Print this Article


ගුණ නොදකින කේන්තිය

ගුණ නොදකින කේන්තිය

මිනිසා විසින් කරනු ලබන හොඳ සහ නරක ක්‍රියා මූලික වශයෙන් සමාජයටද, ක්‍රියාව කරන්නාටද, බලපානු ලබයි. කෙනකු කරන හොඳ නරක ක්‍රියා සඳහා ඔහුගේ දැන උගත්කම බලපායි. පවතින තත්වය හරි හැටි දන්නා පුද්ගලයා තමන්ගේ සිත කය වචනය යන තුන් දොර පිනට නැඹුරු කරයි. එසේ නැත්තා සිය තුන් දොර මෙහෙයවා සිදු කරනු ලබන්නේ අකුසල්ය. පාප ක්‍රියාවන් සමාජයට අයහපත පිණිස හේතුවන දේවල්ය.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අනුවණ පුද්ගලයා තමන්ගේ දැන උගත්කම් සහ ඉසුරුමත් බව පවා තමන්ගේ අයහපත පිණිසම යොදවන බවය.

දඹදිව චිත්ත නමැති සිටුවරයෙක් වාසය කළේය. ඔහු ධනයෙන්ද ආඩ්‍යයය. ගුණයෙන්ද. නුවණින්ද එසේමය. තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් ධනය අන්‍යයාගේ සිත සුව පිණිස ප්‍රදානය කිරීමෙන් තමන්ට යහපතක්ම සිදුවන බව ඔහු තීරණය කළේය. චිත්ත ගෘහපතියා එසේ කල්පනා කරනු ලැබුවේ ඔහු නුවණැති පුද්ගලයකු නිසාය. ධනය,පිනටද, ශාසනයටද ඔහු බොහෝ දෑ පරිත්‍යාග කරනු ලැබීය. චිත්ත ගෘහපතියා මෙසේ ආගම දහමට නතු වූයේ අන්ධ භක්තිකයෙකු වශයෙන් නොවේ. හේ පව, පින මැනවින් දත්තේය. එනිසාම සිය ධනය විය පැහැදම් කොට විහාරයක් කරවා මහානාම තෙරුන්ට පූජා කරනු ලැබීය. හේ උන්වහන්සේගෙන් බණ දහම් අසා සෝවාන් භාවයටද පත් විය.

කාලයක් ගත වීමෙන් මහානාම හිමියන් වැඩ වාසය කළ විහාරයට සුධම්ම නමින් නවක තෙරුන් වහන්සේ නමක්ද වැඩම කළහ. උන්වහන්සේ ගේ ප්‍රධානත්වය යටතේ එම පුණ්‍ය භූමියෙහි ආගමික වතාවත් සියල්ල සිද්ධ විය. චිත්ත නම් මහ සිටුවරයාද සිය ආගමික භක්තිය වඩා වර්ධනය කරගනිමින් සකෘදාගාමී ,අනාගාමී ආදි මාර්ගඵලවලට පැමිණියහ.

එක දවසක් බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් අගසව් දෙනම සුධම්ම හිමියන් වැඩ වාසය කළ විහාරස්ථානයට වැඩම කළහ. එදවස චිත්ත සිටාණෝ ඉතාමත් ගෞරවයෙන් උන්වහන්සේලා පිළිගෙන පුද සත්කාර සම්මාන කරනු ලැබීය. අලුතෙන් ආ හිමිවරුන් දෙනමට මෙසේ පුද සත්කාර කිරීම පිළිබඳව විහාරාධිපති සුධම්ම හිමියෝ මහත් කැළඹීමට පත්වූහ. තමන්ගේ අනුදැනුම නැතිව මෙසේ අන්‍යයන්ට තමන්ගේ විහාරස්ථානය තුළදීම පුද සැළකිලි පැවැත්වීම පිළිබඳව උන්වහන්සේ තදින් කිපුණහ.

තමන් නිවැරැදි බව උන්වහන්සේගේ මනසට නැගෙන්නට විය. සිතෙහි කෝපය ඉහවහා ගිය නිසා සැරියුත් මුගලන් දෙනමගේ අපිරිමිත ගුණ අමතකව ගියේය. අනාගාමි බවට පැමිණ සිටි චිත්ත ගෘහපතියාගේ ක්‍රියා පිළිවෙත පිළිකුල් කළේය. තමන්ට සිවු පසයෙන් නිතිපතා උපස්ථාන කළත්, සුධම්ම හිමියන් කල්පනා කරනු ලැබුවේ සැරියුත් මුගලන් අගසවු දෙනමට වඩාත් සැළකිලි සම්මාන පවත්වන්නේ යැයි කියාය.

රාත්‍රිය පුරා වෛර සිතිවිල්ල හිතේ දල්වාගෙන තමන්ටම වාසි වෙන විදිහට සියල්ල ගලපමින් කරුණු කාරණා මෙනෙහි කළ සුධම්ම හිමියන්ට තමන්ට සිවුපසයෙන් ඇප උපස්ථාන කරන චිත්ත සිටාණෝ කෙරෙහි නොරුස්නා බව වැඩි වන්නට විය. රාත්‍රියේ නින්ද ගියේද නැත. ඒ පිළිබඳව කල්පනා වන්නට විය. පසුදා උදෑසන චිත්ත ගෘහපතියාගේ නිවසට වැඩම කළ සුධම්ම තෙරණුවෝ ගෘහපතියාටද බැණ අගසව් දෙනමට ඇප උපස්ථාන කිරීමේ වරද පෙන්වා දොස් කියා බැණ පන්සලේ නොරැදීම යන්නට ගියේය. මින්පසු පන්සලට හාමුදුරුනමක් සොයා ගන්නා ලෙස ගෘහපතියාට දැන්වීය.

