Print this Article


දඹදිව සියලු සිද්ධස්ථානයන් දැන් සුරක්‍ෂිතයි - උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමි


 - උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමි

විකල්ප මාර්ගයක් වශයෙන් බැංගලෝරය හරහා දඹදිව ගමන් මාර්ගයක් හඳුන්වා දෙන්නට ශ්‍රී ලංකන් ගුවන් සේවය මූලිකත්වයක් ගත්තා සේම, එම ගමන් මාර්ගය ආරම්භ කරමින් අස්ගිරි මහා නා හිමියන් වහන්සේ වැඩම කරවීමද මෙහිදී සිදු කෙරිණි. වඩාත් සුරක්‍ෂිත ගමන් මාර්ගයක් වන මෙම ගමන් මාර්ගය දඹදිව අනෙකුත් ගමන් මාර්ගයනට වඩා කරදර බාධා වලින් තොර පිරිසුදු එකක් වීමද විශේෂත්වයකි

“සුබෝ බුද්ධානං උප්පාදො” – බුදුවරුන් ලොව පහළවීම සැබැවින්ම සැපයකි. අප මහා බෝසතාණන් වහන්සේ, සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ පාරමී දම් පුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ උතුම් ම පුණ්‍ය භූමිය දඹදිව අසිරිමත් බුද්ධගයාවයි.

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී මෙන්ම අදත් මිත්‍යාදෘෂ්ඨීකයෝ මේ ලොව ඕනෑතරම් වෙසෙති. ඔවුන්ගේ අරමුණු පටු වන්නාසේම, සිතුම් පැතුම් ද කුහක වේ. මෙවන් සිත් පිත් නැති ම්ලේච්ඡ පිරිසක් විසින් පසුගිය ජූලි 07 වැනි දා ලෝකවාසී බොදු සැදැහැවතුන්ගේ හදවත් මහත් කම්පාවකට ලක් කරමින් බොදුනුවන්ගේ පරම පූජනීයතම සිද්ධස්ථානය වශයෙන් සැළකෙන උතුම් බුද්ධගයාවට ප්‍රහාරයක් එල්ල කෙරිණි.

අඥානයන්ගේ මෙම බියගුළු ප්‍රහාරයේ අරමුණ කවරක් වුවත්, බුද්ධගයා විහාර ගර්භයටවත්, අප තථාගතයාණන් වහන්සේ පිට දුන් උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේටවත් කිසිදු විපතක් හෝ අතුරු ආන්ත්‍රාවක් සිදු කරන්නට හැකියාවක් ඔවුනට නොලැබිණි. ප්‍රහාරය සැළසුම් කළා වූ බොළඳ මානසිකයන්ගේ අරමුණ සැබැවින්ම පුස්සක් බවට පත්විණි. මුළු බුද්ධගයා පරිශ්‍රයම අදටත් නිරුපද්‍රිතය.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව දඹදිව පුදබිම වන්දනාමාන කරගැනීම සඳහා ඉන්දියාවට යාමට සැදැහැවතුන් බොහෝ දෙනෙක් වරක් දෙවරක් නොව තවත් වරක් සිතා බලන්නට වූයේ ප්‍රහාරයෙන් ඇති වූ කම්පන තත්ත්වය හේතුවෙනි. එනිසාවෙන්ම ඔවුන් බියට පත්ව සිටිති.

මේ පිළිබඳව අවධානයක් යොමු කළ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය, උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රධාන ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් වටිනාපහ සෝමානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු විශේෂ දූත පිරිසක් පසුගියදා දඹදිවට වැඩම කළේ දඹදිව වන්දනාව සඳහා යන සැදැහැවතුන් වෙනුවෙන් නිසි ආරක්‍ෂාවක් සපයා දී ඇති ද? යන්න සොයා බැලීමටයි.

ඒ අනුව, පසුගිය පළමු වෙනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එන්. 171 දරන විශේෂිත ගුවන් යානයෙන් බැංගලෝරය හරහා දඹදිවට වැඩම කළ අස්ගිරි මහානාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මෙම විශේෂ දූත පිරිස, දඹදිව සිද්ධස්ථානයන් වෙත සපයා ඇති ආරක්‍ෂාව සම්බන්ධයෙන් සොයා බලන්නට වූහ.

