Print this Article


සිත මඟ නොමඟ කියා දෙයි

සිත මඟ නොමඟ කියා දෙයි

අප හැම දෙනාම කතා කරන්නේ හා හැසිරෙන්නේ සිත විසින් මෙහෙයවනු ලබන ආකාරයටයි. එනම් සිතේ උපදින සිතිවිලිවලට අනුවයි. සිතිවිලි උපදින්නේ ඇස, කන, නාසය ආදි ඉඳුරන් සමඟ රූප, ශබ්ද, ගන්ධාදී අරමුණු ගැටීමෙනි. බුදු රජාණන් වහන්සේගේ දේශනාව වන්නේ එක් එක් ඉන්ද්‍රිය එක් එක් අරමුණ ගැනීම නිසා, ඊට අදාළ විඤ්ඤාණය පහළවන බවයි.ඒ අනුව ඇස රූප සමඟ ගැටෙන විට චක්ඛු විඤ්ඤාණය පහළ වෙයි. කන ශබ්ද සමඟ ගැටෙන විට පහළ වන්නේ සෝත විඤ්ඤාණයයි. මෙලෙස ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ පහළ වෙයි. පුද්ගල හැසිරීම් තීරණය කෙරෙන්නේ මේ පහළ වෙන විඤ්ඤාණයේ ස්වභාවයට අනුවයි.

ඉඳුරන් අරමුණු හා ගැටීම නිසා හිතේ පහළවෙන සිතිවිලි වර්ග තුනකි. එනම් මනාප, අමනාප හා මනාපාමනාප වශයෙනි. වරක් බුදුරජාණන් වහන්සේ අනඳ හාමුදුරුවන්ට මේ පිළිබඳ සිදුකළ පැහැදිලි කිරීමක් මජ්ඣිම නිකාය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මෙසේ සඳහන් වේ. ‘චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං අමනාපං, මනාපාමනාපං’ ඇතැම් සිතිවිලි සතුට, පී‍්‍රතිය සුඛාස්වාදය ඇති කරවයි. එහෙත් සමහර සිතිවිලි තුළින් දුක, කනගාටුව, පසුතැවිල්ල ඇති කරවයි. සතුටත් දුකත් නැති, මැදහත් සිතිවිලි ද උපදී. මෙසේ සිතේ ඇතිවෙන සිතිවිලිවලට අනුව පුද්ගලයාගේ හැසිරීම සිදුවෙයි. ඒ අනුව පුහුදුන් පුද්ගලයන් ආස්වාදය උපදවන සිතිවිලි ඇති වූ විට සතුටට පත්වෙයි. ඒ අනුව සිතයි. දැඩිලෙස ඇල්මක් ඇතිකර ගනී.එහි වෙනස්වීම් ඇතිවෙන විට දුකට පත්වෙයි. අමනාප සිතිවිලි උපදින විට දුකට, කනගාටුවට පත්වෙයි. පසුතැවෙයි.

එපමණක් නොවෙයි තමන් අපේක්‍ෂා කරන සතුට අහිමි වන විට එය රඳවා තබා ගැනීම පිණිස නොයෙක් ක්‍රියා මාර්ග ගනී. බාධක වශයෙන් ඇතැයි සිතන පුද්ගලයන් ඇත්නම් ඔවුන් කෙරෙහි ද්වේෂයෙන් කටයුතු කිරීමට පවා පෙළැඹෙයි. අමනාප අරමුණෙහි වුවද දැඩි ලෙස පීඩාවට පත්වීම නිසා තමාගෙන් පළිගැනීමට සමහරු සිතති. සියදිවි නසා ගැනීමට පෙළැඹෙන්නේ එබැවිනි. තවත් කෙනෙක් අන් අයගෙන් පළි ගනිති. කපා කොටා හිරිහැර කිරීම්, ජීවිත හානි කිරීම්වලට යොමුවන්නේ එහි ප්‍රතිඵල වශයෙනි.

