Print this Article


මහත් සැපතක් ලබා ගන්න සුළු සැපත අත්හරින්න

නමොතස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
මත්තා සුඛ පරිච්චාගා
පස්සෙචෙ විපුලං සුඛං
තජෙමත්තා සුඛං ධීරො
සම්පස්සං විපුලං සුඛං’ ති

ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි,

අද ඔබට ධර්ම දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ උතුම් ධම්ම පදයේ එන ගාථා රත්නයක් ඇසුරු කරගෙනයි. ධම්මපදයේ පකිණ්ණක වග්ගයේ පළමුවැනි ගාථාව මෙයයි.

‘මත්තා සුඛ පරිච්චාගා පස්සෙචෙ විපුලං සුඛං’ මද සැපතක් අත්හැරීමෙන් මහ සැපතක් ලැබෙනවා. ‘තජෙ මත්තා සුඛං ධීරො සම්පස්සං විපුලං සුඛං’ ඒ බව දැනගත් නුවණැත්තා එම මහත් සැපත බලාපොරොත්තුවෙන් මඳ වූ සැපත අත්හරිනවා. මෙය තවත් පැහැදිලි කරන්නම්. මේ ලෝකයේ ඥානවන්තයෙක් ජීවිතය තේරුම් ගන්නවා. ඔහු සොයන්නේ තමාගේ ජීවිතය සැපවත් කරගන්නේ කෙසේද කියා. හොඳම සැපවත් මාර්ගය කුමක්ද ? ඒ සඳහා සුළු සැපතක් අත්හරිනවා. හොඳ සැපතක් ලැබෙන බව දන්නවනම් නුවණැති තැනැත්තා හැම විටම ලොකු සැපත ලැබීමේ බලාපොරොත්තුවෙන් පුංචි සැපත අත්හැර දානවා කියන ඔන්න ඔය අදහසයි මෙයින් කියැවෙන්නේ. එවිට තථාගත ධර්මය නොදන්න අය වැරැදි අදහසක් ගන්නත් පුළුවන්, වඩා වාසිය අනුව කටයුතු කරනවා කියා. පින්වත්නි, මෙතැනදී අදහස් කරන්නේ පුංචි දේ අත්හැර දාලා ලොකු දෙයක් ගන්න එක නොවෙයි. මේ ලෝකය දැනගන්න කැමැති ඤාණවන්තයා හැමවිටම දුකෙන් මිදීම ගැනයි හිතන්නේ. දුකින් මිදීම සඳහා අත්හැරීම පුරුදු කරන්න වෙනවා.

මේ ලෝක ධාතුවේ නියම සැපත ලෝකෝත්තර සැපතයි. ලෝකෝත්තර සැපත කියා කියන්නේ නිවනයි. මාර්ග ඵල සිතෙන් ලැබෙන සැපතයි. නියම සැපත කොහොමද ලබන්නේ ? සසර දුක ඇතිකරවන කෙලෙස් සන්සිඳීමෙන් මේ සසර දුකින් එතෙර විය හැකි ඒ ලෝකෝත්තර සිත් පරම්පරාව සෝවාන් මාර්ගයේ සිට ඉහළටයි තිබෙන්නේ. ඊළඟට අකනිටා බ්‍රහ්ම ලෝකයේ සිට පහළට සැලකූ විට යට තිබෙන සිිත් පරම්පරාව පිළිබඳ අවධානය යොමු කළ හැකියි. ලෞකික සම්පත්වලින් ශ්‍රේෂ්ඨම සම්පත්තිය තමයි බ්‍රහ්ම ලෝක සම්පත්තිය. අරූපාවචර සම්පත්තියට වඩා පහළ සම්පත්තිය රූපාවචර සම්පත්තිය. ඊට වඩා පහළ සම්පත්තිය සදෙව්ලෝ සම්පත්තිය. සදෙව්ලෝක සම්පත්තියෙන් පසුව මනුෂ්‍ය ලෝක සම්පත්තිය. අනෙක් ලෝක සතරම අපාය දුකයි.