තමිල්නාඩු ප්‍රාන්තය හරහා දඹදිව වන්දනාමාන කිරීම සඳහා ගමන් ගැනීමේදී ශ්‍රී ලාංකීය බොදු සැදැහැවතුන්ට විඳින්නට සිදු වන විවිධ කරදර, හිරිහැර හා බාධා මෙන්ම නොයෙකුත් ආකාරයේ කෙනෙහිළිකම් ද මෑතක පටන් වැඩි වශයෙන් සිදුවෙන්නට පටන්ගෙන තිබේ. මීට පිළියමක් වශයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරය හරහා දඹදිව සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට යනවා වෙනුවට වෙනත් විකල්ප මාර්ගයක් වශයෙන් බැංගලෝරය හරහා දඹදිව ගමන් මාර්ගයක් හඳුන්වා දෙන්නට ශ්‍රී ලංකන් ගුවන් සේවය මූලිකත්වයක් ගත්තා සේම, එම ගමන් මාර්ගය ආරම්භ කරමින් අස්ගිරි මහානාහිමියන් වහන්සේ වැඩම කරවීමද මෙහිදී සිදු කෙරිණි.

වඩාත් සුරක්‍ෂිත ගමන් මාර්ගයක් වන මෙම ගමන් මාර්ගය දඹදිව අනෙකුත් ගමන් මාර්ගයනට වඩා කරදර බාධා වලින් තොර පිරිසුදු එකක් වීමද විශේෂත්වයකි. බැංගලෝර බෞද්ධ විහාරස්ථාන වෙත වැඩම කළ අස්ගිරි මහානාහිමිපාණන් වහන්සේ ඇතුළු දූත පිරිස මහත් හරසරින් යුතුව බැංගලෝර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති ආනන්ද නාහිමියන් වහන්සේ විසින් පිළිගත් අතර, විහාරස්ථ දායක සභාව විසින් විශේෂ පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබිණි.


අස්ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමියන් සහ ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් වටිනාපහ සෝමානන්ද හිමියන් බැංගලෝර බෞද්ධ විහාරස්ථානයේ දී විශේෂ පිළිගැනීමකට ලක් වූ අයුරු.

බැංගලෝර විහාරස්ථාන පරිශ්‍රය නිරීක්‍ෂණය කළ අස්ගිරි මහානාහිමියන් වහන්සේ එම විහාරස්ථානයේ සංවිධානය කර තිබූ ආගමික වතාවත් සඳහා ද එක්වූහ. මහා සඝරත්නය විෂයෙහි පිරිනැමුවා වූ දහවල් දානමය පුණ්‍ය කර්මයටද එක් වූ උන්වහන්සේ බැංගලෝරය වෙත පැමිණි ගමනේදී තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා වූ විශේෂත්වය පිළිබඳව එහිදී කරුණු දැක්වූහ.

අනතුරුව නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත ද වැඩමකළ අස්ගිරි මහා නා හිමියන් ප්‍රධාන දූත පිරිස වෙත එහි ආරක්‍ෂක උපදේශක කපිතාන් සුජීව සෙනෙවිරත්න මහතා විසින් වත්මන් ආරක්‍ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කරුණු පහදා දෙන්නට විය.

ඒ අනුව, දඹදිව සිද්ධස්ථානයන් වෙත සපයා දී ඇති ආරක්‍ෂාව සම්බන්ධයෙන් නිරතුරුව සොයා බලමින් ඉන්දීය ආරක්‍ෂක අංශ සමගින් එක්ව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි ඒ මහතා සඳහන් කර සිටියේ. මෙතෙක් කලක් පෞද්ගලික ආරක්‍ෂක අංශ විසින් ලබා දී තිබූ ආරක්‍ෂාව වෙනුවට දඹදිව සෑම සිද්ධස්ථානයක් වෙතම රාජ්‍ය ආරක්‍ෂාව සපයා දී ඇති නිසා උපරිම ආරක්‍ෂාවක් ලැබී තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මහ කොමසාරිස් කාර්යාල නිලධාරි මඩුල්ල විසින් පිළියෙල කර තිබූ දහවල් දානමය පුණ්‍ය කර්මය සඳහා ද වැඩම කළ අස්ගිරි මහා නා හිමියන් ඉන් අනතුරුව බුද්ධගයාව බලා ගමන් ගත් සේක.

බිහාර් ප්‍රාන්තයේ පිහිටි බුද්ධගයා විහාරය, විශිෂ්ටත්වයෙන් පිරිපුන් අපූර්වතම නිර්මාණයකි. බැලු බැල්මටම මෙය හින්දු කෝවිලක අනුරුවක් මෙන් දිස් වුවද, මෙම ගර්භය වටා ඇත්තේ බුද්ධ රූප සහ බෞද්ධ දර්ශනය පාදක කරගත් ආකෘතීන්ය. අඩි 170 ක් තරම් උස් වූ මෙම ගර්භය කහ සහ දුඹුරු පැහැයෙන් දිස්වේ.

