Print this Article


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 19 සම්භූත මහරහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු

සම්භූත මහරහතන් වහන්සේ

ගෞතම බුදු සසුනේ පහළ වූ රහතන් වහන්සේලා අතර වැඩ සිටි ‘සම්භූත’ නම් උතුම් මහ රහතන් වහන්සේ ගැන අද අප සිත පහදවා ගනිමු.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ඉතාමත්ම කලාතුරකින් සිදුවන දෙයක්. කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ බුදුවරයන් වහන්සේලාගේ උපත දුර්ලභ දෙයකි. ඒ නිසාම සසරේ සැරිසරන කෙනෙකුට බුද්ධ ශාසනයක් මුණ ගැසෙන්නේ ඉතාමත් කලාතුරකිනි. සම්මා බුදුරජාණන් වහන්සේලා පහළ නොවන කාලවල කලාතුරකින් ලෝකයේ පසේ බුදුවරුන්ගේ යුගයන් පහළ වෙනවා. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමට පෙරද ඉසිගිලි පර්වතය ඇසුරු කරගෙන පසේ බුදුවරුන්ගේ යුගයක් පැවැති බව භාග්‍යවතුන් වහන්සේ ඉසිගිලි සූත්‍රයේ දී වදාළා.

එකල සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ නොවූ අබුද්ධෝත්පාද කාලයක්. නමුත් පසේබුදුරජාණන් වහන්සේලා පහළ වී සිටි යුගයක්. පසේ බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ ගුරු උපදේශ නැතිවම චතුරාර්ය සත්‍යය ධර්මය ස්වයංභු ඤාණයෙන්ම අවබෝධ කර ගන්නා කෙනෙක්. නමුත් උන්වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මය ඉස්මතු කරමින් ලෝක සත්ත්වයාට දේශනා කරන්නේ නැහැ. ඒ නිසාම බුද්ධ ශාසනයක් පිහිටුවීමක් සිදුවන්නේ නැහැ. සම්භූත හිමියන් එකල දිය කිඳුරෙකු ලෙස ඉපදී සිටියා. ‘චන්ද්‍රභාගා’ නම් නදියක වාසය කළා.

දිනක් සියලු කෙලෙස් ප්‍රහාණය කළ උතුම් පසේ බුදුරජාණන් වහන්සේ ශාන්ත ඉඳුරන් ඇතිව වඩිනා අයුරු මේ කිඳුරාට දැක ගන්නට ලැබුණා. විශාල පී‍්‍රතියක්, පැහැදීමක් කිඳුරාගේ සිතේ ඇති වුණා. ඒ චිත්තප්‍රසාදයෙන් යුතුව නදිය අසල වූ කුඹුක් ගසකින් කුඹුක් මල් නෙලාගෙන පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඇදගිලි බැඳ වන්දනාමාන කළා. ඒ පිනේ ආනිශංස ලෙස කිඳුරු යෝනියෙන් චුතව තව්තිසා දෙව්ලොව දිව්‍ය පුත්‍රයෙක් ලෙස උපත ලැබුවා. ඒ පිනෙන්ම තිස් හය වතාවක් දෙදෙව් ලොවට අධිපති සක්දෙව් තනතුර ලැබුවා. මුළු පෘථිවියටම රජ වූ සක්විති රජු ලෙස දස වතාවක් උපත ලැබුවා. ප්‍රාදේශීය රජකම් කළ ප්‍රමාණය ගණන් කළ නො හැකි තරම් ය. පසේ බුදුරජාණන් වහන්සේ නමකට කුඹුක් මල් පූජා කළ පිනෙන් දෙව් මිනිස් දෙගතියේ අප්‍රමාණ සැපයකට පත් වුණා.

මේ මහ භද්‍ර කල්පයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120 ක් වූ යුගයක අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. සතලිස් පස් අවුරුද්දක් පුරාවට අවබෝධ කළ චතුරාර්ය සත්‍ය ධර්මය ඉස්මතු කරමින් දෙව් මිනිස් සතුන් කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරමින් ගෞතම බුද්ධ ශාසනය ලොව පිහිටුවා වදාළා. කුසිනාරාවේ උපවර්තන නම් සාල වන උද්‍යානයේ දී අසුවෙනි වියට පත්ව සිටි අපගේ ශාස්තෘන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනයක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළා. ඒ අවස්ථාවේ රැස්ව සිටි භික්ෂු සංඝයා අතරින් වයසට ගොස් පැවිදි වූ ශ්‍රද්ධාවක් නැති සුභද්‍ර නම් භික්ෂුවක් තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම නිසා ශෝකයට පත්ව සිටි සඟ පිරිසට මෙසේ පැවැසුවා. ‘ඇවැත්නි, ශෝක නො කරන්න. නො වැළපෙන්න. ඒ මහා ශ්‍රමණයාගෙන් අප මිදුණෙමු. දැන් අපට මෙය කරන්න, මෙය කරන්න එපා කීමට කෙනෙක් නැහැ. අපට කැමැති දෙයක් කළ හැක. අකැමැති දෙයක් නො කළ හැක.

