දොඩන්දූව පටුවත ශ්‍රී සීලකඛන්ධ
ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති
දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශක
මීවනපලානේ ධම්මරතන හිමි
මනුෂ්‍යයාට වෙන සත්නට නැති උසස් ඥානයක් උත්පත්තියෙන්ම බීජ වශයෙන් ලැබේ.
එය ඒ ඒ මිනිසුන්ට නොයෙක් හේතූන් කරන කොට ගෙන අඩු වැ හෝ වැඩි වැ ලැබේ.
එසේ ලත් ජන්ම ඥාන බීජය ශිල්ප ශාස්ත්‍ර සමයාන්තරාදී තෝතැනි (පාත්ති) වලැ
වඩ වඩා ගත යුතු වේ. එබැවින් ඥානය ‘භාවයිතව්‍ය ධර්මයෙකැ’යි’ (වැඩිය යුතු
දෙයකැයි) බුද්ධාගමෙහි දක්වා තිබේ. මෙහි ‘නුවණ ලබන සැටි’ යැයි අප විසින්
අදහස් කැරෙන්නේ ඒ ජන්ම ඥාන බීජය ලබන සැටි නොවැ, එය වඩ වඩා දියුණු කර
ගන්නා ආකාරයයි.
ලෞකික වූ ද ශාසනික වූ ද සියලු අභිවෘද්ධියට ප්‍රධාන හේතුව වූ මේ ප්‍රඥාව
නොයෙක් කොටස් වලින් යුක්තය. ඒ ඒ කොටස් හි වූ නුවණ වඩන ආකාරයෝද එසේම
බොහෝ වෙති. සාමාන්‍යයෙන් කවර නුවණක් වුවත් ලබන්නට බෙහෙවින් ඉවහල් වන
කරුණු ටිකක් බුද්ධාගමානුකූලව ව කාල දේශානුරූප ව දැක්වීම අප අදහසයි.
බුදුන් වහන්සේ විසින් ආලවක සූත්‍රයෙහි මෙසේ වදාරණ ලද සේක.
සුස්සුසා ලභතෙ පඤ්ඤං - අප්පමත්තො විචක්ඛණා
(එළැඹැ සිටි සිහි ඇති විමසන සුළු තැනැත්තේ අසනට රිසි බව නිසා නැණ
දියුණුව ලබන්නේ)
යනුවෙන් (1) ශුශ්‍රැෂා යැ, (2) අප්‍රමත්තා යැ, (3) විචක්‍ෂණතා යැයි
සාමාන්‍යයෙන් කවර නුවණක් වුවත් වවා වඩා ගැනීමට ඉවහල් වන කරුණු තුනක්
වදාරන ලදී. මේ තුන් කරුණු නැණ වැඩීමෙන් සාධාරණ හේතු යැයි සැලකිය යුතු
ය. මෙයින්,
(ශුශ්‍රැෂා නම් – අසනු කැමැති බවයි, හෙවත් තමා උගන්නට අදහස් කළ දෑ
පිළිබඳ වුවදෙස් තොරතුරු තමාගේ ගුරුහුගේ මුඛයෙන් හෝ වෙන යම් වියතුන්
පවත්වන කථායෙකින් හෝ අසා දැන ගන්නට ආශා ඇති බවයි. නිතර එයට ආදරයෙන්
ඇහුමකන් දීමට සැදී පෑදී සිටින බවයි. මෙය වදාළ කාලයෙහි හෙවත් මෙයින්
අවුරුදු 2500 කට පමණ පූර්ව වූ කාලයෙහි ගුරු මුඛයෙන් අසා උගන්නා ක්‍රමයම
ප්‍රධාන වූ බැවින් මේ ව්‍යවහාරය මෙසේ පැවැති නමුත්, ඉන් මොබැ ක්‍රමයෙන්
පත් පොත් ලිවීම දියුණු වූ පටන් ඒ පත් පොත් බලා උගන්නට ඇති කැමැත්ත ද
ශුශ්‍රැෂා යැයි පිළිගත යුතු විය. එබැවින් මේ වර්තමාන කාලයෙහි යම් යම්
විෂයයන් හි ප්‍රඥාවක් (ඉගෙනීමක්) ලබන්නට බලාපොරොත්තු වන්නවුන් විසින් ඒ
ඒ විෂයයන්හී විශාරද වූ ගුරුන් හට ආදරයෙන් ඇහුම්කන් දීම ද එබන්දන්ගේ
ප්‍රසිද්ධ කතාවන් ලැදි වැ ඇසීමද, ඒ ඒ විෂයයන් හී පත් පොත් සාදරයෙන්
කියවා බැලීමෙහි ගිජු වීම දැයි මෙකී තාක් සියල්ලම ‘ශුශ්‍රැෂා’ යැයි
පිළිගත යුතු වේ. (ඇතැම් තැනැ හිමියනට සුවච වැ කැරෙන සේවා මාත්‍රයද
ශුශ්‍රැෂා ශබ්දයෙන් කියැවෙතත් මෙතන්හී එය නොවේ.)
