Print this Article


විවේකය සහ නිදහස

විවේකය සහ නිදහස

පැරැණි ජන සමාජය තුළ දහවල් වැඩකටයුතු නිමාකර සතුටු සාමීචි කතාබහ සඳහා රාත්‍රි‍්‍ර කාලය යොදාගෙන තිබුණි. සරල ජීවිත පැවැත්මකට ද ඔවුහු හුරුවී සිටියහ. පවුල් ඒකකයෙහි සාමාජිකයෝ ඤාති සමූහයා ද ගමේ සියල්ලන් ද සමඟ එකට එකතු වී දුක සැප බෙදාගෙන වැඩිහිටි උපදෙස් තම ජීවිතයට සමීප කරගෙන

ආදර්ශමත් ජීවිත ගත කළහ.පැරැණි හෙළ සිරිත් විරිත් බිඳ නොගෙන, ගෞරවයෙන් ආරක්‍ෂා කරගෙන සුවදායක ජීවිත ගත කිරීමට උනන්දු වූහ.

විවේකයත් නිදහසත් යනු ජන සමාජයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇති මාතෘකාවකි. ඇතැම්හු කොපමණ වැඩකළත් විවේකයක් නැති බව ප්‍රකාශ කරති. සම්මුති ලොව තුළ විවිධාකාරයෙන් මෙය සාකච්ඡාවට භාජනය වී ඇත. මවුවරු පියවරු බොහෝ කොට දරුවන් හදා වඩා පෝෂණය කර ජීවිතයේ අවසාන භාගයේ කිසිදු නිදහසක් නැති බව කදුළු පිරි දෙනෙතින් සිහිපත් කරති. එහි සත්‍යතාවක් නැත්තේද නොවේ. දරුවන් තමන්හට බොහෝ සෙයින් යුතුකම් ඉටුකරනු ඇතැයි මවුවරු ද පියවරු ද විශ්වාසය කරති.

එහෙත් ඒ දේ සැමවිටම ශක්තිමත් අයුරින් සහ නිසිකලට ඉටුනොවන බව අද සමාජගත කරුණුවලින් තේරුම් ගැනීමට හැකියාව ඇත. අසීමිත ආශාවන් කරා දිවයන පිරිස් භෞතික දේම සියලු ප්‍රශ්නවලට විසැඳුම් බව සිතා ඒවා රැස්කරගැනීමට දිවා රාත්‍රි වෙහෙස වී කටයුතු කරති. අවම වශයෙන් සතියකට එක් දිනක්වත් පවුල් සංස්ථාව තුළ සමඟිය සමාදානය තහවුරු කරගනිමින් විවේක සුවයෙන් කාලය ගත කිරීමට උත්සහයක් නොකරති. පැරැණි ජන සමාජය තුළ දහවල් වැඩකටයුතු නිමාකර සතුටු සාමීචි කතාබහ සඳහා රාත්‍රි‍්‍රකාලය යොදාගෙන තිබුණි. සරල ජීවිත පැවැත්මකටද ඔවුහු හුරුවී සිටියහ. පවුල් ඒකකයෙහි සාමාජිකයෝ ඤාති සමූහයා ද ගමේ සියල්ලන් ද සමඟ එකට එකතු වී දුක සැප බෙදාගෙන වැඩිහිටි උපදෙස් තම ජීවිතයට සමීපකරගෙන ආදර්ශවත් ජීවිත ගත කළහ.පැරැණි හෙළ සිරිත් විරිත් බිඳ නොගෙන, ගෞරවයෙන් ආරක්‍ෂාකරගෙන සුවදායක ජීවිත ගත කිරීමට උනන්දු වූහ. ධාර්මික ජීවිත රටාවක් ඇසුරු කරගෙන භෝග උපයමින් බෙදා හදාගෙන පරිභෝජනය කළහ.ජීවත්වීම සඳහා නිවාස,අහර, වස්ත්‍ර බෙහෙත් යන සතර අත්‍යවශ්‍ය සාධක වනු ඇත. මේ සැමදෙයක්ම ඔවුන් සම්පාදනය කරගත්තේ දහදිය මහන්සියෙන් උත්සාහවත්ව කටයුතු කරමිනි.

