ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ඔක්තෝබර් 18 වනදා සිකුරාදා |
|||
සියල්ල නැසෙන සුළු බව සත්‍යයකි. එහෙත් අද එම විනාශයේ ශීඝ්‍ර බවක් වඩ වඩාත් දැනෙ යි. දරුණු ශාරීරික රෝග මාරාවේෂයෙන් හඹා එන, ඊටත් වැඩි චණ්ඩ මාරුතයක් පරිද්දෙන්, මානසික රෝගාබාධයන් තටු සලා පියඹා එන කෙලෙස් විෂ, දසදහසක් නාග විෂටත් වඩා විෂ වූ බලය තණ්හාව විසින් සියලු සාරධර්ම යටපත් කරන සමාජ වටාපිටාවක් ද නිර්මාණය වී ඇත. මේ සියලු විලෝපනයන් මැද අප තවමත් ඉමක් කොනක් නැති ගමනක හැල්මේ දිව යමු. මේ එකිනෙකා පරයා දුව යන්නේ මනසෙන් උස් වූ මිනිසුන් වුවත් ඔවුන් අතර නැත්තේම මනුස්සකම ය. උපේක්‍ෂා සහගත සිතක් මුහුණක් නොමැත. කරුණාවට, මෛත්‍රියට ඉඩක් හිඳසක් නොමැත. එහෙත් මේ ධර්ම දීපයම ය. තුන් තිස් පැයේ ධර්ම දේශනා ඇසෙන දේශය ය. මම ද උදනැක්කේම ඒ ගොඩට එකතු වී පැමිණියෙමි. තුංමං හන්දි හතරමං හන්දි පසු කරමින් පීඩනයේ තිරිංග තද කරමින් වෙහෙසින් පැමිණියෙමි. ළා හිරු රැස් දහරින් පරිසරය සෞම්‍ය කළ පෙර අතීතයේ විඳි සුවය අද වර්තමානයේ නැත. ගතට දාහය තදින් දැනෙයි. මේ විඩාව මැද මම ගමනට අවතීරණ වී හිඳිමි. යා යුතු ඉම අසමින්, විමසමින් පැමිණියෙමි. කැස්බෑවේ සිට කොට්ටාව ද, අතුරුගිරිය ද, කඩුවෙල ද පසු කරමින් පැමිණියෙමි. බියගමින් දෙල්ගොඩට විත් පූගොඩ මාර්ගයේ කි.මී. 1 1/2 ක පමණ දුරක් පැමිණ කඳුබොඩට ළඟා වුණෙමි. අසමින් සොයමින් මා පැමිණියේ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය වෙත ය. මාර්ගය අසබඩ දකුණු අත පැත්තේ කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය පිහිටා තිබෙයි. අද මේ ප්‍රදේශය මදක් ග්‍රාමීය කරණයෙන් මිදී තිබේ. අඩක් නාගරී කරණයට හසුව තිබෙන සෙයකි. පෙරදා හද්දා පිටිසර සොඳුරු ගම්මැදි බිමක් වූවාට සැක නැත. මම භාවනා මධ්‍යස්ථානයට ඇතුල් වුණෙමි. පවුරෙන් එහා බිම මෙසේ පරිවර්තනයකට හසු වුව ද ඇතුළු භූමිය තුළ පරිසරය නිහඬ ය සොඳුරු ය. ගහකොළ බහුල ය. මොහොතකට පෙර මා දාහයට පත් කළ හිරු රැස් වැළකීමට මේ බිමේ පරිත්‍යාගශීලි රුක් සුමිතුරෝ සමත් වී සිටි යි. මේ පරහිතකාමී මිතුරු තුරු සෙවණ යට ගතට සුවයක් දැනෙ යි. අප සොයා යා යුත්තේ සැබෑ සුවයකි. විඩාවෙන් මිදී සැනසීම ළඟා කර ගත යුතු වේ. එවන් සුවයක් සොයා මම පැමිණියෙමි. දෑළ සෙවණ කරනා ගහකොළ අතරින් පටු පෙත් මඟ දිගේ ගමන් කළෙමි. වේගවත් ගමනට සිත් නොදේ. සන්සුන් වන්නට හිතට ආරාධනාවකි. ඉතින් මම සෙමෙන් යමි. අක්කර 