Print this Article


වස් විසීම සහ කඨින පූජාව

වස් විසීම සහ කඨින පූජාව

වෙනත් පූජාවන්හිදී පූජාව කරන ලද දායක පක්‍ෂයට ලැබෙන විශේෂ ආනිසංස ආදිය ඉහළින් දක්වා තිබේ. කඨින පූජාවේ වැදගත්කම නම් පූජාව කරන දායක පිරිසට මෙන්ම ලබන්නාවූ භික්‍ෂූන් වහන්සේට ද, විනය ශික්‍ෂා පද පහකින් ආරක්‍ෂා විය හැකි ආනිසංස ලබා ගැනීමට හැකි වීමයි.

පඤ්චානිසංස සහිතං
පංච දෝස විවජ්ජිතං
හන්ති වජ්ජංති සංඝස්ස
තස්මා කඨිනමුත්තමං
යැයි දැක්වෙන පරිදි

දෝෂ පහක් බැහැර කොට පංච ආනිසංසයන් ලබාදීමට සමත්වන නිසා කඨිනය උතුම් යැයි සඳහන් වේ

කරුණා සාගර වූ බුදුපියාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන සමයේදී, භික්‍ෂූන් වහන්සේලාට යම් යම් නීති රීති ශික්‍ෂා පද පැනවූයේ යම් යම් හේතු නිමිති ඉදිරිපත් වූ විටයි. මෙම වස් විසීම නියම කළේ ද මහජන උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙනුයි.

බුදුරජාණන් වහන්සේ පහළ වන යුගය වන විට දඹදිව සමාජයේ විවිධ ශ්‍රමණ, බ්‍රාහ්මණ, පැවිදි පිරිස් විවිධ දර්ශන ජන සමාජයට පෙන්වා දෙමින් කටයුතු කළ ආකාරය ඉතාම පැහැදිලිව, තත්කාලීන ඉතිහාසය හදාරන විට මැනවින් පෙනෙන්නට තිබේ. ඒ සමහර ඉගැන්වීම්වල තිබුණු යහපත් සිරිත් විරිත් බුදුරජාණන් වහන්සේත්, හොඳ යැයි අනුමත කොට භික්‍ෂූන් වහන්සේලාටත් එය විනය නීතියක් වශයෙන් අනුගමනය කරන්නට නියම කළ අවස්ථා කීපයක්ම ප්‍රතිමෝක්ෂයේ දක්නට ලැබේ.

වස් විසීමට නියම කිරීමත් එවැනි අවස්ථාවක්, බුදුදහම පහළ වූ මුල් යුගයේ භික්‍ෂූන් වහන්සේලාට වස් කාලය එක් තැනක සිටීමට නියමයක් නොතිබුණ නිසා වර්ෂයේ සෑම දිනකම චාරිකාවේ හැසිරෙමින් උන්වහන්සේලා මහජන සේවය සිදු කළහ. එහෙත් ජෛන වැනි ආගම්වල ශ්‍රමණයන්ට වස් කාලයේ එක් තැනකට වී සිටීමට නියමව තිබුණා. චාරිකාවේ යෑම තහනම් කර තිබුණා.

භික්‍ෂූන් වහන්සේලා වස් කාලයේදීත් චාරිකාවේ වඩිනු දුටු මහජනතාව දොස් කියන්නට පටන් ගත්තා. “වැසි කාලයේ පොළොවෙන් මතු වන සතුන් පවා පාගමින්, ලා තණ නිල්ල මඩිමින් මෙම ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් වූ භික්‍ෂූන් වහන්සේලා පිඬු සිගා වඩිනවා. චාරිකාවේ හැසිරෙනවා වැසි සමයෙහි කුරුල්ලන් පවා කූඩු සාදාගෙන සිටිනවා. එහෙත් මෙම භික්‍ෂූ පිරිසට එවැනි ශික්‍ෂණයක් නැහැ.” යනාදී කරුණු කියමින් භික්‍ෂූන් වහන්සේලා අප්‍රසාදයට පත් කළා.