විහාරයේ පහළ අභ්‍යන්තරයේ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් යුක්ත රන්වන් පැහැයෙන් දිස්වෙන ශාන්ත බුදු පිළිමයකි. තරමක මද ආලෝකයක් පවතින මෙම බුදු කුටියෙහි ඇති භූමි ස්පර්ශ මුද්‍රාවෙන් යුත් පිළිම වහන්සේ වෙනත් තැනකදී දැක නැති තරම්ය. එතරම් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වූ මෙම පිළිම වහන්සේ තුළ ඇත්තේ මහා ගාම්භීරත්වයකි.


බුද්ධගයා පරිශ්‍රයේ දී විශේෂ ආශීර්වාදාත්මක පින්කමට සහභාගිවෙමින්...

විහාරය පසුපසට වන්නට සිදුහත් බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වජ්‍රාසනය දැක ගත හැකිවේ. උන්වහන්සේ වැඩ සිටි තැන අද වියනක් ද සහිතව කුඩා මණ්ඩපයක් තනවා එහි රන් ආලේපිත කර ආරක්‍ෂා කර තිබේ. ‘වීරදේව’ නමැති භික්‍ෂුවක් විසින් එදා මෙම වජ්‍රාසනය කරවන්නට ඇති බව ඉතිහාසයේ කියැවේ.

මීට වසර 10 කට පමණ පෙර මෙම ස්ථානය අසලටම ගොස් දැක බලා වජ්‍රාසනය මත නළල තබා වැඳ පුදා ගැනීමට අවස්ථාව සැළසී තිබුණත්, අද වන විට එම අවස්ථාව ලෝක වාසී බොදු සැදැහැවතුනට නොලැබී ඇත්තේ බුද්ධගයා විහාරයෙත්, වජ්‍රාසනයෙත්, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේත් ආරක්‍ෂා කර ගත යුතුව ඇති බැවිනි.

මෙම වජ්‍රාසනය අසලම ජය ශ්‍රී මහා බොධින් වහන්සේ වැඩ සිටිති. නිල්වන් බෝ පත්‍රයන් ලෙළදෙමින්, ඒ මේ අත විහිදෙන ඒ බෝපත්‍රයන් අතරින් ගලා එන සුවදායි සුළං රොද බුද්ධගයාව වන්දනා කරන්නට පැමිණෙන සුවහසක් උවසු උවැසියන්ට ගෙන දෙන්නේ නැවුම් වූ සිසිලසකි.

ව්‍යවහාරයේ පවතින අන්දමට මෙම බෝධින් වහන්සේ එදා සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේට බුද්ධත්වය පිණිස සෙවණත්, සිසිලසත් සළසා දුන් බෝධින් වහන්සේම නොවන්නේ අවස්ථා ගණනාවකදීම බෝධින් වහන්සේ අපවත් කරන්නට ඇතැමුන් ගත් අසාර්ථක උත්සාහයන් නිසාවෙනි.

චණ්ඩාශෝක රජතුමන් ධර්මාශෝක වූවාට පසු නිතර නිතර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත ගොස් උන්වහන්සේට බොහෝ සෙයින් සත්කාර කරන්නටත්, පුද පූජාවන් පවත්වන්නටත් වූ නිසා, තම දේවියටත් වඩා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා ඇල්මක් ගෞරවයක් දැක්වීම හේතුවෙන් මහත් කෝපයට පත් ධර්මාශෝක රජුගේ බිසව වූ තිෂ්‍යරක්‍ෂිතා, මඩු කටු ගස්වා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වරෙක විනාශයට පත් කර තිබේ.

එමෙන්ම ක්‍රි.ව. 600 දී පමණ ‘සසංක’ නම් වූ රජු විසින් ද ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ නැසීමට කටයුතු කළ අතර අතර, ක්‍රි.ව. 1875 දී මෙම ජය ශ්‍රී මහා බෝ සමිඳුන් විශාල කුණාටුවකට හසුවීමෙන් පසු විනාශයට පත්ව තිබේ. තවත් වරෙක අන්තවාදී ප්‍රහාරයකට ගොදුරුව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ විනාශ වූ බව ඉතිහාසයේ සඳහන්ය.

මේ ආකාරයෙන් කෙතරම් දරුණු ප්‍රහාරයන්ට මුහුණ දුන්නත්, බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය පිණිස සෙවණ සළසා දුන් මේ උතුම් බෝධින් වහන්සේ, ඒ සෑම අවස්ථාවකදීම යළි යළිත් දලුළා වැඩෙන්නට වූහ.

ජනප්‍රවාදයේ සඳහන් වන පරිදි අද වන විට බුද්ධගයාවේදී අපට අද දැක ගත හැකි මේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ 18 වෙනි සියවසේ දී ලංකාවේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර නමකින් රෝපණය කරන ලද්දක් බව ද කියැවේ.

