Print this Article


මිනිසා හඳුනා ගැනීම හරිම දුෂ්කරයි

මිනිසා හඳුනා ගැනීම හරිම දුෂ්කරයි

අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර ලෙස අර්ථයමෙයයි. ‘මිනිසාගේ රූපය දෙස දැකීමෙන් පමණක්, ඔහු කවුද යන්න හඳුනා ගැනීමට නුපුළුවන. ඒ සඳහා සුළු කාලයක් වේලාවක් තුළ දැකීම කිසිසේත් ප්‍රමාණවත් නැහැ. මැනවින් සිල්වත්ව ගුණවත්ව ක්‍රියා කරන බව හඟවමින් නොයෙක් සිවුරු පිරිකරවලින් (ඇඳුම් පැළඳුම්වලින්) වෙස් මාරුකර ගත් උදවිය මේ ලෝකයේ කොතෙකුත් ජීවත් වෙනවා. ඇතුළත අපිරිසුදුයි. එහෙත් පිටතින් රුවට, ලස්සනට පෙනුමට සිටිනවා

සත්ත ජටිල සූත්‍රය අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබ ඇත්තේ සැවැත්නුවර මිගාරමාතුපාසාද නමින් හඳුන්වනු ලබන පූර්වාරාමයේ දී ය. එක් දවසක බුදුරජාණන් වහන්සේ එම ආරාමයෙහි සිව්දිසාවට ඇති දොරටු හතරෙන් නැඟෙනහිර දොරටුවෙන් පිටතට වැඩ මෙම මිගාරමාතු ප්‍රාසාදයෙන් විහාර මළුවට වැටෙන සෙවනැල්ලෙහි ආසනයක වැඩ සිටියා.

මේ අවස්ථාවෙහි කවදත් මේ වේලාවටම වගේ බුදුරදුන් හමු වීමට සුපුරුදු පරිදි එන කොසොල් මහරජතුමා ද පැමිණ බුදුරදුන්ට වැඳ නමස්කාර කර එකත්පසෙක හිඳ ගත්තා. මෙසේ බුදුරජාණන් වහන්සේ අසල එකත්පසෙක හිඳ රජතුමා පිළිසඳර කථාවෙහි යෙදෙන අතර ඒ අසලින් ජටිලයෝ (ජටාවක් හිස මුදුනෙහි බැඳ ගත්) හත් දෙනෙක් එක්වරම ගමන් කරනු රජතුමා දුටුවා. තවත් ටික වේලාවකින් නිඝණ්ඨයෝ සත් දෙනෙක් ද, තවත් ටික වේලාවකින් අචේලකයෝ (කිසිදු වස්ත්‍රයක් පැළඳ නැති) සත් දෙනෙක් ද, තවත් ටික වේලාවකින් ඒකසාඨකයෝ (එක සළුවක් පමණක් ශරීරයෙහි දවටා ගත්) සත් දෙනෙක් ද තවත් ටික වේලාවකින් පරිබ්‍රාජකයෝ (තැන තැන අරමුණක් නැතිව සැරිසරන) සත් දෙනෙක් ද වශයෙන් මෙලෙස තිස් පස් දෙනෙක් වූ හත් දෙනෙකු බැගින් කණ්ඩායම් පහක් මෙම ස්ථානය පසු කරමින් ගමන් ගත්තා. මේ අය කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ප්‍රතිපක්‍ෂ අය යි.

ඒ ඒ හැම ගමන් වාරයකදීම බුදුරජාණන් වහන්සේ සමඟ සතුටු සාමිචි කථාවෙහි යෙදී සිටින රජතුමා එක් වරම නැඟි සිට තමන් පැළඳ සිටි උතුරුසළුව ඒකාංශ කොට පෙරව ගරුසරු ඇතිව ඇඳිලි බැඳ දකුණු දණ බිම තබා ඔවුන් දෙසට වැඳ ඒ ඒ කණ්ඩායම් පහටම ‘ස්වාමිනි, මේ මම පසේනදී කොසොල් රජතුමායි. ස්වාමිනි, මේ මම පසේනදි කොසොල් රජතුමායි’ ඒ වාර පහේදීම තුන්වර බැගින් ප්‍රකාශ කළා. මෙසේ ඒ වාර පහේදීම මෙසේ කිවූ රජතුමා ඔවුන් සියලු දෙනා ඉකුත්ව ගිය පසු නැවතත් බුදුරජාණන් වහන්සේ අසලට පැමිණ බුදුරජාණන් වහන්සේට මේ ආකාරයෙන් ප්‍රකාශ කළා. “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, මෙසේ මෙතැනින් පස්වතාවකදීම ගමන් කළ හත්දෙනා බැගින් වූ කණ්ඩායම් පහටම අයත් පූජක පිරිස රහත් බවට පත් වූ පිරිසක්. එසේත් නැතිනම් රහත් මඟට යොමු වූ පිරිසක්” කියා.

