Print this Article


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු

රාහුල මහරහතන් වහන්සේ

‘පින්වත් රාහුලය, සැදැහැ සිතින් බුදු සසුනේ පැවිදි වූ ඔබ පස්කම් සැප අත්හැර දමා දුක් කෙළවර කර ගැනීමට මහන්සි වෙන්න. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. හුදෙකලාවේ වාසය කරන්න. නුවණින් යුතුව දානය වළඳන්න. සිවුපසයට ගිජු නොවී වාසය කරන්න. ආයේ කවදාවත් මේ ලෝකයට නම් එන්න එපා! හොඳින් සිල්වත් වෙන්න. ඉඳුරන් සංවර කර ගන්න. කායානුපස්සනාවේ යෙදෙන්න. මේ සසර කෙරෙහි කළකිරෙන්න. රාගය ඇති කරන සුභ නිමිති අත්හැර දමන්න. අසුභ භාවනාවේ මැනවින් යෙදෙන්න. රාහුලයෙනි, හොඳින් විදසුන් වඩන්න

ගෞතම බුදු සසුනේ ශික්ෂාකාමි භික්ෂූන් අතරින් අග තනතුරු ලැබූ රාහුල මහ රහතන් වහන්සේ ගැන අද අප සිත පහදවා ගනිමු.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළ සේක. එකල රාහුල ස්වාමින් වහන්සේ හංසවතී නුවර සිටු ගෙදරක උපත ලැබුවා. තරුණ වියට පත් වූ ඔහු නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ හමුවේ ධර්මය ශ්‍රවණය කළා. දිනක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි භික්ෂූන් අතරින් එක් භික්ෂුවක් පෙන්වා ‘පින්වත් මහණෙනි, මේ භික්ෂුව මාගේ ශාසනයෙහි ශික්ෂාකාමී භික්ෂූන් අතරින් අග තනතුරු ලබන්නේය’යැයි පවසා වදාළා. ධර්මය ශ්‍රවණය කරමින් සිටි මේ තරුණයාට ඒ සිදුවීම විශාල චිත්ත ප්‍රසාදයක් ඇතිකළා. අනාගත බුදු සසුනක ‘මමත් ශික්ෂාකාමි භික්ෂුන් අතරින් අග තනතුරු ලබන්න ඕන’ යනුවෙන් උදාර පින් සිතුවිල්ලක් මේ තරුණයාගේ සිතේ ඇති වුණා.

එදා පටන් ඔහු බොහෝ සංඝෝපස්ථාන කළා. සේනාසන ආදිය පිරිසුදු කරමින්, දානමාන පූජා කරමින් ජීවිතයට පින් රැස්කර ගත්තා. දිනක් ඉතාමත් සෝභමාන අගනා ඇතිරිල්ලක් මේ තරුණයා විසින් අප්‍රමාණ පැහැදීමෙන් ‘මේ අගනා ඇතිරිල්ල දෙපා ඇත්තවුන්ට අග්‍ර වූ නරශ්‍රේෂ්ඨ වූ තාදි ගුණැති මහා මුනි පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා’යි පවසා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය තුළ ඇතිරුවා. දහසක් මහ රහතුන් පිරිවරා ගෙන ගන්ධ කුටියට පිවිසි උන් වහන්සේ මේ ඇතිරිල්ල පූජා කොට රැස් වූ පිනෙන් ‘කල්ප ලක්ෂයක් ඇවෑමෙන් පහළ වන ගෞතම බුදු සසුනේ මේ තරුණයා ශික්ෂාකාමී භික්ෂූන් අතර අග තනතුරු ලබන්නේය’ යැයි අනාගතය දෙස බුදු නුවණින් බලා පවසා වදාළා.

