Print this Article


ධම්මපදට්ඨ කතා - 17

ස්වාමීනී, මාගේ පාවාඩය මතින් නොවැඩියේ මන් ද?

බුදු හිමියන් අසළ එකත්පස්ව හිඳගත් බෝධිරාජ කුමාරයා තෙවරක් ම ඔබ වහන්සේ සරණ ගිය මාගේ පාවාඩ වස්ත්‍රය මතින් නොවැඩියේ ඇයිදැයි ප්‍රශ්න කළේ ය. ඔබගේ සිතෙහි පැවැති ප්‍රාර්ථනාව ඉටු නොවන බැවිනියි. බුදුහිමියෝ වදාළහ

රාජ කුමාරයෙකු හට ලොව ඇති ලස්සනම මැඳුරෙහි ජීවත්වීමේ ආශාවක් ඇති විය. ඒ කුමාරයා නම් බෝධිරාජ කුමාරයායි. මේ කුමරාට වුවමනා වූයේ අහසෙහි පියාඹන ගුරුලෙකුගේ ආකාරයේ සැලැසුමකින් යුතු නව මැඳුරක් තනවා ගැනීමයි. ඒ සඳහා එදා ලොව සිටි දක්‍ෂතම නිර්මාණ ශිල්පියා ගෙන්වා තම අවශ්‍යතාව කියා සිටියේ ය. රජුගේ අවශ්‍යතාවට ගැළපෙන සේ මෙම නිර්මාණ ශිල්පියා අපූරු මැදුරක් තැනීය. එහි නම ‘කොකනද’ නම් විය. මේ හා සමාන වෙනත් මැඳුරක් මුළු රාජ්‍යයේම නොවූයෙන්, රජතුමා නිර්මාණකරුවා ගෙන්වා මීට පෙර මෙවැනි මැඳුරක් කොහි හෝ ඉදි කළාදැයි විමසීය. ඔහු කියා සිටියේ මේ මෙලෙස තැනූ පළමු මැඳුර බවයි.

රජතුමා කල්පනා කළේ මොහු මෙවැනි මැඳුරක් නැවත කොහි හෝ නිර්මාණය කළහොත් තමාගේ මැදුර දෙවෙනි වන බවයි. එබැවින්, වෙනත් මැදුරක් තනන්නට ඉඩ නොතබා මොහු හොර රහසේම මරා දමන්නට කල්පනා කළ බෝධිරාජ කුමාරයා මේ රහස රජ පවුලේම මිත්‍රයෙකු වූ සඤ්ජිකා පුත්ත නමැති කුමාරයෙකු හට සැල කළේ ය. තම යහළුවාගේ දුෂ්ට තීරණයට එකඟ නොවූ සඤ්ජිකා පුත්ත මෙම දක්‍ෂ නිර්මාණකරුවා ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් ඔහුට මෙවැනි විපතක් ඇති බව රහසින් කියා සිටියේ ය.

රජුට හොඳ පාඩමක් උගන්වන්නට සිතූ නිර්මාණ ශිල්පියා කොකනඳ මැඳුරේ වැඩ අවසන් කිරීමට තවත් බොහෝ දේ කළ යුතු බවක් කියා සිටියේ ය. ඒ සඳහා කවරක් අවශ්‍ය දැයි විමසූ විට අරටු නොමැති දැව තොගයක් ඉක්මනින් ලබා දෙන්නැයි ඉල්ලීය. අනතුරුව නිර්මාණකරුවා හට එම දැව සපයා දුන්නේ ය. නිර්මාණකරුවා රජතුමාට කීවේ මින්පසු තමා කරන සියුම් කැටයම් අවසන් වන තුරු කිසිවෙකු මැදුරට ඇතුළු නොවිය යුතු බවයි. තම බිරිඳ පමණක් තමාට අවශ්‍ය ආහාර රැගෙන ඒම කළ යුතු බවද කියා සිටියේ ය. රජ කුමරු ද එය පිළිගත්තේ ය. නිර්මාණකරුවා එම සැහැල්ලු දැව උපයෝගී කොට ගෙන නිවසේ උඩුමහලේ සිට අපූර්ව ගුරුලකුගේ ස්වරූප ඇති යානාවක් නිමැවීය. තමාගේ නිවසේ ඇති සියල්ල විකුණා රන් රිදී පමණක් රැගෙන දරුවන් ද රැගෙන මාලිගාවට එන්නැයි බිරිඳ දැන්වීය. ඇය ද එසේ කළා ය. කිසිවකුට ඇතුළු විය නොහැකි සේ ආරක්‍ෂක විධි විධාන යොදා තිබියදී නිර්මාණකරුවා අඹුදරුවන් ද ගුරුලු යානයේ නංවා කොකනඳ මැදුරේ උඩු මහලේ සිට බොහෝ ඈතට පියාසර කරමින් පලා ගියේ ය. රජුගේ උපක්‍රමය වැරදුණු අතර නිර්මාණකරුගේ උගුලෙහි රජු අසු වූයේ ය.

