Print this Article


උතුම් සැපය

උතුම් සැපය

ලෝකයෙහි ‘දුක’ ඇති නම්, ඊට විරුද්ධ ‘සැප’ යක් ද ඇත. එමෙන් ම, ‘භවයක්’ ඇති කල්හි ඊට විරුද්ධ වූ ‘විභවයක්’ ද ඇත. ‘උෂ්ණයක්, ඇති කල්හි ‘ශීතලයක්’ ද ඇත. එමෙන්, රාගාදී කෙලෙස් ගිනි නිවීමට ‘නිර්වාණයක් ද ඇතිවිය යුතු ය. එසේම, ලාමක වූ ඉපදීම ඇති කල්හි ඉපදීම නසන්නා වූ ‘අජාති’ අජර, එනම් දිරීමක් නැති, ‘අමරා’ හෙවත් මරණයක් නැති නිර්වාණයක් ද තිබිය යුත්තේ ය. යනුවෙන් සිතූහ

බෞද්ධයන්ගේ උතුම් පරමාර්ථය නිවනට යොමු වීමය. එය උතුම් සැපයයි. ඒ බව “නිබ්බානං පරමං සුඛං” යන ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.

නිර්වාණය වනාහි ලෝකෝත්තර ධර්මයකි. උපාදානස්කන්ධය නමැති ලෝකයෙන් වෙන් වූ ධර්මතාවයකි. එමනිසා, ලෞකික වචන වලින් විස්තර කළ නොහැකි ය. නිවන යනු අතත්කාවචරය. එමනිසා, තර්ක විතර්කවලින් ද දැන ගත නොහැකි ය. නිර්වාණයේ නියම ස්වභාවය දැනගත හැක්කේ අවබෝධ ඥානයෙනි. එනම්, අඩුම තරමින් සෝවාන් මාර්ගයට පැමිණීමෙන් ය. එසේම, ත්‍රිපිටක ධර්මය ඉතා හොඳින් අවබෝධ කරගතහොත් සාමාන්‍ය වශයෙන්වත් නිවන ගැන හැගීමක් ඇති කර ගත හැකිය.

අපගේ ගෞතම බුදුපියාණන් වහන්සේ පාරමී දම් පුරන ලද බෝසත් සමයේ දී මෙසේ සිතූහ.

ලෝකයෙහි ‘දුක’ ඇති නම්, ඊට විරුද්ධ ‘සැප’ යක් ද ඇත. එමෙන් ම, ‘භවයක්’ ඇති කල්හි ඊට විරුද්ධ වූ ‘විභවයක්’ ද ඇත. ‘උෂ්ණයක්, ඇති කල්හි ‘ශීතලයක්’ ද ඇත. එමෙන්, රාගාදී කෙලෙස් ගිනි නිවීමට ‘නිර්වාණයක් ද ඇතිවිය යුතු ය. එසේම, ලාමක වූ ඉපදීම ඇති කල්හි ඉපදීම නසන්නා වූ ‘අජාති’ අජර, එනම් දිරීමක් නැති, ‘අමරා’ හෙවත් මරණයක් නැති නිර්වාණයක් ද තිබිය යුත්තේ ය. යනුවෙන් සිතූහ.

මේ අනුව විමසනවිට ‘රොධ’ නමින් හැඳින්වෙන සසර නමැති සිරගෙයින් නිදහස් වූ ‘නිරෝධ’ නම් වූ පඤ්චස්කන්ධය නමැති ලෝකයෙන් එතෙර වූ නිසා, ‘ලෝකෝත්තර’ නමින් හැඳින්වෙන ඉපදීම ජරාව, මරණය නැති ‘නිවන’ නම් උතුම් සැපයක් ඇති බව ප්‍රඥාව ඇති අයට මනාව අවබෝධ වනු ඇත. නිවන් සැපය වනාහි කෙලෙස්ගිනි සම්පූර්ණයෙන් නිවී ඇති වන්නා වූ ශාන්ත සැපයකි.

නිවන් සුවය ලබන ආකාරය අනුව නිවන කොටස් දෙකකට බෙදේ. එනම්, සෝපාදිසෙස නිබ්බාණය, අනුපදිසෙස නිබ්බාණය යනුවෙන් ය. පඤ්චස්ඛන්ධය ඉතිරිව තිබිය දී නිවනට පැමිණීම සෝපාදිසෙස නිබ්බාණයයි. රහතන් වහන්සේ පිරිනිවන් පෑ පසු පඤ්චස්ඛන්ධයෙන් කිසිවක් ඉතිරි නොවී නිර්වාණ ධාතුවට පැමිණීම, අනුපදිසේස නිබ්බාණයයි සඳහන් කර ඇත.

පණ්ඩිතයන් විසින් දැන ගත යුතු බැවින් නිවන පණ්ඩිතවේදනීය යන නමින් ද, පහසුවෙන් දැන ගත නොහැකි බැවින් දුද්දස යන නමින් ද, නිවන හඳුන්වා ඇත. එමනිසා, අප හැම දෙනාම නිවන නම් වූ උතුම්ම සැපය ලබා ගන්නට උත්සාහ වන්ත වෙමු.

අපට ලෙඩක් හැදී දුක් විඳින විට, වෛද්‍යවරයෙක් හමුවීමට ගොස් රෝගය සුවකරගැනීමට අදාළ බෙහෙත් නියම කළ පසු, එම ප්‍රතිකාර නොකර සිටියහොත් අපගේ රෝගය සුව නොවේ. එය වෙද මහතාගේ වරද නොවේ. අපගේ වරදය. එමෙන්, ලොවට වෙදාණන් වූ ශාන්ති නායක බුදුපියාණන් වහන්සේ සසර දුක නිවාගන්නට දේශනා කර ඇති ධර්මය නමැති බෙහෙත පාවිච්චි නො කළහොත් සසරේ අපමණ දුක් විඳින්නට සිදුවෙනු ඇත. එය බුදුරදුන්ගේ වරද නොව, අපගේ වරදය. එම නිසා, හැමවිටම කය, වචනය, සිත යන තිදොරින් කුසල් දහම් කොට සීල, සමාධි, ප්‍රඥා ආදී ගුණ දහම් දියුණු කරගෙන අජරාමර වූ, අති උතුම් වූ නිවන් සැපය ලබා ගන්නට උත්සාහ කරමු.