Print this Article


හෘද සාක්‍ෂියට එකඟව පංච ශීලය සුරකින්න

හෘද සාක්‍ෂියට එකඟව පංච ශීලය සුරකින්න

ශිෂ්ඨ සම්පන්න ලෝකය තුළ පිළිගත් මූලික සදාචාර ප්‍රතිපත්ති පහ බුදුසමයෙන් පංච ශීලය යටතේ ගෘහස්ථ ජීවිතය හා සම්බන්ධකර තිබේ. අගාරික ප්‍රතිපදාවට පමණක් නොව අනගාරික පැවිදි ශීලයේ පදනම වශයෙන් පිළිිගෙන තිබෙන්නේද මෙම පංච ශීලයයි. එක් අතකින් එය විශ්ව සාධාරණ මූලික සදාචාර ධර්ම පද්ධතියක් වශයෙන් පිළිගැනෙයි.

පරමාදර්ශි බෞද්ධ රාජ්‍ය පිළිබඳ ඉගැන්වෙන චක්කවත්තිසීහනාද සූත්‍රයෙහි පංචශීලය රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව ද ක්‍රියාවට නැඟීමේ වැදගත්කම අවධාරණය කෙරේ. බෞද්ධ උපාසක ජීවිතයේ මූලික සදාචාරය වශයෙන් පිළිගැනෙන පංච ශීලය ගිහියාගේ ආධ්‍යාත්මික ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. නිති පන්සිල් පොහොය අටසිල් වශයෙන් කියැවෙන ප්‍රකාශනයෙන් ද සිහිපත් කෙරෙන්නේ ගිහි සදාචාර ශික්‍ෂණය පංච ශීලයෙන් ආරම්භ වී විමුක්තිය පිණිස ඉවහල්වන නෛෂ්ක්‍රම්‍ය පිළිබඳ ප්‍රතිපදාව අෂ්ටාංග ශීලයෙන් පරිසමාප්තියට පත්වන බවයි. විශ්වසාධාරණ ප්‍රතිපදාවක් වශයෙන් පිළිගැනෙන පංච ශීල ප්‍රතිපත්තිය මානව අයිතිවාසිකම් පිළිබඳ නූතන පිළිගැනීම් සමඟ ඍජුවම සම්බන්ධ වන හෙයින් එය ආගමික ජීවිතය තුළට පමණක් සීමා නොවේ.

එහි මූලික මිනිස් අයිතිවාසිකම් හතරක් වශයෙන් පංච ශීලයේ මුල් අංග හතර පිළිගෙන එය සුරක්‍ෂිත කිරීමෙහිලා අණ පනත් සම්මත කරගෙන තිබේ.ජීවත්වීමේ අයිතිය, දේපළ පවත්වාගෙන යාමේ අයිතියි, පී‍්‍රතිමත් පවුල් ජීවිතයක් ගත කිරීමේ අයිතිය, සත්‍ය දැන ගැනීමේ අයිතිය මෙන්ම මත්වීමෙන් තොරව මානසික සංහ¼ිදියාවෙන් යුක්තව කටයුතු කිරීමේ අයිතිය, පංච ශීලය තුළින් අර්ථවත් වේ. මෙම අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන සැම අවස්ථාවකදීම එයට ප්‍රතිවිරුද්ධවී විශ්වීය මට්ටමෙන් ලොව සියලු ජාතීන් නැගී සිටී. බුදුසමය සදාචාර පදනම වශයෙන් හඳුන්වාදෙන ලද පංච ශීල ප්‍රතිපදාවේ විශ්වීය වටිනාකම මෙයින් පැහැදිලි වේ.

