Print this Article


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 6

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 6

සිංහලවත් හරිහැටි නො දැන පොතක් ලිය යි

කාලය ද කෙමෙන් ගෙවී ගියේ ය. සිරිධම්ම හාමුදුරුවන්ගේ මෙන්ම පන්තියට පැමිණෙන ශිෂ්‍යයන්ගේ ද නිතර ඇවටිලි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් චන්දවිමල හිමි ඒ ශිෂ්‍යයන්ට අභිධර්මය ඉගැන්වීමට පෙළඹුණේ ය.

ශිෂ්‍යයන්ට මෙන්ම චන්දවිමල අලුත් ගුරුතුමාට මෙය නව අත්දැකීමකි. පන්තියට සහභාගි වූ ශිෂ්‍යයන්ට චන්දවිමල හිමියන්ගේ ඉගැන්වීම වඩාත් රුචි විය. අභිධර්මය වැනි ධර්මයේ ගැඹුරු විෂයක් ඉගැන්වීම ද එතරම් පහසු නැත. එහෙත් අලුත් ගුරුවරයාගේ ඉගැන්වීමේ රටාව සරල ය. ඒ නිසාම ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේගේ ආකර්ෂනය දිනා ගැනීමට අලුත ආ ගුරුතුමා සමත් විය. ඔවුන්ගේ අදහස වූයේ සිරිධම්ම හාමුදුරුවන්ටත් වඩා හොඳින් වඩාත් පැහැදිලි ලෙස චන්දවිමල හිමියන් අභිධර්මය උගන්වන බව ය. අභිධර්මයේ ගැටලු සහගත තැන් විසඳා ගැනීමට ලංකාවේ නන් දෙසින් ප්‍රශ්න අසා බොහෝ ලියුම් ද සිරිධම්ම හිමියන් වෙත යොමු විය. අභිධර්ම සංකීර්ණ විෂය පිළිබඳ හොඳ අවබෝධයක් චන්ද විමල හිමියන්ට තිබෙන බව සිරිධම්ම හිමියන්ට ද වැටහී තිබුණේ ය. ඒ නිසා ගැටලු වලට විසඳුම් ලියන්නට පැවැරුනේ චන්දවිමල හිමියන්ට ය. මේ නිසා අප හිමියන්ගේ අභිධර්ම දැනුම තවත් ඔපවත් විය. එහෙත් සිරිධම්ම, ගරු හාමුදුරුවන් අභිබවා යාමට චන්දවිමල හිමියෝ කිසි විටෙකත් අපේක්‍ෂා නොකළහ. ශිෂ්‍යයන් අතර මෙවන් කතා බහක් ඇතිවීම ද එතරම් සුබදායක නොවන වග චන්දවිමල හිමියන්ගේ සිතට දැනෙන්නට පටන් ගත්තේ ය.

සියුම් හෝ ගැටුමක් සිත් තැවුලක් ඇතිවීමට ඉඩක් නො තැබිය යුතු ය. ඉතින් ආරවුලෙන් තොරව සාමයෙන් හීන්සිරුවේ වෙන් වී යාම දෙපාර්ශයටම ගුණදායක බව චන්ද විමල හිමියන්ට සිතිණ.

චන්දවිමල හාමුදුරුවන් මුල් දවස් වල සිතුවේ මෙහි එන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ ඉතා මහන්සියෙන් කැපවීමෙන් අභිධර්මය ඉගෙන ගන්න නිසාත් මහත් පරිශ්‍රමයෙන් පාඩම් ආදිය කරන නිසාත් ඒ අයගේ දැනුම තමාට වඩා වැඩි බවකි.

චන්දවිමල හිමියන් එතරම් මහන්සි වී ධර්ම ග්‍රන්ථ පාඩම් කර හෝ මහත් කැප වීමකින් ම ඒවා ඉගෙන ගෙනත් නොමැත. ඒත් පසුව වැටහුණේ තමාට ඒ අයට වඩා හොඳින් ධර්මාවබෝධයක් ඇති බව ය. විශුද්ධාරාමයේ නැවැතී සිටි වසර 4 ක පමණ කාලය තුළ ත්‍රිපිටක සම්පූර්ණයෙන්ම කියවීමට ද උන්වහන්සේට හැකි විය.