පින්වත්නි, ඒ නිසා නුවණ තිබෙන සත්වයා හැමවිටම හිතන්නේ ‘මේ සසර දිගයි, එනිසා සතර අපායෙන් නිදහස් වන්නේ කෙසේද ? පෘථග්ජන වූ මා සතර අපාය දුක විඳි වාර ගණන අනන්තයි, තවත් ඉදිරියට විඳින්න තිබෙන දුක අනන්තයි. ඒ නිසා මේ දුකෙන් සදහටම නිදහස් විය යුතුයි ආදී වශයෙන්.

ඒ නිසා පින්වතුනි, බුදුබණ අසන තිසරණ සරණ ගිය මේ පින්වතුන් බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් වන හෙයින් මේ බුදුබණ පිළිපදින්න. ආගමික ජීවිත ගත කරන්න. ඒ දුකින් මිදෙන්න. පෘථග්ජනයා වැරැදිවලට වැටෙනවා. දෑත හිස මත තබාගෙන බුදුබණ පිළිගන්නේ බුද්ධශ්‍රාවකයෝයි. බුදුරජාණන්වහන්සේ යමක් දේශනා කළාද එය එසේමයි. එහි වෙනසක් වන්නේ නෑ. ධර්මය නොදත් පුද්ගලයා සතර අපායේ වැටෙනවා. එයින් නිදහස් වෙන්න සිතන ඥානවන්තයා මහත් සැපතක් බලාපොරොත්තුවෙන් කුඩා සැපත අත්හරිනවා. නිවනට පත්වෙන්න පුංචි සැපත අත්හරිනවා. හොඳ දර්ශනයක් හොඳ තේරුමක් තිබෙන්නේ මෙතැන. අපේ ජීවිතවලින් පුංචි සැපත අප අත්හැරියොත් ඊට වඩා ලොකු සැපතක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. පඤ්චකාම සම්පත් ලැබීම පිළිබඳව නොවේ, අපේ ඉලක්කය වෙන්න ඕනේ මේ සතර අපායෙන් නිදහස් වීමයි. මේ සතර අපායෙන් නිදහස් වීම ගැන අපි හැම විටම කල්පනා කරන්නට ඕනේ. සතර අපායෙන් නිදහස් වෙන්න පුංචි සැපත අත්හරින්න ඕනේ. ශාන්ත වූ ප්‍රණීත වූ නිවන් සැපත බලාපොරොත්තු විය යුතුයි.

මේ ගාථා රත්නය දේශනා කළේ මෙන්න මේ කාරණය නිසා. ලිච්ඡවි රජ දරුවන් සිටි විශාලා මහනුවරට විපතක් සිදුවුණා. මුළු රටේම දුර්භික්‍ෂ බියක් හටගත්තා. අමනුෂ්‍ය බියක් ඇතිවුණා. ඒවගේම නගරයේ හැම තැනම ලෙඩරෝග හටගත්තා. ඒනිසා රෝග භයත් හටගත්තා. මුළු විශාලා මහනුවරම තුන්බියෙන් යටවී ගියා. විශාලා මහනුවර ජනයා රජ්ජුරුවන්ගෙන් ඉල්ලා සිටියා, අපි මේ මේ විධියේ කරදරවලින් පෙළෙනවා, ඒ කරදරවලින් අප බේරගන්න කියා. රජතුමා තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වෙත ඇරැයුම් කළා. සම්බුදුපියාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. උන්වහන්සේ එහි වැඩමවා රතන සූත්‍රය දේශනා කළවිට තුන් බිය දුරුවන බවත් අසූ හාර දහසක් සත්වයන් අමා මහ නිවන් දකින බවත් බුදුඇසින් දුටුවා. බුදුරජාණන් වහන්සේ නගරයට වඩිනවිටම ආනන්ද තෙරණුවන්ට රතන සූත්‍රය ඉගැන්වූවා. මහා සංඝරත්නයත් සමඟ ගොස් විශාලා මහනුවර තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ පිරිත් සජ්ඣායනා කරමින් පිරිත් පැන් ඉසින්න යැයි පැවසුවා. මේ පිරිත් පැන් ඉසින විට අමනුෂ්‍යයන් යක්‍ෂයන් භූතයන් සියල්ලන්ම ඉවත්ව ගියා. රෝගී අයට මේ පිරිත් පැන් බිඳුවක් ඇඟේ වදිනවිටම සම්පූර්ණයෙන් නිරෝගිතාව ලැබී සැනසුණා. මෙසේ සුවපත් භාවය සලසා අවසානයේදී අසූ හාර දහසක් සත්වයන්ට අමා මහ නිවන් සුවය ලබාදෙමින් ධර්මය දේශනා කළා.