පංච ශීලය යනු එක් අතකින් පුද්ගලයා විසින් තමා සමඟ ඇතිකරගන්නා වූ අවබෝධාත්මක ගිවිසුමකි. එය කිසියම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් වෙත ඇතිකරගන්නා වූ වගකීමක් නොවේ. තම හෘද සාක්‍ෂිය අනුව ඇතිකරගන්නා වූ ගිවිසුමක් හෙයින් එය “සමාදියාමි” යනුවෙන් දැක්වේ. එබැවින් එය කැඩීම සම්බන්ධයෙන් ද වගකිව යුත්තා වන්නේ තමාම ය. තම හෘදය සාක්‍ෂිය පදනම්කරගත් අවබෝධය තුළින් ඇතිවෙන පෙළඹවීම හේතුවෙන් පංච ශීල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උනන්දුව පුද්ගලයා තුළ ඇති වේ. එම අවබෝධය තමා උපමා කරගනිමින් ඇතිකරගත යුත්තකි. මෙය ධම්මපදයේ දණ්ඩ වග්ගයේ දැක්වෙන සියල්ලෝම දඬුවමට තැතිගනිත්. සියල්ලෝම මරණයට බියවෙත්, එබැවින් තමා උපමා කරගනිමින් අන් අය නැසීමෙන් ද ඝාතනයෙන්ද වැළකිය යුතුයි” යන ප්‍රකාශනයෙන් පැහැදිලි වේ.මෙම අවබෝධය වනාහි බාහිර වෙනත් කරුණක් පදනම්කරගෙන ඇතිවන්නක් නොවේ.එසේම අපාය බිය හේතුවෙන් ඇතිකරන්නක් නොවේ. මෙම ප්‍රකාශනය බෞද්ධ සදාචාරයේ දාර්ශනික පදනම පැහැදිලි කරයි. බාහිර ආධාරකයක් උපයෝගී කරගෙන ගොඩ නඟා ගන්නා ශික්‍ෂණය දීර්ඝකාලීන වූවක් නොවේ. එබැවින් පුද්ගලයා පංච ශීල ප්‍රතිපදාව ක්‍රියාත්මක කළ යුත්තේ ආත්මාවබෝධය පදනම් කරගෙන මිස අපාය හෝ දුගතිය නැතහොත් නීතියෙන් හෝ සමාජයෙන් ලැබෙන දඬුවම් පිළිබඳ සලකාගෙන නොවේ. එහෙත් මෙම ආත්මාවබෝධය ධර්මය මෙන්ම ලෝකය පිළිබඳ මනා අවබෝධයක් සහිත පුද්ගලයෙකු තුළ ඇතිවන්නකි. එවැනි අවබෝධයක් සහිත පුද්ගලයෝ අල්ප වෙති. මෙනිසා අපාය, දුගතිය, නීතිමය දඬුවම කෙරෙහි ඇතිකරගන්නා වූ බිය සාමාන්‍ය මිනිසාට අවශ්‍ය වේ. එය ආධාරකයක් ලෙස භාවිත කරමින් ඔවුන් වරදින් වළක්වාගත හැකි වේ. එහෙත් බෞද්ධ සදාචාර දර්ශනය අනුව පුද්ගලයා එම මට්ටම අභිබවා වරදින් නිදහස් වීම පිළිබඳ ආත්මාවබෝධය ලැබිය යුතුයි. මෙම අවබෝධය කෙසේද යන්න ‘වේළුද්වාර සූත්‍රයෙහි’ ඉදිරිපත් කෙරේ.