භික්‍ෂූන් වහන්සේලාට මහජනතාවගේ අප්‍රසාදය වැටහුණා. මෙම කාරණය බුදුරජාණන් වහන්සේට දැන්වූ පසු බුදුරජාණන් වහන්සේ කරුණු සලකා බලා වස් කාලයෙහි එක් තැන්ව සිටීමෙහි ප්‍රයෝජන මහා කරුණාවෙන් යුතුව දේශනා කළා.

“අනුජානාමි භික්‍ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” යනුවෙන් මෙම ශික්‍ෂා පදය පනවමින් වැසි සමයේ වස් වසන්නට අනු දැන වදාළහ. එහෙත් ජෛන ආගමෙහි මෙන් තණකොළ පෑගීම ආදිය සලකා බලා නොවෙයි. අට මාසයක් ධර්ම චාරිකාවේ හැසිරෙන භික්‍ෂූන්ට වස් හාර මාසයෙහි එක් තැනක වැඩ විසීමෙන් ආධ්‍යාත්මික විමුක්තිය සලසා ගැනීමටත්, තමන්ට ඇප උපස්ථාන කරන ගිහි පින්වතුන්ගේ ගුණ ධර්ම වර්ධනයටත් මෙම කාලය බෙහෙවින්ම උපයෝගී කර ගැනීමට හේතු වන නිසයි වඩාත්ම මෙවැනි ශික්‍ෂා පදයක් පැනවීමට අදහස් කළේ.

වස් විසීමේ ශික්‍ෂා පදය පැනවූ පසු වස් විසිය යුත්තේ කවදාද? වස් එළඹීමට දින කීයක් තිබේද? යන ගැටලු මතුවීම නිසා පෙරවස් එළඹීම, පසුවස් එළඹීම යැයි වස් විසීම් දෙකක් ඇති බවත්, ගිම්හාන සෘතුවේ අටවැනි පෝය වූ ඇසළ මස පුර පසළොස්වක දිනයේ පෝය කොට පෙර වස් විසිය යුතු බවටත්, වස්සාන සෘතුවේ දෙවන පෝය වූ නිකිණි මස පුර පසළොස්වක දිනයේ පෝය කොට අවපෑළවිය දිනයෙහි පසුවස් එළඹිය යුතු බවටත්, කරුණු පෙන්වා දුන් සේක.

මෙම දින දෙකෙන් එක් දිනකදී වස් නොවිසූ භික්‍ෂුවට “දුක්කටා පත්ති” නම් ඇවත සිදුවන බවද, ප්‍රඥප්තියකින් පැහැදිලි කර දුන්හ. වස් විසීම පිළිබඳ ස්ථාන, වස් විසූ ස්ථානයෙන් පිටත්ව යෑමට ඇති අවස්ථා එවැනි පිටතට ගිය විට ආපසු පැමිණිය යුතු දින ගණන ආදිය පිළිබඳ විශේෂයෙන් වස් විසූ භික්‍ෂූව සිහියෙන් යුතුව කටයුතු කොට වස්සාන සෘතුවේ හයවැනි පෝය දිනයෙහි පවාරණය නමැති විනය කර්මය සිදු කර ගැනීමෙන් කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් ලබන්නේ ය. පෙර වස් විසූ භික්‍ෂුවට මිස පසු වස් විසූ භික්‍ෂුවකට “කඨින” නමින් යුත් චීවරය ලැබීමට සුදුසුකම් නොලැබෙන්නේ ය.

කඨින පූජාව නියම කිරීමේ හේතු

දෙපොට සිවුර, තනිපොට සිවුර, අඳන සිවුර යන නම් වලින් යුතු තුන් සිවුර අධිෂ්ඨාන කොට පරිභෝග කරන භික්‍ෂූන් වහන්සේලාට එම තුන් සිවුරෙන් වෙන්ව එක් රාත්‍රියක් හෝ ගත කිරීමෙන් ප්‍රාතිමෝක්ෂයෙහි සඳහන් ‘නිස්සග්ගිය පාචිත්තිය’ නම් ඇවතකට පත්වීමට සිදුවේ. එබැවින් තුන් සිවුරු අධිෂ්ඨාන කොට සිවුරු පරිහරණය කරන භික්‍ෂූන් වහන්සේ තමන් යන සෑම තැනකටම මේ තුන් සිවුරු රැගෙන ගියහ. එය භික්‍ෂූන් වහන්සේට තරමක කරදරයක් බවට පත්වී තිබුණ බව පෙනේ.

