Print this Article


ආටානාටිය සූත්‍රය

ආටානාටිය සූත්‍රය

තවද සූත්‍රයෙහි තවදුරටත් මෙසේ දැක්වෙයි. කවර මහායකුන්ටද, කවර සෙන්පතියන්ටද, කවර මහා යක් සෙන්පතියන්ටද, ඉÁද්‍රය,සෝමය, වරුණය, භාරද්වාජය, පජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කින්නු ඝණ්ඩු නිගණ්ඩුය, පණාදය, ඕපමඤ්ඤය, දේවසූතය , මාතලීය,චිත්තසේනය, ගන්ධබ්බය, නලයරාජය, ජනේසභය, සාතාගිරය, හේමවතය, පුණ්ණකය, කරතිය. ගුලය, සීවකය, මුචලින්දය, වෙස්සාමිත්තය යුගන්ධරය ආදි මේ යකුන්ට, මහයකුන්ට, යක් සෙනෙවියන්ට, යක් මහ සෙනෙවියන්ට දැන්විය යුතුය. හඬනගා කිය යුතුය කෑගසා මෙසේ කිය යුතුය

මනුෂ්‍ය උවදුරු වළකන අමනුෂ්‍ය, භූත, යක්ෂ දෝෂ වූප සමනය කරන දේශනාවකි. ආටානාටිය සූත්‍රය, මෙය පිරිත් පොත් වහන්සේ තුළ හමාර දෙකක් ලෙස යෙදී ඇත. තිස්පැයේ දේශනාවකදී සෙත්පිරිත් දේශනාවට පෙර අලුයම 3 සිට 5.30 දක්වා දේශනාවන්නේ මෙම දේශනාවයි. සූත්‍රය අවස්ථා දෙකකදී සජ්ඣායනා වේ. එනම් සතරවරම් දෙවිවරු පළමුකොට බුදුරදුන්ට ඉදිරිපත් කිරීමත්, එය උන්වහන්සේ අනුමත කර නැවත දේශනා කිරීමත් වශයෙනි. සතරවරම් දෙවිවරු බුදුරදුන් හමුවට පැමිණ ගිජ්ජකූට පර්වතයෙහිද මෙම කරුණ මෙසේ සැලකළහ. “නිදුකාණන් වහන්ස, යක්‍ෂයෝ බොහෝ සෙයින් බුදුන්ට අප්‍රසන්නය . අප්‍රසන්න වූ ඒ යක්ෂයන්ගේ ප්‍රසාදය පිණිසත් සිව්වණක් පිරිසෙහි ආරක්‍ෂාව පිණිසත් මේ ආටානාටිය පිරිත පිළිගනු මැනවි. “ සන්තීහි භන්තේ උළාරා යක්ඛා භගවතෝ අප්පසන්නා, සන්තීහි භන්තේ උළාරා යක්ඛා භගවතෝ පසන්නා...”

සූත්‍රය ආරම්භවන්නේ විපස්සී බුදුරදුන්ට නමස්කාර කිරීමෙනි. “විපස්සිස්ස නමත්ථු- චක්ඛුමන්තස්ස සිරීමතෝ

සිඛිස්සපි නමත් ථු -සබ්බභූතානු කම්පිනෝ”