පංච ශීල ප්‍රතිපදාව යටතේ හුදෙක් විරති හෙවත් වැළකීම පමණක් නොව අනුගමනය කළ යුත්තක් ද? දක්වා තිබේ. අප බහුල වශයෙන් සමාදන්වන ශික්‍ෂා පද පස තුළ අන්තර්ගතවන්නේ විරති පක්‍ෂය පමණි. සමාදානය හෙවත් අනුගමනය කළ යුත්ත සූත්‍රයන්හි දීර්ඝ වශයෙන් විස්තර වේ. බුදුසමයෙහි විශේෂත්වය වන්නේ හැම විටම අයහපත, පාපය, අකුසල පිළිබඳ පළමුව දැනුවත් කිරීමයි. දෙවනුව යහපත, කුසලය පිළිබඳ දැනුවත් කරයි. සියලු බුදුවරුන්ගේ අනුශාසනය ආරම්භ වන්නේ පවින් වැළැක්වීමෙන්ය. මෙම පිළිවෙත සෑම තැනකම බුදුරජාණන් වහන්සේ අනුදත් ක්‍රමයයි. එනම් පළමුව වරද පෙන්වා දී එයින් වළක්වා දෙවනුව යහපතෙහි යෙදවීමයි. එයට හේතුව පුද්ගලයාට පහසුවෙන් අයහපත අකුශලය පාපය කළ හැකි බැවිනි (සුකරානි අසාධූනි)

පංච ශීලයට අයත් ශික්‍ෂාපද සූත්‍රාන්තයන්හි විවරණය කර තිබෙන අයුරු විමසීමෙන් එහි ‘අන්තර්ත විරති ‘ හා ‘සමාදාන’ කොටස් වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැකි වේ. පළමු ශික්‍ෂාපදය අර්ථ ගන්වන්නේ “ප්‍රාණ ඝාතයෙන් වැළකෙයි. සියලු ආයුධ, දඬුමුගුරු බැහැර කරයි. ප්‍රාණඝාතයෙහි ලජ්ජාවෙන් යුක්ත වෙයි. දයාවෙන් යුක්ත වෙයි. සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පී වෙයි” යනුවෙනි. ප්‍රාණඝාතයෙහි ලජ්ජාවට පත්වීම අයත් වන්නේ විරති හෙවත් වැළකීමේ පක්‍ෂයට ය. දයාවෙන් යුක්ත වීම හා සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පීවීම සමාදාන පක්‍ෂයට අයත් වේ. මේ අනුව සෑම ශික්‍ෂාපදයකම විරත හා සමාදාන යනුවෙන් ප්‍රභේද දෙකක් දක්නට ලැබේ. ඉන් එක් පක්‍ෂයක් අකුශල හා පාප ගණයටත් අනෙක් පක්‍ෂය කුශල පක්‍ෂය නියෝජනය කරයි. පළමු ශික්‍ෂා පදය අනුව ප්‍රාණඝාතයෙන් වැළකීම පමණක් අර්ථවත් නොවේ. එයින් වැළකීමත් සමඟ සියලු සත්ත්වයන් කෙරෙහි මෙත් සිත පැතිරවීම හා දයාව දැක්වීම කළ යුතුවේ. පුද්ගලයා ප්‍රාණඝාතය සඳහා යොමුවන්නේ ලෝභ, දෝස, මෝහ යන අකුශල සහගත මානසික මූලයන්ගේ බලපෑම හේතුවෙන් ය. එකී අකුශල සහගත මූලයන් වෙනුවට එහි ප්‍රතිවිරුද්ධ පක්‍ෂය වන මෛත්‍රිය හා දයාව අනුකම්පාව යන කුශල පක්‍ෂයේ මානසික ධර්ම වර්ධනය කළ යුතු වේ. එවිට කායික වශයෙන් ප්‍රාණඝාතයෙන් කෙනෙකුට පහසුවෙන් වැළකී සිටිය හැකිය.නමුත් ඒ සඳහා පොළඹවන ද්වේෂය, තරහව, වෛරය, වධක චේතනා වලින් ඉවත්වීම පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා විශේෂ මානසික පුහුණුවක් අවශ්‍ය වේ. මෙම මනෝවිද්‍යාත්මක පදනම පංච ශීලය තුළ අන්තර්ගත වී තිබෙන අයුරු ශික්‍ෂාපද විමර්ශනය කිරීමෙන් පැහැදිලි වේ. කෙනෙකු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් පංචශීලය සමාදන්ව වාසය කරන්නෙයි යනුවෙන් අදහස් කරන්නේ ඔහු තුළ මෙකී මානසික පරිවර්තනයද සිදුවිය යුතු බවයි. මෙම විග්‍රහය සෙසු ශික්‍ෂාපද සම්බන්ධයෙන් ද සාධාරණය වේ.

