බුදු දහම තරුණයන්ගේ දහමකි
අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික
මැදගම ධම්මානන්ද හිමි
පුද්ගලයකුගේ ආගමික දිවි පෙවෙත ඇරැඹිය යුත්තේ යොවුන් විය ඉක්ම ගිය පසුව
යැ’යි වැරැදි අදහසක් සමාජයේ පවතියි. ඒනිසා බුදු දහමෙ ගිහි පිරිස
හැඳින්වීමට පොදුවේ යෙදෙන උපාසක, උපාසිකා යන වචන දෙක වර්තමාන භාවිතයේදී
වයස්ගත පිරිසට සීමා වෙයි. කිසියම් තරුණයකු බණ අසමින්, බවුන් වඩමින්
දැහැමි දිවි පෙවෙතකට යොමු වුණොත්, මොක ද දැන්ම ම සංසාරේ කලකිරුණේ,
ගැහැණු ළමයා අමනාප වුණා ද? වැනි උපහාසාත්මක වදන් සම වයසේ අයගෙන් ඔහුට
අසන්නට සිදුවේ. පොහොය දිනවල පන්සල්වල, වැඩිපුර දකින්නට ලැබෙන්නේ වයස්ගත
පිරිසයි. ජීවිතයේ සැඳෑසමය විවේකයෙන් ගතකරන වැඩිහිටියෝ වැඩි වශයෙන් ආගමට
නැඹුරු වෙති. මෙ අනුව බුදුදහම යනු ජීවිතයේ සියලු කම්සැප විඳ නිමා කළ
පරලොවට සමීප වූ මිනිසුන්ට අදාළ වූ දහමක් යැයි ඇතැම්හු සිතති. එසේ සිතීම
වැරැදිය.
බුදුදහම යනු බාල, තරුණ මහලු සැමදෙනාට ම එකසේ ප්‍රයෝජනවත් වන එදිනෙදා
ජීවිතයට සම්බන්ධ කරගත හැකි උතුම් දහමකි. සිදුහත් කුමරු තරුණයෙකි. ඔහු
බුදුබවට පත්වුණේ තරුණ වියේදීය. බුදුරදුන් සමීපයේ පැවිදි බව ලද යස කුල
පුත්‍රයා, භද්දවග්ගිය කුමාරවරු ආදි බොහෝ දෙනා යෞවනයෝ වෙති. සැණකෙළිවලට
යමින් විනෝද ජීවිතයකට හුරුව සිටි කෝලිත සහ උපතිස්ස දෙදෙනාද තරුණයෝය.
එනම්, පැවිද්දෙන් පසු සැරියුත් හා මුගලන් යන අගසව් දෙනම යි. පවුල්
දිවිය අවුල් කරමින් තම සැමියන් පැවිදි කරගැනීම ගැන බුදුරදුන්ට චෝදනාවක්
ද තිබුණි. එයිනුත් පෙනෙන්නේ තරුණ ජීවිතයේදී බොහෝ දෙනා බුදු සසුනෙහි
පැවිදි වූ බවයි. මහණෙනි, බොහෝ දෙනාගේ සිත සුව පිණිස චාරිකාවේ යෙදෙන්න
යනු බුදුරදුන්ගේ උපදේශයයි. එය පිළිපදිමින් ධර්ම ප්‍රචාරයෙහි යෙදුන
මුල්ම පැවිදි පිරිස අතර පස්වග මහණුන් හැරුණ විට සෙසු සියල්ලෝම තරුණයෝ
වූහ. බුදුසසුන හැදී වැඩී තිබෙන්නේ යෞවනයන්ගේ ඇප කැප වීමෙනි. බුදුසසුන
තුළින් සිදුකෙරුණ ආගමික හා සාමාජික විප්ලවයේ පුරෝගාමීහු තරුණ භික්‍ෂූහු
වෙති. බුදුදහම තරුණයන්ගේ දහමකි.
යොවුන් විය යනු පස්කම් සැපය සඳහා කෙනකුගේ ගත සිත පිබිදෙන අවධිය යි.