අතිශයින්ම සතුටට පත් වූ ඒ තරුණයා එදා පටන් දිවි ඇති තෙක් තවත් බොහෝ පින්දහම් රැස් කළා. ඒ අගනා ඇතිරිල්ල පූජා කළ පින මේ තරුණයාට මරණින් මතු බොහෝ සැප ලබා දුන්නා. හැට හතර වතාවක් සක් දෙව් පදවිය ලබා දෙදෙව් ලොවට අධිපති ලෙස සැපසේ වාසය කළා. අනතුරුව ‘විමල’ නම් සක්විති රජු ලෙස ඉපදී මුළු පෘථිවියම ධාර්මික ලෙස පාලනය කළා. සක්විති රජු වූ ඔහුගේ රාජධානිය යොදුන් තුන්සීයක් විශාල ‘රේණුවතී’ නම් නගරයක්. එහි සත්රුවනින් නිමවන ලද උස් වූ කුළු ගෙවල් ඇති ‘සුදර්ශන’ නම් සුවිශාල ප්‍රාසාදයක් ඔහුගේ් මාලිගය වුණා. මේ සෑම උපතකදීම ඔහු උදෙසා රන්, රිදී, වෛරෝඩි ආදි වටිනා කැටපත් පහළ වුණා. මේ අයුරින් බුදු රජුන් උදෙසා කළ පූජාවේ විපාක ඔහු භුක්ති වින්දා.

මේ මහා භද්‍ර කල්පයේ ඒ වනවිට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120 ක් වී තිබුණා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මේ මනුලොව ඉපදී දහසය වෙනි වියේදී යශෝධරාවන් හා විවාහ වුණා. තුසිත ලොවින් චුත වූ මොහු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට දාව යශෝධරාවන්ගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ අතීත ජීවිතයක ‘පඨවින්ධර’ නම් නා රජෙකුව ඉපදී සිටියදී බෝසතාණන් වහන්සේ නමකගේ පුත්‍රයෙකු ලෙස ඉපදේවායි බුදු කෙනකු හමුවේ කළ පැතුමක් නිසයි. ඒ අනුව මහා පුණ්‍යවන්තයෙකු වූ මොහු සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේගේ විසිනව වෙනි වියේ දී ඇසළ පුන් පොහෝ දිනයක යශෝධරාවගේ කුසින් ‘රාහුල’ නමින් උපත ලැබුවා. රාහුල උපත ගැන සැල වූ මහබෝසතාණන් වහන්සේ (රාහුලෝ ජාතෝ බන්ධන ඡාතං) රාහුලයෙක් උපන්නා, තවත් බන්ධනයක් ඇතිවුණා යැයි පැවසුවා. එදා තමා අප මහ බෝසතාණන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කොට වදාළ උතුම් ඇසළ පුන්පොහෝ දිනය.

එදා පටන් තම මෑණියන් වූ යශෝධරාවගේ තුරුලේ සුද්ධෝදන රජුගේ රාජධානියේ රාහුල කුමාරයා ඇතිදැඩි වුණා. රාහුල කුමරුට වයස අවුරුදු සතක් පමණ වනවිට සුදොවුන් රජුගේ ඇරයුමෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළ අපගේ් ගෞතම බුදුරජාණන් වහන්සේ ඤාතීන්ට අනුග්‍රහ පිණිස විසිදහසක් භික්ෂු සංඝයා පිරිවරාගෙන කපිලවස්තු පුරයට වැඩමකොට වදාළා. ‘යමක මහා ප්‍රාතිහාර්යය’ පවත්වා ඤාතීන් දමනය කොට වදාළා. එදින තරු පිරිවැරූ සඳ මඩල සේ බබලමින් බුදුරජාණන් වහන්සේ වඩිනා අයුරු යශෝධරාව සමඟ සිටි රාහුල කුමාරයාට දැක ගන්නට ලැබුණා. යශෝධරාව (ඒස හි තුයිහ පිතා නරසීහෝ) ‘පුතේ අර වඩින්නේ නරයන්ට ශ්‍රේෂ්ඨ වූ නුඹේ පියාණන්’ ලෙස පවසමින් ගාථා නවයකින් (නරසීහ ගාථා) බුදුරජාණන් වහන්සේව වර්ණනා කළා.