7 ක පමණ බිමෙක යෝගාවචර භික්‍ෂූන් වහන්සේ දස සිල් මාතාවන්, ගිහි මානව මානවිකාවන්, වෙනුවෙන් කුටි 72 කින් පමණ සමන්නාගත මේ නිසල භූමියේ සසර මඟ අතරමඟ සැබෑ විවේකය ගත කරන්නට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වී තිබෙයි. ඒ විවේකයෙන් ප්‍රයෝජන ගත හොත් සැබෑ සුවය දක්වා මේ පෙත් මං දිගේ ගමන් කළ හැකි වේ යැයි සිතේ. අයාලේ දුවන සිත නවතා ගන්නට වුවමනායය. දහසක් සිතිවිලි ගැටෙ යි. පොර බද යි. අපේක්‍ෂාවන් පසුපස හඹා යයි. නොලිහෙන දුක් කඳෙක වෙලී අවසන මරු වසඟයට යයි. නැවැතීමක් නැත. ඉමක් නැත. කොණක් නැත. ආයෙත් අයාලේ දිව යයි. දිවෙන රැවටෙන, වැටෙන, සිත සන්සුන් කර ගත යුතුයි. බුරුම රට ‘තාතන ඉකත’ භාවනා ආශ්‍රමයේ අධිපති මාර්ගඵල ලාභී මහා පණ්ඩිත මහාෂී සයාඩෝ භදන්ත ඌ සෝභන මහා ස්වාමීන් වහන්සේ ධර්මයට අනුගත වෙමින් පැවැසූ වදනකට හිත් යොමුවේ. සමාධි නම් සිතේ තැන්පත් බවයි. දමනය නොකළ සිත ඒ ඒ අරමුණ ඔස්සේ දිව ඇවිදී. එය රැක ගැන්ම දුෂ්කර ය. එය රූපා දී අරමුණක් හෝ ධර්මාලම්බනයක් හෝ ඔස්සේ දුව යි. සිත ඒ ඒ අතේ දිවීම වැළැක්වීමට තෝරාගත් අරමුණක් දිගටම සිත බැඳ තැබිය යුතු ය. ක්‍රමයෙන් සිතේ එකඟ බව වැඩී යාමෙන් නා නා අරමුණු අතේ සිත දිවීම නැවැතී තැන් පත් වෙයි. එයම දුන් අරමුණෙහි හිත රැෙඳයි. මෙය සමාධියයි. දැන් දැන් හිත එක අරමුණක පිහිටා තිබෙයි. වියවුලෙන් තොර වෙයි. අරණ තුළ සංයමයෙන් සැරිසරන්නට සිත් දෙයි. තුරු වදුළු අතරේ සැඟව පෙනෙනා කුටි රාශියකි. රූස්ස ගස් පා මුළ තැනූ භාවනා අභ්‍යාසයට යෝග්‍යව සෑදූ ආසන සමූහයකි. සන්සුන් ගමන් යනෙන සක්මන්මළු කීපයක් ද භූමිය තුළ තිබෙ යි. තැනක දිය රැඳි පොකුණකි. අඳුරු රුක් පෙළ අතරේ සියුම් හිදැසකින් පෙරී එන සිහින් රැස් කිරණකින් ජීවය ගත් මානෙල් මලක දසුනකි. කුටියක් තුළ අස්ථි පංජරයකි. කුඩා මානෙල් මලේ විකසිත සිනහවකි. අස්ථි පංජරය, විලිස්සමින් බැල්මක් හෙළ යි. යෝගාවචර භික්‍ෂූන් වහන්සේ රුක්‍ඛ මූල යට භාවනාවේ නිමග්නව සිටිති. සුදුවතින් සැරැසුණු තරුණයෙක් සහ වියපත් සිල් ඇත්තෝ දෙදෙනෙක් ද භාවනා අභ්‍යාසයේ යෙදී සිටිති. මේ නිසල පිවිතුරු භූමියක්ම ය. සැළෙන සිතකට නො සැළෙන හැටි කියා දෙන භූමියක් ය. පින් බිම විසල් භූමියක් තුළ පැතිරී තිබුණ ද ඒ තුළ ඇති බුදු කුටිය විසල් නොවේ. ඒ තුළ කුඩා බුදු පිළිමයකි. පිළිම වහන්සේගේ ඉරියව් ඉතා ශාන්ත ය. සද්ධර්මාලෝක එළියෙන් සැබෑවටම සම්බුදුරජාණන් වහන්සේ දැකිය හැකි නිසා මෙවන් තැනකට දැවන්ත