මෙහි දී අපට ප්‍රශ්නයක් මතු වෙනවා. බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයන් වහන්සේ නමක් සමඟ සතුටු සාමිචියේ යෙදී සිටි රජතුමා මෙසේ ශරීරයෙහි වස්ත්‍රයක්වත් පැළඳ නොසිටි මෙවැනි පිරිස් දුටු පමණින් හුන් තැනින් නැගි සිට එවැනි පිරිසකට ගරු බුහුමන් දක්වන්නේ කුමක් නිසා ද? කියා. රජතුමා මේ අවස්ථාවෙහි එක්වරම කල්පනා කරන්නට ඇත්තේ මේ කණ්ඩායම් පහ තමන්ගේ ගිහි ගේ අඹුදරුවන් අතහැර දමා කටුක ආහාර පාන ආදියෙන් යැපෙමින් දුක් සහිතව ගමන් බිමන්, ඉඳුම් හිටුම්, නිදා ගැනීම් කරන මේ පිරිස ‘අප දුටු විට අපට මේ රජතුමා කිසිදු සැලකිල්ලක්වත් නොකෙරති’ යි තමන් පිළිබඳ ඔවුන්ගේ සිත් තුළ අමනාපයක්, අසන්තෝෂයක් ඇති වුවහොත් කිසිසේත් සුදුසු නොවෙයි. රජතුමා ගැන ඔවුන්ගේ සිතේ අප්‍රසාදයක් ඇති වේයැයි යන සිතිවිල්ල නිසා රජතුමා මේ ආකාරයෙන් ගරු බුහුමන් දක්වමින් ක්‍රියා කළ වගක් පෙනී යනවා. කෙසේ වුවත් රජතුමා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවක පිරිසත්, මෙම වැරදි මග ගත් මිත්‍යාදෘෂ්ටික පූජක පිරිසත් අතර වෙනසක් නොදුටු බවක් මෙම කථා පුවතින් ප්‍රකට වෙනවා.

මෙලෙස මේ රජුගේ මේ කියමන් අසාගෙන සිටි බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමා අමතා කරන දේශනයයි අපට මෙහිදී වැදගත් වන්නේ.

මේ අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ රජතුමාට ප්‍රකාශ කරනවා මෙන්න මේ ආකාරයෙන්, ‘මහරජතුමනි, ඔබ වැන්නවුන්ට පුද්ගලයන් තේරුම් ගැනීමට හැකියාවක් නැහැ. ඔබ වැනි පස්කම් සුවය විඳින, ඉඳුරන් පිනවන, අඹුදරුවන් නිසා ඇති නොයෙක් ගැටලු මැද ජීවත්වන, සුවඳ කැවූ මිහිරියි කියා සිතන ඇඳුම් පැළඳුම්, මල්මාලා සැරසිලි සුවඳ විලවුන් දරන රන්රිදී, මසු කහවනු කෙරෙහි ලොල් වී එවැනි ආභරණ සැරසිලි ලෙස අඳින පළඳින අයට කවුද රහත්, කවුද මගපල පසක් කර ගත්තෝ කියා දැනුම් තේරුම් ඇති කර ගැනීම හරිම දුෂ්කර වැඩක්. එවැනි ඔබට රජතුමනි, කෙනෙකුගේ සිල්වත් ගුණවත් බව, හොඳ නරක තේරුම් ගැනීම ලෙහෙසි පහසු වැඩක් නොවේ, වශයෙන් බුදුරජාණන් වහන්සේ කොසොල් මහරජතුමා අරමුණ කොට ජීවත් වන අප හැම දෙනාටම පුද්ගලයා හරිද වැරදිද? හොඳද? නරකද? යන මේ ආකාරයෙන් අවබෝධ කර ගැනීමේ දුෂ්කරතාව පැහැදිලි කර දුන්නා. මෙහිදී බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙකුගේ සුසිල්වත් බව, පිරිසුදු බව, වීර්යවන්ත බව, ඥානවන්ත බව යන මේ ගුණාංග මැනීමේ තිබෙන දුෂ්කරතාව පැහැදිලි කර දුන්නා. මෙවැනි ගුණාංගවලින් සම්පූර්ණ වූ පුද්ගලයා තමයි රහතන් වහන්සේ හෝ ඒ රහත් මඟට යොමු වූ පුද්ගලයා ලෙස බුදුරජාණන් වහන්සේ විසින් තේරුම් කරනු ලබන්නේ.

