Print this Article


බොදු පිළිවෙත් සපුරන පරිසරය පුරා විහිදෙන්නේ සිල් සුවඳයි

බොදු පිළිවෙත් සපුරන පරිසරය පුරා විහිදෙන්නේ සිල් සුවඳයි

“ධම්මො හවේ රක්ඛති ධම්ම චාරී”

ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා ධර්මය විසින්ම ආරක්‍ෂා කරන බව බුදු දහමේ ඉගැන්වේ. සැබෑ බෞද්ධයා නම් තම ජීවන පැවත්ම හසුරුවා ගන්නේ බෞද්ධ ඉගැන්වීම්වලට අනුකූලවය. මෙලොව දියුණුව මෙන් ම, පරලොව සුගතිය පිළිබඳව සිතන ඔහු ඒ සඳහා සුදුසුම මාර්ගය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්ම මාර්ගය පමණක්ම වන බව අවබෝධ කර ගනී. එවැනි අවබෝධයකින් තොරව ‘ මම හොඳ බෞද්ධයෙක්’ ‘ මම පැවැත එන්නේ හොඳ බෞද්ධ පරම්පරාවකින්. ජීවත් වන්නේ උතුම් බෞද්ධ සමාජයකැ’යි සිතමින් උදම් වූ පමණින් හෝ ආඩම්බර බස් දෙඩූ පමණින් කිසිවෙකුට සැබෑ බෞද්ධයකු විය නොහැකිය. ඔහුගේ හැසිරීමෙන්, ක්‍රියාකාරකම්වලින් බොදු පිළිවෙත් ඉස්මතු විය යුතුය. එවැනි පිළිවෙත් පුරන මිනිසුන් සිටින බිමක් දෙස බලා, මේ නම් බෞද්ධ පරිසරයකැයි කෙනෙකුට පහසුවෙන් හඳුනාගත හැකිවිය යුතුය.

බුදුරජාණන් වහන්සේ ගිහියාට පංච ශීල ප්‍රතිපදාව අනුදැන වදාළේ යහපත් අධ්‍යාත්මයක් ගොඩනඟා ගැනීම සඳහාය. පවුලත්, සමාජයත් සුරක්‍ෂිත කිරීම සඳහා ය. සෑම බෞද්ධයකුම ඒ ප්‍රතිපදාවන් තම ජීවිතයේ ස්ථිර ප්‍රතිපත්ති බවට පත්කර ගතයුතුය.

පන්සිල් සුරකින සමාජයක් නම්, පංච ශීලය ගරු කරන සමාජයක් නම් එහි, මානුෂීය ධර්මයන්හි පැහැදිලි විකාශනයක් තිබිය යුතුය. ඔබගේ එදිනෙදා ජීවිත පැවත්මේ සියලු ක්‍රියාකාරකම් හා හැසිරීම්වල, සිතුම් පැතුම් ආකල්පයන්හි ඒ සිල් සුවඳ මුසු නොවන්නේ නම් ඔබ ජීවත්වන සමාජය බෞද්ධ සමාජයක් වන්නේ නැත. දැහැමි ගුණගරුක සමාජයක් වන්නේ නැත.

අනුන්ට හිංසා පීඩා කිරීමෙන්, අන්සතු දේ පැහැර ගැනීමෙන් කාමය වරදවා හැසිරීමෙන්, බොරුවෙන්, මත් වතුරෙන් වළකින ඔබ වෙත නිරායාසයෙන් ම සැනසීම උදාවේ. ඒ පංච ශීලයෙහි ශක්තිය හා ගුණය අපමණ වන බැවිනි. පළමුව තමන් ශීලයෙහි පිහිටා දෙවනුව ඔබ උත්සාහ කළයුතු වන්නේ දූ දරුවන්, නෑදෑ හිතමිතුරන්, අසල්වැසියන් ඇතුළු දන්නා හඳුනන සියල්ලන් කෙරෙහි ඒ ශීලාදී ගුණධර්මයන් හුරු කරවීමටය. එවිට තමන්ට මෙන්ම පවුලට, වාසය කරන පරිසරයට, රටට, සහෝදර ජනතාවට ද සැනසීම උදාවේ. එම උත්සාහය ද සැබෑ බොදුනුවකු සතු සුවිශේෂී ගුණාංගයකි.