බුද්ධගයාව වන්දනාමාන කරන්නට ලොව නන් දෙසින් පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත බොදු සැදැහැවතුන් පුරා පැය 24 රෙහිම තම තමන්ට ආවේණික වූ පුද පූජාවන් මෙහි පවත්වති. තම භක්තිය උපරිම අයුරින් බුද්ධගයාව වෙත පුද කිරීමට සැවොම එක්වෙති. එමෙන්ම මේ උතුම් බුද්ධ භුමියේ භාවනානුයෝගීව වැඩ වෙසෙන්නටත් අමතක කරන්නේ ද නැත. සමහරු රාත්‍රියේ දී ජය ශ්‍රී මහා බෝධි සමිඳුන් අසලටම විත් රැය පහන් වන තුරා සියලු භාවනාවන් මනාව වඩති.

බුද්ධගයාවට වැඩම කළ අස්ගිරි මහා නා හිමියන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස, බුද්ධගයා පින්බිම සතර අත ගමන් ගනිමින් එහි පවතින වත්මන් ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලන්නට වූහ.

මීට පෙර බුද්ධගයා පරිශ්‍රයට පිවිසෙන මාර්ගය දෙපස පිහිටි වෙළෙඳ සැල් සමූහය ඉන් ඉවත්කොට ඇති අතර,මාර්ගය අභියස සිටි යාචකයන් ද ඉවත් කර තිබේ. බුද්ධගයා භුමියට අනවසරයෙන් කිසිවෙකුටත් ඇතුල්විය නොහැකි පරිද්දෙන් විශාල තාප්පයක්ද ආරක්‍ෂාව පතා ඉදිකර ඇත. එමෙන්ම කිසිඳු සැදැහැවතෙකුට ජංගම දුරකථන කිසිවක් රැගෙන යා නොහැකි අතර, කැමරා උපකරණ වෙනුවෙන් ද වෙනම අවසරයක් ලබා ගත යුතුව ඇත.

පුදබිමට ඇතුල්වන සැම කෙනෙකුම විද්‍යුත් ආරක්‍ෂක උපකරණ මගින් දැඩි සෝදියකට ලක් කරන බැවින් අනවශ්‍ය කිසිවක් බුද්ධගයා පරිශ්‍රයට රැගෙන යාමට අවසර ලැබෙන්නේ නැත. එනිසාවෙන්ම ආරක්‍ෂාව සහතික වී තිබේ.

ඉන්දීය මධ්‍යම රජයේ හා බිහාර් ප්‍රාන්ත රජයේ පුර්ණ ආරක්‍ෂාව බුද්ධගයාව ඇතුළු සෙසු දඹදිව සිද්ධස්ථානයන් වෙත ලැබී ඇති අතර, බුද්ධගයාවේ ආරක්‍ෂාවට ඉන්දීය විශේෂ ආරක්‍ෂක සේනාවේ භටයන් 170 දෙනෙකුද නුදුරේදීම අනුයුක්ත කිරීමටත් නියමිතව ඇත.

මෙම හේතු කාරණා නිසා යළිත් වතාවක් අභාග්‍ය සම්පන්න ඉරණමක් බුද්ධගයාව ඇතුළු සෙසු දඹදිව සිද්ධස්ථානයන් වෙත අත්නොවනු ඇති අතර, දඹදිව වන්දනාවේ යන ශ්‍රී ලාංකේය සැදැහැවතුන් වෙනුවෙන් උපරිම ආරක්‍ෂාවක් ලැබී ඇති බව අස්ගිරි මහානාහිමිපාණන් වහන්සේ පවසති.

ආසියාවේ ආශ්චර්යය කරා රට ගමන් කරනු ලබන මේ අවස්ථාවේ දී ඒ වෙනුවෙන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා මෙන්ම,අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ට හා රටට දැයට සෙත් පතා විශේෂ ආශිර්වාදාත්මක බෝධි පූජාමය පින්කමක් ද බුද්ධගයා පරිශ්‍රයේ පිහිටි ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියසදී අස්ගිරි මහානාහිමියන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නය විසින් පැවැත්වූහ.

මහා කරුණා මහා සමාපත්තියෙන් පිරුණු තිලෝගුරු ආමා මැණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිත හා බැඳුණු ඒ පරම පූජනීය සිද්ධස්ථානයන් සැම මොහොතකම ලෝකවාසී බොදුනුවන්ගෙන් පිරී පවතී.

අසිරිමත් සම්බුද්ධ දේශයේ පින්වත් සිද්ධස්ථානයන් මෙත් සිත් පෙර දැරි දැසින් යුතුව දකිමින් දොහොත් මුදුන් දී වැඳ පුදා ගැනීම ම උපනූපන් ජාති ජාතිත් පින් ගෙන දෙන පුණ්‍යකර්මයක් ම වේ.