පංචශීල ප්‍රතිපදාව ක්‍රියාත්මක කළ යුත්තේ හුදෙක් තමා තුළම පමණක් නොවේ. එයට සමගාමීව සමාජ කාර්යභාරයක් ද ඒ තුළ දක්නට ලැබේ. එය අංශ තුනක් යටතේ ක්‍රියාවට නැංවිය යුතුයි. පළමුව තමා වරදින් නිදහස් විය යුතුවේ. දෙවනුව අන් අයද එම වරදින් නිදහස් කර ගැනීමට ක්‍රියා කළ යුතු වේ. තෙවනුව සාවද්‍ය ක්‍රියාවන් කෙරෙහි අනුබල දීමෙන්ද වැළකිය යුතු වේ. මේ අනුව කෙනෙකු තමන් සොරකමින් වළකින අතර අන් අයද එයින් වළක්වා ගත යුතු වේ. මෙයින් පැහැදිලි වන්නේ පංච ශීලය පුද්ගලික මට්ටමෙන් නො නැවතී සමාජමය මට්ටම දක්වා ක්‍රියාත්මක කළ යුතු බවයි. බෞද්ධ සදාචාරය යටතේ පුද්ගල සදාචාරය මෙන්ම සමාජ සදාචාරයත් සාපේක්‍ෂව එකට බැඳී පවතී. තමන් රකින්නා අන් අයද ආරක්‍ෂා කරන්නේ ය අන් අය රකින්නා තමන් ද ආරක්‍ෂා කරන්නේ ය(අත්තානං රක්ඛන්තො පරං රක්ඛති පරං රක්ඛන්තො අත්තානං රක්ඛති) යනුවෙන් බුදුසමය අවධාරණය කරන්නේ එකී සමාජ වගකීමයි. අනෙක් අතට සමාජය තුළ සිදුවන සදාචාර විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම බුදුසමය අනුමත නො කරයි. එසේ කිරීම වක්‍රාකාරයෙන් අපරාධ සඳහා අනුබලදීමක් වේ.

පෞද්ගලික මෙන්ම සාමූහිකවත් සදාචාර විරෝධී ක්‍රියාවන්ට එරෙහිව පෙළගැසිය යුතු වේ. මෙම පෙළගැසීම සාමකාමි එකක්විය යුතුයි. බුදුදහම සාමය අගයන දහමකි. කරුණු අවබෝධ කර දීමෙන් පුද්ගලයා යහපතට යොමු කිරීමේ බුද්ධිමය හා ඤාණාන්විත ක්‍රමවේදය බුදුසමයෙන් අනුදත් පිළිවෙතයි. (අනුසාසනාපාටිහාරිය) එසේ නොමැතිව නීතිය හෝ සාමය බිඳවැටෙන අයුරින් කටයුතු කිරිම බුදුසමයට පටහැනි වේ.

අවියෙන් තොරව බලපෑම් වලින් තොරව බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ලෝකයට ප්‍රදානය කළ ලොව එකම ආගම වන්නේ බුදු දහමයි. සමාජ සදාචාරය රැකීමට පළමුව තමා සදාචාර සම්පන්න අයෙකු විය යුතු වේ. බුදු දහමෙන් පෙන්වා දෙන්නේ පළමුව තමන් නිවැරැදි පිළිවෙතෙහි පිහිටා දෙවනුව සමාජය නිවැරැදි කිරීමට උත්සුක විය යුතු බවයි. (අත්තානමේව පඨමං පතිරූපෙ නිවෙසයෙ)