Print this Article


සැදැහැයෙන් ක්‍රියා කරමු

සී සාන උපකරණ සියල්ල සම්පූර්ණ කරගෙන සිටියත්, වැපිරීමට බීජ නොමැති නම් වගා කළ නොහැකි ය. වී වගාවේ මූලික පදනම බීජ වැපිරීමයි. අස්වැන්න ලැබෙනුයේ ඒ තුළිනුයි. එසේම බෞද්ධ ජීවිතයේ මූලික පදනම ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව නොමැති නම් අන් කවර ගුණාංගය තිබුණ ද ප්‍රයෝජනයක් නොමැත. එබැවින් ශ්‍රද්ධාව බීජයකට උපමා කොට තිබේ. නිවන නමැති අස්වැන්න ලැබීමට නම් සද්ධාව නමැති බීජය අවශ්‍යමය

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සද්ධාබීජං තපෝවුට්ඨී
පඤ්ඤා මේ යුගනංගලං
හිරි ඊසා මනො යොත්තං
සති මේ ඵාලපාචනං

සැදැහැවත්නි,

බුදු සමයෙහි ශ්‍රද්ධාවට ඉතා වැදගත් තැනක් හිමි වෙයි. බෞද්ධ ජීවිතයකට පදනම වැටෙන්නේ ශ්‍රද්ධාව තුළිනුයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය විෂයෙහි මනා අවබෝධයකින් යුක්තව පැහැදීමට පත්වීම ‘සද්ධාව‘ ලෙස ඉතා සරලව හඳුන්වා දිය හැකි ය.

කසීභාරද්වාජ සූත්‍රය තුළින් “සද්ධාව“ යනු කුමක්දැයි ඉතා පැහැදිලිව විස්තර කෙරේ. කසීභාරද්වාජ සුප්‍රසිද්ධ බ්‍රාහ්මණ ගෝත්‍රිකයකු වුවත්, කෘෂි කර්මාන්තයෙන් ස්වකීය දිවිපෙවෙත රැක ගත්තෙකි. බමුණා ගේ වප් මඟුල් දිනය දා බුදුරජාණන් වහන්සේ එම උළෙල පැවැති ස්ථානයට වැඩම කරවීම සුවිශේෂී සිද්ධියක් විය. කසීභාරද්වාජ සූත්‍රයෙහි අන්තර්ගත වන්නේ එහිදී බුදුරදුන් හා බමුණා අතර පැවැති සාකච්ඡාවයි.

පළමුව බමුණා බුදුරදුන්ට මෙසේ කීය. “භවත් ගෞතමයෙනි, මම සී සාමි, වපුරමි, සී සා වපුරා වළඳමි. ඔබත් සී සා වපුරා වළඳනු මැනවි” එවිට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්හ. නැවත බමුණා බුදුරදුන් අමතමින් ‘භවත් ගෞතමයන්ගේ ගොවි උපකරණ මම නොදකිමි. අපට ගෞතමයන්ගේ එම උපකරණ මොනවාදැයි වදාරනු මැනවැයි, කීය. එහි දී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

සද්ධාබීජං තපෝවුට්ඨී
පඤ්ඤා මෙ යුගනංගලං
හිරි ඊසා මනො යොත්තං
සති මේ ඵාලපාචනං

“මාගේ ශ්‍රද්ධාව බිජුවටයි. තපස වැසි දහර වෙයි. ප්‍රඥාව විය නගුල් වෙයි. හිරිය (ලජ්ජාව) නගුලිසයි. සිත වියරැහැන් වෙයි. සිහිය මාගේ හී වැල හා කෙවිටයි.” තව දුරටත් බමුණාට කරුණු පහදා දුන් බුදුරදුන් ම විසින් මෙසේ කරන ලද සී සෑමෙහි අමාඵල තිබෙන බවත්, මෙම කෘෂිකර්මාන්තය කොට සී සා හැම දුකකින් ම මිදිය හැකි බවත් දේශනා කළහ. මෙම දේශනාව මනා ලෙස වටහාගත් කසීභාරද්වාජ බමුණා තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත්ව පසුව පැවිදි උපසම්පදාව ද ලැබී ය.

