Print this Article


සත්‍යවාදී වදන සැනසිලිදායක දිවියට ආලෝකයකි

අප දැක ඇති ආකාරයට, සමහර අය සමාජයට මුහුණ දීමට පවා නොහැකිව දිවි ගෙවති. යම් තරමක් හෝ සොයා බැලූවිට පෙනී යන්නේ ඔවුන් තම ජීවිතය තුළ සත්‍යවාදී වචන භාවිතය වෙනුවට අසත්‍යවාදී වචන භාවිතය සඳහා පෙළැඹී ඇති බවයි. එමඟින් වන කටුක, අමිහිරි ප්‍රතිඵල ආදිය ගැන දැන ගැනීමට ඕනෑතරම් නිදසුන් පුවත්පත්වලද ඇත. සත්‍යවාදී වචන භාවිත කිරීම තුළින් පුද්ගලයකුගේ යහපත් පැවැත්ම වර්ධනය වන බව පෙන්නුම් කෙරේ. ඛුද්දක නිකායට අදාළ ථෙරී ගාථාවන්හි එන අම්බපාලි ථෙරි ගාථා තුළ සඳහන් වන්නේ “සච්චවාදි වචනං අනඤ්ඤතා” යනුවෙනි. මෙයින් පැහැදිලි වන්නේ ශරීර අවයව කෙතරම් වෙනස් වී ගිය ද බුදුරජාණන් වහන්සේගේ සත්‍යවාදී වචනය වෙනස් නොවන බව ය.

කුමන තත්ත්වයක වුවද ජීවත්වන්නකු තම එදිනෙදා ජීවිතයේදී භාවිත කරන වචන නිවැරැදිව යොදා ගන්නේ නම් යහපත් ගුණගරුක ජීවිතයක් නිතැනින්ම ගොඩනැ‍ෙගනු ඇත. ඒ සඳහා බුදුදහමෙන් ලබාදෙන මඟපෙන්වීම අතිමහත්ය. “සහස්සම්පි චෙ වාචා – අනත්ත පද සංහිතා” යන අයුරින් ධම්මපදය පෙන්වා දෙන්නේ අනර්ථපද දහසකට වඩා, පුද්ගල දිවියක් සාර්ථක කර ගැනීමට අවශ්‍යවන එක් අර්ථවත් පදයක් වුව ද වැදගත් වන බවයි.

ඒ කුමක් නිසාද යත් වචනයෙහි ඇති අගය කොපමණදැයි පෙන්වා දිය නොහැකි නිසාවෙනි. වසර හතළිස් පහක් මුළුල්ලේ ම මනුෂ්‍ය සමාජීය ගුණධර්ම ප්‍රගුණ කිරීම උදෙසා බුදුරජාණන් වහන්සේ ද, භාවිත කළ මෙවලම වූයේ වචනයයි. එය අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය ලෙස අපි සලකමු.

වත්මන් සමාජයේ ජීවත්වන අප බුදුදහමට අනුව වචන භාවිතා කරන්නේ නම් සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා මං පෙත් විවර කර ගත හැකිය. ජීවිතය සාර්ථක කරගැනීම උදෙසා වචනය භාවිත කළ යුත්තේ කෙසේද යන්න බුදුදහමේ පෙන්වා ඇති අයුරු මෙසේ විමසා බලමු.

තුන් සූත්‍රයට අයත් මංගල සූත්‍රය තුළ ‘සුභාසිතා ච යාවාචා’ යනුවෙන් පෙන්වා දෙන්නේ යහපත් වචන භාවිත කිරීම මංගල කාරණයක් වන බවයි. අප ජීවත්වන මේ සමාජය තුළ යහපත් වචන භාවිතය නොමැති වූ විට කොතරම් අයහපත් අකටයුතුකම් සිදුවේද යන්න පිළිබඳව ඔබ මඳක් සිතා බලන්න. “දූරංගමං ඒකචරං” යනාදි ලෙසට දුර ගමන් යන, තනිව හැසිරෙන මේ සිත වැරැදි වුවහොත් අප මුලින් කථා කළ අකටයුතුකම් සඳහා මූලික වන බව අප දන්නා කරුණකි. එය සිදු වන්නේ සිතේ පවතින අසහනකාරී සිතිවිලි මූලික වී දරුණු ආයුධයකින් පහරක් එල්ල කරන්නාක් මෙන්ය. ඒ අපගේ මුවින් පිටවන අයහපත් වචන හේතුවෙනි. මීට කදිම නිදසුනක් මජ්ඣිම නිකායගත මූලපණ්නාසකයේ ඕපම්ම වග්ගයේ සඳහන් වන කකචූපම සූත්‍රය ඇසුරෙන් පෙන්වා දිය හැකිය.

