය වශයෙන් සලකන රජබවට ද වඩා උතුම් බව පසක් වී හමාරය. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියේදී ලද රජකම අතහැර දමා උතුම් පැවිද්දම ප්‍රාර්ථනා කළ බව තේමීය ජාතකයෙන් ගෙනහැර දක්වනු ලැබේ. නුවණැති උත්තම පුද්ගලයන් විසින් පැවිද්ද කෙතරම් උසස් කොට සැලකුවේද යන බව රාජ්‍ය හැර පැවිදි වූ මහා ජනක රජතුමාගේ ප්‍රකාශයෙන් පැහැදිලිවේ.

භිත්වා සතපලං කංසං සොවණ්ණං සතරාජිකං
අග්ගහිං මත්තිකාපත්තං තං දුතියාභිසෙවනං

පලම් සියයක් බර ඇති බොහෝ ඉරි ඇති රන්තලිය හැර පැවිදි වී මැටිපාත්‍රය ගතිමි. ඒ මැටි පාත්‍රය ගැනීම මගේ් දෙවන අභිෂේකය වන්නේය. මෙලෙස රජසැප හැර දමා උතුම් පැවිදි සැපය ලැබීම කෙතරම් සැහැල්ලු බවක් ජීවිතයේ ඇතිකරවීමට සමත්වීද?

එක් පැවිද්දකු විසින් දහස් ගණනක් දෙනාගේ සිත සුවපත් කරන්නාහ. මහජනයාට දහම් දෙසීමක් නොකොට තමන් වහන්සේගේ ආත්ම විමුක්තිය උදෙසා පමණක් කටයුතු කරනු ලබන පැවිද්ද ද ශ්‍රේෂ්ඨය. භික්‍ෂූන්වහන්සේ දැකීම් මාත්‍රයෙන්ම උසස් කුසලයක් සිදුවන්නේය. එම කුසලයෙන් දහස් ගණන් ජාතිවලදී ඇසෙහි රෝගයක් හෝ දාහයක් හෝ නො හටගන්නා බවත් ඔහුට එම පිනෙන් රත්න විමානයක මැණික් කවුළු බඳුවූ පංචවර්ණයෙන් බබළන ප්‍රසන්න නේත්‍රයන් ඇතිවන බවත් කල්ප ලක්ෂයක් දෙව් මිනිස් දෙලොවෙහි සැප සම්පත් ලබන බව සඳහන් වේ. මුළු ලොවට අධිපති වූ සක්දෙව් රජු විසින් නිරතුරුව වන්දනාමාන කරනුයේ ශ්‍රේෂ්ඨ පැවිදි උතුමන්ටය.

අහඤ්ච ශීලසම්පන්නො චිරරත්ත සමාහිතෙ
සම්මා පබ්බජිතෙ වන්දෙ බ්‍රහ්මචරිය පරායනෙ

මම ද සිල්වත් වූ බොහෝ කලක් සංසිඳවන ලද සිත් ඇත්තා වූ යහපත් පැවිද්දන්ට වඳීමියි සක්දෙවිඳු ප්‍රකාශ කරනු ලබයි.

අඹුදරු, කෙත්වතු, මිලමුදල් ආදි කාමවස්තුව නිසාද වධබන්ධන වලට හසුවීම පිළිබඳ දුක්ඛයන් කාමවස්තුන් කෙරෙහි පැවිද්දාට නොමැත. ඒ උතුම් විවේක සුවය පැවිද්දෙකුහට ඇත්තේය. මෛත්‍රී කරුණා, සමාධ්‍යාදී ගුණධර්ම ඇතිකර ගැනීමෙන් ලබන චිත්ත සුවය පැවිද්දා සතු උතුම් සැපතකි. එම සැපය සෑම අයෙකුටම ලැබිය නොහැකි වන අතර කාමයනගේ ලාමක බව දුක් සහිත බව දැකීමෙ නුවණක් ඇත්තා වූ කෙලෙස් තුනීකර දැමීමේ උදාර අදහස් අති උත්තමයකු ලැබිය හැකි තත්ත්වයකි.