යෞවන අවධියේ දී ලෞකික සැප සම්පත් ඇසුරෙන් පසිඳුරන් පිනවීම සඳහා ඇතිවන
නැඹුරුව අසීමිතය. කම් සැප ගෙන දෙන අරමුණු මූලික කරගෙන යොවුන් සිතෙහි
සරාගී සිතුම් පැතුම් පහළවීම සාමාන්‍ය දෙයකි. එවැනි මානසික වාතාවරණයක්
යටතේ නිසි පාලනයක් සිදු නො වුණොත්, තරුණ පිරිස සමාජ සම්මත සදාචාරය බිඳ
දමමින් හැසිරෙන්නට ද ඉඩ තිබේ. ඒ සඳහා යෞවනයන් යොමු කෙරෙන මත්ද්‍රව්‍ය
චිත්‍රපට ,අන්තර්ජාලය වැනි විනාශයේ දොරටු රැසක් සමාජය තුළ විවරව තිබේ.
ඒ නිසා, බුදුදහමේ මඟ පෙන්වීම ඔවුන්ට අවශ්‍ය වෙයි. යෞවනයේ සුන්දරත්වය
විඳින සැමියකු හා බිරිඳක අතර බැඳීම දරුවන් පිළිබඳ වගකීම් හා සමාජ
සබඳතාව පවත්වා ගන්නා ආකාරය මංගල , පරාභව සිඟාලෝවාද ව්‍යග්ඝපජ්ජ ආදි
සූත්‍රවල දැක්වෙයි.
වත්මන් සමාජයෙහි යොවුන් සිත යහපත්ව නිදහස්ව තබා ගන්නට අමාරුය. සමාජය
තුළ පවතින්නේ යොවුන් සිත් කාමයෙන් මුසපත් කරවන බලවේගයන්ය. ගිහියන් කම්
සැප විඳිනවාට බුදුදහම විරුද්ධ නැත. බුදුදහම එරෙහි වන්නේ කාමයෙහි වරදවා
හැසිරීම කෙරෙහි ය. කාම වස්තුන් පසුපස අසංවර ලෙස හඹා යන පසිඳුරන් පාලනය
කරගැනීම යොවුන් වියේදී අනිවාර්යයෙන් කළ යුතු දෙයකි. ඉන්ද්‍රිය සංවරය හා
සමාජ සදාචාරය පිළිබඳ සීමාවන් යටතේ එය සිදුවිය යුතු ය. රටක පවතින නීතිය
මගින් පුද්ගලයන්ගේ අසම්මත හැසිරීම් පාලනය කිරීම අපහසු ය. ඒ සඳහා කළ
යුත්තේ , තමන්ම සිතා මතා සිත හා කය පාලනය කරගැනීම යි. ස්වයං විනය එයට
වුවමනා ය. පංචකාම වස්තු කෙරෙහි ඇලි ගැලීමෙන් තොරව, සමාජ සම්මත
පිළිගැනීම්වලට ගරු කරමින් කම්සැප විඳිය යුතුය. එයට නිවැරැදි ක්‍රමවේදය
බුදුදහමේ දැක්වේ. සිත පාලනය කළ හැක්කේ භාවනා කිරීමෙනි. කය හා වචනය
පාලනය කරනු ලබන්නේ ශීලය මගිනි. පන්සිල් යනු ගිහියකුගේ් මූලික ශීලයයි.
පන්සිල් රැකීමෙන් ඉන්ද්‍රිය සංවරය හා ආධ්‍යාත්මික දියුණුව ඇති වෙයි.
එමඟින් සමාජයට සැලසෙන යහපත සහ රැකවරණය ඉතා විශාල ය.
තරුණයන් පන්සල් වලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබීම ගැන, ඔවුන්ට දොස්
පැවරීම සාධාරණ ද? අපේ තරුණ පරපුර නරක පිරිසක් යැ යි සිතුවොත් එය වරදකි.
ඇතැම් තරුණයන්ගේ අයහපත් ක්‍රියාකාරකම්, දඩබ්බරකම් ගැන යම් යම් හුදෙකලා
සිද්ධීන් අසන්නට ලැබුණත්, සමස්තයක් වශයෙන් ගතහොත් අපේ තරුණ පරපුර ඉතා
හොඳ පිරිසකි. පවුලේ එකමුතුකම, දෙමව්පිය , වැඩිහිටි, ගුරුවරු සැමටම ගරු
බුහුමන් දැක්වීම,අනුනට උපකාර කිරීම වැනි ගුණ යහපත්කම් තරුණ සමාජය තුළ
දකින්නට තිබේ. බෞද්ධ පොත්පත් උනන්දුවෙන් කියවන තරුණ පිරිසක්ද වෙති. අපේ
තරුණයන්ගේ වටිනාකම මැනවින් දැනෙන්නේ බෞද්ධ නොවන රටවල වෙනස් සංස්කෘතික
පසුබිමක හැඩගැසුන තරුණ පිරිස හා සැසඳීමෙනි. බටහිර රටවල වයස අවුරුදු
දහසය ඉක්ම වූ ගැහැණූ පිිරිමි දරුවන් බොහෝ විට රැය ගත කරන්නේ මිතුරු
මිතුරියන් සමඟය. දරුවන්ට දඬුවම් හා තරවටු කිරීම නීතියෙන් තහනම් ය.