එක්ව වාසය කිරීම

අයෙකු සිල්වත් ද යන්න තීරණය කිරීමට පියවර කීපයක් පසු කළයුතු වෙනවා. පළමු වැනි පියවර තමා ඒ පුද්ගලයා සමඟ ළඟ ඇසුරක් ඇතුව ක්‍රියා කිරීම. එහෙමත් නැතිනම් ඒ පුද්ගලයා සමග දීර්ඝ කාලයක් එක්ව වාසය කිරීම (සංවාස) . එසේ වුවද එය බොහොම බුද්ධිමත්ව කළයුතු කාර්යයක් වෙනවා. ඒ ඇසුර තුළ තමන් ඔහු ගැන නිරන්තරයෙන් සිහියෙන් යුතුව විමසිලිමත්ව කටයුතු කළ යුතු වෙනවා. මෙම නිරන්තරයෙන් විමසිල්ලෙන් මෙනෙහි කිරීමේ කාර්යයෙහිදී සුළු කලකින් මෙය නිමා කළ හැකි දෙයක් ද නොවේ. දීර්ඝ කාලයක් ඊට මිඩංගු කළයුතු වෙනවා. අප සමාජයේ ජීවත් වන විට මෙම කාරණය අතිශයින් වැදගත් වන දෙයකි. ඒ කුමක් නිසාද කියනවා නම් අද සමාජයේ බොහෝ දෙනෙක් ඉතා කෙටි දැකීමකින්, ඇසුරකින්, වචන කීපයක් කතා කර දැන හැඳුනුම්කම් ඇති කර ගත් පමණින් යම් යම් අය පිළිබඳ අතිශය විශ්වාසවන්ත බවක් ඇති කර ගෙන තීන්දු තීරණවලට බැස විවිධ දුෂ්කරතා අත්විඳිමින් මහත් වූ විපත්තිකර තත්ත්වයන්ට මුහුණ දෙනවා.

අද අපේ සමාජයේ සිදු වන බොහෝ තරුණ තරුණියන් ඇති කර ගන්නා ප්‍රේම සම්බන්ධකම් මෙයට බහුල ලෙස නිදර්ශන සපයනවා. නොයෙක් විපත්තිකර තත්ත්වයන්ට එවැනි අය පත් වී තිබෙනු දිනපතා පුවත්පත් මඟින් හෙළිදරව් වෙනවා. එක්වරම බැලූ බැල්මට මෙවැනි තත්ත්වයන්ට හේතු ඉතා පැහැදිලි ය. ඉඳුරන් පිනවීම ඉදිරියට ගොස් කාමභෝගී ජීවිතයට යොමුවන ආකාරය මෙයට පැහැදිලිව හේතු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කොසොල් මහරජතුමාට පැහැදිලි කළෙත් මේ හේතු උඩ පුද්ගලයන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අවදානමයි. එපමණක් නොවේ අද සමාජයේ සිල්වත් බව කෙටි හැඳිනීමකින් තීරණය කර විශාල වශයෙන් රහතන් වහන්සේලා යයි සිතා තම ආසන්න ගමේ වෙහෙර විහාරවලින් දුරස්ථ වෙලා ඇත. දුර බැහැර එම රහතන් වහන්සේලා යයි සිතන පිරිස් වාසය කරන තැන් සොයා යාමේ ප්‍රවණතාවකුත් සමාජයේ උත්සන්න වෙමින් පවතිනවා. මේ නිසා ගමේ විහාරස්ථානය කෙරෙන් මහජනතාව පදනම් විරහිතව දුරස්ථ වී ගොස් එම පැරණි විහාරස්ථාන පවා පාළු තත්ත්වයට පත් කරනවා. මේ අතර එවැනි සිල්වතුන් රහතුන් ලෙස පෙනී සිටියවුන්ගේ සැබෑ ස්වරූපය හෙළි වූ අවස්ථා ද දක්නට අසන්නට ලැබෙනවා. මෙයට හේතුව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට දීර්ඝ කාලයක් තුළ විමසීමකින් තොරව ඤාණවන්තව, බුද්ධමත්ව ක්‍රියා නොකිරීම බව පැහැදිලි වෙනවා.

