Print this Article


විපස්සනා සතුට සතුට ලැබිය හැකි උත්තම මඟය

විපස්සනා සතුට

සතුට ලැබිය හැකි උත්තම මඟය

භෞතික මෙවලම් හා සජීවි, අජීවි වස්තු තුළින් සැප සෙවීම, තෘප්තිය සොයා යෑම බුදුරදුන් දුටුවේ, පිපාසිත කෙනෙක් පිපාසය සංසිඳවා ගනු පිණිස ලුණුවතුර බීමක් ලෙස ය. එවිට සිදුවන දේ හය හතර තේරෙන කුඩා දරුවෙකුට වුව පැහැදිලිය. එනමුත් එය අවබෝධ කර ගත් කෙනෙකු නැතිවාසේ ය. ඒ නිසාම කුඩා තරුණ මහලු අපි හැමෝමත් නො නවත්වාම ලුණු වතුර ම පානය කරමු

සෑම දෙනාම සතුට සොයති. සතුට ලබන්නට කැමැති වෙති. බලය , තනතුරු ,ආශ්වාද, උගත්කම් සියල්ල අපට සතුට ලබා දෙනු ඇතැයි අපි නිරන්තරව විශ්වාස කරමු. ඒ නිසාම ඒවා ඔස්සේ හඹායාමට අපි මුළු ජීවිතයම කැප කරමු. අද උපන් සිඟිති බිලිඳා පටන් අවසන ගමනකට සැරසෙන, හිස නිකට පැසුණු මහල්ලා දක්වාම වූ, බහුතරයකගේම සත්‍ය ජීවන කතන්දරය එයයි.

බිලිඳා සියලු දෙයට හඬන්නෙත්, මිය ඇදෙන මහල්ලා ජීවිත ආශාවෙන් නොමිදී සමු ගන්නෙත්, ඒ අතරතුර අප තරුණවිය, මැදිවිය පසු කරමින් අනේක විධ ක්‍රම මගින් සහනය, සතුට සොයන නිරන්තර සංග්‍රාමයක යෙදෙන්නේත් මෙම අතෘප්තිකර මානසික තත්ත්වය අප හැමටම උරුම නිසාම ය. සසර සැරිසරන සියලු හුදීජනයන්ගේ අනවත්‍රික්‍රමණය කළ නොහැකි සැබෑ ස්වභාවය එයම වන නිසාම ය. ධනය, බලය හෝ වෙන මොනම කොන්දේසියක්වත් මේ අතෘප්තිකර මනසට අදාළ නොවේ. බුදුරජාණන් වහන්සේ දුක්ඛ යන වචනයෙන් උගන්වා වදාළේ මෙම සනාතනික ස්වභාවය යි. මේ ආකාරයෙන් භෞතික මූල සාධක ඔස්සේ සතුට හඹායාම, බුදුන් වහන්සේ අනෙක් ජාතිවලින් ලද පූර්ණ වූ ස්ව අත්දැකීම් තුළ හඳුනා ගත්තේ අනාර්ය පර්යේෂණයක් ලෙසිනි. උත්තම සත්පුරුෂයන් විසින් නො සෙවිය යුතු භජනය නො කළ යුතු දෙයක් ලෙසටම ය. උපදින, දිරායන, ගිලන්වන හා මැරෙණ කෙනෙක්,ඇතිවන, දිරායන, ගිලන්වන හා මලානික දෙයක්ම සොයා යන නිසරු උත්සාහයක් ලෙසටම ය. එම උත්සාහය ආර්ය නොවන්නක් ලෙසට ය. එහෙත් අවිද්‍යාවෙන් පිරුණු අප සොයන්නේ හඹායන්නේ එයම ය. සසරින් අපට උරුම වූ එම පුරුද්ද මෙතෙක් අපට ලබාදී ඇත්තේ දුකක් මය. කවදාවත් සෑහීමකට පත් නො කළ මනසක් ම ය.