ඔවුන්ට නිදහස ලබාදිය යුතුය. නමුත් අපේ තරුණයන්ගෙන් බහුතරයක් දෙනා
දෙමව්පියන් නමඳින, ඔවුන්ගේ බසට අවනත පිරිසකි. බොදු රටක ඉපදීමෙන් ඔවුන්
ලද උතුම් දායාදය එම හැදියාවයි. එහෙත් ඇතැම් ජාත්‍යන්තර පාසල් මගින්
දරුවන් ඒ සිරිත්වලින් ඈත් කෙරෙන බව පෙනේ.
තරුණයන් විහාරස්ථානවලට යාමේ අඩුවක් දකින්නට ලැබෙන්නේ ඇයි? එහි කිසියම්
වරදක් වෙයි නම්, එහි වගකීම යම් ප්‍රමාණයකට අපේ භික්‍ෂූන්ට හා
වැඩිහිටියන්ට පැවරේ. තරුණ තරුණියන්ට තම අනාගත දිවි පෙවෙත සඳහා ඉගෙනුම
සහ රැකියාව වෙනුවෙන් කාලය කැප කරන්නට සිදු වී ඇත. ඔවුන් අද ජීවත්වන්නේ
තරඟකාරි සමාජ පසුබිමක ය. යොවුන් වියේ දරුවන්ට පවා දහම් පාසලට පැමිණීමේ
අවස්ථාව අහිමි වන පරිසරයක් නිර්මාණය වී තිබේ. ඔවුන් සඳහා පොහොය දිනවල ද
උපකාරක පන්ති පැවැත්වේ. ඒ අනුව බලන විටයොවුන් පරපුර දහමට නැඹුරු වීමේ
අඩු බවක් දකින්නට ලැබෙන්නේ, ඔවුන්ගේ හෝ බුදුදහමේ වරදක් නිසා නොවේ.
වැඩිහිටියන් විසින් ඔවුන්ට නිර්මාණය කර දී ඇති සමාජ පරිසරය හේතුවෙනි. ඒ
සම්බන්ධයෙන් තරුණ තරුණියන්ට දොස් කීම සාධාරණ නොවේ.
බොහෝ පන්සල්වල දහම් දෙසුම් හා ආගමික වැඩසටහන් පැවැත්වෙන්නේ වයස්
සීමාවන් අනුව වෙන් නොකොට පොදුවේ සියලු දෙනාම සහභාගි කරවා ගැනීමෙනි.
ස්ථාන පහසුකම් හා ප්‍රමාණවත් දේශකයන් නොමැතිවීම වැනි සාධාරණ හේතු එයට
තිබේ. නමුත් වයස් සීමාවන්ට ගැළපෙන ලෙස ආගමික කටයුතු සංවිධානය කළ හැකි
නම්, එයින් සාර්ථක ප්‍රතිඵල අත්වෙයි. මහරගම ධර්මායතනය එයට නිදසුනකි.
පැයක් පමණ කාලයක් වැඩිහිටියන් මැද වාඩි වී බණ අසා නික්ම යනවාට වඩා සම
වයසේ පිරිසක් මැද හිඳ බුදුදහම හා ජීවිතය ගැන ඔවුන්ට වුවමනා ප්‍රශ්න
අසන්නට ඉඩ ලබා දෙන්නේ නම් එය තරුණයන්ගේ සිත් ගනු ඇත.