කෙසේ හෝ මේ සියල්ල මැද සිරිධම්ම හාමුදුරුවන්ගේ ද සිත නොරිදවා විශුද්ධාරාමයෙන් බැහැරවීමට චන්දවිමල හිමියන් ඉටා ගත්තේ ය.

මැරීගෙන නිදිවරාගෙන පාඩම් නොකළ ද වරක් කියූ දෙය මතකයේ රඳවා ගැනීමේ ධාරණ ශක්තිය, චන්දවිමල හිමියන්ගේ ධර්මය පිළිබඳ දැනුම උසස් මට්ටමක පැවැතුණු අතර ත්‍රිපිටකයේ බොහෝ ප්‍රමාණයක් කටපාඩමින් කීමේ හැකියාව ද චන්දවිමල යති චරිතයේ සුවිශේෂී ගුණයකි.

මෙසේ විශුද්ධාරාමයෙන් වෙන් වුණේ ද ඉතාම සීරු මාරුවටය. මේ විහාරස්ථානයෙන් බැහැර වී සතියක් දෙකක් වෙනත් තැනක නැවතී, නැවත පැමිණ දින දෙක තුනක් විහාරස්ථානයේ නවති යි. මෙසේ සතිය දෙක දිග් ගැස්සෙමින් විහාරස්ථානයේ හිඳින කාලය කෙටි විය. මෙසේ සම්පූර්ණයෙන්ම විහාරස්ථානයෙන් බැහැර වූයේ කිසිවකුටත් වඩාත් ඇඟට පතට නො දැනෙන ලෙස ය.

පොකුණුවිට විනයාලංකාරාරාමයට එනතෙක් තවත් විහාරස්ථාන කීපයක නවාතැන් ගැනීමට චන්දවිමල හිමියන්ට සිදු විය.

පානදුර වැල්ලබඩ පන්සල, කළුතර කුමාරිකන්ද පන්සල, බොල්ගොඩ බෝධිරුක්‍ඛාරාමය මේ විහාරස්ථාන අතරින් කීපයකි.

පානදුර වැල්ලබඩ පන්සලේ අවුරුද්දක් හමාරක් නැවතී සිටි කාලයේ ‘ ධර්ම ශ්‍රී’ නම් වූ සඟරාවට ‘නිර්වාණය’ පිළිබඳව ලිපියක් ලීවේ එහි සංස්කාරකවරයාගේ ඉල්ලීමක් නිසා ය. ලිපිය ඵලවීමෙන් පසුව එය විවේචනය කර කවුරුදෝ ගිහි මහතකු විසින් පිළිතුරු ලිපියක් එම සඟරාවට ලියන ලදී.

එය නිරවද්‍ය නොවන නිසා වැරදි නිවැරදි කිරීමට තවත් ලිපියක් ලියන්නට චන්දවිමල හිමියන්ට සිදු විය.

මෙසේ ලිපි කීපයක් සඟරාවේ ඵල වෙද්දී චන්දවිමල හිමියන්ට මෙසේ සිතිණි.

“ මේ විදියට දිගෙන් දිගට ලිපි ලිවීමෙන් කිසිම තේරුමක් නෑ. මේ ධර්ම කරුණු හොඳින් පහදා දීමට පොතක් ලිවිය යුතු යි” එම අදහස පල දරමින් ‘නිර්වාණ විනිශ්චය’ යන පොත ඵල වුණේ එවන් පසුබිමක් යටතේ ය.

මේ වනවිට චන්දවිමල හිමියන්ගේ වයස අවුරුදු 29ක් පමණ ය. තරුණ භික්‍ෂූන් වහන්සේ නමක් ආධුනිකයකු වශයෙන් තමාගේ කුළුදුල් ප්‍රයත්නය මෙවන් සංකීර්ණ විෂයක් පාදක කර ගනිමින් ලිවීම ද එක්තරා අභියෝගයකි. එහෙත් තමා තුළ පවතින ධර්මය පිළිබඳ නිසි අවබෝධය තම හෘද සාක්‍ෂියට විස්වාස බැවින් චන්දවිමල හිමියන්ගේ තරුණ බව හෝ ආධුනිකත්වය හෝ ‘ නිර්වාණ විනිශ්චයට’ ගැටලුවක් නොවී ය.