අනතුරුව පිළිවෙලින් වෙස්සභු - කෝණාගමන කස්සප ගෞතම බුදුරවරුන්ට නමස්කාරය පුද කරයි. සූත්‍රය අවසානයේ දැක්වෙනුයේ නිසියාකාරව සිව්වණක් පිරිස මේ උගන්වනු ලැබූ පිරිත පුහුණු කරන්නේ නම් එහි ආශිර්වාදයේ ස්වභාවය කෙරේ පවතීද යන්නය. එනම් මේ ශ්‍රේෂ්ඨ වචන නොපිළිගනු ලබන යම් අමනුෂ්‍ය පිරිසක් වේ නම් අන්‍ය අමනුෂ්‍ය සමූහය ඔවුන් ප්‍රතික්‍ෂේප කරයි. එම අමනුෂ්‍යයන්ට යක් සමාගම ට යාමට නොහැකි වේ. ආවාහ විවාහ වලදී සෙසු අමනුෂ්‍යයන් ඔවුන් පිටමං කරති. එසේම සතර වරම් දෙවිවරු බුදුරදුන්ට පවසන්නේ ඒ අමනුෂ්‍යයෝ මාගේ ගමක හෝ නියම්ගමක සත්කාරයක් සම්මානයක් නොලබන බවයි. සෙසු අමනුෂ්‍යයන් පවා ඔවුන් බැහැර කරනු ලබයි. නොයෙක් අයහපත් ප්‍රතිවිපාකයන්ට ඔවුන් ලක්වන නිසා පිරිතේ ආනුභාවය හේතුවෙන් එම අමනුෂ්‍යයන් සිව්වනක් පිරිසට හිරිහැර නොකිරීම මෙහි ඇතිවන ප්‍රතිඵලයකි. යම් අමනුෂ්‍යයෙක් අයහපත් සිත් ඇතිව සිව්වණක් පිරිසෙහි කවරකු අනුව යෑම්, සිටීම්, හිඳීම් වැද හෙවීම් කළේ නම් මේ යක්‍ෂ සේනාධිපතිනට “අයං යක්ඛෝ ගණ්හාති” යනාදීන් අඬගාමුර ගා කිය යුතුය.මේ ආටානාටිය පිරිත සිව්වණක් පිරිසගේ ආරක්‍ෂා පිණිස යෙහෙන් විසීම පිණිස පවත්නේ යයි දක්වා සතරවරම් මහරජ දරුවෝ පිරිස් සහිතව අතුරුදහන් වූහ. ආටානාටිය සූත්‍ර දේශනාව භික්‍ෂු, භික්‍ෂුණී,උපාසක ,උපාසිකා යන සිව්වණක් පිරිසෙහි ආරක්‍ෂාව පිණිස පවතින්නකි. ඈත අතීතයේ සිටම බෞද්ධ ජනයා නොයෙක් අතුරු ආන්ත්‍රා තුළින් යහපත සෙත ශාන්තිය සලසා ගත්තේ මෙම දේශනාව පදනම් කරගනිමිනි. සූත්‍රය බුදුරදුන් දේශනා කර අනුමත කරවා ගනු ලබන සතරවරම් දෙවිවරු අවසාන ලෙස මෙසේ පැවසූහ.

“උග්ගණ්හාථ භික්ඛවේ ආටානාටියං රක්ඛං පරියා පුණාථ භික්ඛවේ ආටානාටියං රක්ඛං ධාරේථ භික්ඛවේ ආටානාටියං රක්ඛං අත්‍ථසංහිතා ය භික්ඛවේ ආටානාටියං....”

මේ ආටානාටිය ආරක්‍ෂාව වනාහි භික්‍ෂූන්ගේද, භික්‍ෂුණීන්ගේද උපාසකයන්ගේද, උපාසිකාවන්ගේද රැකීම පිණිස, ආරක්‍ෂාව පිණිස, නොවෙහෙසීම පිණිස, පහසුවිහරණය පිණිස පවතී යනුවෙනි. ගෞතම ආදි බුදුවරුන්ට නමස්කාර කිරීමෙන් ආරම්වන පිරිත ඉන් අනතුරුව ක්ෂීණාස්‍රවයන් වහන්සේලාට නමස්කාර කරයි. එය සිදුවන්නේ සත්‍ය ක්‍රියාවකුත් සමගිනි. එනම් රහතන් වහන්සේලා හිස් තෙපුල් නොපවසනවා යන ගුණ ය දක්වමිනි.

යේ චාපි නිබ්බුතා ලෝකේ” -යථාභූතං විපස්සිසුං
තේ ජනා අපිසුණා - මහන්තා වීතසාරදා

සතරවරම් දෙවියන් බුදුරදුන්ට ඉන් අනතුරුව පවසනුයේ ගාන්ධර්වයන්ට අධිපති ධතරට්ඨ නැගෙනහිර දිසාව පාලනය කරයි. ඔහුට මහා බලැති ඉන්ද්‍ර නමින් හැදින්වෙන පුතුන් අනූ එක් දෙනෙක් සිටිති. ඈත සිටම ඔවුන් ඔබ වහන්සේට වන්දනා කරති. තවදුරටත් සතරවරම් දෙවිවරු බුදුරදුන් අමතා ප්‍රකාශ කරන්නේ ඔබ වහන්සේ මහා කරුණාවෙන් සත්වයා දෙස බලන්නේ යැයි අමනුෂ්‍යයෝද ඔබ වහන්සේට වඳිතියි අපි නිතර අසා ඇත්තෙමු. එබැවින් අපි ඔවුන්ට මෙසේ නියම කරමු. විද්‍යාචරණ ධර්මයන්ගෙන් යුක්ත බුදුරදුන්ට වන්දනා කරව්.