සුධම්ම තෙරුණූවෝ වෙහෙර හැරපියා දෙව්රම් වෙහෙර වෙත වැඩම කළහ. බුදුරජාණන් වහන්සේට සියල්ල සැළ කළහ. චිත්ත ගෘහපතියාගෙන් තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව දන්වා තමන් වහන්සේ ඔහුට දොස් නැගූ බවද පැහැදිලි කළහ. බුදුරජාණන් වහන්සේ මෙම සිද්ධි දාමය සුධම්ම හිමියන්ට පැහැදිළි කරනු ලැබුවේ උන්වහන්සේ එම සිද්ධියෙදි බරපතල වරදක් සිදුකර ඇති බවය. සිතෙහි නැගුණු කේන්තිය නිසාම තමන් වහන්සේට තමා කරන වැරැදි ක්‍රියාවෙහි බරපතළකම නොතේරුණු බවය. තමා පිළිබඳව නැති ගුණ සමාජයට අඟවමින් සිටි නිසාම තමාගේ තරම හරි හැටි දැන නොගත් බවය.

එසේ නිවැරැදි වූවා නම් සිදු වූ සිද්ධිය නිවැරැදි මනසින් දැක්කා නම් සැරියුත් මුගලන් දෙනමට පුද සැළකිලි කිරීම පිළිබඳව මෙලෙස කෝපයට පත්වීමට හේතුවක් නැත. එසේම පන්සලද සාදා දී නිතර ඇප උපස්ථාන කරන දායකයාට මෙසේ බැණ අඩගසන්නේ නැත. එනිසා බුදුරජාණන් වහන්සේ සුධම්ම තෙරුන්ට අණ කරනු ලැබුවේ චිත්ත ගෘහපතියා ක්‍ෂමා කරවාගෙන එන ලෙසය. පසුව සුධම්ම හිමියන් සිය වරද තේරුම්ගෙන චිත්ත ගෘහපතියාගෙන් ක්‍ෂමාව ගනු ලැබූහ. ගෘහපතියාද සමාව දුන්හ. එතෙකින් සිද්ධිය සමතයකට පත් විය.

සුධම්ම හාමුදුරුවන්ගේ චරිතය තුළින් හෙළි පෙහෙළි වන්නේ සාමාන්‍ය මිනිස් චින්තනයයි. කෙනෙක් හැම වෙලාවකම දෝෂයක් දකින්නේ තමන්ට කොයි කවරදාක හරි උදව්වක් උපකාරයක් කරනු කෙනෙකුගේමය. සුධම්ම හිමියන්ද ක්‍රියාකළේ එබදු ආකාරයටමය. උන්වහන්සේට ඇප උපස්ථාන කරනු ලබන චිත්ත ගෘහ පතියාගේම වරද උන්වහන්සේට පෙනුණේය.

එසේම සුධම්ම හිමියන්ට වඩා වැඩි අධ්‍යාත්මික ගුණ දහමක් චිත්ත ගෘහපතියාට තිබුණේය. ඔහු අනාගාමී බවටද පත්ව සිටි කෙනෙකි. සැරියුත් මුගලන් දෙනමද එසේ අධ්‍යාත්මික වශයෙන් උච්චස්ථානයකට පත්ව සිටි ඇත්තෝය. සුධම්ම හිමියනට කේන්ති ගියේ උන්වහන්සේලා දෙනමට චිත්ත ගෘහපතියා කරනු ලබන පුද සැළකිලි නිසාය. මෙයින් පෙනෙන්නේ කේන්තිය කෙනෙකුගේ මනස අවුල් කරමින් ජීවිතයද අපිළිවෙළ බවට හරවනු ලබන බවය.

කේන්තියාම විකෘතියකි. ඉන් පසු ඔහු ක්‍රියා කරන්නේ විකෘති මනසින්ය. ගුණ ධර්ම පෙනෙන්නේ නැත. කළ යුතු නොකළ යුතු දෙය හැඟෙන්නේ නැත. තමන්ගේ නිවැරැදි බවම පෙනේ. එනිසාම තව තවත් වැරැදි කරයි. චිත්ත ගෘහපතියාගේ නිවසටම ගොස් මින් පසු වෙනත් හිමි නමක් සොයා ගන්න යැයි සුධම්ම හිමියන් කිව්වෙ හිතේ තිබුණ කේන්තිය නිසාය. දෙව්රම් වෙහෙරට ගොස් බුදු හිමියන්ටද සිද්ධිය වාර්තා කරනු ලැබුවේ බුදු හිමියන් ලවා චිත්ත ගෘහපතියාට වරදක් කරවනු සඳහාය.

ගුණ නුවණින් පිරි උන්වහන්සේගේ ගුණ පවා නොහඳුන කේන්තිය තමාගේ සියලු ක්‍රියාදාමයන්ද විකෘති බවට පත් කරනු ලබන බව මේ සිද්ධියෙන් පෙනේ.

සටහන: හේමමාලා රන්දුනු