Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය - මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ අසරණ වූ දරුවකු දැක අනුකම්පාව උපදවා ආලෝකයක් පතුරුවා ඔහුට පියවි සිහිය ලබා දී, “දරුව මෙහි එව, තථාගතයන් දෙස බලව.රාහුගෙන් සඳ මිදුණාක්මෙන් මම නුඹ මුදා ගන්නෙමි “ යි වදාළ සේක. මේ විපතට පත් දරුවා කවුද? බුදුරජාණන් වහන්සේ මොහු මුදා ගත් ආකාරය පැහැදිලි කරන්න.

පිළිතුර - සෝපාක, රජගහනුවර සැඬොලෙකුට දාව පුක්කුස කුලයක ස්ත්‍රියක කුසින් උපන් දරුවෙකි. කුඩා කලම පියා මළ බැවින් සුළු පියා ඔහු ඇති දැඩි කළේය. තම පුතාට වැඩි සෙනෙහස දැක් වූ ඔහු පසුව සෝපාක විනාශ කිරීම සඳහා රාත්‍රියක සොහොනකට ගෙන ගොස් මළ මිනියක බැඳ තැබීය. එහි දී ඉහත සඳහන් පාඨය දේශනා කොට බුදුරජාණන් වහන්සේ ඔහුට සරණ වූහ. පසුව ඔහුගේ මවට දේශනා කොට වදාළ බණ පදයෙන් මව සෝවාන් වූ අතර සෝපාක හිමියෝ ද රහත් ඵලයට පත් වූහ.

ප්‍රශ්නය - මාගම රජ පෙළපතකින් පැවැත ආ දුටුගැමුණු කුමරු අනුරාධපුරයෙහි කරවන ලද ස්තූප දෙක ප්‍රමාණයෙන් ද විශාලත්වයෙන් ද මීට පෙර ද කරන ලද ස්තූපවලට වඩා වැඩිය. මෙම ස්තූප දෙක මොනවාද?

පිළිතුර - 1. මරිව්චවට්ටි- මිරිසවැටි, 2.රත්නමාලි (රුවන්වැලි සෑය)

ප්‍රශ්නය – ශාසනික ඉතිහාසයේ ප්‍රථම සංගීතිය ඉතාමත් වැදගත් වූවකි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැති ප්‍රථම සංගීතියෙහි ඓතිහාසිකත්වයට හානියක් නොවුණත් මෙම සංගීතියෙහි ප්‍රතිඵල පිළිබඳව විවිධ මතභේද මූලාශ්‍රවල දක්නට ලැබේ.

මෙම සංගායනාවෙහි දී ධර්ම විනය වශයෙන් පැවැති සකල බුද්ධ වචනයම සංගෘහිත කළ ආකාරය පිළිබඳව විවරණයක් කරන්න.

පිළිතුර - සංගීතියෙහි දී විනය ශාසනයාගේ ආයු බැවින් බුදුරජාණන් වහන්සේ විසින් විනයධාරින්ගෙන් අග්‍ර ස්ථානයෙහි තැබූ උපාලි මහා ස්ථවිරයන් සංඝස්ථවිර වශයෙන් විනය සංගායනාව පළමුව කළහ. දෙවනුව ආනන්ද මහා ස්ථවිරයන් සංඝ ස්ථවිර කොට ධර්මය සංගායනා කළහ. තවද මෙහිදී ධර්ම විනය වශයෙන් පැවැති සකල බුද්ධ වචනයම නිකාය වශයෙන් පසකට බෙදා සංග්‍රහ කරන ලදුව එනම්,