ගංගොඩවිල සෝම හිමියන් වෙත තරුණ හදවත් ඇදී ගියේ උන්වහන්සේගේ සාකච්ඡා
ස්වරූපයේ දේශන ක්‍රමය නිසයි. දහම් කරුණු හෝ ජීවිතය පිළිබඳ අසා දැනගත
යුතු ප්‍රශ්න තිබුණත්, වැඩිහිටි පිරිස මැද ඒ සඳහා ඉදිරිපත් නො වීම අපේ
දරුවන්ගේ සාමාන්‍ය ස්වභාව යයි.දේශකයාගේ දේශනා ශෛලිය ද ශ්‍රාවකයන්ගේ
ආකර්ෂණයට විශේෂයෙන් බලපායි. කාලීන ධර්මදේශනා යනුවෙන් සමාජගත වී
තිබෙන්නේ දහම් දෙසන රටාව හා දෙසුමෙහි ඇතුළත් කරුණුවල විශේෂත්වය
හේතුවෙනි. ගැඹුරු දහම් කරුණුවලට වඩා සමාජයේ විවිධ සිදුවීම් ඉස්මතු කර
දක්වන, එදිනෙදා ජීවිතයට අදාළ බණවලට තරුණ පරපුර කැමැති ය. නමුත් දේශකයා
ඕලාරික මට්ටමකට පත් නොවී, ධර්ම ගෞරවය හා සංඝ ගරුත්වය සුරැකෙන අයුරින්
දහම් දෙසිය යුතුය. ඕලාරික වදන් යොදමින් ,අසන්නන් සිනා ගන්වමින් බණ කීම
නො ගැළපේ. දහම් දෙසුම අවසන හරවත් දෙයක් මනසෙහි තැන්පත් විය යුතුය.
වර්තමාන අධ්‍යාපනය භෞතික හා විද්‍යාත්මක පදනමකින් ගොඩ නැඟුනකි. දේව
විශ්වාස පදනම් කරගත් ආගම් මෙන් නොව බුදුදහම විද්‍යාව සමඟ ගැළපෙයි. ඒ
ගැන අවධානයෙන් තරුණයන්ට ගෝචර වන කරුණු ඔස්සේ බුදුදහම ඉදිරිපත් කළොත් ඒ
රුචිය වැඩෙයි.
තරුණ බොහෝ දෙනා සම වයසේ පිරිස සමඟ එක්ව සාමූහික ක්‍රියාකාරකම්වල යෙදීමට
කැමැත්තක් දක්වති. සමාජ සුභසාධන වැඩ ඔවුන්ට පි‍්‍රයජනකය. එම නිසා,
තරුණයන්ගේ ගුණ දහම් දියුණුව ඇතිවන, බොදු සිරිත්වලට ඔවුන් නැඹුරුවන
ආගමික කටයුතු නිර්මාණය කරදීම ප්‍රයෝජනවත්ය. තරුණ පිරිසට වුවමනා තමන්ට
පැවරුන කටයුත්ත ඇප කැපවීමෙන් ඉටුකරන්නටයි. ඔවුන්ගේ මැදිහත් වීමෙන්
සිදුකෙරෙන කටයුතුවල වංචනික ක්‍රියා නොමැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ
වැඩිහිටියකුගේ උපදෙස් පමණි.
ඇතැම් විහාරස්ථානවල ආගමික හා සමාජ කටයුතු සංවිධානය කරන විට තරුණ පරපුර
ඈත් කරන අවස්ථා දක්නට ඇත. ඇතැමුන්ට කොල්ලන්ගේ වැඩ අල්ලන්නේ නැත. දායක
සභාව මුළුමනින්ම වැඩිහිටියන්ට සීමා වේ. දායක සභාවේ ඇතැම් නිලධාරින්
හැසිරෙන්නේ ඒකාධිපති ස්වරූපයෙනි. සමහරවිට විහාරාධිපති හිමියන් ඉක්මවා
කටයුතු කරන දායක සභා ද ඇත.
තරුණයන්ගේ හඬට එවැනි දායක සභාවල ඇත්තන්ගේ අවධානය යොමු නොවේ. කවර අන්දමේ
සමාජ අවහිරතා තිබුණත්, දහස්ගණනින් තරුණ තරුණියන් ඇදී එන බෞද්ධ ආයතන
දක්නට ඇත. එයින් පෙනෙන්නේ යෞවනයන් බුදුදහමට කැමැති බවයි. ඒ සඳහා ගැළපෙන
ක්‍රමෝපාය සැලසුම් කරගත යුතුයි. යහපත් ගිහි ජීවිතයක් ගතකරමින් බුදු
සසුනේ මතු පැවැත්ම සඳහා කටයුතු කිරීමට ගුණ දහමෙන් පිරි තරුණ පිරිසක්
බිහිකරගැනීම විහාරස්ථානයේ ද වගකීමකි. |