Print this Article


මානෙන් උදම් වෙලා මිනිසා කොහේද මේ

මානෙන් උදම් වෙලා මිනිසා කොහේද මේ

මානය කිසියම් වු ප්‍රමාණයකට තිබීම වරදක් ලෙස දැකිය නොහැකිය තමන්ගේ රට පිළිබඳව ඇතිවන මානයම අභිමානයක් බවට පත්වී මානය කෙලෙස් දහමක්  හැටියට දක්වනු ලබන්නේ එය තමන්ගේ ජීවිතය අපිළිවෙළ කරන ක්‍රියාවක් ලෙස පිහිටි අවස්ථාවන් වලදීය

මා විසින්ම මෙය කළ යුතුය. මගේ අතින්ම මේ සියල්ල ඉටු විය යුතුය. මගේ ප්‍රධානත්වය මතම මේ කාර්යයන් කළ යුතුය. මා විමසා බලාම මේවා කළ යුතුය. යනුවෙන් කල්පනා කරනු ලබන ගිහි පැවිදි අය අපේ සමාජයේ සිටිති. බුදු දහමෙහි දක්වන්නේ එසේ කල්පනා කරන අයට කරුණු කාරණා දෙකක් වඩා වර්ධනය වන බවයි. එසේ වර්ධනය වන කරුණු දෙක නම් ආශාවන් වැඩිවීම සහ මානයයි.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙම ගති ලක්‍ෂණය බොහෝ මිනිසුන් තුළ පවතින ස්වභාවයක් බවයි. ගිහි පැවිදි කියා භේදයක් නැතිව මෙම ගති ලක්‍ෂණය ඕනෑම කෙනෙකුට ඇතිවිය හැකිය. එය එම පුද්ගලයා විනාශයට පමුණුවන ලක්‍ෂණයක් ලෙස බුදු සමයෙහි දක්වයි. ගෘහයක හෝ පන්සලක හෝ වෙනත් රජයේ ආයතනයක හෝ මෙබඳු අය සිටිය හැකිය. යම් යම් ක්‍රියාදාමයන් ඉෂ්ට සිද්ධ කිරීමේදී කිසියම් පිළිවෙතක් තිබේ.

වැඩිහිටියන්ගෙන් විමසීම, නොදන්නා දෙය දන්නා අයගෙන් විමසීම ඇතැම් නීත්‍යාණුකූල කටයුතු කාරණාවල දී අදාළ බලධාරියාගෙන් විමසා කටයුතු කිරීම වැනි සාමාන්‍ය සමාජයේදී පවතින යමක් කළ යුතු නිවැරැදි පිළිවෙත අනුගමනය කළ යුතුය. එබඳු දේවල්වලට ඉහත සඳහන් කළ ප්‍රකාශය පටලවා ගත යුතු නැත. මෙහිදීත් දක්වනු ලබන්නේ මිනිස් මනසේ ස්වභාවයයි. මෙය මගෙන් ඇසිය යුතුය.

කලින් මටද දන්වා කළ යුතුය.ආදී වශයෙන් මහන්තත්ත්වයක් තියාගෙන සිටීමය. එය ඇතැම් පුද්ගල මනසේ ස්වභාවයයි. එය එක්තරා විදිහක සුළු මානසික රෝගී තත්වයන් වශයෙන්ද හඳුනා ගත හැකිය.

බොහෝ ගිහි පක්‍ෂයේද සමාජයේ රාජකාරි ස්ථාන තුළද මෙබඳු අයව දක්නට ලැබෙයි. තමා තුළ පවතින එම විෂම සිතිවිල්ල පළමුව වරද කරන්නේ තමාටමය. තමාගේ සිත අවුල් වේ. වියවුල් වේ. සිතිවිලි අවුල් වියවුල් වී ගිය පසු වචනය කයද එබදු දෙය කෙරෙහිම නැඹුරු වේ.තමා තුළ පැවති වැරැදි මානසික තත්ත්වය තමාට හානි පමුණුවන්නා සේම සමාජයේ අන් අයටද හානි කරන තත්වයකටද පත්වෙයි.

මිනිසාගේ මනසෙහි විවිධ කෙලෙස් ධර්ම තිබේ. එම කෙළෙස් සංඛ්‍යාත්මක වශයෙන් විශාලය. මෙහිදී දක්වනු ලබන්නේ මිනිස් සිත තුළ වැඩෙන වැරැදි සිතිවිල්ල නිසා සිත තුළ කෙලෙස් ධර්මයන් දෙකක් වර්ධනය වන බවයි. ඉන් එකක් දක්වා ඇත්තේ ආශාව ලෙසය. ආශාව යනු සෑම අවස්ථාවකම කෙලෙස් දහමක් වශයෙන් ක්‍රියාත්මක වන්නේ නොවේ. ඇතැම් තැනක ආශාව පුද්ගල යහපත පිණිසද සමාජ යහපත පිණිසද පවතින අවස්ථා තිබේ.

නිවැරැදි සිතිවිලි මත හටගනු ලබන එය යහපත පිණිසද පවතී. මෙහි දක්වනු ලබන්නේ වැරැදි විදිහට සිතන මිනිසා තුළ පවතින අදහස් පිළිබඳවය. තමා ලොකු කෙනෙකුයැ යි සිතාගෙන සිටීම තමා ප්‍රධානියෙකු යැයි සිතාගෙන සිටීම තමා බුද්ධිවන්තයකු යැයි සිතාගෙන සිටීම මෙයට හේතුවෙයි. ඇත්තටම තමා එබඳු දක්‍ෂ පුද්ගලයකු වීම එකකි.