සංයුක්ත නිකාය වේදනා සංයුක්තයේ සම්බෝධ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ කරන පැහැදිලි කිරීම, අරමුණු ගැනීම හා අරමුණුවලට අනුව කටයුතු කිරීම පිළිබඳ කදිම පාඩමකි. ‘යථො ච ඛො එවං වදාමි ඉමෙසං ඡන්නං අජ්ඣත්තිකානං ආයතනානං එවං අස්සාදඤ්ච අස්සාදයො, ආදීනචඤ්ච ආදීනවතො, නා අහං භික්‍ඛවෙ නිස්සරණඤ්ච නිස්සරණතො යථාභුතං අබ්භඤ්ඤාසිං” මහණෙනි මම යම් දවසක ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනැස යන මේ අධ්‍යාත්මික ආයතනයන්ගේ ආස්වාදය ආස්වාදය ලෙසත්, ආදීනවය ආදීනවය ලෙසත්, නිස්සරණය නිස්සරණය ලෙසත් අවබෝධ කළෙම් ද, ඒ මොහොතේ සිට දෙවියන් සහිත, බඹුන් සහිත, මරුන් සහිත, දෙව් මිනිසුන් සහිත, මහණ බමුණන් සහිත ප්‍රජාවෙහි නිරුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි. (අථාහං භික්ඛවෙ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සා අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුද්ධොති පච්චඤ්ඤාසිං) තමන් වහන්සේ සම්මා සම්බෝධිය පසක් කළේ ඉන්ද්‍රියන්ට හසුවෙන අරමුණුවල ආස්වාදය, ආදීනවය හා නිස්සරණය පිළිබඳ මනා ලෙස අවබෝධ කර ගැනීම තුළින් බව මේ දේශනාවෙන් පැහැදිලි වේ. අරමුණු ගැනීමේ දී දුකට, කනගාටුවට පත් වන්නේත්, කෙනකු උද්දාමයට පත්වන්නේත් ඒ පුද්ගලයා තුළ ඇති අනවබෝධය නිසා බව මෙයින් පැහැදිලි වෙයි.

සැබැවින්ම මෙම ආස්වාදය, ආදීනවය හා නිස්සරණය යනු කුමක්දැ’යි විමසා බැලිය යුතු ය. ඇසට යම් අරමුණක් ගැටීම නිසා මේ සැපයෙකැයි, සොම්නසෙකැයි, මනාපයකැයි සුඛ සහගත සිතිවිල්ලක් උපදී නම්, එය ඇසෙහි ආස්වාදයයි. යම් පුද්ගලයකු, ස්ථානයක් හෝ යම් දෙයක් දැකීමෙන් හිතේ සතුටක් ඇති වන්නේ නම් එය ඇසෙහි ආස්වාදය ලෙස සරලව දැක්විය හැකිය. කනට ශබ්ද, නාසයට සුවඳ, දිවට රස, සිරුරට සුඛ සහගත පහස හා සිතට සුවය ගෙනදෙන අරමුණු ලැබීම නිසා පිළිවෙළින්, කනෙහි ආස්වාදය, නාසය පිළිබඳ ආස්වාදය, දිව පිළිබඳ ආස්වාදය, සිරුර පිළිබඳ ආස්වාදය හා සිත පිළිබඳ ආස්වාදය උපදී. මෙසේ ඉඳුරන් හා අරමුණු ගැටීම නිසා උපදින සතුට එලෙසින්ම නොපවතී. වෙනස් වෙයි. එසේ ඇතිවෙන වෙනස ආදීනවයයි. සිතිවිලි වෙනස්වන බවට අත්දැකීම් හැම දෙනාටම ඇතත් එය වටහා ගත හැකි වන්නේ සිහියෙන් මෙනෙහි කරන කෙනෙකුට පමණි. බොහෝ දෙනෙකුට ආදීනවය නොවැටහෙන්නේ ද මෙනිසයි. වරෙක සතුට ඇති කළ දෙයම තවත් වරෙක දුක ඇති කරවන්නේ සිතිවිලිවල ඇතිවෙන වෙනසෙහි ප්‍රතිඵල වශයෙනි. ඒ අනුව ඇස පිළිබඳ ආදීනවය, කන පිළිබඳ ආදීනවය ආදී වශයෙන් ඒ ඒ ඉන්ද්‍රියන්ට අදාළව ආදීනවය දැක්විය හැකිය. බොහෝ දෙනා ආස්වාදය ගැන බලනු මිස ආදීනය ගැන සිතීමක් ද නැත. සුඛ සහගත අරමුණු ගැටීම නිසා ඒ අරමුණු කෙරෙහි බලවත් ආසාව, ඇල්ම, කැමැත්ත ඇතිකර ගැනීමෙන් වැළැකීම, ඡන්ද රාගය දුරු කිරීම නිස්සරණයයි. නිස්සරණය ද ඒ ඒ ඉන්ද්‍රියන්ට අදාළව ඇස පිළිබඳ නිස්සරණය, කන පිළිබඳ නිස්සරණය ආදී වශයෙන් දැක්විය හැකි ය.