කතාබහ

මේ ආකාරයෙන්ම පුද්ගලයෙකුගේ පිරිසුදු බව හෙවත් නිවැරැදි බව, අවංක බව, සෘජු බව තේරුම් ගැනීමට නම් ඔහුගේ කථා ව්‍යවහාරය (සංවොහාර) නිරන්තරයෙන් විමසීමට ලක්කළ යුතු ය. කෙනෙකු කරන කතා බහ දෙස විමසා බලනවිට ඇතැමෙක් කෙනෙකුගේ ඉදිරියේ කරන කතාබහ ඒ තැනැත්තාම වෙනත් තැනක ඊට වෙනස් ආකාරයෙන් කතා කරනවා.

මෙය ව්‍යාජ තත්ත්වයකි. මේ නිසා කෙනෙකුගේ කතා ව්‍යවහාරය ඔහුගේ අභ්‍යන්තරය පිළිබඳ කැඩපතක් හා සමාන වෙනවා. ඒ නිසා එම කතා ව්‍යවහාරයන් වුවද විමසා බැලීමට දීර්ඝ කාලයක් ගත වනවා. කෙටි කාලයකින් එය නිමා කොට පිරිසුදු බව තීරණය කළ නොහැකිය. මෙම පිරිසුදු බව පිළිබඳ මූලික ලක්‍ෂණය වන්නේ ආත්මාර්ථයෙන් හෙවත් තමන් ගැන (අත්තට්ඨ පඤ්ඤා අසූචි මනුස්සා) පමණක් සිතා ක්‍රියා කිරීමෙන් වැළකීමයි. මෙහිදී පොදු යහපත ප්‍රධාන වන්නේ ය. යම් අයෙකු කිසියම් කටයුත්තකදී තමාගේ පංගුව, ගොඩ, කොටස ගැන පමණක් කල්පනා කරමින් අනුන් ගැන නොසිතා එහෙත් එසේ අනුන් ගැන සිතා ක්‍රියා කරන බව ව්‍යාජ ලෙස පෙන්වා දෙමින් ක්‍රියා කරන්නේ නම් ඔහු අතිශයින් අපිරිසුදු අයෙක්. ඔහුගේ සිත නිරන්තරයෙන් ඉඳුරන් පිනවීම අරමුණු කරගත් කාමභෝගී සිතිවිලිවලින් බැඳී තිබෙන බවත් පෙනී යනවා.

උත්සාහය

මේ ආකාරයෙන්ම පුද්ගලයාගේ ශ්‍රේෂ්ඨත්වයට ඉවහල් කර ගතයුතු තවත් ගුණාංගයක් වන්නේ ඉහත කී වීර්යවන්ත භාවය යි (ථාමො). උත්සාහයෙන්, වීර්යයෙන් යුතුව කිසියම් අරමුණක් කරා ගමන් කිරීමේ ශක්තිය ඔහුගේ බාහිර ශරීරයේ හෝ පෙනුමේ ස්වරූපයෙන් මැනිය හැකි දෙයක් නොවේ. පුද්ගලයා ඉදිරියට එන අභියෝග, එසේත් නැතිනම් විපත් හමුවෙහි දී ඊට මුහුණ දෙන ආකාරය අනුව ඔහුගේ උත්සාහය, වීර්යය කෙබඳු ද? යන්න තීරණය කළ යුතු ය.

