Print this Article


හේතුඵල දහම වටහාගෙන ජීවිතය අර්ථවත් කර ගනිමු

හේතුඵල දහම වටහාගෙන ජීවිතය අර්ථවත් කර ගනිමු

සිත තුළ නැති කර්ම රැස්වීමටත්, එහි ඇති අකුසල කර්ම වර්ධනයටත් හේතු වන්නේ හේතු පිළිබඳ සිහි නුවණින් විමර්ශනය නොකිරීමයි. පුහුදුන් තැනැත්තා නිරතුරුව දකින්නේ ඵලය පමණි. එය හඳුන්වන්නේ අහේතුවාදී ප්‍රවේශයක් ලෙසටය. එබැවින් හේතුවාදී ප්‍රවේශයකින් ලෝකය දෙස බැලීමට හැකි නම් එයයි සන්තානගත දුකෙහි නිමාව ලෙස අර්ථකථනය කරනු ලබන්නේ. එබඳු පුද්ගලයා රහත් යැයි කියනු ලැබේ

හේතු - ඵල සබඳතාව මත මෙම ලෝකයේ පවතින සියල්ලම නිර්මාණය වන බව බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මෙසේ ය. (සංයුක්ත නිකාය 2 - ගෝතම සූත්‍රය) ජරා මරණ සෝක පරිදේව, ජාතිය හෙවත් ඉපදීම ඇති නිසාත්, ජාතිය භවය නිසාත්, භවය උපාදානය හෙවත් අල්වා ගැනීම නිසාත්, උපාදානය තණ්හාව නිසාත්, තණ්හාව වේදනාව නිසාත්, වේදනාව ඵස්සය හෙවත් ස්පර්ශය නිසාත්, ඵස්සය සළායතන (ඇස, කන, නාසය, දිව, ශරීරය, මනැස) නිසාත්, සළායතන නාම රූප නිසාත් (නාම යනු නම් කිරීමයි. නාම ධර්ම පහ එනම්, වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර යනුවෙනි. රූප යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහාභූතවලින් සැකසුණු භෞතිකයකි) නාම, රූප විඤ්ඤාණය නිසාත්, විඤ්ඤාණය සංඛාර නිසාත්, සංඛාර අවිද්‍යාව නිසාත් ඇතිවන බවයි. එය හේතු-ඵල දහමට අනුව සිහි නුවණින් යුතුව මෙනෙහි කර ගත් බව ලොවටම හෙළි කළේ අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ ය.

එබැවින් සන්තානගත දුක ඇතිවීමට මුල බීජය බවට පත්වන්නේ අවිද්‍යාව බව පැහැදිලිය. ඒ අනුව ‘මම’ නමැති දිට්ඨිය ඇති කරගෙන මෙලොවින් චුත වන සත්වයාට මුල් වන කර්ම විඤ්ඤාණය එනම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් වූ සංස්කාර අනුව සැකසුණු විඤ්ඤාණය නැවත උපදින භවයට සුදුසු නාම, රූප සකස් කර ගනියි. මව් කුසෙහි නාම, රූප වැඩෙනුයේ පටිසන්ධි විඤ්ඤාණය සම්බන්ධ වුවහොත් පමණි. ඒ අයුරින් නාම, රූප හා විඤ්ඤාණ එකිනෙකට සම්බන්ධ වන අයුරු ධර්මයෙහි පවසයි. මෙලෙසින් ඉහත දක්වන ආකාරයට ජරා, මරණ, ච්‍යුතවීම, සෝක පරිදේව ආදිය තවත් භවයකට උරුම වේ. ඉක්බිතිව එම පුද්ගලයාට සමස්ත දුකම ඇතිවන බව ‘එවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති” යනුවෙන් සංයුක්ත නිකාය -2 නගර සූත්‍රයේ සඳහන් කරයි. නාම, රූප විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් හටගත්තා වූ ආයතන ප්‍රතිලාභයක් වූ කය පුරාණ කර්මයෙහි ප්‍රතිඵලයක් වන අතරම මේ සඳහා ප්‍රත්‍ය මුල් වේ. (අභිසංඛතං) චේතනාව මුල් වේ. (අභිසංචේතයිතං) වින්දනය මුල් වේ. (වේදයිතං) ඒ බව සංයුක්ත නිකාය – 4 කම්ම සූත්‍රයේ දක්වයි. පුරාණ කර්මය වූ ආයතන සයෙන් මතු මතුත් භව පැවැත්මට කරුණු සකසා ගැනීම යනු සන්තානගත දුක පවත්වා ගෙන යෑමයි. මෙම ආයතන සය පිනවා ගැනීම පිණිස පුද්ගලයා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන අරමුණු ලබයි. අරමුණු වින්දනයෙහි ඇලීම හා ගැටීම වශයෙන් තෘෂ්ණාවට පත්වන සත්වයා අස්මීමානය හෙවත් මමත්වයක් නිරතුරුව මවා ගනියි. ‘තණ්හා පච්චයා උපාදානං’ යනුවෙන් දක්වන්නේ එයයි. අරමුණු ගන්නා විට ගොඩනඟන්නේ චේතනායි.