බුදුරජාණන් වහන්සේ කිසි විටෙකත් ඉන්ද්‍රියන්ට අරමුණු නොගෙන සිටීමට උපදෙස් දුන් කෙනකු නොවේ. අරමුණුවල ඇලී ගැලී මුළාවට පත් නොවී, නිවැරැදි සිහියෙන් යුතුව කටයුතු කිරීමට මඟ කියා දුන්සේක. භික්‍ෂූන් වහන්සේට උපදෙස් දෙනවිට ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරො යනුවෙන් සූත්‍රවල, ඉඳුරන්ගේ වසන ලද දොරටු ඇතිව වාසය කළයුතු යැයි දැක්වෙන්නේ, ඇස, කන ආදී ඉඳුරන් වසා ගෙන, අරමුණු නොගෙන සිටිය යුතු බව නොවෙයි. සංයුත් සඟියේ වේදනා සංයුක්තයේ ගහපති වග්ගයේ එන, පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ හා උදේන රජතුමන් අතර සිදුවෙන සංවාදය තුළින් බුද්ධදේශනාව ඉතා හොඳින් පැහැදිලි කරවයි. භාරද්වාජ රහතන් වහන්සේ උදේන රජුගේ උදකපාන නම් උයනට වැඩම කරන්නේ දිවා විහරණය සඳහායි. උදේන රජු ද සතියක පමණ කාලයක් මත්පැන් කෙළියක් පවත්වා, තම සේවිකාවන් ද නාටිකාංගනාවන් ද කැටුව උයනට පිවිස, ගසක් යටට වී වැතිර සිටියේ ය. ටික වේලාවකින් රජු නින්දට වැටුණෙන්, නාටිකාංගනාවෝ නැටුම් ගැයුම් නවත්වා උයන් සිරි නරඹමින් එහෙ මෙහෙ ඇවිදින්නට වූහ. එහිදී ගසක් යට වැඩ සිටි භාරද්වාජ තෙරුන් වහන්සේ දැක, උන්වහන්සේ සමීපයට පැමිණියහ. උන්වහන්සේ ඒ පිරිසට ගැළැපෙන දහම් කතාවක නිරත වූහ. රජු ළඟට වී සිටි එක් දාසියක් ඊර්ෂ්‍යාවෙන් පෙළී, වහා රජු අවදි කළා ය. තම නාටිකාංගනාවන් වට කරගෙන සල්ලාපයේ යෙදෙන ශ්‍රමණයන් වහන්සේ දැකීමෙන් කෝප වූ රජතුමා, උන්වහන්සේ විනාශ කරන අදහසින් යුතුව වහා එතැනට පැමිණීයේ ය. රජුගේ කෝපය තේරුම් ගත් භාරද්වාජ මහරහතන් වහන්සේ වහා අතුරුදන් වූහ. රජු උයන් පල්ලාට කතා කොට, නැවත ඒ ශ්‍රමණයා උයනට එන වේලාවක් දන්වන්නැයි නියෝග කළේ ය. ඒ අනුව පසු දිනයක උයන් පල්ලාගෙන් පණිවිඩය ලද රජතුමා, උයනට පිවිස භාරද්වාජ හාමුදුරුවන්ගෙන් මෙසේ විමසීය.

“මේ තරුණ හාමුදුරුවරු කාමසේවනයේ නොයෙදී, ගැහැනු ආශ්‍රයකින් තොරව මියැදෙන තුරු සිටින්නේ කෙසේද?”

“මහරජතුමනි, බුදුහාමුදුරුවන් අපට වදාළේ තම මෑණියන් තරමේ කාන්තාවක් දුටු විට, මෑණියන් කියා සිතිවිල්ලක් ඇති කරගෙන කතා කළයුතු බවයි. සොහොයුරියක් තරමේ මාගමක් හමුවූ විට, සහෝදරී කියා හිත උපදවා ගැනීමත්, දුවක් තරමේ නම් දුවක යන හැඟීමෙන් හිත උපදවා ගැනීමත් කළ යුතු බවයි. භික්‍ෂූන් අපවත් වනතුරුම ගැහැනු ඇසුරු කරන්නේ එලෙසින් යැ”යි උන්වහන්සේ පිළිතුරු දුන්හ.

“අපේ හිත සමහර වේලාවට අකීකරුයි. මුරණ්ඩුයි. මෑණියන් තරමේ, සහෝදරියන් තරමේ, දූ වරුන් තරමේ ස්ත්‍රීන් සමඟ වුවද කාමුකව හැසිරීමට පෙළඹෙනවා. කොහොමද මේ තරුණ භික්‍ෂූන් ඒ අදහස් පාලනය කරගන්නේ?” රජු නැවතත් විමසීය.

“රජතුමනි, අපේ බුදු හාමුදුරුවන් අපට සිරුර පිළිබඳව මෙලෙස මෙනෙහි කිරීමට ඉගැන්වූවා. මේ සිරුර සැකසී ඇත්තේ කෙස්, ලොම්, නිය, දත්, ඇට, ඇටමිදුළු, අක්මාව, අතුණුබහන් වැනි පිළිකුල් සහගත කොටස්වලින්. ඒවා කුණු වෙන දුගඳ හමන දේවල්. ඒ ගැන ආලයක්, ආදරයක් නොදැක්විය යුතුයි.

“භික්‍ෂූන් මේ ආකාරයට පිළිකුල් භාවනාවේ යෙදෙන නිසා, අර වගේ පවිටු සිතිවිලි නොඑන බව පෙන්වා දුන්හ.

“ස්වාමීනි, හිත දියුණු කරගෙන, නුවණ දියුණු කරගෙන, සිල් ගුණ පුරන භික්‍ෂූන් වහන්සේ නමකට ඔබ වහන්සේ වදාළ ක්‍රමයට සිටිය හැකි බව ඇත්තකි. එහෙත් හිත දියුණු කිරීමාදිය නොකළ භික්‍ෂුවක්, කෙලෙසක ඒ ආකාරයෙන් සිටීද? නැතිනම් උන්වහන්සේ සඳහා වෙනත් ක්‍රමයක් ඇද්ද?”

“මහ රජතුමනි, ඇහෙන් රූපයක් දුටු බව මිසක ඒ පිළිබඳ, මේක හොඳ එකක් මේක නරක එකක් ආදී වශයෙන් නිමිත්ත ග්‍රහණය නොකළයුතු බවත්, අරමුණ අරමුණක් හැටියට සලකනු මිසක, එහි ඇලී ගැලී අල්ලා ගැනීමෙන් වැළකිය යුතු බවත් ඉගැන්වූවා.”