පිළිම වහන්සේලා අවශ්‍ය නැතැයි සිතේ. පසෙකින් තවත් කුඩා කුටියක් තුළ භික්‍ෂූන් වහන්සේ නමකගේ පිළිරුවකි. උපැස් යුවළ යටින් දිස්වන දීප්තිමත් යුග නයන සිහින් දිගටි මුව සහිත රූප කාය නෙලා ඇත්තේ සජීවී ආකාරයට ය. ඒ තීක්‍ෂණ මුව මඬල යමක් පවසන සුළු ය. අවුල් වියැවුලින් තොර නිවුණු මුව මතින් නිවී සැනසුනු රුවක ප්‍රතිබිම්බයක් ප්‍රති නිර්මාණය වී පෙනෙන සෙයකි. ඒ කහටපිටියේ ශ්‍රී සුමතිපාල මා හිමිපාණන් වහන්සේගේ පිළිරුවයි. ඒ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය හා සබැඳුණු යෝධ රූපකායේ ප්‍රතිමූර්තිය යි. කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය ඉදි වන්නේ බුද්ධ වර්ෂ 2500 බුද්ධ ජයන්ති වසර අසිරිමත් ලෙස සැමරීමට සමගාමීව ය. මෙරට ප්‍රතිපත්ති ශාසනය වඩාත් වර්ධනය කිරීම උදෙසා, බුරුම රටේ බොහෝ සේ ප්‍රචලිත සතිපට්ඨාන භාවනා ක්‍රමය මේ රට තුළ පුහුණු පුරුදු කරවීම උදාර පරමාර්ථය පෙරදැරි කර ගනිමින් එම භාවනා මධ්‍යස්ථානය කළල දියෙන් මතු වූ නෙළුමක් සේ විකසිත වූයේ 1956 ජනවාරි 08 වැනි දිනය. බුරුම ජාතික ඌ සුජාත මාහිමිපාණන් වහන්සේ සුබ මුහුර්ථයෙන් පොල්තෙල් පහන දල්වා දොළොස් මහේ පහනක නොනිමෙන පහන් සිලක් එදා දැල්වූයේ ගෞරවනීය කහටපිටියේ සිරි සුමතිපාල මාහිමියන්ගේ පූර්ණ කැපවීමට ද ආලෝක පූජා උපහාරයක් වශයෙනි. බුරුම දේශයේ රැන් ගුන් නගරයේ ජාත්‍යන්තර ‘ශාසන යෙයිතා’ භාවනා මධ්‍යස්ථානයේ භාවනා වඩමින් සිටි සුමතිපාල මා හිමිපාණන් වහන්සේ එම භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක අනාගාමී මහා භික්‍ෂූන් වහන්සේ නමක් සේ ප්‍රකට අග්ග මහා පණ්ඩිත ‘භදන්ත ඌ ශෝභන මහා සී සයාඩෝ’ මා හිමි පාණන් සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල වශයෙන් මේ භාවනා මධ්‍යස්ථානය ඇරඹිණි. මෙහි මූල බීජයේ සිට උප්පත්ති කතාව පිළිබඳ වූ දීර්ඝ කි‍්‍රයාදාමය පියවරෙන් පියවර සටහන් කිරීමට පිටුවක් නො සෑහේ. ඒ නිසාම මෙය ඉතා සාරාංශ වශයෙන් සටහන් තැබුවේ හුදී ජන පහන් සංවේගය පිණිස ය. මේ අතර බුරුමයේ රහතන් වහන්සේ නමක් වශයෙන් ප්‍රකට ‘වේබු සයාඩෝ’ මා හිමිපාණන් වහන්සේ ද මෙම පින් බිමට වැඩම කොට ධර්ම දේශනා පවත්වා ඇත. 30 වසරකට ආසන්න කාලයක් ධර්මප්‍රදීපයෙන් භාවනාලෝකය විහිදුවාලූ සුමතිපාල නා හිමි ඒ මිනි පහන නිවී ගියේ 1982 වසරේ ජූලි 15 වැනි දින 84 වසරක් ආයු වැළඳීමෙන් අනතුරුව ය. එතැන් පටන් ද ගමන නොනිමී පහන දැල්වී තිබෙන්නේ ආදර්ශවත් ශාසන සෝභන