මේ අනුව බලන කල, නැති ‘මම’ කෙනකු මවාගෙන සුඛ වින්දනයෙහි ඇලීම් මඟින් ද දුක්ඛ වින්දනයෙහි ගැටීම් වශයෙන් ද ගොඩනඟන්නේ ද සිතෙහි දුකම ය. පුහුදුන් පුද්ගලයා සිදු කරන්නේ භව කර්ම ගොඩනඟමින් සිතෙහි දුකම වර්ධනය කිරීමයි. මෙම ක්‍රියාවලිය සිදුවන ආකාර තුනක් අංගුත්තර නිකාය, සම්බෝධි වර්ගයේ 10 සූත්‍රයේ දක්වන්නේ මෙසේ ය.

1. අතීතයේ විඳගත් ඡන්ද රාගයට (ඡන්ද යනු කැමැත්තයි. රාගය යනු ඇලීමයි) කාරණා වූ අත්දැකීම් මේ මොහොතෙහි මෙනෙහි කරයි. (ආරම්භ වේතසා) අනුවිතර්කනය කරයි. (අනුවිතක්කේති) අනුව සිත හසුරුවයි. (අනුච්චාරෙති) එමඟින් එම කාරණා කෙරෙහි සිත එකතු වේ.

2. අනාගතයෙහි විඳ ගැනීමට බලාපොරොත්තු වන ඡන්ද රාගයට කරුණු වූ අත්දැකීම් මේ මොහොතේ සිහි කරමින්, අනුවිතර්කනය කරමින් සිටියි. අනුච්චාරණය කරමින් සිටියි. ඒ කැමැත්ත පිළිබඳ කරුණු කෙරෙහි සිත බද්ධ වේ.

3. මෙම මොහොතේ විඳගන්න ඡන්ද රාගයට කරුණු වන අත්දැකීම් මෙම මොහොතේ විඳිමින් අනුවිතර්කනය කරයි. අනුච්චාරණය කරයි. ඒ අනුව සිත සංයුක්ත වේ.

මෙමඟින් සිදුවනුයේ සිත තුළ බලාපොරොත්තු රාශියක් එකතු වී කර්ම රැස් වීමයි. නමුත් රහතන් වහන්සේගේ සිත තුළ කර්ම රැස්වීමක් සිදු නොවේ. මීට හේතුව ඉහතින් සඳහන් කරුණු ඔස්සේ සිත මෙහෙය නොවීමයි. සිත තුළ නැති කර්ම රැස්වීමටත්, එහි ඇති අකුසල කර්ම වර්ධනයටත් හේතු වන්නේ හේතු පිළිබඳ සිහි නුවණින් විමර්ශනය නොකිරීමයි. නිදසුනකින් පැවසුවහොත්, මරණය ඉදිරියේ හඬා වැළැපෙන්නේ ‘මරණය’ යන සිදුවීම දෙස පමණක් බැලීම නිසාවෙනි. එම ‘මරණයට’ හේතු සිතින් විමර්ශනය කිරීම හරහා දුක, ශෝකය, හඬා වැළැපීම සිදුවන්නේ නැත. නමුත් පුහුදුන් තැනැත්තා නිරතුරුව දකින්නේ ඵලය පමණි. එය හඳුන්වන්නේ අහේතුවාදී ප්‍රවේශයක් ලෙසටය. එබැවින් හේතුවාදී ප්‍රවේශයකින් ලෝකය දෙස බැලීමට හැකි නම් එයයි සන්තානගත දුකෙහි නිමාව ලෙස අර්ථකථනය කරනු ලබන්නේ. එබඳු පුද්ගලයා රහත් යැයි කියනු ලැබේ.

කම්ම සමුදය හෙවත් කර්ම ගොඩනැඟීම මඟින් නිදහස්වීමට නම් තම සිත නිවැරැදිව සීලයෙහි පිහිට විය යුතු ය. එමඟින් සමාධිය, ප්‍රඥාව ප්‍රගුණ වී ලෝකය මායාවක් බව අවබෝධ වනු ඇත. එසේම පුද්ගලයාගේ සිතෙහි ඇතිවන ක්‍රියාකාරිත්වය මත සමාජගත ජීවිතය ද සකස් වේ. භෞතික පහසුකම් තිබූ පමණින් සමාජ සංස්ථාව සුවදායක නොවේ. දීඝ නිකාය අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් පරිදි සමාජ සංවිධාන නිර්මාණය වන්නේ පුද්ගලයාගේ සන්තානගත වශයෙන් ක්‍රියාත්මක කරන දුර්වලතා කොටසක් බව හෙළි කරයි. සංවෘත වූ ලෝක ධාතුව විවෘතවීමේ දී ස්වයං ප්‍රභාවෙන් යුත් මනෝමය කායික සත්වයින් භෞතිකයේ ග්‍රහණයට හසු වී සංස්ථාගත දුක ඇති කරගන්නා අයුරු එමඟින් පෙන්නුම් කරයි. මුලදී සමඟියෙන් සමාදානයෙන් බෙදා හදාගෙන පොදුවේ සම්පත් පරිහණය කිරීම පසුකාලීනව නැතිව ගොස් සොරකම, බොරුව, දණ්ඩනය ආදී තත්ත්වයන් සමාජගත විය. මීට හේතුව ලෙස පුද්ගලයාගේ මානසික විපර්යස්ත ස්වභාව බලපාන බව බුදුදහම මූලික කරුණු තුනක් ඔස්සේ විග්‍රහ කරයි.