බුදුරජාණන් වහන්සේ නැවත වඩමවා ගෙන එනවිට එදා ඒ ඓශ්චර්ය දුටු මහා සංඝරත්නය ප්‍රකාශ කරනවා, අහෝ බුද්ධගුණය අනන්තයි, ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ තෙද අද අපි දුටුවා කියා. බුදු රජාණන් වහන්සේ එතැනට වැඩම කළා. වැඩම කර විමසුවා මහණෙනි, ඔබ කතා කරමින් සිටියේ කුමක්ද කියා. ස්වාමීනි, ඔබ වහන්සේ වෙනුවෙන් පෑ පුද පෙරහර මීට පෙර කවරදාවත් අප දුටුවේ නැතැයි කියා භික්ෂූන් වහන්සේ ප්‍රකාශ කළා. ‘මහණෙනි, මේ දෙවියන්ගේ බලයක් නොවෙයි. බ්‍රහ්මයන්ගේ බලයක් නොවෙයි. මෙය මා බෝධි සත්ව කාලයේදී සිදු කළ පරිත්‍යාගයක ඵල විපාකයක්.’ එසේ වදාරමින් ඒ කුසලය විස්තර කළා.

මහණෙනි, පොඩි සැපක් අත්හැරියා, මහත් සැපක් බලාපොරොත්තුවෙන්. බුද්ධ රාජ්‍ය අපේක්ෂාවෙන් එදා පුංචි සැපතක් අත්හැරියා. කුමක්ද ඒ කුඩා සැපත ? මහණෙනි, මම පෙර කලෙක බ්‍රාහ්මණයකු වී උපන්නා. මගේ පුතා අවුරුදු දහතුනේදී ඉගෙන ගන්න ඇරියා. බ්‍රාහ්මණ කුමාරයා, මගේ පුතා සුසීම හරි දක්ෂයි ඉගෙන ගන්න. වේද ශාස්ත්‍රයේ අවසානය සොයා ගිය කුමරු, පසේබුදුවරු පිරිසක් හමුවන්න ගියා.

එහිදී පසේ බුද්ධ රාජ්‍යය ලබා ගත්තා. නොබෝ කලකින් පිරිනිවන් පෑවා. පසේ බුදුවරු උන්වහන්සේගේ කය ආදාහනය කළා. චෛත්‍යයක් හැදුවා. මා ගියා මගේ පුතා සොයන්න. එවිට දැනගන්න ලැබුණා මෙන්න මේ විධියේ තැනැත්තෙක් අනන්තය හොයන්න බැරුව, කෙළවර හොයන්න බැරුව මෙහි පැමිණියා. කෙළවර සොයා පසේ බුදු වුණා. අනතුරුව පිරිනිවන් පෑවා. ආදාහනය කළා. අන්න චෛත්‍ය කියා ආදාහන චෛත්‍යය පෙන්නුවා. මම හඬමින් මළුවට ගොස් තණ කොළ ඉවත් කර මළුව පිරිසුදු කළා. මළුවේ සුදු වැලි ඇතිරුවා. මගේ සළුව සෝදලා ධජයක් කළා. වන මල් ගෙනැවිත් මළුව වැසුවා. ධාතු චෛත්‍යයට පිදුවා. මගේ ළඟ තිබුණු පත් කොළ කුඩයත් මා චෛත්‍යයට පිදුවා, සේසතක් වේවා කියා. මගේ පුංචි පරිත්‍යාගයක්. මා ඒ සැප අත්හැරියා. මට අඳින්න කිසිවක් නෑ නේද කියා මා උතුරු සළුව තබා ගත්තෙ නෑ. මගේ තුන් හිතෙන්ම මා අත්හැරලා පිදුවා. මා අව්වේ යනවිට කුඩයක් අවශ්‍යයි නේද කියා මා සිතුවේ නැහැ. මේ බුදු බව පතාගෙන මම එය පූජා කළා. වනමල් පූජා කළා මගේ දෝතින්ම පැන් ඉස්සා. ඒ තමයි මම කළ කුසලය. අද මේ රජවරුන් දෙවිවරුන් බ්‍රහ්මයන් මේ මහ පොළොව මල්වලින් වැසුවා. අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා අද ධජ පතාක සේසත් මුතු කුඩ සියල්ල එසැවී තිබෙන්නේ එදා මා කළ ඒ කුසලයේ විපාකයක් වශයෙන්.