ශිෂ්‍යානු ශිෂ්‍ය පින්වත් දායක දායිකා පිරිස් බලයක ශක්තිය නිසා ය. වත්මන් භාවනා මධ්‍යස්ථානාධිපතිත්වය දරන්නේ ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහා නායක විනයාචාර්ය ප්‍රධාන කර්මස්ථානාචාර්ය ඉඟුරුවත්තේ පියනන්ද මා හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ මේ සසුන් පිළිවෙත ඉදිරියට රැගෙන යමින් අඳුරු මඟට ආලෝකයක් වෙමින් මේ බිම සංඝ සමාජයේ බබළවන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වශයෙන් හඳුන්වා දිය හැකි ය. කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිකාරී වශයෙන් ඇප කැප වෙමින් කටයුතු කරන්නේ කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති දියසෙන්පුර විමල හිමියන් ය. මෙම භික්‍ෂූන් වහන්සේගේ සේවයද කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රගමනයට මහත් දායකත්වයක් සපයයි. මෙම ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයෙන් දෙස් විදෙස් ගිහි ජනතාවට ද තම මානසික සුවය වෙනුවෙන් ලෞකික ජීවිතයේ සැනසීම මෙන්ම ලෝකෝත්තර දිවියට එක් පියවරක් හෝ තැබීම උදෙසා වූ විපස්සනා භාවනා අභ්‍යාස පුහුණුවට දොර කවුළු විවෘතව පවතී. දවල් දානය ද පසුවෙන යාමයේ ද මා සැරි සැරුවේ මේ පින් බිමෙහි ය. ආපසු හැරී එන්නට කාලය පැමිණ තිබේ. මා මෝටර් සයිකලයට ගොඩ වුණෙමි නිවස වෙත පැමිණීමට මඟ මතක ය එය දෙමංසල් තුංමංසල් පසු කර එන ගමනකි. ඇලීම් බැඳීම් හා එකතු වන ගමනකි. මාර්ග දේශකත්වය ඇත්තේ සම්මා සම්බුදුවරුන්ට පමණ ය. ‘මුහුත්තං පුතෝ ගච්ඡං ද්වී පදෝ දස්සත’ ටිකක් දුර යන විට දෙමංසන්ධියක් දකී. එය වම අතට ඇති මඟකි අංග අටක් ඇති එම මිථ්‍යා මඟ නො යා යුතු ය. ‘දික්ඛිං මග්ගෝ හෝති – අරියට්ඨිංහිකං මග්ගං’ අංග අටකින් යුත් සම්‍යක් මඟ ප්‍රතිපදා මඟ දකුණට ඇති මාර්ගය යි. අපායට යන අට මඟ වම යි. සුගති නිවනට යන මඟ දකුණු මඟයි. අගාදය වෙත ඇදෙන දිවියට සුගතිගාමී වීමේ ඉඩ හසර තවමත් විවෘතව පවතී. පහන් සිතිවිල්ලෙන් දැහැමි පිළිවෙතින් භාවනා අභ්‍යාසයෙන් සමාධී ගත වන සිතින් විදර්සනා වඩමින් ප්‍රඥාලෝකය දකිමින් සදාතනික සුව දායක නිවන් කෙම් බිමට පිවිසිය හැකි ය. වාහල්කඩින් ඇතුල් වන විටත් පිටතට එන විටත් සිතේ ඇදුණු නාම පුවරුව හදේ කොණක තැන්පත් වී තිබෙන සෙයකි. එහි ලියැවී තිබෙන්නේ කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය කියා ය. |
|||
©
2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම |