ශ්‍රේෂ්ඨ දානයක අනුසස්:
පිළින්දිවච්ඡ මහ රහත්
චරිතාපදානය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ හිටපු කථිකාචාර්ය
අස්ගිරි මහාවිහාර පිරිවෙනෙහි ආචාර්ය
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
(මෙම ලිපියේ පළමු කොටස
ඔක්තෝබර් 11 වන දා පත්‍රයේ පළ විය)
ලෝ වැස්සන්ගේ පූජා සත්කාරයන් පිළිගන්නාවූ, තුන්ලොවම මැනවින් දතුවාවූ,
පසැස් ඇත්තාවු පදුමුත්තර බුදුරජ තෙම මාගේ අදහස දැන (එම ආරාධනය) ඉවසූහ.
ආරාධනය පිළිගත් බව දැන, ශාස්තෘන් වහන්සේට වැඳ සතුටුව ඔද වැඩි සිත්
ඇත්තේ ( සිය ) නිවසට එළඹියෙමි.
(මම) මිත්‍රාමාත්‍යවරුන් රැස්කරවා මෙම වචනය කීමි. ”ජොතිරස” නම්
මිණිරුවන වැනි අති දුර්ලභ වස්තුවක් මා විසින් ලබන ලදී. බුදුරජාණන්
වහන්සේ පමණ කළ නොහැකි ගුණ ඇති සේක. උපමාවක් දැක්විය නොහැකිවූ ගුණ ඇති
සේක. ලෝකයෙහි සමාන කළ හැකි කිසිදු වස්තුවක් නැති සේක. පස්මරුන් ජයගත්
සේක. අප්‍රති පුද්ගල වන සේක, එම බුදුරජුන්හට කුමකින් පුදන්නෙමුද? එසේම
එම බුදුරජාණන් වහන්සේ අසමසමයහ. අදුකියහ, නරශ්‍රේෂ්ඨයහ, මා විසින් එම
බුදුරජුන්හට සුදුසුවු පූජාවක් ( කරනු ලැබීම) දුෂ්කරය, නොයෙක් මල්
රැස්කොට පුෂ්ප මණ්ඩපයක් කරමු. මේ සියලු පූජා බුදුරදුන්හට සුදුසු
වන්නේය.
මම උපුල්ද, පියුම්ද, ඉද්ද මල්ද, කෝඹු මල්ද, සපු මල්ද, නා මල්ද යොදා
මණ්ඩපය කරවීමි. ඡත්‍රයන්ගේ සෙවණෙහි ලක්ෂයක් අසුන් පැනවීමි. මාගේ අන්තිම
ආසනය සියයකට වඩා අගනේය. මම ඡත්‍රයන්ගේ සෙවණෙහි ලක්ෂයක් අසුන් පැනවීමි.
ආහාර පානද පිළියෙළ කරවා ( සුදුසු) කළැයි දැන්වීමි. කාලය ආරෝචනය කළ
කල්හි පදුමුත්තර බුදුරජතෙම ලක්‍ෂයක් රහතුන් සමඟ මාගේ නිවසට එළඹි සේක.
ඡත්‍රය මතුයෙහි දරන, මැනවින් පිපුණු මල් (එල්ලා) ඇති බැවින් පුෂ්ප
මණ්ඩපයක්වූ එහි පුරුෂෝත්තමවූ බුදුරජතෙම ලක්‍ෂයක් රහතුන් සමඟ වැඩහුන්
සේක. ඡත්‍ර ලක්‍ෂයකි ( එහි පැණවු) අසුන් ලක්‍ෂයකි, බුදුරජාණන් වහන්සේ,
(මේවා) කැපය, නිවරැදිය, පිළිගනු මැනවි, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ඒ
මහා මුනිවූ පදුමුත්තර බුදුරජතෙම මා (සසර සයුරින්) එතර කරනු කැමැත්තේ
(එය) පිළිගත් සේක. මම එක එක භික්‍ෂුවට වෙන වෙනම පාත්‍ර දුනිමි.
පළමුවෙන් තිබුණු පාත්‍ර ඉවත්කොට හැරියාහුය. (හැම දෙනා වහන්සේ ලෝහ
පාත්‍රා දැරුවාහුය. බුදුරජතෙම දිවා රෑ සතක් පුෂ්ප මණ්ඩපයෙහි වැඩ හුන්
සේක. බොහෝ සත්නට දහම් අවබෝධ කරවමින් දම්සක් පැවැත්වු සේක.
පුෂ්ප මණ්ඩපය යට දම්සක් පවත්වන කල්හි අසූහාරදහසක් ප්‍රාණීන්හට
ධර්‍මාබිසමය විය. සත්වැනි දින පැමිණි කල්හි පදුමුත්තර බුදුරජ තෙමෙ
ඡත්‍රච්ඡායාවෙහි (කුඩය සෙවණෙහි) වැඩහුන්නේ මෙම ගාථාවන් වදාළ සේක.
(කෙසේද යත්?) යම් මානවකයෙක් තෙම ( කිසිවකින් ) නොඅඩුවූ උතුම් දානයක්
දුන්නේද? මම හේ (කවරෙක්දැයි ) කියන්නෙමි. (එය) කියන්නාවූ මාගේ (වචනය)
අසව්, ඇත්තුද, අශ්වයෝද, රියද, පාබල සෙනගද යන සිව්රඟ සෙනග මොහු නිතර
පිරිවරන්නාහුය. සර්ව දානයාගේ (සියල්ල දීමෙහි ) මේ විපාකයයි. හස්තියානය,
අශ්වයානය, පල්ලැක්කි (දෝලා) ය. සන්දමානික නම් යානය යන මෙකී යානයෝ
නිරතුරුවම මොහු වෙත එළඹ සිටිත්. සර්වදානයාගේ මේ විපාකයයි.
සියලු ආභරණයන්ගෙන් සරසන ලද සැට දහසක් රථයෝ නිරතුරුව මොහු
පිරිවරන්නාහුය. සව¢දානයාගේ මේ විපාකයයි. සැට දහසක් තූය¸යෝද, මැනවින්
අලංකාර කරන ලද භේරීහුද, මොහුට නිරතුරු වාදනය කරන්නාහුය. සව¢දානයාගේ මේ
විපාකයයි. මැනවින් අලංකාර කරන ලද සයානුදහසක් ස්ත්‍රීහු විසිතුරු
වස්ත්‍රාභරණ ඇත්තාහු. පළඳින ලද මිණි කොඬොල් ඇත්තාහු සිනා සහිත වූවාහු,
මැනවින් හැඳින්විය යුතු ශරීරාවයව ඇත්තාහු, සිහින් කටී ප්‍රදේශ ඇත්තාහු
නිරතුරුවම මොහු පිරිවරන්නාහුය. සව¢දානයාගේ මේ විපාකයයි.
කප් තිස් දහසක් කල් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ, දහස් වරක්
දේවේන්ද්‍ර දිව්‍ය රාජ්‍යය කරන්නේය. දහස් වරක් සක්විති රජ වන්නේය,
(කරවනු ලබන ) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙපමණයැයි) ගිණිය
නොහැකිය. පුණ්‍ය කර්‍මයාගේ (විපාකය) හා යෙදී දෙව්ලොව වසන්නාවූ මොහුට
දෙව්ලොව කෙළවරකොට රුවන් සතක් ස්වර්‍ණමය කුඩයක් දරන්නේය. යම් කලෙක රෙදි
මල්වලින් සෑදූ මහලක්ද, (එයින් වැටෙන ) සෙවණක් ද කැමැති වන්නේ නම්
(එකල්හි) මොහුගේ සිත දැන (මෙන්) නිරතුරුව සෙවණ කරන්නේය. කුශල මූලයෙන්
මෙහෙයන ලද්දේ දෙව්ලොවින් චුතව පුණ්‍යකර්‍ම විපාකය හා යෙදුණේ
බ්‍රාහ්මණයෙක් වන්නේය.
මින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදිනා ගොත්‍රයෙක් ගෞතම
නම් වූ ශාස්තෘතෙමේ ලොව පහළ වන්නේය. ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨයවූ ගෞතම
බුදුරජතෙමේ සියල්ල දැන භික්‍ෂු සංඝයා මැද වැඩ හිඳ (මොහු )
එතදග්‍රස්ථානයෙහි තබන්නාහ. දෙවියන් විසින්ද අසුරයන් විසින්ද,
ගාන්‍ධර්වයන් විසින්ද සත්කාර කරන ලද පිළින්දිවච්ඡ නම් බුද්ධ
ශ්‍රාවකයෙක් වන්නේය. එසේම හෙතෙම භික්‍ෂූන්ටහටද, භික්‍ෂූණීන්හටද ( යන )
සියල්ලනට ප්‍රියව, ආශ්‍රව රහිතව වාසය කරන්නේය කියායි.
