Print this Article


සිත ද නිවන ගත ද නිවන සැපය නිවන

සිහි නුවණින් කරනු ලබන දාන ශීල භාවනා පින්කම්වලදී සති සම්බොජ්ඣංගය පහළ වේ. සති යනු සිහිය යි. සම්බොජ්ඣංග යනු නිවන් සුවය සඳහා අවශ්‍ය අංගය . නිවන් අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය අංගය සති සම්බොජ්ඣංගය යි. බෝධි + අංග =බොජ්ඣංග යැයි සෑදී ඇත. සසර දුකින් අත්මිදී නිවන් බලාපොරොත්තු වන සියලුම දෙනා සිහිකල්පනාවෙන් කටයුතු කළ යුතුය. අධ්‍යාපනය, රැකියාව, දෛනික කටයුතු සඳහා ද, සිහිය අත්‍යවශ්‍ය වේ. සතිය හෙවත් සිහිය දියුණු වෙන කරුණු 4 කි.

1. සිහිකල්පනාවෙන් කටයුතු කිරීම
2. සිහිය නැති අය ආශ්‍රය නො කිරීම
3. සිහි කල්පනාව ඇති අය ආශ්‍රය කිරීම
4. සිහි කල්පනාව දියුණු කිරීමේ වැඩ කිරීම

ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම දේශනා කිරීම, ධර්මය සජ්ඣායනා කිරීම, ධර්මය මෙනෙහි කිරීම, භාවනාව යන කරුණු හය සඳහා අවශ්‍ය වනුයේ සිහිනුවණයි. එයින් පංච නීවරණ දුරු වේ. සති, සමාධි, ඤාණ දියුණු වේ. එයම සති සම්බොජ්ඣංගයයි.

පාපයට ලැදි පුද්ගලයා තුළ මෙය පහළ නොවේ. ශාසනික ගුණ දියුණු කරන තැනැත්තාටම පහළ වේ. සතිය පහළ වීමේදී පංච ඉන්ද්‍රිය දියුණු වේ. සද්ධා, ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය, යන පංච ඉන්ද්‍රිය දියුණු වේ. එම සිතට සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංඛාරික සිත යැයි ව්‍යවහාර කෙරේ.

මනුස්ස සැප, දේව සැප, බ්‍රහ්ම සැප, නිවන් සැප යන සියලු සැප ලබා ගැනීමට ප්‍රධාන වන්නේ සිහිනුවණයි. ඒ ධර්මතාවයන් පහළ වීමෙන් කරනු ලබන පින් බල සම්පන්නයි. ඕනෑම සම්පතක් ලබා ගත හැකිය. නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර යන සතර අපා දුකින් අත්මිදී සංසාර ගමන සුවසේ යෙදෙන්නට හැකිය. ලෝකයේ බොහෝ දෙනෙක් දුක් විඳිති. හේතුව පින මදි නිසා ය. පිනට ජාති,ආගම් භේද කිසිවක් නැත. ඕනෑම කෙනෙකු පින් කළොත් සැප ලැබෙයි.

ලෝකයේ බොහෝ දෙනා සැපයෙන් වාසය කරති. ඒ සැපය පිනට ලැබී ඇත. සියලුම සැප අතරින් මහා සැපය නිවන් සැපයයි. එම සැපය සිතට ලැබේ. ගත ද නිවී සැනසේ. මහරහතන් වහන්සේ මේ මහා සැපය විඳිති. එසේම ලොවුතුරා බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ ඒ උතුම් සැපය විඳිනි. දින 7 ක් ආහාරපාන නැතුව නිරෝධ සමාපත්තියෙන් වාසය කළ හැකිය. මොන තරම් සැපයක් ඒ උතුමෝ වින්දනය කරයිද? අපි සැවොම සෑම පින්කමකදී ප්‍රාර්ථනා කළ යුතු වන්නේ දිව්‍ය, මනුස්ස, බ්‍රහ්ම සැප නොව නිර්වාණ සැපය යි.

දාන, ශීල භාවනා පින්කම් කර ගැනීම තුළින් පමණක් ලද හැකි සැපයකි. එම සැපය තාවකාලික නොවේ. එම සැපය ස්ථිරයි. අනෙක් සියලුම සැප ස්ථිර නැත. තාවකාලික යි. ගත, සිත නිවා යන සැපය බලාපොරොත්තු වන්නේ ටික දෙනයි. ඒ ටික දෙනාට බලාපොරොත්තු වෙන නිවන අවබෝධ කර ගත හැකිය.

කිසිම දෙයක් පිළිබඳව ඇලීම (තණ්හාව) ගැටීම (තරහව) තබා ගැනීම නුසුදුසු ය. එයින් දුක් විපාක ලැබෙයි. මරණයේදී එම සිතිවිලි පැමිණීමෙන් සැප නොලැබේ. සතර අපා දුකට පත්වේ. ඒවා මනාකොට තේරුම් ගෙන පාපී සිතිවිලි ප්‍රහාණය කළ යුතුයි. නුවණින් කල්පනා කොට ඒවා ඉවත් කළ යුතුයි. සියලුම සත්වයන්ට එසේ කළ නොහැකි ය. තණ්හාව, තරහව, මාන්නය, අවිද්‍යාව ප්‍රධානව සිත්වල පවතී.

බෞද්ධ ජනතාව පාපී සිතිවිලි ප්‍රහාණය කිරීමේ ක්‍රමය බුද්ධ දේශනාව තුළින් ඉගෙන ගෙන ඇත. ඒ ක්‍රම භාවිතා කොට සිත පිරිසුදු කිරීම කළ යුතුයි. දානය, තුළින් තණ්හාව දුරු වේ. ශීලය තුළින් තරහව (ද්වේශය) දුරු වේ. භාවනාව තුළින් මෝහය (අවිද්‍යාව) දුරුවේ.මේ ප්‍රධාන බාධක තුන ප්‍රහාණය කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන ඒ උතුම් අපේක්ෂාවන් ළඟා කර ගත හැකිය.

එම නිසා සියලුම දෙනා තමන්ගේ දරුවන්ද නිසි මඟට හරවා ගෙන වාද භේද නැතුව පංච ශීලය රැකගෙන යහපත් ප්‍රතිපත්ති ඇතිව ජීවත්වීම සඳහා අධිෂ්ඨාන කරගත යුතුය. සියලුම දෙනාට යහපතක්ම වේවා!