මෙසේ උපයාගත් වස්තු භෝග කායික, මානසික වූ සාමිස සුවයත් විවේකයත් ඇතිව නිදහසේ භුක්ති වින්දහ. ලොව්තුරා බුදුබවට පත් වූ උත්තමයන් වහන්සේ පවා ගෘහස්ථ ජීවිතයේ සාමිස සුවය, විවේකය සහ නිදහස සඳහා සැප සතරක් ඇති කරගැනීම ඉතා ඵලදායි බව දේශනා කොට වදාළ සේක.

1. අත්ථි සුඛය – තමාගේ සහ යැපෙන්නන්ගේ දිවිපැවැත්ම සඳහා ධන ධාන්‍ය උපයා සපයා ගැනීමයි.
2. භෝග සුඛය – දැහැමෙන් සෙමෙන් උපයා සපයාගත් වස්තුව නිවැරැදිව භුක්ති විඳීමයි.
3. අනණ සුඛය – රටට ණය නොවී ජීවත්වීමයි.
4. අනවජ්ජ සුඛය - කිසිදු කෙනකුට වරදක් සිදු නොකර දිවිපවත්වා ගැනීමයි. පංචසීල ප්‍රතිපදාවට අනුකූලව ජීවත්වීම සහ දස අකුසල් වලින් දුරුවී දස කුසල් දහම් වඩමින් ජීවත්වීම සැනසිල්ලට හේතුවේ.

මෙසේ ජීවිතය සැලැස්මකට අනුකූලව නිරවුල්ව කළමනාකරණය කර ගැනීම කායික, මානසික සුවය සඳහා හේතු වන්නේය. ධාර්මිකව උපයා සපයා ගත් වස්තුව තවදුරටත් සතරාකාරව වර්ගීකරණය කරගෙන පරිහරණය කිරීම ජීවන බර සැහැල්ලු කරගැනීමට උපකාර වන්නේය. වත්මන් සමාජයේ බොහෝ දෙනා එසේ සැලැස්මකට අනුව ජීවත් නොවීම බොහෝ ප්‍රශ්න, ගැටලු ඇතිවීමට හේතු සාධක වී ඇත. එම ජීවිතවල දිනෙන් දින කායික, මානසික සුවය පිරිහී දුකින් පිරී අසහනකාරි ජීවන රටාවක් වර්ධනය වන බව පැහැදිලිව පෙනී යන්නේය.සිතෙහි බර සැහැල්ලු කරගෙන යථාර්ථය හොඳින් තේරුම්ගෙන, විවේකය ඇසුරු කරමින් හා විරාගය දියුණු කරමින් සුවදායක මානසික පසුබිමක් ඔබට නිර්මාණය කරගැනීමට හැකියාව ලැබෙන්නේ දහමෙන් සිත පෝෂණය කරගන්නා තරමට ය.

උපයන ධනය නිරවුල්ව බෙදා හදාගෙන ජීවත්වීමේ ආර්ථික වැඩපිළිවෙළ ධර්මයෙන් මැනැවින් පෙන්වා දී ඇත. එම වැඩපිළිවෙළ පසෙක දමා, තම සිතට වහල් වී අධික තෘෂ්ණාවට දාස වී කටයුතු කිරීමෙන් පුද්ගල නිදහස වැනසෙනවා පමණක් නොව සමස්ත ජන සමාජයේම විනාශය සැලසෙන්නේය. විකෘති වූ අධාර්මික ජීවන රටාවක් සමගින් ණය බරින් යුතු අවිවේක සමාජ වටපිටාවක් නිර්මාණය වී ඇති බව කනගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුව ඇත. මේ දුක්ඛදායක තත්ත්වයට ඔබ පත්වූයේ තථාගත දේශනාවෙන් දුරස්ථ වී අන්තදෙකට වැටී කටයුතු කිරීම නිසාය. දැන් කළ යුත්තේ මැදුම් මාවතට අනුගත වී ආදායමට සරිලන සරල දිවිපැවැත්මක් අනුගමනය කරමින්,අනවශ්‍ය වියදම් අත්හැර මූලික අවශ්‍යතා සපුරා ගැනීමට උත්සහවත් වීමයි. එම සාර්ථක වැඩපිළිවෙළ පහත සඳහන් කරමි.

එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය
ද්විහිකම්මං පයොජයෙ
චතුත්තම්පි නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති

උපයන ධනයෙන් හතරෙන් කොටසක් ආහාර සඳහා වෙන් කළ යුතුයි. පැවැත්ම සඳහා ආහාර අවශ්‍ය වේ. වැඩියෙන් ආහාර ගැනීමත් ශරීර සෞඛ්‍යයට හිතකර නැත. ආහාර අඩුවෙන් ගැනීමත් හොඳ නැත. මධ්‍යස්ථව ආහාර ගැනීම ගුණදායකවේ. ආහාර ගැනීමේදී බෙදා හදාගෙන අනුභව කිරීම උතුම් ගුණයකි. පරිත්‍යාගය මහත් වූ කුසලයක් මෙන්ම අප්‍රමාණ සතුටක්ද ගෙන දෙන්නකි. දීමෙන් ලැබෙන ආනිශංස දන්නේ නම් නොදී ආහාර ගැනීමක් නොවන බව තථාගතයන් වහන්සේ දේශනා කළ සේක. දීම සද්පුරුෂ ගතියකි. එයින් ලැබෙන සැනසිල්ල සහ විවේකය මිල කළ නොහැකිය.

මානසික විවේකය පවුල් සංස්ථාව තුළ ඇති කර ගැනීමේදී, සැම දෙනාටම අත්‍යවශ්‍ය වූ ආහාරය සැමට හොඳින් ලැබෙන්නේ දැයි විමසා බැලිය යුතුය. සිය මෑණියන්ට පියාණන්ට අඹුදරුවන්ට උචිත ආකාරයෙන් ක්‍රමානුකූලව ආහාර බෙදී යනවාද කියා ගෘහ මූලිකයා විසින් සොයා බලනු ලබන්නේ නම් මැනැවි.

වයෝවෘද්ධ මවුපියනට සැහැල්ලු ආහාරවේලක් ලබාදියයුතුය. වයසට යෑමත් සමග ඉන්ද්‍රියන් බෙහෙවින් දුර්වල වන්නේය. එම නිසා කායික මානසික පීඩාවන් ඇතිනොවන ආකාරයෙන් ඔවුන්ගේ පෝෂණය ගැන විශේෂ අවධානයක් යොමා කටයුතු කළ යුතුය. ඒවා නිසි පරිදි ඉටු කිරීම ගෘහ මූලිකයාගේත් සියලු දෙනාගේත් විවේකයට සැනසීමට හේතු වන්නේය. වැඩිහිටියන්ට සැලකීම, පිදීම, ගෞරව කිරීම හා වන්දනා කිරීම සද්පුරුෂයන්ගේ උතුම් ක්‍රියාවකි. බෝසත් අවධියේ පටන් එම සද්ක්‍රියාව සිදුකර ඇතිබවට ජාතක පොත් වහන්සේ පරිශීලනය කිරීමෙන් මැනැවින් තේරුම් ගැනීමට හැකියාව ඇත.

හැදූවැඩූ මවුපියන් ගුරුභවතුන් ඇතුළු වැඩිහිටියන්ට නොසැලකීම දෙලොව පිරිහීමට කාරණා වන්නේය. තමන්ට වඩා ගුණයෙන් ශීලයෙන් කල්‍යාණ ධර්මයන්ගෙන් උසස් ගති පැවැතුම් ඇති අයට සතර සංග්‍රහ වස්තුවෙන් සැලකීම පණ්ඩිතයන්ගේ ප්‍රශංසාවට ,අගැයීමට, කීර්ති රාවයට හේතු වන්නේය. සිඟාලෝවාද සූත්‍රයෙන් එය මැනැවින් විවෘත කොට පෙන්වා දී ඇත.

පැවිදි උතුමන්ට සැලකීම, වතාවත් කිරීම, ඔවුන්ගේ අවවාද අනුශාසනා පිළිපැදීම, යටහත් පහත්බව , කීකරුවීම, සුවිනීත වීම, ගිලන් වූ විට උවටැන් කිරීම, කරුණාව දයාව ඇතිකර ගැනීම තමාගේ දියුණුවට මහත් රුකුලක් වන්නේය. දිනපතා එවන් ක්‍රියා සිදුකරගැනීම තමාටම තමා සලකා ගැනීමක් වන්නේය. මහත් රැකවරණයක් එයින් සැලසෙන්නේය.මේ අනුව කායික මානසික සුවය හා විවේකය නිසිපරිදි ඇති කර ගැනීමට හැකියාව ලැබේ.

විවේකය හා නිදහස මැනැවින් ඇසුරු කරගෙන ජීවිතය අර්ථවත් කරගැනීමට සද්ධර්මයෙන් ලබාගත හැකි ප්‍රයෝජන කෙසේ වේදැයි ඉදිරි සතිවල දී තවදුරටත් සාකච්ඡා කරමු.