මින් සියක් දහස්වන කපෙහි කරන ලද කර්මයා (ගේ) විපාකය මට මෙහිදී
දැක්විය. දුනු දියෙන් මිදුනු හී වේගය මෙන් කෙලෙස් දවන්නේය. නිරුත්තර වූ
පුණ්‍යක්‍ෂෙත්‍රයෙහි මා විසින් මැනවින් කරන ලද පුණ්‍යකර්‍මය ආශ්චය¸යි.
යම් පින් කෙතක පින්කම් කොට අචලවූ නිවාරණ පදයට පැමිණියේ වෙම්ද, එහෙයිනි,
යම් මානවකයෙක් තෙම කිසිවකින් නොඅඩුවූ උතුම් දනක් ජන්නේ ද, පළමුකොටම
(එහි) ප්‍රමුඛයා වූයේද, එම දානයාගේ මේ විපාකයයි. බුදුරජුන් කෙරෙහිද, ගණ
ප්‍රධාන වූ සංඝයා කෙරෙහිද ඡත්‍රයන් පුදා, මාගේ එම කර්මයට සුදුසුවූ
අනුසස් අටක් අනුභව කරමි. ශීත හෝ ඌෂ්ණය හෝ නොදනිමි. දැළි කුණු නොතැවරේ.
උවදුරු විපත් නැතිවේ. හැමකල්හි පුදන ලද්දෙක් වෙමි. සියුම් සිවි ඇත්තේ
වෙමි. සිත පිරිසුදුවේ. භවයෙහි සැරිසරන්නාවූ මට මෙම ජාතිය හැර අනිත් හැම
ජාතියකදීම එම කර්‍මයාගේ බලයෙන් සියලු අලංකාරයන්ගෙන් යුක්තවූ විසි දහස්
ගණන් කුඩ මාගේ හිසට දරත්, මේ ජාතියේ මාගේ ඡත්‍රධාරණයක් ( කුඩ දැරීමක් )
නැත්තේ මන්ද? මා විසින් කරන ලද සියලු කර්‍මය විමුක්ති ඡත්‍ර ලාභයට (
නිවන් ලැබීමට) හේතුවූ බැවිනි.
බුදුරදුන් කෙරෙහි ද, ගණ ප්‍රධානවූ සංඝයා කෙරෙහිද වස්ත්‍ර දී මාගේ එම
කර්මයට සුදුසුවූ අනුසස් අනුභව කරමි. ස්වර්‍ණ වර්ණ වූයේ, රජස් රහිත වූයේ,
ප්‍රභා සහිත වූයේ, ප්‍රතාපවත් වූයේ භවයෙහි සැරිසරන්නාවූ මාගේ සිරුර
සිනිඳු වේ. සුදුවන්වූද, කහවන්වූද, ලෙහෙවත් වූද සිය දහස් වස්ත්‍රයෝ මාගේ
මස්තකයෙහි (හිසට) දරත්. වස්ත්‍ර දානයාගේ මේ විපාකයයි. කෝසෙය්‍ය
වස්ත්‍රය, කම්බල නම් වස්ත්‍රය, කොමු පිළිය, කපු පිළිය යන මේ වස්ත්‍ර එම
කර්‍මයන්ගේ ඵලයෙන් මම සියලු තන්හිදී ලබමි.
බුදුරදුන් කෙරෙහිද, ගණ ප්‍රධානවූ සංඝයා කෙරෙහිද පාත්‍රදී මාගේ එම
කර්මයට සුදුසුවූ අනුසස් දසයක් අනුභව කරමි. රන්තලිද, මිණිතලිද, රිදී
තලිද, පියුමරාමිණිමුවා තලිද, හැම කල්හි පරිභෝග කරමි. උවදුරු රහිත වූයේ,
විපත් රහිත වූයේ, හැම කල්හි (සියල්ලන් විසින්) පුදන ලදුයේ වෙමි.
ආහාරපාන, වස්ත්‍ර, සයනාසන ලබන්නෙක්ද වෙමි. මාගේ භෝගයෝ විනාශ නොවෙත්.