1. ලෝලත්වය යනු ආශාව, කැමැත්තට වඩා සියුම් අර්ථයක් පෙන්නුම් කරයි. එනම් යමක් පවතින අයුරින් පිළිගැනීම නොව හාරා අවුස්සා බැලීමේ පෙළැඹවීමයි. අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් පරිදි රස පොළොව ඇඟිලි ගසා රස බැලුවේත්, බෙදාහදා හැල් වී වලින් ගත් තම කොටස තිබියදී අනෙකුගේ කොටස ගෙන අනුභව කළේත් ලෝලත්වය නිසාවෙනි.

2. දිට්ඨානුගතිය යනු දුටු දේ අනුකරණය කිරීමයි. අග්ගඤ්ඤ සූත්‍රයේ දී, එකෙක් රස පෘථිවිය කනු දැක අනෙකා ද එසේ කිරීමත්, වස්තුව එකතු කර ගොඩ ගසා ගැනීමට යොමු වීමත් අනුකරණය පිළිබිඹු කරයි.

3. අලසබව තෙවැන්නයි. පමණට වඩා රැස් කර තබා ගැනීමට පෙළැඹුණේ අලස බව නිසා ය. රැස්කර තබා ගැනීම හරහා සම්පත් පිළිබඳ පරිභෝජන අක්‍රමිකතා බිහිවීමට පදනම් සකස් වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සොරකම, පහරදීම, බොරුව, තණ්හාව ඇති වී සමාජ දූෂණය විය.

මෙලෙස හේතුඵල දහමට අනුව, සමාජ සංස්ථාගත දුක ජනිත වී ඇත. එසේම නූතන සමාජයේ දුක තීව්‍ර වීමට හේතු වී ඇත්තේ ද සංකීර්ණ මනෝ රටාවන් ය. දීඝ නිකාය 2 මහානිදාන සූත්‍රයට අනුව මෙසේ දක්වයි. එනම් වින්දනය හේතුකොටගෙන තණ්හාව ඇතිවෙයි. තණ්හාවෙන් සෙවීමද , සෙවීමෙන් ලැබීමද, ලැබීමෙන් රුචි අරුචි විනිශ්චයද, විනිශ්චයෙන් ඡන්ද රාගය ද, ඡන්ද රාගයෙන් යුතුව මමත්වයෙන් සතු කර ගැනීමද, සතු කරගත් දේ හාත්පසින් ග්‍රහණය කර ගැනීම ද, ග්‍රහණය කිරීමෙන් මසුරු බව ද, මසුරු බවින් රැකවල් ද, රැකවල් පිණිස දඬුවම්, අවි ගැනීම්, කලහ, විරෝධතා, විවාද ඇතුළු බැණුම්, කේලාම්, මුසාබස් ආදී නොයෙක් අකුසල ධර්ම ද සමාජ සත්වයා තුළ ඇතිවන බව දක්වයි. එබැවින් ඵලයට හේතු විමසීම හරහා සමාජගත දුක මඟ හරවා ගැනීමට හැකියාව ඇත. මේ බව හෙළි කරන තවත් වැදගත් සූත්‍රයක් ලෙස සුත්ත නිපාතයේ කලහවාද සූත්‍රය දැක්විය හැකි ය. එහි සඳහන් ආකාරයට කලහය, විවාදය, හැඬීම්, ශෝකය, මාත්සර්යය, මානය, අතිමානය, පිසුණු බස යන දුක් හටගන්නේ කුමක් හේතු කොටගෙන ද යන්න සාකච්ඡාවට බඳුන් කරයි. ඉහතින් සඳහන් කළ දුක් සහිත කාරණා අට හට ගැනීමට හේතු ලෙස පි‍්‍රය වස්තූන් මූලික වන බව අවධාරණය කරයි.

බුදුදහමට අනුව පුද්ගලයාගේ විඳීම් සන්තානගත අංශයට නැඹුරුව පසුව සමාජ අරගලයක් දක්වා දිව යන අයුරු හේතුඵල සම්බන්ධතාවෙන් යුතුව අවධාරණය කරයි. එබැවින් දුක්ඛ, දෝමනස්සයන් දුරු කිරීමට නම් සිතෙහි හට ගන්නා හේතු විමසා නිරෝධය කළ යුතු බවත්, එමඟින් සමාජගත සැපත උදාවන බවත් මනාව පෙන්නුම් කරයි.