එම අභියෝගයට, ගැටලුවට මුහුණ දෙන්නේ විසඳුම් දෙන්නේ නිවැරැදි පිළිවෙතක් එසේත් නොවේ නම් තමන්ටත් අනුන්ටත් අහිතකර ආකාරයෙන් නොව හිතකර ආකාරයෙන්ම විය යුතු වෙනවා. මෙය තවදුරටත් පරමාර්ථ වශයෙන් ගත්විට සම්මා ව්‍යායාමයක්ම විය යුතු බවයි. එහෙත් අද දවසේ සමාජයේ ජීවත්වන බොහෝ අය කිසියම් ප්‍රශ්නයකට, ගැටලුවකට, විපතකට මුහුණ දෙන ආකාරයත් ඒවාට විසඳුම් සොයන ආකාරයත් දෙස බැලුවහොත් එවැන්න ඔහුට මෙන්ම මුළුමහත් සමාජයටත් කෙතෙක් දුරට අහිතකර මෙන්ම භයානක විපත් ගෙන දෙන්නේ ද යන්න අමුතුවෙන් කිව යුතු නැහැ.

නැණවත් බව

එමෙන්ම පුද්ගලයා ඥානවන්තව, බුද්ධිමත්ව ක්‍රියා කරන අයෙක් ද? යන මේ කරුණ ද එවැනි මැනිය යුතු තවත් ගුණාංගයකි. මෙහිදී වැදගත් දෙයක් වන්නේ අප විසින් ඥානවන්ත යයි අදහන විශ්වාස කරන පුද්ගලයා සමග කරනු ලබන නිරන්තර සාකච්ඡාව (සාකච්ඡා) යි. හිස් මෝඩ පුද්ගලයා සමඟ කරන සාකච්ඡාව කාලය විනාශ කර දමන්නකි. අත්දැකීම් රහිත යම් පුද්ගලයෙකු සමඟ කරන සාකච්ඡාව තුළින් යම් යම් තීරණවලට බැසීමෙන් අහිතකර භයානක විපත් ඇති කරයි. ඒ නිසාම මෙම සාකච්ඡාව වුවද දීර්ඝ කාලයක් තුළ අතිශය විමසීමෙන් හා සිහිය පිහිටුවාගෙන කරන සාකච්ඡාවක් ම විය යුතු බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කර දුන්නා. ඒ තුළින් නිවැරැදි සරණයකට බැස ගැනීමේ ශක්තිය තිබෙනවා මෙන්ම එය තමන්ටත්, අනුන්ටත්, මෙලොවටත්, පරලොවටත් හිතකර වෙනවා.

බාහිර පෙනුම මායාවක්

අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර ලෙස අර්ථය මෙයයි. ‘මිනිසාගේ රූපය දෙස දැකීමෙන් පමණක්, ඔහු කවුද යන්න හඳුනා ගැනීමට නුපුළුවන. ඒ සඳහා සුළු කාලයක් වේලාවක් තුළ දැකීම කිසිසේත් ප්‍රමාණවත් නැහැ. මැනවින් සිල්වත්ව ගුණවත්ව ක්‍රියා කරන බව හඟවමින් නොයෙක් සිවුරු පිරිකරවලින් (ඇඳුම් පැළඳුම්වලින්) වෙස් මාරුකර ගත් උදවිය මේ ලෝකයේ කොතෙකුත් ජීවත් වෙනවා. ඇතුළත අපිරිසුදුයි. එහෙත් පිටතින් රුවට, ලස්සනට පෙනුමට සිටිනවා. රත්රන් නිමවන ආභරණ මැටිවලින් නිමවා රන් ආලේප කර පැළඳ නියම රන් මුවා ආභරණ බව හඟවා ක්‍රියා කරනවා මෙන් ඇතුළත අපිරිසුදු පිටත ශෝභන මිනිස් සමූහ කොතෙකුත් සමාජය තුළ ජීවත්වන බව“ සිතා කටයුතු කිරීමේ වටිනාකම මෙසේ කොසොල් රජතුමාට පැහැදිලි කර දී වදාළා. මේ එදා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සනාතනික දහමක්.