එසේ කල්පනා කරගෙන සිටීම අනෙකකි. තමා පිළිබඳව එබඳු උදාර බවක් ආරූඪ කරගෙන සිටීම නිසා සමාජයට අයහපත පිණිස පමණක් නොව තමාගේ් අයහපත පිණිසද එය හේතු වෙයි.

මානය කිසියම් වු ප්‍රමාණයකට තිබීම වරදක් ලෙස දැකිය නොහැකිය. තමන්ගේ රට පිළිබඳව ඇතිවන මානයම අභිමානයක් බවට පත්වී මානය කෙලෙස් දහමක් හැටියට දක්වනු ලබන්නේ එය තමන්ගේ ජීවිතය අපිළිවෙළ කරන ක්‍රියාවක් ලෙස පිහිටි අවස්ථාවන් වලදීය.

මානය යනු මැනීමයි. මනිනු ලබන ඒකකයයි. එය අකුසලයක් වන්නේ මනින ක්‍රමය සහ මැනීමෙන් පසු ඇතිකර ගනු ලබන මානසික ස්වභාවය අනුවයි. බුදු දහම මානය තෙවැදෑරුම් කොට දක්වා තිබේ. එනම් හීන මානය, සදිසි මානය, සහ සෙයිය මානය යනුවෙනි. මානය සහිත පුද්ගලයා තමා අන් කෙනකු සමග ගලපා මෙසේ සිතයි. “ මට එයා තරම් දක්ෂකම නැත.

මටය එයා තරම් විභාග සහතික නැත. මට එයා තරම් පෙනුම නැත යනුවෙනි ‘ මෙසේ තමන් හා අනෙකකු සන්සන්දනය කොට එයාට පවතින දෙය තමාට නැතැයි කම්පාවට පත්වීම හීන මානයයි. තව කෙනකු හා ගලපා බලන විට තමන්ට අඩුපාඩු තිබිය හැකිය. එසේ අඩුපාඩු තිබීම හීනමානය ලෙස සැලකීම වැරැදිය. හීනමානය යනු එසේ අඩුපාඩු තිබේ යැයි සිත සිතා දුකට පත්වීමය.ඇතැම් කෙනකු උත්සහයෙන් හා ධෛර්යයෙන් තමන්ට ඇති දේවල් ඇති කර ගැනීමට කටයුතු කරයි. එය කිසි විටෙකත් හීනමානය ලෙස සැලකිය යුතු නොවේ.

සදිසි මානය ලෙස දක්වා ඇත්තේ තමන් වෙන කෙනකු හා තමා විසින්ම සන්සන්දනය කොට බලා ඔහු හා විවිධ දේවල් තමාට පවතින්නේය යැයි සමාන කොට බලා මනසින් තෘප්තියක් ලබයි. උදාහරණයක් හැටියට තමා ද තම ආයතනයේ ප්‍රධානියා ද එක පංතියේ ඉගෙන ගත් අය යැයි සමාන කොට සන්සන්දනය කරයි. මේ ආදි වශයෙන් තමාට වඩා සමාජයේ ඉහළ තැන්වලට ගිය අය තමා සමග සන්සන්දනය කොට බලා කිසියම් සමානකමක් සොයයි. එයද එක්තරා විදිහක දුර්වල මානසික තත්ත්වයකි. දුර්වල මානසික තත්වය නිසාම එසේ වන්නන්ට අයහපත පිණිසම එය පවතී.

සෙයිය මානය යනු අනෙකුත් කෙනෙකු තමා හා සන්සන්දනය කොට බලා තමා ඔහුට වඩා උසස් කෙනකු යැයි සිතා සිතමින් මානසික තෘප්තියක් ලැබීය. ඇතැම් විට ඇත්තටම තමන් සන්සන්දනය කර බලන පුද්ගලයාට වඩා තමන් උසස් කෙනකු විය හැකිය. කාරණය එසේ වුවත් එසේ මනසින් සිත සිතා සිටීම අකුසලයකි.

මේ ආදී වශයෙන් බලන විට අපි ජීවත් වන සමාජයේ විවිධ ක්‍ෂේත්‍රවල කටයුතු කරන විවිධ පුද්ගලයන් තුළ මෙබඳු දුර්වල ගති ස්වභාවයන් පවතින බව පෙනී යයි. බුදු දහමෙහි උගන්වන්නේ එම දුර්වල ගති ස්වභාවය විසින් තමන්ගේ අයහපත සිද්ධ වෙන බවයි. එනිසා එම වැරැදි සිතිවිලි ඉවත්කර ගැනීමෙන් මානසික තත්ත්වය සකස් කර ගත හැකිය. බුද්ධිමත් මිනිසකු වශයෙන් කළ යුතු වන්නේ තමා ද පරිසරයේ එක පුද්ගලයකු ලෙස වටහාගෙන තමාගෙන් සමාජයට විය යුතු යුතුකම් හා වගකීම් බලාපොරොත්තු වලින් තොරව ඉටුකිරීමයි. බුදුදහමෙන් දක්වනු ලබන්නේ එයයි.