මේ නිසාම භෞතික මෙවලම් හා සජීවි, අජීවි වස්තු තුළින් සැප සෙවීම, තෘප්තිය සොයා යෑම බුදුරදුන් දුටුවේ, පිපාසිත කෙනෙක් පිපාසය සංසිඳවා ගනු පිණිස ලුණුවතුර බීමක් ලෙස ය. එවිට සිදුවන දේ හය හතර තේරෙන කුඩා දරුවෙකුට වුව පැහැදිලිය. එනමුත් එය අවබෝධ කර ගත් කෙනෙකු නැතිවා සේය. ඒ නිසාම කුඩා තරුණ මහලු අපි හැමෝමත් නො නවත්වාම ලුණු වතුර ම පානය කරමු.

මේ ලුණුවතුර බීමේ සසර පුරුද්ද අනාදිමත් කාලයක පටන්ම කරගෙන එන හෙයින් ඉන් මිදීම ද දුෂ්කර ය. විද්‍යාමාන ප්‍රතිඵලය වන්නේ තාවකාලික සැපවලින් සිත රවටන, අනේකවිධ දුක්ඛ දෝමනස්සයනට ආරාධනා කිරීමකි. මෝහයෙන් මුළා වූ ප්‍රඥාවෙන් විරහිත අපට ඒ නිමක් නැති ස්වභාවය වටහා ගැනීම බෙහෙවින්ම දුෂ්කර ය.

එහෙත් ධර්මය දායාද කොට ගන්නා, දහමට සමීප වූ පුරුද්දක් සසරින් ගෙන ආ කෙනෙකුට මෙම ස්වභාවය ලබන ජීවන අත්දැකීම් හමුවේ ඡායාවකින් මෙන්, ඉඟියකින් මෙන් කලකදී වැටහෙන්නට පටන් ගනී. එකල බුදුරදුන් හමුවට පැමිණි දහස් ගණනින් වූ රජ සිටු බමුණු පවුල්වල නව යෞවන තරුණ තරුණියන්ගේ සැබෑ රහස එයම විය. එබඳු සිද්ධිවාචක නිදසුන් බුදුරදුන් ධරමාන කාලයේ දී අපමණ සිදු වූ බවට ත්‍රිපිටක ආශ්‍රයෙන් අපට බෙහෙවින් සාක්ෂි හමුවේ.

අසීමිත ලෙස ධනය බලය හා ආශ්වාද හමුවේ අතෘප්තිකර වූ ඔවුහු , නිසංසල, සංසිඳුණු මනසක් පිළිබඳ ගවේෂණයන්හි නිරතවන්නෝ වූහ. එහි වඩාත්ම සුභදායක ආනිසංසය වූයේ ඔවුන්ට බුදුරදුන් හමුවීම ය. අනිත්‍ය නොවූ උපේක්ෂාව පිරුණු සතුටක හිමිකරුවන් බවට සනාතනිකව පත්වීමය. එම සතුට විපස්සනා සතුට නමින් හැඳින්විණි. එම සතුට සර්වකාලීන ය. සාන්දෘෂ්ඨික ය. අකාලික ය. අජරාමරය, අමරණීය ය. එයින් සැනසුනෝ අපමණ වූහ.

මෙම විපස්සනා සතුට ලබා ගත හැක්කේ කෙසේ ද? මානවයා ඇතුළු සියලු සත්ත්වයන්ගේ නිසර්ග ගති ස්වභාවය නම් ක්‍රියා ප්‍රතික්‍රියා කිරීම ම ය. මුළු ජීවිත කාලයක්ම අපේ කාලය ගෙවුණේ ඒ සඳහාම ය. ගැඹුරින් බලන විට අනන්ත සසරම කර ඇත්තේ එයම පමණි. හොඳ ප්‍රසන්න අරමුණු සිතිවිලි හමුවේ, ඇලීම, උපාදානය, හා අත්කර ගැනීමට තැත් කිරීමත් අප්‍රසන්න අශුභ සිතිවිලි අරමුණු හමුවේ ප්‍රතික්ෂේප කිරීමට තැත් කිරීමත් අපට සසරින් ලබා දී ඇති පොදු පැවැත්මය.

