Print this Article


අනාත්ම ලක්ෂණය හා සබැඳි දාර්ශනික පසුබිම

අනාත්ම ලක්ෂණය හා සබැඳි දාර්ශනික පසුබිම

බුදුන් වහන්සේගේ ඓශ්චර්යමත් පහළවීම සිදුවූයේ ක්‍රිස්තුතුමාගේ උපතට දළ වශයෙන් වර්ෂ හයසියයකට පමණ ඉහත උත්තර භාරතයේදීය යනු විවාද රහිත පිළිගැනීමකි. බුදුදහමේ උත්තරීතර බව විමසන විට අවශ්‍යයෙන්ම මෙකී දේශය හා කාලය කෙරෙහි අවධානය යොමුවිය යුතුය. බුද්ධධර්මය නිවැරැදි ලෙස වටහා ගැනීමෙහි ලා එම ප්‍රවේශය අතිශයින්ම වැදගත් වේ. දේශ, කාල භේදය සියලු සිද්ධීන් කෙරෙහි ඍජුවම බලපාන සාධකයක් වන හෙයිනි.

පුරාතන භාරතයේ ආගම සහ සංස්කෘතිය හැඩරුව ගැන්වීමෙහි ලා බ්‍රාහ්මණ, ශ්‍රමණ සම්ප්‍රදාය දෙකෙහි දායකත්වය ඉතා විශිෂ්ටය.මෙකී භේදය හින්දු සංස්කෘතියේ ආදිම අවස්ථාව වූ ඍග්වේද යුගයේ සිටම සමාජය තුළ ටිකින් ටික පුළුල් වෙමින් තිබුණ බව විද්‍යමාන සාහිත්‍යයෙන් මනාව ප්‍රකට වෙයි.දෙවියන්ගෙන් අසා දැන ගත් වේදය හෙවත් ශ්‍රැතිය පරමසත්‍යය ලෙසින් සැලකු පිරිස බ්‍රාහ්මණ සම්ප්‍රදාය නියෝජනය කළ අතර ශ්‍රැතියට වඩා ස්වයංබුද්ධිය සහ තර්කානුකූල චින්තනය අගය කළ පිරිස ශ්‍රමණ සම්ප්‍රදාය වෙනුවන් පෙනී සිටියහ. බුදුන් වහන්සේගෙන් නියෝජනය වන්නේ ශ්‍රමණ සම්ප්‍රදායයි. වේද යුගයේදීම පූජකත්වය හා ආගමේ භාරකාරත්වය හිමි කර ගත් බමුණෝ ඉන් අනතුරුව එළැඹී යුගයේ (ක්‍රි.පූ. 1000- 800) තමන්ගේ සමාජ ප්‍රමුඛත්වය තහවුරු කර ගැනීමේ හා වරප්‍රසාද පුළුල් කර ගැනීමේ අරමුණින් යාගයේ හා සංස්කාරයන්හි අගය වර්ණනා කරමින් වේදයට බොහෝ අටුවා ලියූහ.

මෙකී බ්‍රාහ්මණ ක්‍රියාදාමයේ ප්‍රතිඵල හේතුවෙන් ක්‍රිස්තු පූර්ව හය වැනි සියවස උදා වන විට උත්තර භාරතයේ ජනතාව ජීවත් වූයේ ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් සහ අලුත් සංකල්ප කෙරෙහි යොමු වෙමින් පැවැති සමාජ පරිසරයක් තුළය. සියවස් ගණනක් තිස්සේ ඇණ ගැසී තිබුණු පිළිගැනීම් මේ යුගයේදී අභියෝගයට ලක් වනු සුලබ වශයෙන් දක්නට ලැබුණු සංසිද්ධියකි. එක් අතකින් හැඩිදැඩි කුලවාදි සමාජ රටාවක් තුළ හිරවී සිටි ඒ ජනතාව අනෙක් අතින් මුළුජීවිත කාලය ම අනම්‍ය යාග පූජාවාදී කාර්ය රාශියකට ගොදුරු වී සිටියහ. සමාජයේ සුවිශාල පිරිසකගේ දේශපාලන නිදහස, අධ්‍යාපනය, රැකියාව, විවාහය ආදි මූලික මානව හිමිකම් බෙහෙවින් කප්පාදු කර තිබිණ. මේ නිසා සාමාන්‍ය සමාජයෙන් බැහැර ව වනගතව හුදෙකලාව විසීමේ ආශාව (නෛෂ්ක්‍රම්‍යය) දක්වා විමුක්තිකාමිත්වය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබුණි.