ආර්ය මාර්ගයේ පළමු පියවර ශ්‍රද්ධාවය. එනම් බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් කෙරෙහි ඇති කරගන්නා වූ විශ්වාසය හෙවත් පැහැදීම ය. ශ්‍රද්ධාව නොමැති සිතක ධර්මය පිහිටන්නේ නැත. ක්‍රියාකාරකම් ද අදැහැමි ය. මේ නිසා සැබෑ බෞද්ධයකු වීමට නම් තුනුරුවන් විෂයෙහි ස්ථිර විශ්වාසයක් ඇතිකර ගත යුතුය. බෞද්ධයකු විසින් අත්හළ යුතු අකුසල් දුරලා දස කුසල සම්පදාව ජීවිතයට ආදර්ශයක් කරගත හැකි ය. පළමුව ඔබ කළයුතු වන්නේ ජීවිතයේ සුළු සුළු වෙනස්කම් ඇති කර ගනිමින් ක්‍රම ක්‍රමයෙන් එම ගුණ ධර්ම ප්‍රගුණ කිරීම ය. උපන් අකුසල යටපත් කරමින් නූපන් කුසල් ඇති කර ගැනීමට උත්සාහ කළ යුතුය. එවිට ජීවිතයේ විශාල වෙනසක්, සංවර්ධනයක් ඇති කර ගැනීමට පුළුවන. තෙරුවන් සරණ ගිය පුද්ගලයා තමන්ට හිත පරිදි ජීවත්වන්නට උත්සුක වනවා සේම අනුන්ට ද හිතවත් වන්නේ ය. තමන්ට හිරිහැර, කරදර වන දෙයින් වළකින ඔහු තමන් නිසා අනුන්ට විය හැකි වරදින් ද වළකින්නේ ය.

ඇතැම්විට ඔබ නොසිතා කරන සමහර ක්‍රියාවන් තවත් කෙනෙකුට හිරිහැරයක් කරදරයක් වීමට පුළුවන. ඔබ සමඟ ජීවත්වන අඹුදරුවන් ඇතුළු සැමට පහසුවක් ලැබෙන ලෙස ජීවත්වන්ට නො හැකි නම්, සමාජයට කරදරකාරයෙක් නම්, බෞද්ධ ප්‍රතිපත්තිය එය නොවේ. ජීවිතයේ මුහුණ දෙන්නට සිදුවන විවිධාකාර වූ ප්‍රශ්න, ගැටුම් හමුවේ එවැනි වරදක් වීම සාමාන්‍ය දෙයක් වුව ද ඉන් වැළකීමට ඔබ කළයුතු වන්නේ ඉවසීම ප්‍රගුණ කිරීම ය. ඉවසීම ඇති තැන වැරැදි අවමය. විනය, ශික්‍ෂණය අප කෙරෙන් ගිලිහී ගියේ නම් ක්‍රෝධය, වෛරය නමැති නපුරු සිතිවිලි ඉවසීමේ ගුණය, උදුරා ගනී.