අනතුරුව ‘පුතේ නුඹ ගිහින් පියාණන්ගෙන් දායාද ඉල්ල ගන්නැ’යි යශෝධරාව විසින් රාහුල කුමරුන්ව බුදුරජාණන් වහන්සේ වෙත යොමු කළා. සිඟිති රාහුල කුමාරයා භාග්‍යවතුන් වහන්සේ වෙත දිව ගොස් ඒ ශ්‍රී හස්තයේ සුළැගිල්ලේ එල්ලී (සුඛා තේ සමණ ඡායා) ‘ශ්‍රමණයන් වහන්ස, ඔබේ සෙවණැල්ලත් මට හරි සැපයක්’ යැයි පැවසුවා. බුදුරජාණන් වහන්සේ සමඟ විහාරය දක්වාම ගිය පින්වත්ත රාහුල කුමාරයාට උන්වහන්සේගේ උතුම් ම දායාදය වූ ගෞතම බුදු සසුනේ පැවිදි බව ලැබුණා. රාහුල හිමියන් පැවිදි කළ ආචාර්යයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ යි. උපාධ්‍යායන් වහන්සේ වූයේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ යි.

රාහුල හිමියන්ට තිබුණේ ඉතාමත්ම වාසනාවන්ත, පුණ්‍යවන්ත ගුණවත් ජීවිතයක්. නිතර නිතර බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන්ට මේ අයුරින් අවවාද කළා. ‘පින්වත් රාහුලය, සැදැහැ සිතින් බුදු සසුනේ පැවිදි වූ ඔබ පස්කම් සැප අත්හැර දමා දුක් කෙළවර කර ගැනීමට මහන්සි වෙන්න. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. හුදෙකලාවේ වාසය කරන්න. නුවණින් යුතුව දානය වළඳන්න. සිවුපසයට ගිජු නොවී වාසය කරන්න. ආයේ කවදාවත් මේ ලෝකයට නම් එන්න එපා! හොඳින් සිල්වත් වෙන්න. ඉඳුරන් සංවර කර ගන්න. කායානුපස්සනාවේ යෙදෙන්න. මේ සසර කෙරෙහි කළකිරෙන්න. රාගය ඇති කරන සුභ නිමිති අත්හැර දමන්න. අසුභ භාවනාවේ මැනවින් යෙදෙන්න. රාහුලයෙනි, හොඳින් විදසුන් වඩන්න. මාන්නය දුරින්ම දුරු කරන්න. කෙලෙස් සටහනක් නොමැතිව උපශාන්ත බවට පත්වී සැනසීමෙන් කල් ගෙවන්න. (මෙය සුත්ත නිපාතයේ රාහුල සූත්‍රයේ සඳහන් වේ)

රාහුල හිමියන්ද භාග්‍යතුන් වහන්සේගෙනුත් තම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙනුත් අවවාද අනුශාසනා ලැබීමට අතිශයින්ම ආසා කළා. උදෑසනම මුහුණකට සේදීමටත් පෙර මිදුලෙන් වැලි දෝතක් ගෙන ‘මේ වැලි දෝතේ වැලි කැට ප්‍රමාණයට මට අවවාද අනුශාසනා ලැබේවා’යි සිතමින් එය උඩට විසි කිරීම උන්වහන්සේගේ සිරිතක් වුණා. මේ සිදුවීම සැලවූ බුදුජාණන් වහන්සේ අතීත පුවතක් ගෙනහැර දක්වමින් ‘මිග ජාතකය’ දේශනා කළා. නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේගේ හමුවේ රාහුල හිමියන් ලැබූ අවවාද අනුශාසනා අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය, චූල රාහුලෝවාද සූත්‍රය ආදී සූත්‍රවලත් රාහුලෝවාද සූත්‍ර වශයෙන් බොහෝ සූත්‍ර ප්‍රමාණයක් සූත්‍ර පිටකයේ අන්තර්ගත වෙනවා.