පින්වත්නි, ඥානවන්තයා හැමවිටම කුඩා සැපත අත්හරිනවා. පඤ්චකාම සම්පත්තීන් අත්හැර උතුම් නිවන් සැප ප්‍රාර්ථනා කරගන්න ඕන. යම් පින්කමක් කරගෙන පින්කමේ කුසල් නිවන් පිණිසම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. ‘බුද්ධොහං බොධයිස්සාමි මුත්තොහං මොචයෙ පරෙ තිණ්ණොහං තාරයිස්සාමි සංසාරොගා මහබ්භයා’ ‘ බුදුවීමෙන්ම සත්වයන්ට සත්‍ය අවබෝධ කරවන්නෙමි. මේ සංසාරයෙන් මම මිදී සසර දුකින් අන් සත්වයනුත් මුදවමි’ මහාබෝධිසත්වයන් වහන්සේගේ උතුම් ප්‍රාර්ථනාව වූයේ එයයි. සංසාරයේ තිබෙන්නා වූ දුක් මහත් විශාලයි. ඒ නිසා කුඩා සැප අත්හැර දා උතුම් වූ නිවන් සැපම ප්‍රාර්ථනා කරගන්න.

ඤාණය, වීර්යය, ප්‍රඥාව මෙහෙයවා අත්හැරීම පුරුදු කළ යුත්තක්. එය නිවනට මඟයි. නිවන ශ්‍රේෂ්ඨයි. සතර අපායේ දුක බොහොම තදයි. ඔබ ප්‍රාර්ථනා කළ යුත්තේ නිවන් දකින්නයි. ඒ සඳහා විදර්ශනා භාවනාව පුරුදු කළ යුතුයි. අන්න ඒ තැනැත්තාට පුළුවනි, විශාල ඓශ්චර්යන් වෙනුවෙන් කුඩා සැපත අත්හරින්න. ඇතැම් අය භාවනාවට අකැමැතියි. එහෙත් ලොකු සැපතක් ලබාගන්නට නම් පුංචි සැපත අත්හරින්නට පුරුදු කරන්න ඕන. භාවනාව පුරුදු කරන්න ඕන. අන්න එවිට ධර්මය පුරුදු වෙනවා. පුරුදු නොකළොත් පුංචි සැප අත්හරින්නට බැහැ. එය සංසාර පුරුද්දක්ව එනවා. එයයි බුදුපියාණන් මේ දේශනා කරන්නේ, මත්තා සුඛ පරිච්චාගා යනුවෙන්. ඒනිසා ඥානවන්තයා ලොකු සැපතක් සඳහා කුඩා සැපත අත්හරිනවා.

නිවන් සැපතයි ස්ථිර සැපත. නිවන සංඛත නෑ. අසංඛතයි. එනිසා ස්ථිරයි. එනිසා ඔබ මේ නිවන ලබන්නටම කුඩා සැප අත්හරිමින් කටයුතු කරන්න. ශාන්ත ප්‍රණීත අමා මහ නිවන් සැපතම ලැබේවා කියා ප්‍රාර්ථනා කරගන්න.