ඛන්ති පරමං තපො තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා

ඉවසීම උතුම් තපස් ගුණයකි. බුදුවරු නිවන උසස් කොට කියත්. ධම්ම පදයේ දී ඉවසීම නම් වූ උතුම් ගුණාංගය අර්ථ දක්වා ඇත්තේ එලෙසය. දිනපතා තෙරුවන් වන්දනාවේ දී ‘ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුද්ධො ...’ ආදී ගාථා පාඨයන් සජ්ඣායනය කරමින් අපි බුදු ගුණ සිහිපත් කරමු. බුදු ගුණ මෙනෙහි කරනවා සේම ඒ උතුම් ශාස්තෘවරයාණන් වහන්සේ දේශිත ධර්ම මාර්ගයේ ගමන් කිරීමට වෙහෙසිය යුතුය. එහිදී අවශ්‍ය වන්නේ තෙරුවන් කෙරෙහි වු අන්ධ භක්තිය නොව හොඳින් සිතා බලා බුද්ධියෙන් වටහා ගෙන, ධර්මාවබෝධයෙන් ජීවිතය හසුරුවා ගැනීමය. බුදු දහම සිතීමේ නිදහස අගය කළ ශ්‍රේෂ්ඨ ධර්මයකි. තථාගතයන් වහන්සේ දේශනාකොට වදාළේ උන්වහන්සේ දේශනා කළ ධර්මය, කෙනෙක් කීවාට, පොත පතේ සටහන් වූවාට, තව කෙනෙක් අනුගමනය කළාට නොව ප්‍රත්‍යක්‍ෂයෙන් සිතා අවබෝධ කරගන්නා ලෙසට ය. ඒ සඳහා විවේක බුද්ධිය සේ ම විවේචනාත්මක බව ද තිබිය යුතුය.

සඳුන් කැටයකින් සුවඳ ගලා යන්නේ එය උරච්චි කරන විටදී ය. දහම් සුවඳ ගලා යන්නේ ද ධර්මය විමර්ශනය කිරීමෙනි. ඒ ඔස්සේ ලද අවබෝධයෙන් තමන් ද දහමෙහි පිහිටා අනුන්ට ද අවබෝධ කරවීම බෞද්ධ ප්‍රතිපත්තියයි.

බුද්ධ දේශනය අනුපූර්ව ප්‍රතිපදාවක් ඔස්සේ දේශිත ධර්මයකි. එම දහම් මග යා යුතු වන්නේ ද අනුපිළිවෙළිනි. සම්බුද්ධ ශාසනයට ඇතුළු වූ පමණින් නිර්වාණ මාර්ගය අවබෝධ කළ නොහැකි බව පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ ගිහි ඔබට දේශනා කොට වදාළේ පළමුව පරිත්‍යාගයත්, දෙවනුව ශීලයත් ප්‍රගුණ කොට තෙවනුව සසරින් මිදීමේ වටිනාකම අවබෝධ කරගන්නා ලෙසටය. ශීල, සමාධි, ප්‍රඥා යන අවස්ථා තුන අනුපිළිවෙළින් ගෙන ශීලයෙන් සමාධියටත්, සමාධියෙන් ප්‍රඥාවටත් යා යුතුය.

අප තථාගතයන් වහන්සේ ආමිස පූජාව අනුදැන වදාළේ අනුපූර්ව ප්‍රතිපදාවක් ලෙසය. ඉන් සසර සැපවත් කරගන්නා අතරම කුසල් වැඩීමට ඇවැසි පදනම සකස් වේ. ආමිසයෙහි පදනම වන්නේ ද ශ්‍රද්ධාවයි. මේ නිසා ශ්‍රද්ධාව වර්ධනය කර ගැනීමට බෞද්ධාගමික වත්පිළිවෙත් හා පිංකම් කෙරෙහි උනන්දු විය යුත්තේ එහෙයිනි. ඒ සියලු පූජාවන් සංවිධානය කළ යුතු වන්නේ, ඒවාට සහභාගී විය යුතු වන්නේ තෙරුවන් උදෙසා කරන උපහාරයක් හා ගෞරවයක් වශයෙනි. ගෞරව නාම ලැබීම, කැපී පෙනීම, ප්‍රදර්ශනය කිරීම ආදි පටු චේතනාවත්, ලාබ අපේක්ෂාවත් එහි නොතිබිය යුතුය.