මෙසේ නො කෙරෙන්නේ සිත පුහුණු කරන භාවනාවක යෙදෙන කෙනෙකු පමණි. ඒ එම උත්තමයන් ක්‍රියා ප්‍රතික්‍රියා කරණු වෙනුවට, කරන්නේ ඇතිවන නැතිවන සිතිවිලි, අරමුණු දෙස එළැඹ සිටි සිහියෙන් (යෝනිසෝමනසිකාරයෙන්) විමංසනාත්මකව බැලීම පමණකි. අන් හැම මොහොතකම සිදුවෙන කර්ම රැස්වීම, එම විමංසනාත්මක අවධානය තුළ සිදුනොවේ. ඒ සඳහා පෙර පුහුණු වීමක් හා සංහිඳියාවක් මොනයම්ම වූ සමථ භාවනා කමටහනකින් විශදව ලබා ගත යුතුම ය. එම සංහිදියා පදනම තුළ සිට,ඇතිවන මානසික ප්‍රබලතාව ප්‍රතික්‍රියා නොකරන ප්‍රභාස්වර මනසක ආරම්භය ඔබේ මනස තුළ පුබුදු කරවනු ඇත. එතැන් පටන් ඔබ එම මොහොත තුළ ප්‍රතික්‍රියා කරවන්නකු නොවේ.අවබෝධයෙන් නිරීක්‍ෂණය කරන කෙනෙකි. මෙය ඔබටම අත්දැකිය හැකිය. කළ යුත්තේ එම අවධානමය අත්දැකීම ඔබේ ස්වඅත්දැකීමක් වන ලෙස උරගා බැලීම ය. ඔබ උත්සාහවත් නම්, සසර පුරුද්දක් තිබේ නම්, ප්‍රඥාවන්ත නම් මෙලොව රහතුන්ගෙන් හිස්නොවනු ඇතැයි බුදුරදුන් වදාළේ එම නිසා ම ය. මෙය ඔබට නව අත්දැකීමක් වනු නොඅනුමාන ය. සැබැවින්ම එය නැවුම් ය. උණුසුම් ය. විඳීමක් නැති ආශ්වාදයකි. උපේක්ෂාව පිරී ඇති එහි දුකක සේයාවකුදු අතෘප්තිකර බවකුදු නැත.

ඇත්තේ මානසික සංසිඳියාවක්ම පමණි. එහි ඇලීම් ගැටීම් නැත. ඒ නිසාම පෙරළා පතන බලාපොරොත්තු නැතිව, තමාගේ යැයි සිතන අයට මෙන්ම පොදුවේ සැමටද සම සිතින් තම සේවාවන්, යුතුකම්, කිරීමේ හැකියාවක් වඩාත් උද්වේගකර බවකින් යුතුව ඇති කරවයි. බෙදීම් පංගුපේරු නැත. කළ යුතු දේ කලට වේලාවටම සිදු කරන්නට පෙළැඹෙයි. මෙය අප ලබන ඍජු අත්දැකීමකි. දෙවනපෙළ හෝ වෙන කෙනෙකුගේ අත්දැකීමක් නොවේ.අවධානය, විමංසනශීලි බව, නිරීක්‍ෂණය හා අවබෝධය සමග තමා තුළම ඇති කරවන පිරිසුදු වූත් ප්‍රභාස්වරවූත් නැවුම් මානසික ස්වභාවයකි. මෙම ප්‍රසන්න මානසික ස්වභාවය තුළ ඔහු වෙනස්වීම් දකී. දුක ද අතෘප්තිකර බවද අත්දකී. අස්මිමානයේ හරසුන් බවද අවබෝධ වන්නට සිත විවර කෙරේ.

මේ ස්වභාවය තුළ මෙන්ම තමා අවට සිදුවන දේ ඔබම මනසින් දකී. පුරුදුවලට එහි ඉඩ නැත.තම අනු දැනුමෙන් තොරව කිසිවක් නො කෙරේ. නො සිදු වේ. එනම් සිහිය සිත සමඟම පවතී. මේනිසා ඇති කරන සතුට එබඳු අත්දැකීමක් ඇති කෙනෙකු සමඟ මිස බෙදා හදා ගත නො හැකි ම ය.මෙය බුදුරජාණන් වහන්සේ ගේ ආශ්චර්යවත් සොයා ගැනීමය. අන් සියලු දහම් මෙම සතුට ලබා දීමට එකඟය. මෙය විපස්සනා සතුට ලෙස ප්‍රඥාවන්තයන් අද පිළිගෙන හමාරය .