1. දීඝ නිකාය 2.මජ්ඣිම නිකාය 3. සංයුක්ත නිකාය 4.අංගුත්තර නිකාය 5. ඛුද්දක නිකාය යනුවෙනි. පසුව විනය, අභිධර්ම පිටක නමින් වෙන් වූ ධර්මය ද ඛුද්දක නිකායටම ඇතුළත් වූ බව “චත්තාරොනිකායො ඨපෙත්වා අවසේසං බුද්ධවචනං ඛුද්දක නිකායො නාම (සමන්ත පාසාදිකා)” යන්නෙන් පෙනේ. බුද්ධ වචනය පරපුරෙන් පරපුරට අවිච්ඡින්නව ගෙන යාම සඳහා විනය උපාලි ස්ථවිරයන්ට ද, දීඝ නිකාය ආනන්ද ස්ථවිරයන්ටද, සංයුක්ත නිකාය මහා කාශ්‍යප ස්ථවිරයන්ටද, මජ්ඣිම නිකාය සැරියුත් හිමියන්ගේ ශිෂ්‍යයන්ටද , අංගුත්තර නිකාය අනුරුද්ධ ස්ථවිරයන්ට ද, ඛුද්දක නිකාය සියලු දෙනාට ද භාර කළහ. ධර්ම විනය දෙකෙහි භාරකාර පරපුර භාණකවරුන් වශයෙන් පසුකාලනිව මූලාශ්‍රවල සඳහන්ව ඇත.

ප්‍රශ්නය – “දිට්ඨි ධම්ම හිතාය” ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි එන ධර්ම පාඨයකි. ධර්ම විවරණයක් කරන්න.

පිළිතුර - මෙලොව හිත සුව පිණිස පවත්නා යන්නය සරල අදහස. මේ සඳහා ජීවන මාර්ග 4 ක් ධර්මයෙහි සඳහන් වෙයි. උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්‍ර සේවනය, සමජීවිකතාව

ප්‍රශ්නය - ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වන පරිදි පරලොව ජීවිතය සැපවත්කර ගන්නා ක්‍රමය පැහැදිලි කරන්න.

පිළිතුර - පරලොව හිත සුව පිණිස පවත්නා ධර්මයෝ සතර දෙනෙක් වෙති. එනම් ශ්‍රද්ධා සම්පදා ශීල සම්පදා ත්‍යාග සම්පදා ප්‍රඥා සම්පදා යනු මොහුය.

ප්‍රශ්නය - “අජද්ධු මාරිකං” මෙය ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි එන ධර්ම පාඨයකි. ධර්මානුකූ®ලව පැහැදිලි කරන්න.

පිළිතුර – සම්පත් අනුභව නොකොට මරණයට පත්වන තැනැත්තා අජද්ධු මාරික නම්වෙයි. අනාථ මරණය යනුවෙන්ද මෙය හඳුන්වා ඇත.

ප්‍රශ්නය - සිත පිරිසුදුව තබා ගෙන කරන හැම ක්‍රියාවක්ම කුසල් බව ධර්මය හැදෑරීමෙහි දී අප ඉගෙන ගෙන තියෙනවා. එසේ නම් පිරිසුදු සිතක ස්වභාවය ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර – ධම්මපද ධර්ම ග්‍රන්ථයෙහි එන මනසාචෙ පදුට්ඨෙන, මනසා චෙ පසන්නෙන යන පාඨ දෙක කෙරෙහිත් අවධානය යොමු කරන්න. පදුට්ඨෙන පසන්නෙන යන පද දෙකින් ගම්‍යමාන වන්නේ අපිරිසුදු හා පිරිසුදු සිතක ස්වභාවයය. “භවාංග චිත්ත” යැයි නම් කරන භවයා ගේ නොසිඳ පැවැත්මට හේතුවන සිත පිරිසුදුය. මඩබොර නැති ප්‍රසන්න ජලයක් සේ පිරිසුදුය. මේ පිරිසුදු සිත ඇස්, කන්, නාස් ආදි වූ දොරටු මගින් ඇඳ බැඳ ගන්නා අරමුණු නිසා උපදනා ලෝහ ද්වේශ මෝහාදී වූ කෙලෙසුන්ගෙන් අපිරිසුදු වේ. “පභස්සරමිංදං භික්ඛවෙ චිත්තං කං ඛො ආගන්තුකෙහි උපක්කි ලෙසෙහි උපකිලිට්ඨ” ආදි දේශනාවට අනුව වඩාත් පැහැදිලි වනු ඇත.