විශේෂයෙන් අද පාරිභෝගික සමාජයේ බහුතරයක් ආගම ධර්මය අඩංගු කරමින් ජනප්‍රිය මාතෘකා සපයමින් ඵල කරනා පොත් කදිම අළෙවි භාණ්ඩ බවට පත්වී තිබේ.

ලේඛකයාගේ අධ්‍යාත්මය සුපෝෂිතව නොමැති වුවත් ලේඛණයේ හරඹ ශිල්ප පා සැකැස්ම සාදා පිටු අලංකාර කිරීමට පුළුවන. නිසි අවබෝධයකින් තොරව පාඨකයා අතර පත්වෙන වැරදි කියැවීමෙන් ඔවුහු බහුතරයක් සත්‍ය හා මිත්‍යාව අතර අතර මං වෙති. එවන් තැනක සිට විමසන විට චන්දවිමල හිමියන් ලියා පළ කර ඇති සද්ධර්ම පුස්තක පෙළ සුවිශේෂී වෙයි. එම පුස්තක පුස්කමින් එක තැන ගොඩ ගැසි නො මැත. සදහම් පිපාසයෙන් පෙළෙන දනන්ගේ සුරත් මත ගෞරවාන්විතව රැඳී තිබෙ යි. පරිශීලනය කෙරෙ යි. සරල දැනුමක් ඇති ගිහියාගේ සිට ගැඹුරෙන් ධර්මය විමසන හිතට ද මෙය එකසේ ප්‍රයෝජනවත් ය. ශාසනික සමාජ මෙහෙවරෙහි නියුක්ත වූ ග්‍රාමවාසී, නගරවාසී භික්‍ෂූන් වහන්සේගේ සිට සංසාර විමුක්තිය සොයා මඟට පිළිපන් යෝගාවචර භික්‍ෂූන් වහන්සේ වෙත ද චන්දවිමල හිමියන්ගේ සදහම් පොත් පෙළ මඟ හසර අඳුර දුරලන ප්‍රදීපස්ථම්භ සේ ය.

රේරුකානේ චන්දවිමල මහා යතිවර නාමය හා බැඳෙන ප්‍රබල ලේඛණ සන්නිවේදන භූමිකාව මත එදා මෙන්ම අදත් මතුවටත් මේ සදහම් පහන් වැට දැල්වී දිදුල යි. ලාංකේය ලේඛණ ධර්ම සන්නිවේදනයේ මේ ප්‍රබල ධර්මග්‍රන්ථ පෙළ දන හද ධාරණ මණ්ඩපය තුළ හෙටත් මතුවටත් ගෞරවාන්විතව වැඩ වසයි. රේරුකානේ චන්දවිමල හිමියන්ගේ බෞද්ධ ධර්ම ග්‍රන්ථ ලේඛන ගමන් මඟ පහන් කන්ද තරණය කිරීමේදී එහි පළමු පියගැටය බැන්දේ ‘නිර්වාණ විනිශ්චය’ නමැති පොත ලියා ඵල කිරීමෙනි.