මේ කාලය එළැඹෙන විට තපෝවාදය පිළිගත් ශ්‍රාමණික චින්තන ධාරාව වඩා ශක්තිමත් වීමද සුලබ සංසිද්ධියක් විය. එය නොයෙක් අතට දළුලා ලියලන්නට වූයේ මේ වකවානුවේදීය. ආරණ්‍යක හා උපනිෂද් යන ග්‍රන්ථමාලා දෙකින් නිරූපණය වන ඒ කාලපරිච්ඡේදයේ සුවිශේෂ ලක්ෂණය වූයේ ශ්‍රමණ සම්ප්‍රදාය අගය කළවුන් සාමාන්‍ය සමාජයෙන් ඉවත් ව සාමාන්‍යයෙන් ජනශූ®න්‍ය ස්ථානවල සාකච්ඡා පැවැත්වීමයි.

ආරණ්‍යයක යනු ගිහිගෙදරින් ඉවත්ව කැලෑ තුළ ඉතා සරල දිවිපෙවෙතකට හුරුවූ මුනිවරුන් අතර සිදුවූ සාකච්ඡා සංවාද ආදිය පිළිබඳ වාර්තාය. උපනිෂද් යනු ගුරුවරයා හා ඔහු ආසන්නයේ හිඳ ගත් ශිෂ්‍යයන් අතර පැවැති අධ්‍යයනයන්ය. සම්ප්‍රදායයෙහිම උපනිෂද් යනු රහස් යැයි කියනු ලබන්නේ එහෙයිනි. මෙතෙක් ක්‍රියාත්මක වෙමින් පැවැති වෛදික සංකල්ප හා ප්‍රතිපත්ති ආදිය අභියෝගයට ලක් කෙරෙන අදහස් උදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි පරිසරයක් එදා නිර්මාණය වී තිබුණු බව එයින් ප්‍රකට වෙයි. දාර්ශනිකත්වයට මහ සමාජය විවෘත ව නොපැවැතී බවද ඉන් පැහැදිලි වෙයි. ඒ එසේ නමුත් කැලෑ තුළ ජීවත් වූ මුනිවරුන් සමඟ සිසුන් පුහුණු කළ ඇතැම් ගුරුවරුන් නව ආකල්ප හා සංකල්ප දියුණූ තියුණු කිරීමේ උත්සාහය වේගයෙන් ඉදිරියට ගෙන යමින් සිටි බව යටකී ග්‍රන්ථමාලා දෙකින් ගම්‍ය වෙයි.