මෙය අසා අතිශයින් සංවේගයට පත් මහා කස්සප මහ රහතන් වහන්සේ තථාගත පරිනිර්වාණයෙන් තෙමසකට පසු ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ උපාලි මහ රහතන් වහන්සේ වැනි උතුම් රහතන් වහන්සේලා පන්සිය නමක් එකතු වී නිර්මල ශ්‍රී සද්ධර්මය සංගායනා කොට වදාළා. විසිරි තිබූ ශ්‍රී සද්ධර්මය නිකාය වශයෙන් එක් කොට කට පාඩමින් ආරක්ෂා කරගෙන යාමට භාණක පරපුරක් බිහිකොට වදාළා. එකල දෙව් ලොවින් චුත වී සිටු ගෙදරක සිටු පුත්‍රයෙකු ලෙස උපත ලැබූ සම්භූත තරුණයාට ආනන්ද මහ රහතන් වහන්සේ විසින් සිදුකළ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේ භාග්‍ය උදා වුණා.

බුදු සසුන කෙරෙහි සිත පැහැදුණු ඔහු ගිහි ගෙදරින් නික්ම ගෞතම බුදු සසනේ පැවිදි උපසම්පදාව ලබා ගත්තා. නොබෝ කලකින්ම පරිපූර්ණ වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට උතුම් රහහන් වහන්සේ නමක් බවට පත්වී වදාළා. මේ අයුරින් සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් පමණ වූ කළ යළිත් ශාසනය තුළ පළිබෝධ හට ගන්නා ලකුණු පහළ වුණා. ඒ වජ්ජිපුත්තක නම් භික්ෂු පිරිසක් ශාසන විනයට අනුකූල නොවූ අකැප කරුණු දහයක් කැප යැයි සම්මත කොට ගෙන මහණ දම් පිරීමට පටන් ගත් නිසයි. මෙයින් බුදුරජාණන් වහන්සේ පනවා වදාළ ධර්මයත් විනයත් අපිරිසුදු වීම වළක්වා ගැනීම සඳහා සම්භූත මහ රහතන් වහන්සේ එකල මහනුභාව සම්පන්න තෙරුන් වහන්සේ නමක් වූ කාකණ්ඩපුත්ත යස මහ රහතන් සමඟ එකතුව විශාලාවේ වජ්ජිජුත්ත භික්ෂූන් විසින් ඉදිරිපත් කළ දස ඇකැප වස්තුව කරුණු සහිතව බිඳ දමා යළිත් ධර්මය, විනය පිහිටුවීම පිණිස කටයුතු කළා.

අනතුරුව සබ්බකාමී මහ රහතන් වහන්සේ සහ යස මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සම්භූත මහ රහතන් වහන්සේ ඇතුළු හත්සියයක් මහ රහතන් වහන්සේලා එකතු වී ධර්මයත්, විනයත් සංගායනා කරමින් දෙවන ධර්ම සංගිතිය පවත්වා වදාළා. මහත් වෙහෙසක් ගෙන බුදුරජුන්ගේ නිර්මල ධර්මය පිරිසුදුව ආරක්ෂා කර ගැනීමට උරදුන් සම්භූ®ත මහ රහතන් වහන්සේ සිත තුළ හට ගත් දහම් සංවේගයෙන් මේ උතුම් ගාථාවන් වදාළා.

යෝ දන්ධතාලේ තරති
තරණීයේ ච දන්ධයේ
අයෝනි සංවිධානේන
බාලෝ දුක්ඛං නිගච්ඡති

නුවණ නැති කෙනා ඉවසන්න ඕනෑ තැන කලබල වෙනවා. කලබල වෙන්ට ඕනෑ තැන ඉවසනවා. අන්තිමේදී වැරැදි විදිහට කටයුතු කරලා දුකට පත් වෙනවා.

තස්සත්ථා පරිහායන්ති
කාලපක්ඛේව චන්දිමා
ආයස්ස්‍යඤ්ච පප්පෝති
මිත්තේහි ව විරුජ්ඣතීති

ඔහුගේ දියුණුව පිරිහි යන්නේ කළුවර වේගෙන යන හඳක් වගේ. අපකීර්තියට පත්වෙලා යනවා. යහපත් මිතුරන්ද අමනාප වෙනවා.

