Print this Article


සදාචාරවත් පසන් නිවෙසක සවිමත් පදනම

සදාචාරවත් පසන් නිවෙසක සවිමත් පදනම

පවුල වූ කලී සෑම සමාජයක් තුළම විද්‍යාමාන වන්නා වූ ඥාතිත්වය පෙරදැරි කරගත් මූලික සංස්ථාවකි. එබැවින් සමාජයක මූල ඒකකය ලෙසින් සනිටුහන් වනුයේ පවුල් සංස්ථාව බව කිව හැකිවන අතර සමාජයේ ආරම්භක වූත් ප්‍රාථමික වූත් සංස්ථාව ලෙසින් ද සඳහන් කිරීම නිවැරැදිය. විවාහ බන්ධනයෙන් බැඳී එක ගෘහයක වෙසෙන ස්වාමියා, බිරිඳ සහ දරුවන් තම තමන්ගේ ආවේණික වූ තත්ත්වයන් යටතේ අන්තර් සම්බන්ධතා පවත්වමින් පොදු සංස්කෘතියක් නිර්මාණය කරන්නා වූ සමූහය පවුල යනුවෙන් නිර්වචනය කොට ඇත.

ඒ අනුව, පවුල යනු මවුපියන් හා දරුවන් එක් ව සැකසුණු සමාජ ඒකකය වේ. පවුල් සංස්ථාව තුළින් හෙළි වන සමාජය බාහිර සමාජය හා බැඳෙමින් සමාජ සංයුතිය හා එහි ව්‍යුහය මෙන්ම ක්‍රියාකාරිත්වය ද පුළුල් කරයි. එබැවින් පවුල තුළ උද්ගතවන සුබවාදී හා අසුබවාදී තත්ත්වයන් අවසාන වන්නේ සමාජමය වශයෙන් ද සුබ අසුබ තත්ත්වයනට සාපේක්‍ෂක සංඝටක රැසක් ඇති කරවමිනි. ඒනිසා සෑම ආගමික සංස්ථාවක්ම පුද්ගලානුබද්ධ පවුල හා එහි ක්‍රියාකාරිත්වය කෙසේ සකස්විය යුතු ද යන්න පිළිබඳව අවධානය යොමු කොට ඇත. පවුල් සංස්ථාව කෙසේ සකස් විය යුතු ද යන්න බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනුයේ යහපත් සමාජයක් ඇතිවීමට නම් පවුල් ඒකකය තුළින් එම පරමාදර්ශය සමාජයට ගලා යා යුතු බව පෙන්වා දෙමිනි. ඒ අනුව, පවුල තුළ සහජීවන පැවැත්ම හේතුවෙන් පුද්ගල අභිවෘද්ධියට මෙන්ම සමාජ සදාචාරයට ද සුවිශේෂ දායකත්වයක් ලැබෙන බව පෙන්වා දෙනු ලැබේ.

බුදුදහමට අනුව, පුබ්බාචාරිය, පුබ්බදේව හා ආහුණ්‍යෙ යන ශ්‍රේෂ්ඨ වචනවලින් මව, පියා හඳුන්වා තිබීමෙන් ඒ දෙපළට පූජනීයත්වයක් හිමිව තිබේ. මව, පියා යනු ගෙදරක බුදුවරුන් ලෙසින් අර්ථ දැක්වීමෙන් ද පළමුවෙන් මවුපියනට සමාජමය වටිනාකමක් හිමිකර දී ඇත. බුදුරජාණන් වහන්සේ නමකගේ අනුශාසනය අපි උත්තරීතර දෙසුමක් ලෙසින් පිළිගන්නෙමු. එලෙසින් ම, පූර්වාචාරීන් වන මවුපිය දෙපළගේ කාරුණික ඔවදන පවුල තුළ සුචරිතවත් දරුවකුට උත්තරීතර වන අතර සදාචාරාත්මක මාවතේ ප්‍රථම අනුශාසනය ද වේ. මව්පිය ඔවදන් පිළිගන්නා ළමයකුගේ හැසිරීම සුමඟට මිස නොමඟට නො යන බව පැහැදිලි ය. මව, පියා යන දෙදෙනා සාමාන්‍යත්වයේ ලා සැලකිය නොහැකි හෙයින් ඔවුන්ද තමාට සමාජීය වගකීමක් ද සුවිශේෂත්වයක් ද පැවැරී ඇති බව වටහා ගැනීම වැදගත් ය.

සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ සිඟාල කුල පුත්‍රයාට මවුපියන් යනු නැඟෙනහිර දිශාව ලෙසින් පෙන්වා දී ඇත. එමෙන්ම මව, පියා යනු අප මේ ලෝකයට එළි දක්වන්නෝ වෙති. (ඉමස්ස ලොකස්ස දස්සෙතාරො) එමෙන්ම ලෝකය අපට අවබෝධ කරවනුයේ ද උගන්වනුයේ ද (පුබ්බාචාරිය) සියලු සැපත් සම්පාදනයේ මූලය වනුයේ ද මව හා පියා ය. එබැවින් මවුපිය දෙපොළ නැඟෙනහිර ලෙස තබා නමස්කාර කළ යුතු ය. නැඟෙනහිර දිසාවට පත්වන මවුපියන් පළමුවෙන් සිය දරුවන් වෙනුවෙන් කරුණු පහකින් සංග්‍රහ කළ යුතුව ඇත.

1. සිය දරුවන් පවින් වැළැක්විය යුතු ය.
2. යහපතෙහි පිහිටුවිය යුතු ය.
3. ශිල්ප ශාස්ත්‍ර ඉගැන්විය යුතු ය.
4. සුදුසු කල්හි ආවාහ විවාහ කටයුතු කර දිය යුතු ය.
5. නිසිකල දායාද පවරා දිය යුතු ය.

එමෙන්ම දරුවන් ද සිය මවුපියන් වෙත ඉටු කළ යුතුවන යුතුකම් පාර්ශවයක් ද සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.

1. දරුවන් සිය මවුපියන් පෝෂණය කළ යුතු ය.
2. ඔවුන්ගේ කාර්යයන් ඉටු කළ යුතු ය.
3. කුල පරපුර රැකිය යුතු ය.
4. දායාද නිසි පරිදි පරිහරණය කළ යුතු ය.
5. මවුපියන් පරලොව ගිය පසු පින් අනුමෝදන් කළ යුතු ය.

යමකු තමන් දැහැමෙන් ඉපැයූ දෙයින් මවුපියන් පෝෂණය කෙරේද ( යො මාතරං වා පිතරං වා මච්ඡෙ ධම්මෙන පොසති) මවුපියන් කෙරෙහි එසේ උවැටන් කිරීමෙන් එබඳු පුද්ගලයන් පණ්ඩිතයන්ගේ ප්‍රශංසාවට ලක්වන අතර මෙලොව මෙන්ම පරලොව දී ද සතුටුවන්නකු වන බව (ඉධෙවනං පසංසන්ති පෙච්ච සග්ගෙ පමොදති) අංගුත්තර නිකායේ දී පැහැදිලි කොට ඇත. මවුපියනට සැලකීම පුද්ගල දියුණුවට හේතුවක් බව මංගල සූත්‍රයේදීත් අවධාරණය කරන අතර එසේ නොවන කල්හි පුද්ගල පිරිහීමට හා සමාජ ගර්හාවට පත්වීමට හේතු කාරණා සැකසෙන බව පරාභව මෙන්ම වසල සූත්‍රයේ දී ද පෙන්වා දී ඇත.

පුද්ගලයකුගේ දියුණුවට එම සම්බන්ධතා අත්‍යවශ්‍ය වේ. තමාගේ දුක සැප දෙකෙහි මවුපියන් හැරුණු කොට සමීපතරයන් ලෙසින් පෙනී සිටින පිරිස වනුයේ තම ඥාති සමූහයාමය. බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේ දී පුද්ගලයකු මංගල්‍යයට නැතහොත් සුබ සිද්ධියට මෙහෙයවනු ලබන එක් කාරණයක් සේ පෙන්වා දෙනුයේ ද ඥාති සංග්‍රහයයි. (ඥාතකානාං ච සංගහො)

ආවාහ විවාහ, යුග දිවිය, පවුල් සංස්ථාව කුටුම්බික සංරක්‍ෂණය වැනි විවිධ නම්වලින් හඳුන්වනුයේ ද ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය එකට බැඳී දුක සැප බෙදාගැනීම පිණිස හා පරපුරක් බිහිකිරීම අරභයා සිය මව්පිය සෙවණින් ඉවත්ව වෙන්ව පවුලක් ලෙසින් ජීවිතය ආරම්භ කිරීමයි. ගෘහස්ථ සංස්කෘතියේ විවාහ ජීවිතය එක් අංගයක් වන අතර එහි සාර්ථකත්වය අරමුණු කොටගත් සදාචාරාත්මක උපදේශන පද්ධතියක් බුදුදහමින් අවධාරිත ය.