එක්කලෙක අරින්දම නම් වූ බරණැස් රජතුමා ඔහුගේ උයනෙහි වැඩහුන් පසේ බුදුවරයකු වෙත ගොස් තමා කාමයන්ට වසඟව ඉන්නා බැවින් කාමයන්ගෙන් තොරව වෙසෙන පසේ බුදුහිමි දුප්පතෙකු ලෙස සිතා හිස මුඩුකොට, කැබලි එක්කොට මැසූ වස්ත්‍රයක් පොරවාගෙන මවක පියෙකු නැතිව ගසයට ඉන්නා පැවිද්දා දුප්පතෙකු ලෙස සැලකීය. එවිට පසේ බුදුහිමි දේශනා කොට වදාළ කරුණු අනුව පැවිද්දකු ලබන විරාගි සුවය ඉස්මතු කොට දැක්වීමට සමත් වේ.

ආර්ය මාර්ග සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මය ලබාගත් තැනැත්තා දුප්පතෙකු නොවේ. යමෙක් ධර්මය බැහැර කොට අධර්මය අනුව පව්කරමින් ලාමක අකුසල ධර්මයන්හි නිමග්නව සිටින්නේ වේද හේ දුප්පතෙකි. ගෙවල් නැති පැවිද්දා ධනසම්පත් කොටුවල කූඩුවල රැස්නොකරන්නාහ. මනා පැවතුම් ඇති පැවිද්දෝ ගෙපිළිවෙලින් පිඬු සිඟා ගොස් අනුන්ගේ ගෙවල පිසුනු ආහාරයෙන් යැපෙන්නෝ. එම නිසාවෙන් පැවිදි සැපය හැමදාම හොඳය. සැපය, දෙවනුවද පසේ බුදුහිමි පැවිදි සැපය ගෙනහැර වදාළ සේක.

දුතියම්පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො
අනවජ්ජ පිණ්ඩො භොත්තබ්බො නච කොචුපරෝධති

පැවිද්දා වෙදකම් කිරීම්, කේන්ද්‍ර බැලීම්, යන්ත්‍ර මන්ත්‍ර කිරීම්, කුහකම් කිරීම් ආදි දැහැමිකමින් තොර ප්‍රත්‍යය නොසොයා දැහැමින් ලද ආහාර වළඳති. එසේ නිවැරදි අහාරය වළඳන පැවිද්දාහට ලෝභාදී ක්ලේශයන්ගෙන් පීඩා නැත. ගෙයක්, ධනයක් නැති පැවිද්දා හට එයද දෙවනුවද සැපයකි.

තෙවනුව පැවිදි සැපය ගෙනහැර දක්වනුයේ දැහැමින් ලද ආහාර කෙලෙස් රජස් නූපදනා පරිදි ප්‍රත්‍යවේක්‍ෂාවෙන් යුක්තව වළඳති. එයින් කෙලෙස් ඉපදීමට හේතුවක් නොමැති නිසාවෙන් සැපදායක වෙති.

චතුත්ථම්පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො
මුත්තස්ස රට්ඨෙ චරතො සඞ්ගො යස්සන විජ්ජති

මේ මාගේ නෑයාය. මේ මාගේ දායකයාය කියා ගිහියන් කෙරෙහි ඇලීමක් නැතිව රටෙහි හැසිරෙන්නාවූ පැවිද්දාහට කිසිදු බැඳීමක් නැත. නගරයක් ගිනිගත්තත් ධනය නැත නිවසක් නොමැති පැවිද්දාගේ කිසිවක් නොදැවෙන්නේය. එයින් පස්වෙනුවත් පැවිද්දාහට හොඳය. සැපය, සොරසතුරන් පැමිණ රටක් කොල්ලකන්නට පටන් ගත්තද ධනය නැති පැවිද්දාගෙන් කිසිවක් ගෙන නොයන්නේය.කොල්ලකෑමට සොරුන් රැකසිටියද, බදු අය කරන්නන් රැකසිටියද,මේ කිසිවක් නැති පැවිද්දාහට බියක් නොමැත.