දීමේ ආනිශංස දන්නේ නම් කිසිවෙක් කිසිවෙකුට නොදී කිසිවක් පරිභෝජනය නොකරන බව බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළහ. “මා දිළිඳුය. දානයක් දෙන්නට තරම් වත්කමක් නැත’ යි ඔබ දුකට පත් විය යුතු නොවේ. අඩුම තරමේ ඔබ ආහාර ගෙන ඉවතලන ඉඳුල් වතුර ටික කරුණාවෙන්, විසිකර දමන්න. ‘ මේ කුඩා ආහාර කැබලි මේ පොළොවේ වෙසෙන අනේක විධ කුඩා ජීවින්ගේ කුස ගින්දර නිවන ආහාරයක් වේවා’ යි ප්‍රාර්ථනා කරන්න. එයම මහා දානයක් වනු ඇත.

ඉතිහාසයේ අන් කවරදාටත් වඩා මෑත කාලයේ විහාරස්ථාන ඉතා ජනාකීර්ණ වී තිබේ. ධර්ම දේශනා, දහම් සාකච්ඡා නිරන්තරයෙන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ. එහෙත් දුරාචාර, දූෂණවල වර්ධනයක් ඇති බව ද කියැවේ. මිනිසුන් කෙරෙහි ඊර්ෂ්‍යාව, කුහකකම පිරී තිබේ. හේතුව ජීවිතය පිළිබඳව අවබෝධ කර නො ගැනීමයි. තමන්ට නැති සම්පත් අනුන්ට තිබෙනවා දැක දරාගත නොහැකි වන්නේ ඒ ඊර්ෂ්‍යා සහගත සිතිවිලි නිසාය. ධර්මාවබෝධය නොමැති නිසාය. තමන්ට නොලැබෙන්නේ ඒ, අනුන්ට ලැබෙන්නේත් පෙර කළ කුසල් අනුව බව දැන ඔබ කළයුතු වන්නේ මේ මොහොතේ සිට හෝ කුසල් වැඩීමට ය. පින් දහම්හි නිරත වීමට ය.

ඔබ උදෑසන නිවසින් පිටව යන්නට පෙර, එසේත් නැතිනම් රාත්‍රී නින්දට පෙර තුන් සූත්‍රය කියා තුනුරුවන් ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා විය හැකිය. එහෙත් පිරිත් සජ්ඣායනයෙන් හෝ වේවා ශ්‍රවණයෙන් හෝ වේවා නියම ඵල හිමිවන්නේ ඒ අනුව තම ප්‍රතිපත්ති වර්ධනය කර ගැනීමෙනි. එසේ නොමැතිව උදේ පටන් රෑ වන තුරුත් පිරිත් ඇසූවත් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත.

කරණීය මෙත්ත සූත්‍රයට අවධානය යොමු කරන්න. බෞද්ධයකු වැඩි දියුණු කළයුතු ගුණාංග සමුදායක් එහි අන්තර්ගතය. දහම් මග යන පුද්ගලයා, තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පිළිපැදීමට කැමති පුද්ගලයා දක්‍ෂයෙක් විය යුතුය. සියලු යහපත් දේ හි සමර්ථයෙක් විය යුතුය. මැනවින් අවංක වීම, කීකරු බව, මෘදු බව, නිහතමානී බව වර්ධනය කරගත යුතුය. සන්තෝෂ ඇත්තෙක් වන අතරම පහසුවෙන් පෝෂණය කළ හැක්කෙක් විය යුතුය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන අතරම සැහැල්ලු පැවතුම් ඇති අයෙක් විය යුතුය. සන්සුන් ඉඳුරන් ඇති, ප්‍රඥාවන්ත, හැඩි දැඩි නොවන, කුලයන්හි නොඇළෙන හේ අන්‍යයන් නින්දා නොකරන්නේ ය. සියලු සත්ත්වයන්ට මෛත්‍රිය කරන්නේය.

මේ ගුණ දහම් වඩනා පුද්ගලයා නිරායාශයෙන් ම දහම් මඟ ගිය පුද්ගලයකු වන්නේය. ඔහුට ජීවිතය පිළිබඳ බියක් නැත. මරණයට ද බියක් නැත. තමන් විසින් සුරැකි ධර්මයම ඔහු ආරක්‍ෂා කරයි.

සටහන: රමණී සුබසිංහ