යෝ දන්ධකාලේ දන්ධේති
තරණීයේච කාරයේ
යෝනිසෝ සංවිධානේන
සුඛං පප්පෝති පණ්ඩිතෝ

නුවණ තියෙන කෙනා ඉවසන්ට ඕනෑ තැන ඉවසනවා. කලබල වෙන්ට ඕන තැන කලබල වෙනවා. නුවණින් විමසා කටයුතු කරලා සැපයට පත්වෙනවා.

තස්සත්ථා පරිපූරෙන්ති
සුක්ඛපකද්ඛේව චන්දිමා
යසෝ කිත්තිඤ්ච පප්පෝති
මිත්තේහි න විරුජ්ඣතීත

ඔහුගේ දියුණුව වැඩෙන්නෙ පිරිගෙන යන සඳක් වගේ. කීර්තිය පැතිරෙනවා. යහපත් මිතුරන් අමනාප වෙන්නේ නැහැ.

සම්භූත මහ රහතන් වහන්සේ වැනි උතුම් මහ රහතන් වහන්සේලාගේ දූරදර්ශී ක්‍රියා කලාපය නිසා සංගායනා කරමින් පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා වුණා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර දෙදහස් පන්සිය පනහකුත් ඉක්ම ගිය මෙකලත් නිර්මල ශ්‍රී සද්ධර්මල ඒ අයුරින්ම දෙව් මිනිසුන්හට ඉගෙන ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා. ඒ උතුම් මහ රහතන් වහන්සේලා කියන්නේ මහා නුවණැති පිරිසක්. ඒ නිසා ඉවසිය යුතු තැන ගැනත්, කලබල විය යුතු තැන ගැනත් උන්වහන්සේලා තුළ මනා වැටහීමක් තිබෙනවා.

ඒ නිසාමයි කලාතුරකින් ලෝකයට ලැබෙන සම්මා සම්බුදුරජුන්ගේ ධර්මය උන්වහන්සේ හික්මීම පිණිස පැනවූ විනය අපිරිසුදු වෙමින් පළිබෝධ හට ගන්නා මොහොතක ශ්‍රී සද්ධර්මය කෙරෙහි ආදර භක්තිය ඇති රහතුන් වහන්සේලා වහා ක්‍රියාත්මක වෙමින් අධර්මවාදීන්ගෙන් අවිනයවාදීන්ගෙන් ශාසනයට වන හානිය වළක්වා ගැනීම පිණිස කටයුතු කළේ. සුභද්‍ර භික්ෂුවගේ නො හික්මුණු වචනය ඉදිරියේ ශාසනයට වන හානිය වළක්වා ගැනීමට මලින් මල ගොතා මල් මාලයක් සකසන්නා සේ විසිර පැවැති ධර්මය විනය සංගායනා කොට නිකාය වශයෙන් සංග්‍රහ කළේ මහා කස්සප මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රහතුන් වහන්සේලා විසිනි.

වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස ඇකැප වස්තුව නිසා වන ශාසන හානිය වළක්වා ගැනීමට දෙවන ධර්ම සංගීතය සිදු කළේ සබ්බකාමී යස හා සමභූත වැනි උතුම් මහ රහතන් වහන්සේලා විසිනි. යළිත් ශාසනය අපිරිසිදු වෙද්දී ධර්මාශෝක රජු අනුග්‍රහයෙන් තුන්වෙනි ධර්ම සංගායනාව සිදු කොට ශාසන හානිය වළක්වා ගත්තේ මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ ඇතුළු උතුම් මහ රහතන් වහන්සේලා විසිනි. මේ අයුරින් බුදු සසුනේ සාරයට පැමිණි ඒ උතුම් රහතන් වහන්සේලා චිරාත් කාලයක් බුදු සසුන පවතිනු පිණිස නුවණින් යුක්තව කටයුතු කොට මෙතුවක් කාලයක් නිර්මල ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කොට වදාළා.

පිරීගෙන යන සඳ මඬල වගේ ඒ උතුම් රහතන් වහන්සේලාගේ කීර්ති රාවය නො නැසී පවතින්නේ ඒ නිසාම යි. දුර්ලභ මනුස්ස ජීවිතය ලද මොහොතේ දුර්ලභව ලැබුණු බුදු සසුනෙන් ලබා ගත හැකි අග්‍රම ප්‍රතිලාභය වන ඒ උතුම් නිකෙලෙස් භාවය උපදවා ගෙන දෙව් මිනිසුන්ට සැප සලසන ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කර ගැනීමට උරදුන් උතුම් මහ රහතන් වහන්සේලා ගැන අපි සිත පහදවා ගනිමු.

සටහන: නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු - සේනක මහ රහතන් වහන්සේ