මම නැවතුනාවූ සිත් ඇත්තේ වෙමි. හැම කල්හි ධර්‍මය කැමැති වෙමි. කෙලෙස්
නැතිවූයේ, ආශ්‍රව රහිත ද වෙමි.
දෙව් ලොවෙහිද, මිනිස් ලොවෙහිද මෙකී ගුණයෝ මා අනුවම ගියාහුය. ගසේ සෙවණ (
ගස නොහරින්නාක්) මෙනි. සියලු තන්හිදී මා අතහැර නොදමන්නාහුය. මම
විසිතුරු බන්ධනයන්ගෙන් බඳනා ලද මැනවින් කළ බොහෝ දැලිපිහිද
බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට හා එසේම සංඝයාටද පුදා සුරවූයේ, කලබල නොවූයේ,
විශාරද බැව්හි කෙළ පැමිණියේ වෙමි. හැම කල්හි ( කෙලෙස් වසඟව යා නොදී )
දැඩිකොට ගත් සිත් ඇත්තේ, නුවණැත්තේ වීය¸වත්ද වෙමි. මම සියුම් වූ,
අවමානවූ, පිරිසුදුවූ කෙලෙස් සිඳීමේ නුවණද එම පුණ්‍යකර්‍ම බලයෙන්
හැමතන්හිදී ලබමි. පහන් සිත් ඇත්තේ, බුදුරජුන් කෙරෙහිද, සංඝයා කෙරෙහිද
කොරොස් නොවූ, රළු නොවූ, මැනවින් දෙවූ බොහෝ ආයුධ දී එසේම, මාගේ එම
කර්මයට සුදුසුවූ අනුසස් පසක් අනුභව කරමි. (එනම්) කල්‍යාණ චිත්තයද,
සර්යයද, ක්‍ෂාන්තියද මෛත්‍රී ශාස්ත්‍රයද, තෘෂ්ණා හුල සිඳින ලද බැවින්
වජ්‍රායුධය හා සමාන අනුත්තර නුවණවූ ප්‍රඥා ශාස්ත්‍රය ( ප්‍රඥා ආයුධය )
ද එම කුශලකම බලයෙන් ලබන්නේය.
බුදුරදුන් කෙරෙහිද, ගණ ප්‍රධානවූ සංඝයා කෙරෙහිද හිඳි (කටු ) දී මාගේ එම
කර්‍මයට සුදුසුවු අනුසස් පසක් අනුභව කරමි. කුදු මහත් භවයෙහි
සැරිසරන්නේ, හැම කල්හි සැක නැත්තේ, කුකුස් සිඳින්නේ, මනා රූ ඇත්තේ,
භෝග සම්පත් ඇත්තේ, තියුණු පැණවත් වූයේ වෙමි. ගැඹුරුවූද, සියුම්වූද
තැන් හා අරුත් නුවණින් දුටුවෙමි. මාගේ මොහඳුරු නසන්නාවූ වීදුරු අගක්
මෙන් (සියුම් ) නුවණද වේ. බුදුරදුන් කෙරෙහිද, ගණ ප්‍රධාන වූ සංඝයා
කෙරෙහිද නිය කපන කුඩා පිහි (ආයුධ ) දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස්
පසක් අනුභව කරමි. බොහෝ දැසි දාසයන්ද, ගව අශ්වයන් ද, බැලමෙහෙ කරන්නන්ද,
ආරක්‍ෂකයන් ද, රවුළු බාන්නන්ද, (ඉසකෙස් කපන්නන්), බත් පිළියෙල
කරන්නන්ද, ( සූප වර්‍ග පිළියෙල කරන) අරක්කැමියන්ද මම භවයෙහි සියලු
තැන්හිදී ලබමි. ශෝභනවූ, (චිත්‍ර ලෙස කළ ) විජිනිපත් ද, (තල්කොළයෙන් කළ)
වටාපත්ද, බුදුරජුන් කෙරෙහිද, (උතුම් සඟ ගණ කෙරෙහිද) දී මාගේ එම
කර්මයට සුදුසුවූ අනුසස් අටක් අනුභව කරමි.
ඉතිරි කොටස
නොවැම්බර් 10 වන දා පත්‍රයේ පළ වේ
සටහන: බණ්ඩාර පිළවල |