පස්කම් සැප සදාචාරාත්මකව විඳීම බුදුදහම තුළින් ප්‍රතික්ෂේපිත නොවේ. එසේම පවුල් දිවිය අර්ථවත් කිරීමට, නිරවුල් කිරීමට, ධාර්මිකව, පී‍්‍රතිමත්ව හා සැනසිල්ලේ ගත කිරීමට අවශ්‍ය වැදගත් උපදෙස් රැසක් බුදුදහමෙන් ඉදිරිපත් කර තිබේ. ලෝකයේ උතුම් දෑ අතර කාන්තාව ද වන බව දේවතා සංයුත්තයේ දී පැහැදිලි කර ඇති අතර උසස් ගතිගුණවලින් හෙබි ස්වාමී දියණිය තරම් ස්වාමියාට උසස් මිතුරියක ද නැති බව පෙන්වා දී ඇත. නුවණැති, සිල්වත්, නැදිමයිලන් පුදන, පතිවත රකින කත ඉතා ශ්‍රේෂ්ඨ බවත් ඈ රජුන් වැන්නන් බිහිකරන්නියක බවත් දක්වමින්, ස්වාමී භක්තිය ඇති කාන්තාව හට බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළ බව කෝසල සංයුත්තයෙන් පැහැදිලි වේ.

අංගුත්තර නිකායේ සංවාද සූත්‍රයේ දී විවාහක දෙපොළකගේ එක්ව වාසය කිරීම මෙසේ ආකාර සතරකට අනුව අර්ථ දක්වා ඇත.

1.මළ මිනියක් මළ ස්ත්‍රියක සමඟ වාසය කරයි.
2. මළ මිනියක් දෙව්දුවක සමඟ වාසය කරයි.
3. දෙවියෙක් මළ ස්ත්‍රියක සමඟ වෙසෙයි.
4. දෙවියෙක් දෙව්දුවක සමග වාසය කරයි.

පස්පව් දස අකුසලින් දූෂිත මෙන්ම සමාජ විරෝධි ක්‍රියාවන්හි ද නිරත පිරිස් මෙහි දී මළ මිනියකට බුදුරජාණන් වහන්සේ විසින් උපමා කරනු ලැබ තිබේ. සිතිවිලි හා ක්‍රියාකාරීත්වයෙන් අංශ දෙකක යන දෙදෙනෙකු එක්ව කටයුතු කිරීමේ දී ප්‍රශ්න පැන නැඟිය හැකි අතර එබඳු වූ ගති සිරිත් සාර්ථක පවුල් දිවියක් ගෙනයෑමට බාධාකාරී වේ.

කුසලයට හා යහපතට නැඹුරු වූ තැනැත්තා දෙවියන්ට උපමා කරන බුදුරජාණන් වහන්සේ මෙම කොටස් හතරෙන් ප්‍රශංසාවට ලක් කර ඇත්තේ සිවුවන කොටස ය.

සාර්ථක යුග දිවියකට පදනම් වන තවත් වැදගත් කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. එනම් සද්ධා, සීල, චාග සහ පඤ්ඤා යන සතර කරුණුයි.

සද්ධා යනු ඔවුනොවුන් දෙදෙනා අතර ඇති විශ්වාසය හෙවත් භාවමය හැඟීම යි. ශීල යනු චරිත සංවර්ධනය හෙවත් සංයත බව යි. චාග යනු පරානුකම්පාව හෙවත් ත්‍යාගශීලි බව යි. පඤ්ඤා යනු යමක් නිසි පරිදි අවබෝධ කොට ගැනීමට ඇති නුවණයි. විවාහක අඹුසැමියන් දෙදෙන අතර මෙම ගුණාංග දියුණු කර ගැනීමට කටයුතු කරන්නේ නම් එම යුග දිවිය අර්ථාන්විත හා සැපවත් කර ගත හැකි ය. එමෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය දියුණු කර ගනිමින් විවාහයක් තුළින් අපේක්‍ෂිත අරමුණු නිසිපරිදි ඉටු කොට ගැනීමට ද හැකි වේ.

විවාහය යනු ස්වාමියා හා භාර්යාව අන්‍යෝන්‍ය ගෞරවය හා ප්‍රේමය පදනම් කොට ගෙන යන චර්යා මාර්ගයක් මිස ප්‍රමුඛත්වය අරභයා කරන තරගයක් නොවන බව පැහැදිලිවම බෞද්ධ සදුපදේශවලින් හෙළිදරව් වේ. සිඟාලෝවාද සූත්‍රය මෙබඳු උපදේශනවලින් සමන්විත සූත්‍ර ධර්මයකි. සිඟාලෝවාද සූත්‍රයේ දී අඹුසැමියන් වශයෙන් එකිනෙකා වෙත ඉටු කළ යුතු යුතුකම් කවරේද යන්න පැහැදිලිව පෙන්වා දී ඇත. ඒ අනුව ස්වාමියා මෙසේ භාර්යාවට සැලකිය යුතු ය.