මෙසේ ශාස්ත්‍රාන්තර සමයාන්තරයන් පිළිබඳ උපදෙස් ගුරු මුවින් අසනු
කැමැත්ත යන අර්ථයෙහි මුලදී යෙදුණු ශුශ්‍රැෂා ශබ්දය පත් පොත් සුලභ වූ
මෑත කාලයෙහි එසේ අසනු කැමැත්තන් උගතුන්ගේ පත් පොත් වලින් බලාගනු
කැමැත්තත් යන දෙකෙහිම යෙදිය යුතු වූවාක් මෙන්ම ‘බහුශ්‍රැත’ ශබ්දයාගේ
යෙදීමද කාල වශයෙන් වෙනස් වී තිබේ. බහුශ්‍රැත ශබ්දයාගේ හා භාවාර්ථය නම්
‘උගතා’ යනුයි. නිර්වචනාර්ථය ( = අක්‍ෂර වාරයෙන් දැක්විය යුතු අදහස) නම්
බොහෝ දේ ගුරු මුවින් අසාගත් තැනැත්තා යනුයි. එයද මෙකල්හී ගුරු මුවිනුත්
අසා පත පොතිනුත් බලා බොහෝ දේ උගත් තැනැත්තා යන අර්ථයෙහි යොදනු ලැබේ.
යටැකී පරිදි වූ ‘ශුශ්‍රැෂා’ ව ( = ගුරු මුවින් අසනුත් පත් පොතින්
බලනුත් කැමැත්ත) නැණ දියුණුව ලැබීමේ ප්‍රධාන මාර්ගය වන බව හැම රටවල හැම
උගතුන් විසින් පිළිගනු ලැබෙතත්, දැන් අප රට වැසියන් අතරැ නම් මේ හැඟීම
නෂ්ටප්‍රාය වූවාක් මෙන් පෙනේ.
මෙරට ඉගෙනීමෙහි යෙදී සිටින ශිෂ්‍යයන් දෙස බැලුවත් ඔවුන්ගෙන් වැඩි කොටස
ගුරුන් උත්සාහයෙන් කියා දෙන උපදේශයට ආදරයෙන් කන් යොමු නොකරන්නෝ ය.
සමහරු ඒ අතරත් ගුරු නට නොගරු වනසේ කෙළි කවට සිනා කරන්නෝ ය. අන්‍යවිහිත
වැ නොසැලකිල්ලෙන් කල් යවන්නෝ ය. කුඩා ළමයින් තබා තුරුණු වියෙහි පා තැබූ
නීති ශිෂ්‍ය, වෛද්‍ය ශිෂ්‍යාදීන් ද මේ අපවාදය නොඅඩුවම ලබන බව නිතර
අසන්නට ලැබේ. එසේම ඔවුන්ගේ පාඩම් පොත් සහ වෙන ඊට අදාළ පත් පොතුත්
කියැවීමෙහිද සෑහෙන ප්‍රමාණයේ ඇල්මක නැති බවද අසන්නට ලැබේ. බොහෝ විද්‍යා
ස්ථානයන්හී ශිෂ්‍යයන්ගේ අදක්‍ෂ භාවයටත් සාමාන්‍යයෙන් ඒ ඒ විෂයයෙහි
විශේෂඥයන් ඇති නොවීමටත් හේතුව මෙය වේ. ශිල්ප ශාස්ත්‍රයන් ඉගෙනීමෙහි
නියුක්ත ශිෂ්‍යයන් වැඩි දෙනාගේ සිරිත ලෙස පෙනෙන්නේ නියම උගතුන් වන්නට
තැත් කිරීම නොවැ යම් තම් පාඨ පරීක්‍ෂණයේ දී සමතකු මෙන් පෙනී සිටින්නට
උපාය යෙදීමය. එසේ සමත්වැ යම් දිවෙලෙකැයි යෙදුණු තැන පටන් පත් පොත්
කියැවීම ආදියෙහි උනන්දුව තිබුණටත් වඩා අඩු වීමෙන් ශුශ්‍රැෂායෙන් තොර
වූවක් වේ. උගත් දැයද අනභ්‍යාසයෙන් අමතක වේ.