සංඝෝපස්ථාන ආදියේදීත් වත් පිළිවෙත් ආදියේදීත්, ගරුසරු දැක්වීම් ආදියේදීත් රාහුල හිමියන් තුළ තිබුණේ අන්සියලු සංඝයා ඉක්මවා ගිය කීකරුකමක්, නිහතමානීකමක්. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ විසින් ‘පින්වත් මහණෙනි, මාගේ ශාසනයෙහි ශික්ෂාකාමී භික්ෂූන් අතරින් මේ පින්වත් රාහුලයන් අග්‍ර වන්නේ ය’ යනුවෙන් අග තනතුරු ප්‍රදානය කොට වදාළා. ඉතාමත්ම ගුණවත් ජීවිතයක් ගතකළ රාහුල හිමියන්ට නුවණැති සබ්‍ර‍්‍රහ්මචාරීන් වහන්සේලා ‘රාහුල භද්‍ර’ (සොඳුරු රාහුල) යනුවෙන් ආමන්ත්‍රණය කළා. මේ අයුරින් අවවාදයන්හි හික්මෙමින් වීර්යයෙන් යුක්තව දහම් මඟේ හැසිරී රාහුල හිමියන් සියලු කෙලෙසුන් නසා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත්වී වදාළ සේක.

තමන් වහන්සේගේ අරහත් සැපය සිහිපත් කරමින් රාහුල මහරහතන් වහන්සේ මේ උතුම් ගාථාවන් දේශනා කොට වදාළා.

උභයේනේව සම්පන්නෝ - රාහුල භද්දෝති මං විදූ‍
යඤ්චම්හි පුත්තෝ බුද්ධස්ස - යඤ්ච ධම්මේසු චක්ඛුමා

මට සිද්ධාර්ථ කුමාරයන්ගේ් පුතා වෙන්ට ලැබුණා. දැන් බුදු සමිඳුන්ගේ ශ්‍රාවක පුතා වෙන්ටත් ලැබුණා. දෙ පැත්තෙන්ම පුතෙකු වෙන්න මට වාසනාව ලැබුණා. එනිසා නුවණැති උතුමන් වහන්සේලා ‘රාහුල භද්‍ර’ කියා මා අමතනවා. බුදු සමිඳානන්ගේ ශ්‍රාවක පුත්‍රයෙකු වන මම දහම් ඇස ලබා ගත්තා.

යඤ්චමේ ආසවා ඛීණා - යං ච නත්ථි පුනබ්භවෝ
අරහා දක්ඛිණේයෝම්හි - තේවිජ්ජෝ අමතද්දසෝ

ආශ්‍රය නැති කරගත්තා. පුනර්භවය නැතිකර ගත්තා. අරහත්වයට පත්වුණා. ලෝකයාගේ පුද සත්කාරයට සුදුස්සෙකු වුණා. ත්‍රිවිද්‍යාව ද ලැබුවා. ඒ අමා නිවන ද ලබා ගත්තා.

කාමන්ධා ඡාල පච්ඡන්නා - තණ්හාඡදන ඡදිතා
පමත්ත බන්ධුනා බද්ධා - මච්ඡාව කුමිනාමුඛේ

එනමුත් බොහෝ සතුන් කාමයෙන් අන්ධවෙලා ඉන්නේ. කෙලෙස් දැල තුළ පැටලිලා ඉන්නේ. තණ්හාවෙන් වැහිලා ඉන්නේ. ප්‍රමාදි ජනතාවගේ යහළුවා වන මාරයාට බැඳිලා ඉන්නේ. ඒ උදවිය දැලක හිරවුණ මාළුවන් වගේ

තං කාමං අහමුජ්ඣිත්වා ඡෙත්වා මාරස්ස බන්ධනං
සමූලං තණ්හං අබ්බුයිහ - සීතිභූතෝස්මි නිබ්බුතෝ

මම නම් ඒ කාමයන් බැහැර කළා. මාර බන්ධනය කඩා බිඳි දැම්මා. තණ්හාව මුලින්ම උදුරා දැම්මා. සිහිල් වෙලා ගියා. නිවිලා ගියා.

සටහන: නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු - සම්භූත මහරහතන් වහන්සේ