පෙර සඳහන් කළ පරිදි අවුරුදු 29 ක් වැනි තරුණ භික්‍ෂූන් වහන්සේ නමක් වශයෙන් ව්‍යවහාර වර්ෂ 1926 දී එනම් මීට වසර 87 කට පෙර ලියා පාඨකයා අතට පත් කළ ‘නිර්වාණ විනිශ්චය’ පිළිබඳව රේරුකානේ හිමියන්ම පසු කලෙක කළ ස්වයං කථනයෙහි සුළු විවේචනාත්මක ස්වරූපයක් ද දක්නට ලැබේ. තමා කළ පමණින් සියල්ල සර්වතෝභද්‍ර නො වන බවත් එහි ඇති සුළු හෝ අඩුපාඩුවක් ඇත්නම් ඒ පිළිබඳව තුළනාත්මක සිිතින් විමසීමට තරම් උන්වහන්සේ නිහතමානී වීමත් තුළ මෙවන් බහුශ්‍රැත යති චරිතයක උසස් ගුණය පසක් කරගත හැකි වේ. උන්වහන්සේ ඒ පිළිබඳව කියූ කියුම් මුවින් පිටවූ ආකාරයෙන්ම පිටපත් කර තැබීමට අද අපට නො හැකි ය. චන්දවිමල මා හිමියන්ගේ උණුසුමෙහි තම භික්‍ෂු ජීවිතය පෝෂණය කරගත්, උන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ කිරිඔරුවේ ධම්මානන්ද වැනි සඟ සසුන අදත් ශොභාවත් කරනා සුපේශල භික්‍ෂූන් වහන්සේ ලියූ සටහන් තුළින් ද රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය ලියූ දර්ශන විශාරද ඉත්තෑපාන ධම්මාලංකාර අනුනායක සංඝ පීතෘන් වහන්සේ වැනි උසස් භික්‍ෂූන් වහන්සේලාගේ ගෙන හැරපෑම් තුළින් ද චන්දවිමල මහා නා හිමියන් පළ කළ අදහස් මේ යැයි පෙරළා ඵල කිරීම පමණක් අපට කළ හැකිය.

ඒ අනුව පැවසුවහොත් ‘නිර්වාණ විනිශ්චය’ පොත ලිවීම පිළිබඳව චන්දවිමල හිමියන්ගේ මුවින් පිළිපන් වදන් එලෙසම නො වූව ද, අදහසේ අර්ථය, මෙසේ කැටි කර දැක්විය හැකි වේ.

“ඇත්තෙන්ම නිර්වාණය වැනි ගැඹුරු දහමක් විමසීම සරල කාරණයක් නොවෙයි. ඒ නිසාම මෙම පොත ගැඹුරු කරුණු අඩංගු පොතක් වුණා” “කොටින්ම නිර්වාණය ගැඹුරු දහමක් තේරුම් ගැනීම අපහසු කාර්යයක්. ඒ වාගේම මෙය තේරුම් කරදීමට ධර්මයට උචිත සුදුසු වචන යොදා පැහැදිලි කිරීම ද එතරම් පහසු දෙයක් නොවේ” “මේ කාලය වනවිට මගේ සිංහල දැනුමත් එතරම් ප්‍රශස්ත මට්ටමක තිබුණේ නැහැ.

“මේ වකවානුවේ මා සිංහල දැනුම වැඩි දියුණු කර ගත්තේ ‘ ජාතක පොත’ ‘ සද්ධර්ම රත්නාවලිය’ ‘පූජාවලිය’ වගේ පොත් කියවලා. ඒ නිසා ‘ නිර්වාණ විනිශ්චය’ ලිවීමේ දී ඒ ආභාෂය පොතටත් කාන්දු වුණා වෙන්න පුළුවන්. ඒ නිසා මා හිතනවා මාගේ අනෙක් පොත් වගේ මෙම පොතේ භාෂාව සරල නොවේය කියා. නිර්වාණ විනිශ්චයේ මා යොදා ඇති වචන ආසන්න වශයෙන් එවකට මා පරිශීලනය කළ පොත්වල තියෙන පැරැණි වචනවලට සමානැයි කියා මට හිතෙනවා. “ඒ නිසාම නිර්වාණ විනිශ්චය’ තුළින් මතුවන ඒ භාෂාව ඒ පොතෙන්ම මා අවසන් කළා. මාගේ අපේක්‍ෂාව වුණේ ‘ නිර්වාණ විනිශ්චය’ එම මුල් මුද්‍රණයෙන් පසුව නැවත ඵල නො කිරීමට යි”

තවත් කොටසක්
නොවැම්බර් 03 වන දා පත්‍රයේ පළවේ


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 5 චන්දවිමල හිමියෝ බුරුමයේ දී උපසම්පදාව ලබති