1. ගරු සම්මාන දැක්වීම
2. බිරිඳට අවමන් නොකිරීම
3. අනාචාරයේ නොහැසිරීම
4. නිවෙසෙහි කටයුතු පවරාදීම
5. අලංකාර වස්ත්‍රාභරණ ලබා දීම.

ස්වාමියාගෙන් එසේ සංග්‍රහ ලබන පතිනිය ද සිය ස්වාමියා වෙත කරුණු පහකින් යුතුකම් ඉටු කළ යුතු වේ.

1. මනාව සංවිධානය කරන ලද කටයුතු ඇත්තියක වීම.
2. සැමියාගේ පිරිසට මනාව සංග්‍රහ කරන්නියක වීම.
3. අනාචාරයේ නොහැසිරීම.
4. සැමියා උපයන දේ මනාව ආරක්‍ෂා කිරීම,
5. සියලු කටයුතුවල දක්ෂව හා අනලස්ව යෙදීම

එසේ සිය ස්වාමියා වෙත යම් භාර්යාවක උපස්ථාන කරන්නේ නම් ඔහුගේ ආදරය කරුණාව තමා වෙත නිරතුරුවම දිනාගන්නියක විය හැකි බව මෙහිදී පෙන්වා දී ඇත.

විශේෂයෙන් ගෘහයක වැඩි වගකීමක් ස්වාමි දියණිය වෙත නිරායාසයෙන්ම පැවැරී ඇත. එබැවින් ඇයගේ කාර්යයන් කෙසේ සකස් විය යුතු ව තිබේද යන්න පිළිබඳව ද බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ කුමාරිකෝවාද සූත්‍රයේ දී දේශනාකොට ඇත.සැකය පසෙකලා විශ්වසනීයත්වය ගොඩනඟා ගෙන යහපත් ගතිවලින් යුතුව එකිනෙකා කෙරෙහි ආදර ගෞරව සම්ප්‍රයුක්තව වෙසේ නම් එම යුගදිවිය ඉතා සැනසිලිදායකය. සමජීවී වැනි සූත්‍රවලදී මහලු විය දක්වා සමඟියෙන් වෙසෙන අඹුසැමියන් බුදුරදුන්ගේ ප්‍රශංසාවට ලක්ව ඇත. චරිතයෙන් පිරිහුණු පුරුෂයකුගේ හෝ කාන්තාවකගේ හෝ නායකත්වයක් පැවතීම නිවෙසක හෝ ආයතනයක ආර්ථික වශයෙන් පරිහානියක් ඇතිවීමට එක් හේතුවක් බව බුදුරජාණන් වහන්සේ කුල සූත්‍රයේ දී පෙන්වා දුන් සේක. අයථා දෑ සඳහා මුදල් යෙදවීම මත මූල්‍ය කළමනාකරණය බිඳවැටෙන අතර ඒ තුළින් මතුවන කලහාකාරිත්වය යුග දිවිය පවත්වා ගැනීමට බාධාවක් බව මින් ගම්‍ය කෙරේ.

කායික, මානසික අතින් ද වයස් පරතරයෙන්ද නොගැළැපෙන පුද්ගලයන් අතර විවාහය පුද්ගල පිරිහීමේ එක් මඟක් සේ බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේ දී පෙන්වා ඇත. වෘද්ධත්වයට පත් පුද්ගලයකු නව යෞවනියක විවාහ කර ගැනීම ඊට උදාහරණයකි. මෙහි නොගැළැපීම යනු එම කාන්තාව කෙරෙහි නිරතුරුව වෘද්ධයා සැකයෙන් සිටින අතරම කාන්තාව ද වෘද්ධයා කෙරෙහි ද්වේශයෙන් විසීමයි. එබැවින් දෙදෙනා අතර ගැටුමකට මඟ පෑදෙන අතර පරිහානිය ද ඒසමඟම ඔවුන් වෙත ළඟාවීම නොවැළැක්විය හැකි ය. වෙස්සන්තර ජාතකයේ ජූජක බමුණා මුහුණ දෙනුයේ ද මෙබඳු වූ ඛේදවාචකයකට ය. එමෙන්ම අන්ධභූත ජාතකය ද මෙබඳු වූ කතා පුවතක් ගෙන හැර දක්වයි.

සංයුත්ත නිකායේ සක්ක සංයුත්තයේ දී එසේ ආචාරශීලී සුචරිතවත් අඹු සැමියනට සක් දෙව් පවා ප්‍රශංසා කළ බව දැක්වේ. ධාර්මික, නිරවුල් හා චරිතවත් යුගදිවියක් ගත කරන අඹුසැමියන් සමාජයේ ගෞරවයට හා පූජනීයත්වයට පත්වන අතර ඔවුන් ඇති කරන සමාජය සදාචාරාත්මක වන බව නො කිව මනා ය.