මෝලිය ඵග්ගුන නම් භික්‍ෂූන් වහන්සේගේ ජීවන පැවැත්ම තුළ තිබුණු දුර්වලතාවක් පෙන්වා දී එය නිවැරැදි කිරීමක් ලෙසින් මෙම සූත්‍රය දේශනා කර ඇත. මෙම සූත්‍රය තුළ පෙන්වා දෙන කාරණා අතර, වචන භාවිතයේ දී මෙත් සිතක් ඇති කර ගත යුතු බව පැහැදිලි කරයි. එය පෙන්නුම් කරන්නේ වර්තමාන සමාජයට වුව ද එකසෙයින් ගැළැපෙන කථාවක් මූලික කර ගැනීමෙනි.

සැවැත්නුවර වේදහිකා නම් එක්තරා ගෘහපතිනියක බොහෝ කීර්තියක් දරාගෙන යහපත් ගති ගුණයන්ගෙන් හෙබි කාන්තාවක ලෙස ජීවත් වූවාය. මේ කාන්තාව සඳහා සේවය කිරීම පිණිස කාලි නමින් දාසියක සිටි අතර ඇයටද මෙබඳු සිතිවිල්ලක් සිත තුළ ඇති විය. එනම් මාගේ ආර්යාව තමන් තුළ ඇති යහපත් ගුණාංග පෙන්වා කටයුතු කරමින් ද්වේෂ සහගත සතිවිලි නොමැති බවක් පෙන්නුම් කරන්නේ තමාට පැවරී ඇති සියලු කාර්යයන් මා අතින් නිසි ආකාරයෙන් සිදු වෙන නිසාය යන්නයි.

මෙම අදහසත් සමඟ එක් දිනක් කාලිදාසිය පමා වී අවදි වූවාය. කාලිය මෙලෙස පමා වී අවදිවන්නට යෙදුණේ තම ආර්යාවට සැබෑ ලෙසම ද්වේෂසහගත සිතක් පහළ වනවාද යන්න සොයා බැලීම සඳහාය. කෙසේ හෝ පළමු දිනයේ දී ප්‍රමාද වී අවදි වූවාට පසු වේදහිකා ගෘහපතිනිය අසා සිටින්නේ. කාලිය, කුමක් හේතුවෙන් ප්‍රමාද වී අවදි වූවේද , යන්නයි. එවිට කාලිදාසිය කියා සිටින්නේ ප්‍රමාද වී අවදි වූයේ කිසිම විශේෂ හේතුවක් නොමැතිව බවයි. ඉන් පසු පළමු වැනි දිනයේදි ආර්යාවට කේන්ති නොගිය හෙයින් ඊට පසු දිනයේදී කාල ිදාසිය පෙර දිනයට වඩා මඳක් ප්‍රමාද වී අවදි වූවාය. එදිනද කාලියගෙන් වේදහිකා ගෘහපතිනිය පෙර පරිදිම අසන්නේ කුමක් හෙයින් ප්‍රමාද වී අවදි වූවාද යන්නයි. එම අවස්ථාවේදීත් කාලිදාසියගේ පිළිතුර වූයේ පෙර පරිදිමය. එදිනත් තම ආර්යාවට කේන්ති නොගිය හෙයින් කාලිදාසිය තෙවැනි දිනයේදි මුල් දින දෙකටම වඩා ප්‍රමාද වී අවදි වූවාය. එම අවස්ථාවේදීත් වේදහිකාවන් කාලිය අසලට පැමිණ කුමක් නිසා ප්‍රමාද වී අවදි වූයේදැයි ඇසූ අතර කාලියගේ පිළිතුර පෙර දිනවල දුන් පිළිතුරම විය. එහිදී සිදු වූයේ නොසිතූ සිදුවීමකි. කෝපයට පත් වූ වේදහිකාවන් අසල තිබූ දොරපොල්ල ගෙන කාලියගේ හිස මතට වැරෙන් පහරක් එල්ල කළාය. එයින් කාලියගේ හිස තුවාල වී ලේ ගලන්නට වූ අතර වේදහිකාවන් කෝපයට පත් වූ බවද අවබෝධ කර ගත්තාය.අනතුරුව කාලිය ලේ ගලාගෙන යන හිස අල්ලාගෙන මාර්ගයක් මාර්ගයක් පාසා මෙලෙස කෑ ගසමින් විලාප දෙමින් දිව්වාය. “මෙතරම් කාලයක් ඔබ සිතාගෙන සිටියේ වේදහිකාවන් කෝපයට පත් නොවන ගුණ ගරුකභාවයෙන් යුක්ත වූ කාන්තාවක් ලෙසයි. නමුත් බලන්න මා ප්‍රමාද වී අවදි වන්නේ යැයි කියමින් මාගේ හිසට දොර පොල්ලෙන් ගසා තුවාල කළා” මුළු සැවැත්නුවර පුරාම මේ ආරංචිය පැතිරුණු අතර වේදහිකාවන් පිළිබඳ කලින් තිබූ කීර්තිරාවයද සමාජයෙන් දුරස්වී ගියේය.මෙහි දී අප සිතිය යුත්තේ යහපත් දෙයක් සිදු කරන අවස්ථාවක දී සැබෑ ලෙසම මූලිකවම අවශ්‍ය වනුයේ මෙත් සිතක් බවය.