මුදලුත් ගෙවා ඉතා අමාරුවෙන් නෘත්‍ය ශාලාදියකට රැස්වෙන පිරිසෙන් දසයෙන්
කොටසක් වත් ප්‍රයෝජනවත් උගතමනා කථාවක් නොමිලයේ ඇසීමට නොපැමිණෙන බව ඉතා
ප්‍රකටය. ප්‍රවෘත්ති පත්‍ර කියැවීමෙනුත් ඒ ඒ දවස හි රටේ පැවැත්ම පමණක්
නො වැ දේශාන්තරයන් හි නොයෙක් සිද්ධීන් පිළිබඳ වාර්තාත් දැන ගත හැකි ය.
නොයෙක් උගතුන්ගේ ලියුම් මඟින් නොයෙක් දේ පිළිබඳ සාමාන්‍ය ඥානයක්ද ලබා
ගත හැකි ය. එහෙත් මෙරට ජන සංඛ්‍යාවේ හැටියට පුවත් පත් කියවන්නෝත් ඉතා
මඳය. කියවන ටික දෙනාගෙනුත් වැඩි කොටස ප්‍රවෘත්ති මාත්‍රයක් මුත්,
වැදගත් ලිපි නොකියවති. පොත් කියැවීම ගැන කියනු ම කිමද? ඉතා වෙහෙස දරා
යම් උගතකු ප්‍රයෝජනවත් පොතක් ලියූවත් දෙකෝටියකට නොඅඩු ගණනක් සිංහලයන්
ඇති මේ රටේ අවුරුදු ගණනෙකින් වත් ඒ වැදගත් පොතෙන් පිටපත් දෙතුන් දහසක්
අලෙවි කර ගන්නට අමාරු යැ යනු නොයෙක් විට අසන්නට ලැබේ. එයින් දැන්
වැසියාගේ කියැවීමේ කැමැත්තේ පමණ සිත ගත හැකි ය.
දැන් පෙර මෙන් නොවැ ඇසීමට කියැවීමට මාර්ගයෝ සුලභය. පුවත්පත්, සඟරා
මඟිනුත්, ගුවන් විදුලිය කතා මඟිනුත්චිත්‍ර කෘතීන්ගේ ව්‍යක්ත කථා
මාර්ගයෙනුත් නොයෙක් දේ අසා බලා ඉගෙනීම පහසුවී තිබේ. මුද්‍රණ ශිල්පය
නිසා පත් පොත් සපයා ගැනීමද පහසුය. මඳ වශයෙන් වුවත් පොදු පොත් ගුල් සහ
කියැවීම් ශාලාද ඇත්තාහ. එහෙත් අසන්නට, කියවන්නට ආශාවක් නැති බව නිසා
මිනිස්සු බහුශ්‍රැත නොවෙති. පෙර අතින් ලියා ගත් පත් පොත් පරිහරණය කළ
කාලයන්හීත් ශිෂ්ඨ ගෘහයන්හී පෞද්ගලික පොත් ගුල බැගින් තිබුණ බවත් රෑ
පහන් එළියෙන් වත් දවසකට එක්තරා ප්‍රමාණයක් ඔවුන් පොත් කියැවූ බවත් දැන
ගන්නට ලැබී තිබේ. වෙන ප්‍රසිද්ධ කතා නැතත් බණ ඇසීමට සැතපුම් විසි තිස්
ගණනුත් පයින්ම ගොස් ඇසීමෙහි ගිජු වූවන් සිටි බවත් ඇතැම් විට අකුරුත්
නොදැනත් ඔවුන් අතර ධර්මය අතින් බහුශ්‍රැත වූවන් සිටි බවද දැන ගන්නට
ලැබී තිබේ.
බහුශ්‍රැත වන්නට නම් අසන්නට කියවන්නට ලැදි විය යුතු ය. අල්ප ශ්‍රැතයා
ගොනකු මෙන් ඇඟ මසින් පමණක් වැඩි ගොනකු මෙන්ම දිරාපත් වැ මියයෙන බව
දක්වන්නට බුදුන් වහන්සේ විසින් ධම්ම පදයෙහි මෙසේ වදාරන ලද සේක.
අප්ප ස්සුතා ‘යං පුරිසො - බලිවදෙද්‍ර ව ජිරති
මංසානි තස්ස වඩ්ඩන්ති – පඤ්ඤාතස්ස න වඩඨති (152)
(ඇසූ පිරූ තැන් නැති යෙ - ගොනකු මෙන් ජරා පත් වේ
ඔහු ඇඟ මස් මතු වැඩේ – නුවණෙක් නම් නොම වැඩේ)
වදාරන ලද්දේ ය. එබැවින් උගතුන්ගේ සාරවත් කථා ඇසීමෙහිත් පත් පොත්
කියැවීමෙහිත් උනන්දුව ඇති කැරැ ගෙන හැම දෙනම දිනපතා ස්වල්ප වේලාවක් පත්
පොත් කියවන්නට ද ප්‍රයෝජනවත් කතා වලට සාදරයෙන් ඇහුම් කන් දෙන්නට ද ඉටා
ගනිත්වා!.
(2) අප්‍රමත්තතා නම් – නුවණ දියුණු කැරැ ගැනීමෙහි සිහිය කිසි විටෙකත්
නොහරනා බවයි. දවසක් පාසා ‘අද මම් කවර නම් අමුතු දෙයක් උගනිම් දැ’යි
ඉගෙනීමෙහි සැලකිල්ල බලාපොරොත්තුව, එහි යොමු වූ නැඹුරු වූ බව කිසි
මොහොතකත් අමතක නොකිරීමයි. බුද්ධි විශාරදයන්ගේ චරිත කතාවන් අසා බලා
දැනීමෙන් මේ උනන්දුව ඇති වේ. මේ නැණ වැඩුම පිළිබඳ අප්‍රමත්තතාව ද දැන්
අප රට මිනිසුන් අතර ඉතා විරල ය. පුරාතන සමහර සිංහලයන් බැලයට හරකුන් බලන
ගොපළු කොළුවන් වැ සිටත් මේ අප්‍රමත්තතායෙන් ක්‍රියා කොට අවසාන අන්තයේ
දී පණ්ඩිත රත්නයන් වූ බවට පරම්පරා ගත කථාවෝ තවම ඇසෙත්. එබැවින් මහා
විද්‍යාලයයෙකැ ශිෂ්‍යයකු නොවීම වත්, පාඨ පරීක්‍ෂණයන්ගෙන් අසමත් වීමවත්,
උපාධි නොලැබූවෙකු වීම වත්, වයස් ගත වීම වත් ප්‍රඥාව දියුණු කැරැ ගැනීමට
බාධක යැයි සිත සිතා ලතැ වෙමින් නොසිට මොහොතක් පාසා නැණ වඩා ගැනීමට යොමු
විය යුතු ය. පුරාතන වූත් වර්තමාන වූත් ලෝකයෙහි කිසි දා පාඨ
පරීක්‍ෂණයකින් සමත් නොවැ, උපාදිත් නොලැබ ස්වකීය අප්‍රමත්තතායෙන් මහා
ප්‍රඥාවට පැමිණ මහා ග්‍රන්ථ කාරණයන් වූවන්ගේ ගණන බොහෝ ය.
බාල කාලයේ දී මව්පියන්ගේ යම් යම් බැරිකම් නිසා හෝ නොදැනුම් නිසා
නොසැලකිලි නිසා හෝ ශිල්ප ශාස්ත්‍රාභ්‍යාසයෙහි නොයෙදී තුරුණු වියට
පැමිණි අප රට බොහෝ මිනිස්සු ඉගෙනීමෙහි බලාපොරොත්තුව සම්පූර්ණයෙන් මඟහැර
දමා නිරාශ වැ කල් යවති. එහෙත් වැඩි සිටියනට ඉගැන්වීම් ව්‍යාපාරය දැන්
වෙන රටවල සඵල ලෙස කෙරෙති. මෙරට ද එබඳු ආරම්භ මාත්‍රයක් ඇතද මිනිසුන්ගේ
ඒ ගැන වැඩි සැලකිල්ලක් ඇති බවෙක් නොපෙනේ.
ඉතිරි කොටස ඔක්තෝබර්
26 වනදා පත්‍රයේ පළ වේ |