වරක් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි කොසොල් රට පාවානුවර තෙචීවරික වූ ආරණ්‍යවාසී තිස් නමක් වූ භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දකිනු කැමැතිව සැවැත් නුවරට යෑමට පිටත් වූවත් සැවැත් නුවර ආසන්න වන විට වස් කාලය එළඹි නිසා උන්වහන්සේලා සාකේත නුවර වස් විසූහ. වස් වැස පවාරණය නිම වූ විගසම බුදුරජාණන් වහන්සේ දැක ගැනීමේ බලවත් ආශාව නිසා වැසි වැටෙද්දීම සැවැත් නුවර බලා පිටත් වූහ. එහෙත් තුන් මාසයක් පැවැති මහ වැසි නිසා මාර්ග අබලන්ව තිබිණි. තවමත් මද වැසිද පවතින නිසා මෙම භික්‍ෂු පිරිස මඩ තැවැරුණ, දියබේරෙන සිවුරු වලින් යුක්තව, ඉතාම අපහසුවෙන් ජේතවනාරාමයට ළඟා වූහ. තමන් බැහැ දැකීමට පැමිණි මෙම භික්‍ෂු පිරිස පත්වී ඇති කරදරය මැනවින් දුටු බුදුපියාණන් වහන්සේ තවත් අතිරේක සිවුරක් තිබුණේ නම් මඩ තැවරුණු සිවුර සෝදා ගන්නට හැකියාව ලැබෙන බවත්, යම් කාලයකට හෝ තුන් සිවුරෙන් වෙන්ව සිටීමේ ආනිසංස ආදියත් සලකා “අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්‍ඛුනං කඨිනං අත්‍ථරිතුං” යනුවෙන් වස් වසා නිමකොට පැවරූ භික්‍ෂුවට කඨිනයක් ඇතිරීමට සුදුසු බව අනුදැන වදාළහ.

කඨින පූජාවේ ආනිසංස

වෙනත් පූජාවන්හිදී පූජාව කරන ලද දායක පක්‍ෂයට ලැබෙන විශේෂ ආනිසංස ආදිය ඉහළින් දක්වා තිබේ. කඨින පූජාවේ වැදගත්කම නම් පූජාව කරන දායක පිරිසට මෙන්ම ලබන්නාවූ භික්‍ෂූන් වහන්සේට ද, විනය ශික්‍ෂා පද පහකින් ආරක්‍ෂා විය හැකි ආනිසංස ලබා ගැනීමට හැකි වීමයි.

පඤ්චානිසංස සහිතං - පංච දෝස විවජ්ජිතං
හන්ති වජ්ජංති සංඝස්ස - තස්මා කඨිනමුත්තමං

යැයි දැක්වෙන පරිදි දෝෂ පහක් බැහැර කොට පංච ආනිසංසයන් ලබාදීමට සමත්වන නිසා කඨිනය උතුම් යැයි සඳහන් වේ.

භික්‍ෂූන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂයෙහි පැනවූ ශික්‍ෂාපද උල්ලංඝනය කිරීමට විනයෙන් ඉඩක් නැත. එහෙත් කඨිනයක් ලැබූ භික්‍ෂුවකට කඨිනය ලැබූ දිනයෙහි සිට මැදින් පුර පොහොය දක්වා (පස් මාසයක්) බුද්ධාඥාව පරිදි ලැබෙන ආනිසංස පහ නිසා යම් යම් ශික්‍ෂා පදවලින් තාවකාලිකව නිදහස් වීමක් දක්වා ඇත. එම ආනිසංස නම්,

1. අනාමන්තචාරය
2. අසමාදානචාරය
3. ගණ භෝජනය
4. යාවදත්‍ථ චීවරය
5. යොචතත්‍ථ චිවරුප්පාදය යනුවෙනි.

(ඉතිරි කොටස ඔක්තෝබර් 26 වන දා පත්‍රයේ පළවේ)