සී සාන උපකරණ සියල්ල සම්පූර්ණ කරගෙන සිටියත්, වැපිරීමට බීජ නොමැති නම් වගා කළ නොහැකි ය. වී වගාවේ මූලික පදනම බීජ වැපිරීමයි. අස්වැන්න ලැබෙනුයේ ඒ තුළිනුයි. එසේම බෞද්ධ ජීවිතයේ මූලික පදනම ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව නොමැති නම් අන් කවර ගුණාංගය තිබුණ ද ප්‍රයෝජනයක් නොමැත. එබැවින් ශ්‍රද්ධාව බීජයකට උපමා කොට තිබේ. නිවන නමැති අස්වැන්න ලැබීමට නම් සද්ධාව නමැති බීජය අවශ්‍යමය.

සමහරු “සද්ධා භක්තිය පෙරදැරිව“ යන යෙදුමක් ද භාවිතා කරති. මෙහි දී යම් දෙයක් පිළිබඳ භක්තියක් හෙවත් ඇදහීමක් අවශ්‍ය වන්නේ දැකීමක් නොමැති වූ විටය. යමක් තේරුම් ගැනීමෙන් පසුව ඒ ගැන භක්තිය හෝ ඇදහීම පිළිබඳ අවශ්‍යතාවක් ඇති නො වේ. සරල උදාහරණයක්, මඟින් මෙය පැහැදිලි කරන්නේ නම්, මා අත මැණිකක් තිබේ යැයි, කිවහොත් එය ඔබට දැකිය හැකි වේ. එවිට භක්තිය හෝ ඇදහීම හෝ පිළිබඳ ගැටලුවක් ඇති නොවේ. එසේ වූයේ ප්‍රත්‍යක්‍ෂ ලෙස මැණික දක්නට ලැබුණු නිසයි. ඇතැම් ආගමික ඉගැන්වීම්වල පදනම වන්නේ භක්තියයි. එහෙත් බුදු සමයේ මුල්තැන ලැබෙන්නේ භක්තියට නොව අවබෝධයට යි. එබැවින් බුදු සමයේ ඉගැන්වෙන ‘සද්ධාව‘ යන වචනය “භක්තිය” “ඇදහීම” යන වචන හා සමාන නොවන බව වටහා ගත යුතු ය.

තවද “අමූලිකා සද්ධා” හා “ආකාරවතී සද්ධා” ලෙස සද්ධාවේ කොටස් දෙකක් තිබේ. මින් තෙරුවන් කෙරෙහි නිවැරැදි අවබෝධයක් නොමැතිව ඇතිකර ගන්නා සද්ධාව “අමූලිකා සද්ධා” ලෙසත් හේතු යුක්ති සහිතව කරුණු දැන, දැක, ඇති කරගන්නා පැහැදීම, “ආකාරවතී සද්ධාව“ ලෙසත් විග්‍රහ කෙරේ. මේ අතර අමූලිකා සද්ධාව පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන්නේ නම් එහි මුල්තැන ලබා දී ඇත්තේ අවබෝධයට වඩා විශ්වාසයට හා ඇදහීමට යි. “මෙම ධර්ම කරුණු ගැන මම නොදනිමි. ඒත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන අසීමිත පැහැදීම නිසා මම මෙම කරුණු පිළිගනිමි.” යන අදහස තුළ ඇත්තේ එවන් ඇදහීමකි. මෙය අන්ධයන් ගේ පෙරහරකට උපමා කොට තිබේ. එහි මුලින් මැදින් හා අගින් යන්නේ අන්ධයින් ය. එකිනෙකාගේ අත අල්ලාගෙන එකිනෙකා පසුපස යන ඔවුන් අතුරෙන් මුලින්, මැදින් හෝ අගින් යන කවරෙකුටවත් පාර නොපෙනේ. මෙබඳු අවබෝධයෙන් තොර අන්ධානුකරණය බෞද්ධ සද්ධාව විෂයෙහි කිසිසේත්ම අදාළ නොවේ.

මේ අනුව සද්ධාව අප ජීවිතයට මනා ආලෝකයක් කොටගෙන අප අපේක්‍ෂා කරන යහපත් අරමුණ වෙත ළඟාවීමට පහසු මඟක් සකසාගත හැකි ය. එය අපගේ මෙලොව පරලොව ජීවිතයේ සාර්ථකත්වයට හේතු වේ.