සියලු කටයුතු නිමවා තිබූ කොකනඳ මැඳුර බුදුහිමියන් ලවා ගෙවදින්නට තීරණය කළ බෝධිරාජ කුමාරයා ඒ සඳහා ආරාධනා කොට බුදුපාමොක් මහසඟන නිවසට වැඩමවා ගත්තේ ය. මැඳුර පහළ මාලයේ සිට පාවාඩයක් උඩුමහල දක්වා එලා තමන්ට අනාගතයෙහි දරු සම්පත් ලැබෙතොත් බුදුහිමියන් මේ පාවාඩය මතින් වඩිනු ඇතැයි ප්‍රාර්ථනාව ද තබා ගත්තේ ය. එය දැනගත් බුදුහිමියෝ පාවාඩය මතින් නොවැඩ බලා සිටි යහ. කිහිප වරක්ම ඇතුළට වඩින්නැයි ඉල්ලා සිටියද බුදුහු නොවැඩියහ. එවිට අනඳ තෙරණුවෝ මෙම පාවාඩය ඉවත් කරන්නැයි රජුගෙන් ඉල්ලූහ. රජු එය ඉවත් කළ බුදුහිමියෝ මැඳුර තුළට වැඩියහ. රජ පිරිස දානමානාදිය පිළිගැන්වූහ.

අවසන බුදුහිමියන් අසළ එකත්පස්ව හිඳගත් බෝධිරාජ කුමාරයා තෙවරක් ම ඔබ වහන්සේ සරණ ගිය මාගේ පාවාඩ වස්ත්‍රය මතින් නොවැඩියේ ඇයිදැයි ප්‍රශ්න කළේ ය. ඔබගේ සිතෙහි පැවැති ප්‍රාර්ථනාව ඉටු නොවන බැවිනියි. බුදුහිමියෝ වදාළහ. ඒ අනුව තමාට දරු සම්පත් අහිමි වූයේ කවර හේතුවක් නිසාදැයි කුමාරයා ප්‍රශ්න කළේ ය. පෙර භවයකදී ඇති වූ ප්‍රමාද දෝෂයක් නිසා බව වදාළ කල්හි එය පහදන්නැයි ද ඉල්ලී ය. බුදුහු අතීත කථාව වදාළහ.

පෙර භවයක මහ නැවකින් සයුර තරණය කරනාවිට නැව බිඳී ගිය කල්හි එක් පුරුෂයකු ඔහුගේ අඹුවද සමඟ පීනා ගොස් එක්තරා ගොඩබිමකට බට බවත්, එහි පක්‍ෂි සමූහයක් වාසය කළ බවත්, එහි වෙනත් ආහාරයක් නොතිබූ හෙයින් එම පක්‍ෂීන්ගේ බිජුවටත්, කුඩා පැටවුන් කා ජීවත් වූ බවත් දෙදෙනාට එකම කර්මය එකම විටෙක කළ බැවින් එහි විපාක ලෙස මේ භවයේ දරු සම්පත් නොලැබුණු බවත් පෙන්වා වදාළහ. ඒ අනුව ඥානවන්ත මනුෂ්‍යයන් විසින් ජීවිතයේ එළඹෙන ත්‍රිවිධ කාලයෙන් එනම් ළමා කාලය, තරුණ කාලය, මහලු කාලය, යන්නෙන් එක් කාලයක හෝ අප්‍රමාදීව වාසය කිරීමේ ආදීනව ද බුදුහිමියෝ මෙහිදී පෙන්වා වදාළහ.

යමෙක් තමාගේ ජීවිතයට ආදරය දක්වන්නාක් මෙන්ම තමාගේ ජීවිතය රකින්නාක් මෙන්ම අන්‍යයන්ගේ ජීවිතයට ද ආදරය කළ යුතු ය. ආරක්‍ෂා කළ යුතු ය. යම් ගමනස්ථයෙකු මහා ප්‍රාසාද තනා එහි මතු මහල් තලයෙහි වසන්නට කල්පනා කළ ද එහි ආරක්‍ෂාව නොමැති බවත් ආරක්‍ෂාව ඇත්තේ තමන් විසින් කරන ලද දාන ශීලා දී පුණ්‍ය ධර්ම වෙතින් ලබන කුසල මහිමයෙන් බවත් බුදුහිමියෝ බෝධිරාජ කුමාරයට දේශනා කළහ. දේශනාව කෙලවර බෝධිරාජ කුමාරයා සෝවාන් ඵලයට පැමිණියේ ය.

මහ මන්දිර මත – ඇවසි සුවය නැත
කළ පින් මහිමය – දිවිය රකිනු ඇත.


ධම්මපදට්ඨකථා 16 ආනන්දය , සීවලී තෙරණූවෝත් අප සමග ආවෙහි ද?