මෙත් සිතක් ඇති වනවිට එම සිත උපයෝගී වී භාවිත කරන සෑම වචනයක්ම යහපත් වන බව අප වටහාගත යුතුය. එය භාවිත කළ යුත්තේ කෙසේද යන්නත් කකචූපම සූත්‍රය තුළින් පෙන්වා දී ඇත. එය අප ගත කරන ජීවිතයේ නිවැරැදි වචන භාවිතයට මහත් රුකුලක් වනු ඇත. සූත්‍රය තුළින් පෙන්වා දී ඇති ආකාරයට එය මෙසේය.

* කාලෙන වා අකාලෙන වා (සුදුසු කාලයේදී භාවිත කරන වචන සහ නුසුදුසු කාලයේදි භාවිත කරන වචන)

අප ජීවත් වන සමාජය තුළ නිරන්තරව අසන්නට ලැබෙන වචන පිළිබඳව මඳක් සිතන්න. ඇතැම් අය සමාජය තුළ නොගැළැපෙන වචන භාවිත කරන අතර ඇතැම් අය සමාජය තුළ ගැළැපෙන ලෙසින් වචන භාවිත කරති. මෙහිදී බොහෝ දුරට පෙන්වා දෙන්නේ යමක් සුදුසු කල්හි ප්‍රකාශ කිරීම තුළින් තම දිවිය පවා සාර්ථක වන බවයි. ඔබ සම්බන්ධ වී ඇති පූජනීය හෝ වෙනත් යම් ස්ථානයක හෝ පැවැත්වුණු ධර්ම දේශනාවක් පිළිබඳ සිතන්න. එවැනි අවස්ථාවකදී පැත්තකට වී අන් අයගේ ධර්ම ශ්‍රවණය කිරීම පවා අහිමිකර නුසුදුසු ලෙස කථා කරමින් සිටින අය කොපමණ සිටිත්ද? මෙවැනි දුර්වලතා ජීවිතකාලය පුරාම තිබේනම් සැබෑවටම සමාජය තුළින් කොන් වී යනු ඇත.

* භූතෙනවා අභූතෙනවා (සත්‍යවාදීව භාවිත කරන වචන හා අසත්‍යවාදීව භාවිත කරන වචන)

අප දැක ඇති ආකාරයට, සමහර අය සමාජයට මුහුණදීමට පවා නොහැකිව දිවිගෙවති. යම් තරමක් හෝ සොයා බැලූවිට පෙනී යන්නේ ඔවුන් තම ජීවිතය තුළ සත්‍යවාදී වචන භාවිතය වෙනුවට අසත්‍යවාදී වචන භාවිතය සඳහා පෙළැඹී ඇති බවයි. එමඟින් වන කටුක, අමිහිරි ප්‍රතිඵල ආදිය ගැන දැන ගැනීමට ඕනෑතරම් නිදසුන් පුවත්පත් වලද ඇත. සත්‍යවාදී වචන භාවිත කිරීම තුළින් පුද්ගලයකුගේ යහපත් පැවැත්ම වර්ධනය වන බව පෙන්නුම් කෙරේ. ඛුද්දක නිකායට අදාළ ථෙරී ගාථාවන්හි එන අම්බපාලි ථෙරි ගාථා තුළ සඳහන් වන්නේ “සච්චවාදි වචනං අනඤ්ඤතා” යනුවෙනි.මෙයින් පැහැදිලි වන්නේ ශරීර අවයව කෙතරම් වෙනස් වී ගිය ද බුදුරජාණන් වහන්සේගේ සත්‍යවාදී වචනය වෙනස් නොවන බවය. මේ අනුව බලන විට සත්‍යවාදී වචනය ජීවිතයක් ආලෝකමත් කිරීමට බලපාන්නේ කෙසේද යන්න අප මඳක් අවබෝධයෙන් යුතුව සිතිය යුතුය.

* සණ්හෙනවා ඵරුසෙනවා (මෘදුව භාවිත කරන වචනය හා රළුව භාවිත කරන වචනය)

බෞද්ධ සාහිත්‍යයට අනුව, සුළඟට ගසාගෙන ගිය ගිරා පෝතකයන් දෙදෙනාගේ කතාව මඳක් සිහිපත් කරගන්න. වනයෙහි දඩයමේ ගොස් අතරමං වූ බ්‍රහ්මදත්ත රජතුමා මුහුණදුන් ඒ අත්දැකීම කදිමය. එක් ගිරවෙකු කෑගැසුවේ හොරුන් පිරිසකගේ භාෂාවෙනි. එය අමිහිරිය. නමුත් තාපසාරාමයේ වැඩුණු ගිරා පෝතකයා ප්‍රසාදජනක ආකාරයට වදන් ප්‍රකාශ කළේය. ඔබ නිවෙසක ජීවත්වීමේදී සිතේ සංවේගය උපදවා ගෙන,උදාවන කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න. එහිදී ඔබට වැටහෙනුයේ මෘදු මොළොක් වචන වෙනුවට අපි‍්‍රයශීලි රළු වදන් භාවිත කිරීම බොහෝ ගැටලුවලට හේතුව බවයි. නිවෙසක වුවද යහපත් වූ සාමකාමි වටපිටාවක් ගොඩනඟා ගැනීමට මෘදු වචන භාවිතය ඉවහල් වන බව සිහිපත් කළ යුතුය.

* අත්ථසංහිතෙනවා අනත්ථසංහිතෙනවා (අර්ථ සම්පන්නව භාවිත කරන වචන හා අනර්ථ සම්පන්නව භාවිත කරන වචන)

අප කෙතරම් ඔවදන් ලැබුවද අර්ථාන්විතව ඒවා ජීවිතය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකරන්නේ නම් ඵලක් නැත. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සෑම වදනකම අන් අයකුගේ යහපතට අවශ්‍ය කරුණක් තිබිණි. ඒ ඒවා අර්ථවත් නිසාය. බුද්ධ කාලයේ සිටි භද්දවග්ගිය කුමාරවරුන් උදෙසා ලබාදුන් ඔවදන අර්ථසම්පන්න වූ බැවින් ඔවුහු සියලු දෙනා ම සසර ගමන් මඟ ආලෝකමත් කර ගත්හ.

එහෙත් අප ජීවත්වන සමාජයේ ඇතැම් මිනිසුන් තම තමාගේ වටිනා කාලය පවා නිකරුණේ ගත කිරීම සඳහා භාවිත කරන එක් ක්‍රමයකි, අනර්ථසම්පන්න වචන භාවිතය. මෙය යථා පරිදි අවබෝධ කිරීමට හැකි වනුයේ අල්ප පිරිසකටය. ඔවුහු අර්ථ සම්පන්න වදන් භාවිත කරන අතර එමඟින් තමන්ගේ ජීවිත ආලෝකමත් කරගනිති.

* මෙත්ත චිත්තෙන වා දොසන්තරා වා (මෛත්‍රියෙන් භාවිත කරන වචන හා ද්වේෂයෙන් යුක්තව භාවිත කරන වචන)

ඇඟිලි දහස් ගණන් කපා මිනිසුන් මරණයට පත් කරන ලද අංගුලිමාල වැනි පුද්ගලයෝද එසේම නාලාගිරි වැනි හස්තීහුද එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත් වූහ. මෙකී සෑම සත්වයෙකුම දමනය කර ගැනීමේ හැකියාව බුදුරදුන්ට තිබිණි. එහිදී අවියක් සියතින් නොගත්ත ද උන්වහන්සේගේ සැබෑ ම අවිය වූයේ මෛත්‍රි සහගත වදන් පෙළක්ය. මඳක් සිතා බැලුවහොත් මේ වත්මන් සමාජයේ වටපිටාව තුළ සැබෑ ලෙසම මෛත්‍රි සහගත වදන් භාවිත නොකිරීම හේතුවෙන් කෙතරම් අවාසනාවන්ත සිදුවීම් සිදුවෙනවාද? එමෙන්ම මෛත්‍රියෙන් යුතු වචන මුවින් පිට වන්නේ නම් මේ ලොව කොතරම් සුන්දරද? මෙය තේරුම් ගන්නේ බොහෝ අල්ප පිරිසකි.

සාර්ථක ජීවිතයක් උදෙසා වචන භාවිත කිරීම පිළිබඳව කකචූපම සූත්‍රය ඇසුරෙන් අපි මෙතෙක් වේලා කථා කළ පරිදි කරුණු පෙන්වා දුන්නෙමු.මේ අනුව, බුදුදහම තුළින් පුද්ගල ජීවිතයක් සංවර්ධනය වීමට අවශ්‍ය පදනම ලෙස නිවැරැදි වචන භාවිතය මහත්සේ අගය කර ඇත. එය අවබෝධකරගෙන කටයුතු කරන්නේ නම් සැබෑ ලෙසටම යහපත්, සාර්ථක ජීවිතයක් ගතකිරීමට නිරායාසයෙන්ම අපට හැකිවනු ඇත.