නැවත සතරවරම් දෙවිවරු බුදුරදුන් අමතා සූත්‍රයේදී මීලඟට මෙසේ පවසයි. පරපණ නසා කේලාම් කියා කපටි වූ මිය ගිය සත්ව ප්‍රජාව පේ‍්‍රත යයි කියති. ඔවුන් මෙතනින් දකුණු දිශාවේ ඇතැයි කියවේ .විරූළ්හ රජු එහි පාලකයාය කුම්භාණ්ඩයන් විසින් පිරුවරන ලදුව නැටුම් ගැයුම් වලින් පී‍්‍රති වෙමින් ඔහු කල් ගත කරයි.

කුම්භණ්ඩානං ආධිපති – විරූළ්හෝ ඉති නාමසෝ
රමතී නච්චගීතේහි – කුම්භණ්ඩේහි පුරක්ඛතෝ

ඔවුන්ද සූර්ය බන්ධු වූ ගෞතම බුදුරදුන්ට දුර තියාම නමස්කාර කරති. තවද සතරවරම් දෙවිවරු මෙසේද පවසති. මෙතනින් බටහිර දිසාවෙහි විරූපක්ඛ නම් නාගයන්ට අධිපති වූ රජ කෙනෙකු වේ. ඔහු නාගයන් පෙරටුකොට ගනිමින් නැටුම් ගැයුම් සහිතව ඉන් පී‍්‍රති ප්‍රබෝධයට පත් වෙමින් එම දිසාව පාලනය කරයි. ඔහුට බොහෝ පුත්‍රයෝද වෙති. ඔවුන් ඈත දුරසිටම ඔබවහන්සේට වඳීති. මෙලෙස විවිධ වර්ගයේ අමනුෂ්‍ය තේජස් සහිත අය පවා බුද්ධ ගුණය ඉදිරි යෙහි නම්‍යශීලි වෙමින් බුදුරදුන්ට නිරායාසයෙන්ම ගෞරව දක්වන බව එකින් එක පුද්ගලයෝ සහ රාජ්‍ය නාමාවලි දක්වමින් සතරවරම් දෙවි වරු බුදුරදුන්ට පවසති. උදා :- උතුරුකුරු දිවයින, විසාණා දිවයින, උතුරු දෙස ආදි වශයෙනි.

තවද සූත්‍රයෙහි තවදුරටත් මෙසේ දැක්වෙයි. කවර මහායකුන්ටද, කවර සෙන්පතියන්ටද, කවර මහා යක් සෙන්පතියන්ටද, ඉÁද්‍රය,සෝමය, වරුණය, භාරද්වාජය, පජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කින්නු ඝණ්ඩු නිගණ්ඩුය, පණාදය, ඕපමඤ්ඤය, දේවසූතය , මාතලීය,චිත්තසේනය, ගන්ධබ්බය, නලයරාජය, ජනේසභය, සාතාගිරය, හේමවතය, පුණ්ණකය, කරතිය. ගුලය, සීවකය, මුචලින්දය, වෙස්සාමිත්තය යුගන්ධරය ආදි මේ යකුන්ට, මහයකුන්ට, යක් සෙනෙවියන්ට, යක් මහ සෙනෙවියන්ට දැන්විය යුතුය. හඬනගා කිය යුතුය කෑගසා මෙසේ කිය යුතුය.

මෙලෙස අමනුෂ්‍ය උවදුරු දුරු කිරීමට ආටානාටිය සූත්‍රය මනාව භාවිතා කළ යුතු බවත් ඒ තුළින් සිව්වණක් පිරිසෙහි ආරක්‍ෂාව සැලසීමට සමත්වේ.ආටානාටිය සිදු කිරීමේදී කළයුතු පරිකර්ම රාශියක්ද ඇති බව අටුවාව දක්වනු ලබයි. එමෙන්ම ආටානාටිය ආරක්‍ෂා ක්‍රමය සතරවරම් දෙවියන්ගේද අටවිසි යක්‍ෂ සේනාධිපතීන් ගේද කැමැත්ත මත සිදුවන බවද සූත්‍රය සහ අටුවාව විස්තර කරන බව සඳහන් කළ යුතුය.