අල්මාරි, පෙට්ටි ආදියෙහි පරිස්සමින් තබන ලද කිසි වස්තුවක් නැති පැවිද්දා යම් තැනකට යන්නේ නම් තමාගේ පාසිවුරු ගෙන අපේක්‍ෂාවක් නැතිව නිදහස් ගමනක් යන්නේය. මේ නිසාවෙන් ගෙයක් නැති ධනයක් නැති කාමබන්ධනයක් නැති පැවිද්දා සැපසේ වාසය කරන්නේය. මේ ආකාරයෙන් අරින්දම රජුට පසේ බුදුහිමි කරුණු අටක් දක්වමින් පැවිදි භූමියට පාතැබූ උතුමකු ලබන නිරාමිස සැපත පිළිබඳවත් හෙතෙම දුප්පතෙකු නොවන බවත් පෙන්වා වදාළ හ. රජතුමා බණ අසා මහා රාජ්‍යය අතහැර පැවිදිව සෝවාන් භූ®මියට පත් වූයේය.

එසේ වූ දුර්ලභ පැවිදි ජීවිතයක් ලබන්නාවූ පැවිද්දාගේ උතුම්ම ධනය ආර්යය ධනයයි. එනම් බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා විසින් දේශිත ශ්‍රද්ධා ශීලාදි ගුණධර්මයෝය. එනිසාවෙන් පැවිදි උත්තමයෝ ශීලයෙහි අනුසස් හඳුනා ගනිමින් ඒ තුළ හික්මීමට වීර්යය වඩති. මනාකොට රක්නා ලද ආර්ය වූ අත්‍යන්ත වූ ශීලය සත්ත්වයන්ගේ කෙලෙස් දැවිල්ලක් සංසිඳුවූවද, සිසිල් දිය වගුරවැනි වළාකුළු ද ශීත වාතයෝ ද, රත්වන් සඳුන් ද, සිසිල් මුතුහර ද, මැණික් ද, සඳරැස් ද යන මේ කිසිවක් ක්ලේශ දාහය නොසන්සිඳුවන්නේය යන්න අවබෝධ කොට ගෙන ආර්යකාන්ත ශීලය දිවිහිමියෙන් ආරක්‍ෂා කිරීම උදෙසා පැවිද්දා උත්සුක වෙයි. මෙවැනි ගුණයන්ගෙන් පිරිපුන් වූ පැවිදි උතුමන් කාම වස්තුන්ගෙන් දුප්පත් වුවත් ගුණස්කන්ධයන්ගෙන් පෝසත් වූ උතුම් ධනවතෙකි.

අන්‍යයන් බැදී සිටින කාමබන්ධනයන් සිඳ දමා අන්‍යයන් වැටී සිටින කාම නමැති මඩ ගොහොරුවෙන් නැඟී ගිහිගෙය හැර දමා කසාවත පොරවා පැවිදිවී ලෝකයාට මෙලොව පරලොව දෙක්හිම යහපත සිදුකරගැනීමේ මාර්ගයට පිළිපන්ව වාසය කරන පැවිදි උතුමන් නොමැති නම් බුදුදහම අතුරුදහන්ව ගොස් බොහෝ කලක් වනු ඇත.නිසොල්මන් වන අරණක හුදකලාව සියලු සැප හැර දමා මුඩුකරගත් හිසකින් යුක්තව කසාවත දරමින් තුරුණුවියෙන් උපරිම ඵලනෙළීමට වෙරදරමින් බුදුසමිඳුන් පෙන්වා වදාළ උතුම් ගමන් මඟ වඩිනා අනන්ත වූ පැවිදි උත්තමයෝ මේ මිහිමත වෙසෙමින් උත්තරීතර සුවය නිරතුරුව ලබා ගනිති. සැබවින්ම සැබෑ පැවිදි සුවය ලැබීම දුර්ලභමය. ශ්‍රමණ ඵලය නෙළීම වඩාත් දුර්ලභය, සැපදායකය.දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලැබු නුවණැත්තකු දුර්ලභ පැවිදි ජීවිතයට ඇලුම් කොට උතුම් නිවනින් සැනසීම ලබන්නේ නම් ඔහුට වඩා උත්තමයෙකු පුණ්‍යවන්තයකු නොමැත. භයානක සංසාර කතරින් එතෙරවීම නම් උත්තරීතර පැවිදි සැපයම ප්‍රාර්ථනා කළ යුත්තේමය.