එසේ ක්‍රියා කරන භික්‍ෂූන් වහන්සේ තුළ කාය, වාග්, මනෝ සංවරය රැකෙන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

ජීවිතය සතුටින් ගත කිරීමට අපි කවුරුත් කැමැතිවෙමු. එහෙත් සැමවිටම එසේ ගත කළ නොහැකි ය. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් හා සම්බෝධ සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ සතුටින් සිටීමේ මාර්ගයයි. අපට සතුට හෝ අසතුට ඇති වන්නේ ඉන්ද්‍රියයන්ට ගෝචර වන අරමුණුවලට අනුව අප හැසිරෙන ආකාරය මතයි. යමකු ඉඳුරන් හා උපදින සිතුවිලිවල ආස්වාදය, ආදීනවය හා නිස්සරණය අවබෝධ කරගෙන කටයුතු කරයි නම්, ඒ තැනැත්තාට දුකක් හෝ සොම්නසක් ද නැත. මේ අවබෝධය ඇති කර ගන්නා තුරුම සතුට, අසතුට, දුක, ශෝකය විඳ ගැනීමට වෙයි. දුක වේදනාව උරුම වීමට අනවබෝධය හේතු වන බව වදාළේ එනිසයි.

ඔබේ ජීවිතයේ කිසියම් අවස්ථාවක දුකට, වේදනාවට, කනගාටුවට පත්වූයේ නම් ඒ තත්ත්වය ඔබට උරුමවූයේ අන් කිසිවකුගේ වරදකින් නොවේ. තමාගේම වරදිනි. ඉඳුරන්ගෙන් ලැබෙන අරමුණු පිළිබඳ යථා ස්වභාව තේරුම් නොගැනීම නිසයි.

අරමුණක් ලද විට ඒ අරමුණෙහි ඇලී ගැලී නොසිට, එය සංඛත, ඕලාරික හා පටිච්ච සමුප්පන්න ලක්‍ෂණ වලින් සමන්විත එකක්යැයි අවබෝධ කරගෙන කටයුතු කළොත්, ඒ තැනැත්තා අරමුණෙහි උපේක්‍ෂා සහගතව බැලීමට හුරුවක් ලබයි.

අප දුකට, කනගාටුවට, පිළිකුලට පත් වන්නේ උපේක්‍ෂා සහගතව බැලීමට තරම් ඉන්ද්‍රිය සංවරයක් ඇති නොකළ බැවිනි. මේ බව පියජාතික සූත්‍රයෙන් වඩාත් පැහැදිලි කරදෙයි. තම එකම දරුවා හදිසියේ මියගිය සොවින් තැවෙන බමුණකු, තම ශෝකයට හේතුව සොයා බුදුරජාණන් වහන්සේ හමුවට යයි. තමන් තුළ මෙබඳු දුකක්, කනගාටුවක් ඇතිවීමට ඔහු හේතු විමසයි.

බුදු හාමුදුරුවන් වහන්සේගේ පිළිතුර වූයේ අප පි‍්‍රය උපදවන දේම අප තුළ දුක, ශෝකය ඇති කරවන බවයි. (පිය ජාතිකාභි ගහපති සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා පියප්පභවිකාති) ලැබෙන අරමුණ පිළිබඳව නුවණින් මෙනෙහි කළ හැකිනම් ඒ තැනැත්තාට අරමුණ මැනැවින් හඳුනා ගත හැකියි.

ඇස හැර පියන්නා සේ මනාප, අමනාප හා මනාපාමනාප අරමුණූ සියල්ල නිරුද්ධ වෙන බව අවබෝධ කර ගැනී. එය විදර්ශනාපේක්‍ෂාවයි. ඇස පිළිබඳ උපදින විදර්ශනාපේක්‍ෂාව චක්ඛු විඤ්ඤාණය පිළිබඳව වූ ඉන්ද්‍රය භාවනාවයි. මෙලෙස ෂඩ් ඉන්ද්‍රිය සඳහාම භාවනාව හුරු කළ යුතු බව ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දක්වා තිබේ.

භාවිත මනැස යනුවෙන් දක්වා ඇත්තේ එලෙස සකස් කරන ලද (පුරුදු පුහුණු කරන ලද) මනැසයි. භාවිත මනැසක් ඇත්තා අරමුණු විෂයෙහි නොඇලෙන බැවින්, උද්දාමයට හෝ දුකට පත්නොවේ. ප්‍රශස්ත ජීවිතය නම් එයයි. අපි ඒ සඳහා උත්සාහ දරමු.