Print this Article


ජීවිතයයි සංසාරයයි

ජීවිතයයි සංසාරයයි

මරණය සුන්දර බවට කවුරුවත් ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් මරණය මහා භීතියට, මහා කනගාටුවට, විෂාදයට කළකිරීමට සහ ජීවිතය එපා කරවන තැනට එන මාතෘකාවක් ලෙස සිංහල බෞද්ධයෝ හිතුවේ නැහැ. “මරණය” කියන මාතෘකාව මහා භයංකර දෙයක්. මරණය යනු, ජීවිතයේ අතිශයින්ම කනගාටුදායකම අවස්ථාවකි.

එය කතා කිරීමට තරම්වත්,හොඳ මාතෘකාවක් නොවන භයංකර මාතෘකාවක් ලෙස කලුපාටින් වැසුවේ යුරෝපීය ජාතිකයන් ය. යුරෝපීයයා නොහොත් බටහිර වැසියා කල්පනා කරනු ලැබුවේ උපත ආරම්භය පැවැත්ම, මරණය යනුවෙනි. බෞද්ධයා උපත ආරම්භය ලෙසත් මරණය අවසානය ලෙසත් සැළකුවේ නැහැ. යුරෝපීයයා ශරීරය දෙස බලන විට බෞද්ධයා සංසාරය දෙස බලයි. යුරෝපීය දර්ශන නිර්මාණය වූයේ ශරීරය පදනම් කරගෙනයි. බෞද්ධයාගේ දර්ශන නිර්මාණය වූයේ සසර පදනම් කරගෙනයි. ශරීර විශාල ප්‍රමාණයක් එක සසරක් ලෙස සළකපු නිසා එක ශරීරයක් අලුත් දෙයක් ලෙසට බෞද්ධයා කල්පනා කළේ නැහැ.

නමුත් යුරෝපීයයා එක ශරීරයක් අලුත් දෙයක් ලෙස කල්පනා කළා. මරණින් මතු ජීවිතයක් පිළිබඳව කල්පනා කළේ නැහැ. බෞද්ධයාට ශරීර විශාල වශයෙන් තිබුණ නිසා එතරම් බරපතළ ලෙස සැළකුවේ නැහැ. මොකද? එක ශරීරයක් අතහැරීම යනු තවත් ශරීරයක් අල්ලා ගැනීමක් වන නිසා. මෙම සංසාරයෙහි, එබඳු දර්ශනයකින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බෞද්ධයා හෙවත් සිංහලයා මරණය දුටුවේ දුක්ඛිත භාවයට පත්වන කාරණාවකට වඩා පලදායි ලෙස අර්ථවක් ලෙස ජීවිතය විග්‍රහ කරන අවස්ථාවක් ලෙසය. ඉංගී‍්‍රසියෙන් මරණය ප්‍රකාශ කිරීම සඳහා මැරෙණවා, කලුරිය කරනවා, කල් ඉකුත් වනවා. යන වචන තුන භාවිතා කරනු ලබයි. මියයනවා, මැරෙනවා, පරලොව සැපත් වනවා. පරලෝකප්‍රාප්ත වනවා, අන්තරාවනවා, අභාවප්‍රාප්ත වනවා, නැතිවනවා. අපවත්වනවා. පිරිණිවන් පානවා, කාලක්‍රියා කරනවා. කලුරිය කරනවා, දිවංගත වනවා, ආදී වශයෙන් සිංහල බෞද්ධයා මරණය පිළිබඳව හිතපු ආකාරය පැහැදිලි වනවා. ඊජිප්තුවේ මීට අවුරුදු 4000 කට පෙර අවුරුදු 10 න් රජ වුන. අවුරුදු 19 න් මිය ගිය ටුටන් කාමන් රජතුමාගේ මිනිය තැන්පත් කිරීම සඳහා සාදා ඇති පිරමීඩය සඳහා මේසයක් තරම් විශාල ගල් 58000 ක් යොදාගෙන තිබෙනවා. නයිල් නදිය දිගේ කි.මී. 1000 ක පමණ දුරක සිට ගල් 58000 ක් රැගෙන විත් මෙම පිරමීඩය සෑදීමේදී කී දෙනෙක් මරණයට පත් වන්න ඇද්ද? පරිගණක තාක්‍ෂණය හෝ නූතන තාක්‍ෂණය නොතිබුණ අවධියක කෙතරම් මිනිස් ශ්‍රමයක් යොදාගෙන මිනිසුන් දහස් ගණනක් ජීවිත පූජා කරලා එක පිරමීඩයක් හදන්නේ මළමිනියක් තබා ගැනීමටයි. ශරීරය මළත් නොයන්න උත්සාහ කළේ එම කාලය තුළ මිනිසුන් මරණය පිළිබඳව හිතපු ආකාරයයි. සිය ගණනක් දාගැබ් හදාපු අප එකම චෛත්‍යයක වත් මළ මිනියක් තැන්පත් කරල නැහැ. මළමිණී තැන්පත් කිරීම සඳහා දාගැබ් හදල නැහැ. ශරීරය ඒ ආකාරයෙන්ම තබා ගත හැකි දෙයක් හෝ එසේ තබා ගත යුතු යැයි අප නොහිතපු නිසාම අපට මිනී හමුවන්නේ නැතිව සුසානය පමණක් හමුවනවා. ඊජිප්තුවට මහා ඉතිහාසයක් තිබුණත් ඔවුන් හිතුවේ ශරීරය තබා ගත යුතු දෙයක් ලෙසයි. එක ශරීරයක් තබා ගැනීම සඳහා ලක්‍ෂ ගණන් ශරීර විනාශ කරල තියෙනවා. බැණල, ගහල, තළල මරල ගොඩනගන ලද චෛත්‍ය බෞද්ධයන් ළඟ නැහැ.

චීනයේ මහාප්‍රාකාරය ගොඩනඟන අවස්ථාවේ දහස් ගණනක් මිනිසුන් මරණයට පත් වුණා. වහලුන්ගෙන් මැරෙන තෙක්ම වැඩ ගත්තා. ඊජිප්තුවේ පිරමීඩවල ස්වභාවයත් ඒ අකාරයමයි. නමුත් අපේ චෛත්‍ය එලෙස ගොඩනැඟුවේ නැහැ. මිනිස් ජීවිතයයි, සංසාරයයි පිළිබඳව හොඳ අවබෝධයක් අපට තිබුණ නිසා චෛත්‍ය එලෙස ගොඩනැඟුවේ නැහැ. මරණය පිළිබඳව ඒ ආකාරයට හිතමින් කල්පනා කරපු අප මරණය පිළිබඳව සොඳුරු අත්දැකීමක් ලබන්න වෑයම් කරපු ආකාරය එයින් පැහැදිලි වෙයි.

සටහන: හේමමාලා රන්දුනු