ස්වභාවධර්මය දේවත්වයෙන් ගෙන වර්ණනා කිරීම හා ඒවාට පූජා පැවැත්වීම වෙනුවට ඍග්වේද කාලයේ අවසාන භාගයේදි තමන් හා තම වටපිටාව දෙස චින්තක දෘෂ්ටිකෝණ ඔස්සේ බලන්නට ආර්ය ඍෂීවරු පුරුදු වෙමින් සිටියෝය. තමන් ජීවත්වන පරිසරය තමන් සමඟ බද්ධ වන්නේ කෙබඳු ආකාරයකින්ද යන කුතුහලය විසින් පොළඹවන ලද ඉන්දු ආර්ය චින්තකයන් මුලදී එය හැදින ගත්තේ තම ජීවිතය කෙරෙහි විවිධාකාරයෙන් බලපෑම් කරන බලවේග සමූහයක් ලෙසිනි. කල් ගත වන විට එසේ හදුනා ගන්නා ලද බලවේග අනුක්‍රමයෙන් අධිභෞතික තලයකට නැගෙන්නට විය.ඒ අතරතුරදි පැනැ නැඟුණු ප්‍රධාන අතිරේක ප්‍රශ්නයක් වූයේ එකී බලවේග එකිනෙකින් වෙනස් ව ක්‍රියාත්මක වන ස්වාධීන වූ ඒවාද නැතහොත් අවයවාත්මකව එකනෙක හා බද්ධ වූ ඒවාද යන්නයි. ඒ පිළිබඳ ගවේෂණයට එළැඹුණු ආර්ය චින්තකයාගේ අවධානය නිතැතින්ම විශ්වයේ උපත කෙරෙහි යොමු විය. ඍග් යුගය නිමවන විට ඒ පිළිබඳ සිද්ධාන්ත ගණනාවක් නිපදවා ගෙන තිබිණි. එහෙත් ඉනික්බිති බලවත් වූ බ්‍රාහ්මණ සම්ප්‍රදාය විසින් ඉස්මතු කරන ලද යාගයේ සහ ආගමික චාරිත්‍රයෙහි අනභිභවනීයත්වය හේතු කොටගෙන එම චින්තන ධාරාව කලකට යටපත් වී ගියේය. විශ්ව විද්‍යාත්මක ගවේෂණ ක්‍රමයක් බිහි වී එය ජනතාව අතරට ගියහොත් ආගම පසුපසට තල්ලු වනු ඇතැයි බමුණන් සිතු නියා එයින් අනුමාන කළ හැකිය. බ්‍රාහ්මණ සම්ප්‍රදායයේ ප්‍රබලත්වය කෙරෙහි ගරුත්වයක් නොදැක්වූ චින්තකයෝ සමාජයෙන් බැහැරව වනයේ කල් ගත කරමින් තම ගවේෂණය නොනවත්වා ම ඉදිරියට ගෙන ගියහ. තමන් ජීවත්වන ලෝකය යනු කුමක්ද, විශ්වය හා පුද්ගලයා අතර පවතින්නේ කවරාකාර සම්බන්ධතාවක්ද, යන ගැඹුරු ප්‍රශ්න දෙකට පිළිතුරු සෙවීම ඔවුන්ගේ ගවේෂණයේ යටි අරමුණක් වන්නට ඇතැයි පහසුවෙන් වටහා ගත හැකිය. විශ්ව සම්භවය සම්බන්ධයෙන් ඍග් යුගයේ ගොඩනඟා ගත් සිද්ධාන්ත තවදුරටත් ගවේෂණය කිරීම ඔවුන්ගේ එක් ප්‍රයත්නයක් විය. ඒ චින්තනය අභිමුඛ වූයේ සියලු ජීවින් ඇතුළු මුළුමහත් විශ්වය ම එකට කැටි කොට දැක්විය හැකි සර්වව්‍යාපී පදාර්ථයක් කෙරෙහිය. එහි පුළුල් ලෙස පිළිගත් එක් ශක්තිමත් ප්‍රතිඵලයක් වූයේ මුනිවරුන් අතර බ්‍රහ්මන් (හෙවත් විශ්වසාරය) සංකල්පය ජනපි‍්‍රය වීමය. මුළුමහත් විශ්වය පුරාමත් එක් එක් ජීවියා තුළත් හරය වශයෙන් පවතින්නේ බ්‍රහ්මන් යැයි වටහා ගත ඔවුහු එය සදාතනික හෙවත් කාල, දේශ විර්මුක්ත පරමසත්‍යය ලෙස විවරණය කළහ. ඔවුන්ගේ නිරීක්ෂණවලට අනුව බ්‍රහ්මන් යනු නූපන්, එමෙන්ම කිසිදා නොමියෙන පදාර්ථයකි. එය සදාතනික ව ඒකස්වරූපීව පවතින්නකි. එක් එක් ජීවියා තුළ පවතින බ්‍රහ්මන් පුද්ගලාත්ම ලෙසද සමස්ත විශ්වය පුරා ව්‍යාප්ත ව පවතින බ්‍රහ්මන් ජගදාත්මන් ලෙස ද නම් කළ ඒ මුනිවරු එකිනෙකාගෙන් වෙන් වූ සියලු ජීවින් තුළ පවතින්නේ පුද්ගලාත්මන් බවත් ඒ සියල්ලෙහි ප්‍රභවස්ථානය ජගදාත්මන් බවත් පළකළහ. පුද්ගලාත්මය ජගදාත්මයේ අණු වශයෙන් හැඳින ගත් ඔවුහු ඒ නිසාම ජගදාත්මන් සේම පුද්ගලාත්මය ද සැමදා නොවෙනස්ව පවතින පදාර්ථයක් ලෙස විස්තර කළහ. ජීවියා උපතින් සුළු කලකට පසු මිය යන නමුත් ඔහු තුළ පවතින ආත්මන් (ආත්මය) වෙනත් භෞතික ස්වරූපයකින් නැවත පහළ වනු මිස කිසිදා මිය නොයන්නකි. එහෙයින් තර්කානුකූලව පුද්ගලාත්මය ද සදාතනිකය. මෙලෙසින් උපනිෂද් මුනිවරුන්ගේ දර්ශනයේ මූලික හරය වූයේ සනාතනිකත්වයයි, හෙවත් නිත්‍යත්වයයි. විශ්වයේ සාරභූ®ත බ්‍රහ්මන් මෙන්ම ආත්මන් ද නිත්‍ය ස්වරූපයෙන් සදාකාලික ව පවත්නා බව ඔවුන්ගේ අවසාන නිගමනය විය.

සිද්ධාර්ථ ගෞතම බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූයේ ඉහත විස්තර කළ සිද්ධාන්තය ඇසුරු කොට ගෙන අනේක ප්‍රකාර ධර්ම, දර්ශන පහළවෙමින් පැවැති වකවානුවකය.එකල විවාදාභිමුඛ වූ දාර්ශනිකයන් අතරින් සමහර කෙනෙක් ඍජුවම සදාතනිකත්වය පිළිගත් ශාස්වතවාදය ද ,සමහරෙක් ඊට ප්‍රතිපක්‍ෂ ව නැඟුණු උච්ඡේදවාදය ද තවත් කෙනෙක් ප්‍රඥාව ගරු කළ සංශයවාදය ද හුවා දැක්වූහ. දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ මැනැවින් විවරණය වන්නේ යටකී ආකාරයෙන් එකල උත්තර භාරතයේ ව්‍යාප්ත ව පැවැති ආගමික හා දාර්ශනික මතවාද සමූහයයි. ඒවා යථාර්ථවාදී ව පූර්ණ පරික්ෂාවට ලක් කළ ගෞතම බුදුපියාණන් වහන්සේ ඒ සියල්්ලෙහි සාවද්‍ය තැන් එළිපෑදුම් කර දී ඒවායින් තර්කානුකූල ව පරමසත්‍යයට වඩා පරම අසත්‍යය වගා කෙරෙන බව පෙන්වා දුන් සේක.

ඉහත විස්තර කළ දාර්ශනික පසුබිමට එරෙහි ව ලොව ප්‍රචලිත ව පවත්නා වෙනත් කිසිදු ආගමක හෝ ධර්මයක උගන්වනු නොලැබූ අනාත්මවාදයත් ඊට ම එක්කොට අනිත්‍යය හා දුක පිළිබඳ ඉගැන්වීමත් පළමු වරට ලොවට උගන්වන ලද්දේ බුදුපියාණන් වහන්සේ විසිනි. තමන් වහන්සේ උගන්වා වදාළ සියලු ධර්ම කාරණා ස්වාක්ඛාත (නිවැරැදිව කළ ඉගැන්වීම්) ද , එහිපස්සික (කවරෙකු විසින් වුවත් පරික්ෂා කර බලනු ලැබිය හැකි) ද වන බව යළි යළිත් පරීක්ෂා කළ හැකි නිදසුන් දක්වමින් පැහැදිලි කොට වදාළහ. විභජ්ජවාදය නමැති විශිෂ්ටතම විශ්ලේෂණ ක්‍රමය උපයෝගී කොටගෙන කායානුපස්සනාව වඩන ලෙස සතිපට්ඨාන සූත්‍රයේදී කළ නියමය මීට අපූරු නිදසුනකි. තමන්ගේ හෝ වෙනත් කෙනකුගේ සිරුරක් අරමුණ වශයෙන් ගෙන එහි ඇතුළත හා පිටත අඩංගු වන දේ පිළිබඳ සම්පූර්ණ විභාගයක් කළ යුතු ආකාරය එහි මුල්ම කොටසේ විස්තර වෙයි.

සමකාලීන වෛද්‍යවරුන් විසින් පිළිගනු ලබන කායව්‍යවච්ඡේද විද්‍යාවට අනුව ශරීරයක අඩංගු වන්නේ ව්‍යුහාත්මක කොටස් තිස් දෙකකි. භෞතවිද්‍යාඥයන් පිළිගත් පරිදි ශරීරයක් නිර්මාණය වී තිබෙන්නේ ධාතු හෙවත් මූලද්‍රව්‍ය හතරක් සංයුක්ත වීමෙනි. මේ කොයි පිළිගැනීමකට අනුව වුවත් සිරුරක් කොටස් වශයෙන් වෙන් කර බලන විට ඒ තුළ ආත්මන් ලෙස නම් කළ හැකි, කිසිදාක දිරාපත් නොවන කොටසක් හෙවත් සදාතනික ශාරීරික අංගයක් දැක ගත හැකිද යනු විමසීමත් කායානුපස්සනාවේ මුඛ්‍යාර්ථයකි. මෙ නයින්ම සොහොනෙහි දමා එක් දිනක සිට වර්ෂ ගණනක් ගත වන තුරු ක්‍රමානුකූල ව දිරාපත් වන මළ සිරුරක් දිනපතා පරික්‍ෂා කර බැලිය හැකිය. ඒ අයුරින් වත් ඊට වෙනස් ප්‍රතිඵලයක් ලැබිය හැකි වේද? ඒ සියලු පරීක්ෂණවලින් පුන පුනා තහවුරු වන්නේ ශරීරය යනු හරයක් නැති, නිස්සාර සංස්කාරයක් හෙවත් වස්තුවක් බවයි. වෙනත් ලෙසකින් කියතොත් ඒ තුළ සදාතනික ව පවතින, ස්ථිර කිසිවක් නැත. ඒ සියල්ල තුළින් ඉතා ප්‍රකට ව දැකිය හැක්කේ අනාත්මතාවයි. ආත්මය යැයි හැඳින් විය හැකි කිසිවක් ම නැති බවයි. අනිත්‍යතාව සහ දුක යනු මීටම සම්බන්ධ අනෙක් ලක්ෂණ දෙකයි.

ජීවියා පමණක් නොව, සමස්ත විශ්වය ම ඒකකයක් ලෙසින් ගෙන විභජ්ජවාදීව පරික්ෂා කිරීමේදී ඉන්ද්‍රියගෝචර යථාර්ථයන් වශයෙන් බ්‍රහ්මන් ලෙස නම් කළ හැකි සදාතනික පදාර්ථයක් සොයා ගත නොහැකි බව බුදුන් වහන්සේ අවධාරණය කොට වදාළහ. අනේක ප්‍රකාර වූ ජීවින්ගේ වාසස්ථානය වූ මහාවිශ්වය හේතු ඵල න්‍යායය යටතේ පරිණාමයට ලක් වන හෙයින් එය නිත්‍ය ස්ථානයක් ලෙස නොසැලකිය යුතුයැයි ප්‍රකාශ කළ සේක. මහා විශ්වය චූළනිකා ලෝකධාතු ,මජ්ක්‍ධිමිකා ලෝකධාතු සහ මහා ලෝකධාතු යනුවෙන් අනුක්‍රමයෙන් ව්‍යාප්ත වන ස්ථර තුනකින් යුක්ත වන බව පෙන්වා දුන් බුදුපියාණන් වහන්සේ කුඩා කුඩා ලෝක පන්ති දහස් ගණනක් එකතුවීමෙන් චූළනිකා ලෝකධාතුව ද චූළනිකා දහස් ගණනක් එකතු වීමෙන් මජ්ඣිමිකා ලෝකධාතුව ද, මජ්ඣිමිකා දහස් ගණනක් එකතුවීමෙන් මහා ලෝක ධාතුව ද සකස් වී ඇති බවත් ඒ සා විශාල මහා ලෝකධාතුව පවා ඇති ව නැති වීමේ න්‍යායයට යටත් වන බවත් පෙන්වා දුන්හ. කල්පාන්තය ලෙසින් බෞද්ධ සාහිත්‍යයෙහි විස්තර වන්නේ ලෝක විනාශයයි. සංවට්ට, සංවට්ටට්ඨායී, විවට්ට, විවට්ටට්ඨායී යනුවෙන් ලෝක පරිණාමයේ අදියර හතරක් ඇති බව බුදුදහමෙහි විස්තර කර ඇත. සංක්ෂේප වශයෙන් දක්වතොත් මුළුමහත් විශ්වයම විභජ්ජවාදීව පරික්ෂා කළත් එහි කොතැනක වත් සදාතනික වූ කිසිවක්ම නොපවතින බව බුදුන් වහන්සේගේ නිගමනය විය. ලෝකය යනු බිඳෙන, කුඩු කුඩු වන සංස්කාරයකැයි වදාළේ ඒ හේතුවෙනි. නිත්‍යස්ථානයක් සඳහා නම් ලෝකයෙන් එතෙර (ලෝකෝත්තර) විය යුතුම යැයි වදාළහ. මුළු ත්‍රිපිටකය පුරා දිවෙන දර්ශනයයි මේ. මෙලෙසින් විමසා බලන කල එදා පමණක් නොව විද්‍යාව හා තාක්ෂණය අතින් ඉතාමත් ම විශිෂ්ට දියුණුවක් ලබා සිටින අදද මිනිස් සමාජයේ ඇතැම් කොටස් තුළ තමා සහ තමා අවට ලෝකය පිළිබඳව පවතින අවිද්‍යා ඝනාන්ධකාරය පලවා හැරීමට ගෞතම බුදුපියාණන් වහන්සේ අනූපමේය මෙහෙවරක් ඉටු කර ඇති බව වටහා ගත හැකිය.