ජීවිතයේ උතුම් ලාභය
අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික
මැදගම ධම්මානන්ද හිමි
අප සියලු දෙනා ම සැප විඳින්නට කැමැති ය. ( සුඛ කාමානි භූතානි ) නමුත්
ජීවිතය යනු මුලුමනින් ම සැපයෙන් පිරුණ දෙයක් නොවේ. අප අකැමැති වුවත්,
පසිඳුරන් ඇසුරෙන් සැප වේදනා මෙන් ම දුක් වේදනා ද අපට විඳින්නට සිදුවේ.
බුදුරදුන් දුක්ඛ සත්‍යය වශයෙන් පැහැදිලි කළේ අපට ජීවිතයේ විඳින්නට
සිදුවන දුක් වේදනා පිළිබඳවයි.
බාල, තරුණ, මහළු යන වයස් වෙනසකින් තොරව අප සැමදෙනා ම එදිනෙදා ජීවිතයේ
මුහුණ පාන දුකක් වන්නේ නොයෙකුත් රෝගාබාධවලට ගොදුරුවීම යි. කවර මොහොතක
වුව ද අපට රෝ, දුක් වැළඳෙන්නට ඉඩ ඇත. වාතය, පිත හා සෙම් කෝපය, කාලගුණය
වෙනස්වීම, වැරැදි ජීවන රටාව, අන් අයගේ උපක්‍රම, හදිසි අනතුරු හා කර්ම
විපාක හේතුවෙන් මිනිසුන්ට විවිධාකාර රෝගාබාධ වැළඳෙයි. රෝගියකුට ඇතිවන
වේදනාව කායික හා චේතසික යනුවෙන් දෙආකාර වෙයි. ශාරීරික වේදනාව ඉවසා
දරාගන්නට නොහැකි වූ විට මානසික වේදනාව හටගනියි. එය ඊතල දෙකකින් එකවර
විදිින්නාක් වැනි යැ යි සංයුත්ත නිකායේ සඳහන් වෙයි. රෝගීන් තුන්
වර්ගයක් ගැන අංගුත්තර නිකායේ දැක්වෙයි. 1. වෛද්‍ය ප්‍රතිකාර තිබුණත්
සුවය නොලබන රෝගීහු 2. වෛද්‍ය ප්‍රතිකාර නොතිබුණත් සුවය ලබන රෝගීහු 3.
වෛද්‍ය ප්‍රතිකාරවලින් හා උපස්ථානයෙන් සුවය ලබන රෝගීහු යනුවෙනි. රෝගීන්
අඩක් පමණ වේදනා විඳීන්නේ කායික නොව මානසික රෝගාබාධවලිනි. බුදු දහමෙහි
සඳහන් පරිදි ජීවිතයේ උතුම් ලාභය නිරෝගීකමයි ( ආරෝග්‍ය පරමා ලාභා )
සත්හට වන බව දුකට වෙදාණන්
ජීවිතයේ සියලු දුක්වලින් සදාකාලිකව මිදෙන හැටි දුක්ඛ නිරෝධ මාර්ගය
වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. බුදුරදුන් සසර බව දුක්වලින්
මිදීම සඳහා පිහිට වන වෙදැදුරෙකි. “ සත්හට වන බව දුකට වෙදාණන්” යනුවෙන්
ලෝවැඩ සඟරාවේ සඳහන් වන්නේ එබැවිනි. කෙලෙස් නිසා මිනිස් සිත් සතන් තුළ
ඇතිවන විවිධ ආබාධවලට වෙදකම් කළත්. කායික රෝගාබාධ සඳහා වෙදකම් කරන්නට
බුදුරදුන්ට නොහැක. එය බුදුවරයකුගේ කාර්යය ද නොවේ. එසේ වුව ද, රෝගාබාධ
සුවපත් නොවන්නට බලපාන හේතු සහ රෝගයක් ඉක්මනින් සුවපත් කර ගැනීම සඳහා
රෝගියකු විසින් අනුගමනය කළයුතු පිළිවෙත් පිළිබඳව උන්වහන්සේ අංගුත්තර
නිකායේ ගිලාන සූත්‍රයෙහි පැහැදිලි කර දී තිබේ. රෝගියා තම රෝගය ගැන
සැලකිලිමත් නොවුණොත්, ඔහුට උපස්ථාන කිරීම අමාරුය. ඔහුගේ රෝග සුවපත්
නොවීමට බලපාන හේතු පහකි.
1. රෝගයට අගුණ ආහාර වැළඳීම
2. ගුණදායක ආහාර වුව ද ප්‍රමාණය ඉක්මවා වැළඳීම
3. රෝග නිවාරණයට සුදුසු බෙහෙත් නොගැනීම
4. රෝගයේ අඩු වැඩි බව පිළිබඳව ලෙඩට උවටැන් කරන අයට නොකියා සැඟවීම
5. රෝගය නිසා ඇතිවන වේදනාවන් ඉවසීමට අසමත්වීම
ඉක්මනින් සුවය ලබා ගැනීම සඳහා රෝගියා විසින් කටයුතු කළයුතු ආකාරය ද
ගිලාන සූත්‍රයෙහි සඳහන් වෙයි.
1. රෝගය සුව වන අන්දමේ ආහාර වැළඳීම
2. ගුණදායක ආහාර වුව ද නිසි ප්‍රමාණය දැනගෙන වැළඳීම
3. රෝගය සුවවීමට හේතුවන බෙහෙත් නිසිපරිදි ගැනීම
4. රෝගයේ පවතින තත්ත්වය, අඩුවැඩි බව උවටැන් කරන අයට නොසඟවා පැවසීම.
5. රෝගයෙහි කටුක දුක් වේදනාවන් ඉවසා දරාගන්නට සමත්වීම
අංගුත්තර නිකායේ ගිලානුපට්ඨාක සූත්‍රයෙහි ගිලනුන්ට උවටැන් කරන්නකු තුළ
තිබිය යුතු ගුණාංග පහක් දැක්වෙයි.
1. රෝගියාට වුවමනා බෙහෙත් පිළියෙළ කිරීමට සමත් වීම
2. රෝගියාට ගුණාගුණ ආහාර ගැන දැන ගුණදායක දේවල් පමණක් දීම
3. ලාභයක් බලාපොරොත්තු නොවී මෙත් සිතින් ම උවටැන් කිරීම
4. රෝගියාගේ මලමුත්‍ර පිළිකුලෙන් තොරව බැහැර කිරීම
5. රෝගය සුවවීමට හේතුවන යහපත් ප්‍රිය කථා කීම
රෝගියකුට උපස්ථායක කිරීම සඳහා ගැලපෙන්නේ මෙවැනි ගුණාංගවලින් පිරිපුන්
පුද්ගලයන් පමණි. රෝගියකුට බෙහෙත් සැපයීම පමණක් නොව ඔහුට මානසික සුවයක්
ලබාදීමේ වැදගත්කම මෙම ගුණාංගවලින් පැහැදිලි වෙයි. රෝගියකුට වෙදකම මෙන්ම
හෙදකම ද වැදගත් ය. හෙද හෙදියන් මෛත්‍රිය හා කරුණාව පෙරදැරි කරගෙන
රෝගීන්ට උවටැන් කළයුතු යි. ලාභ ප්‍රයෝජන බලාගෙන වෙද හෙදකම් කිරීම
මිනිස්කමට නිගාවකි. (මෙත්තවිත්තෝ ගිලානං උපට්ඨාති නෝ ආමිසන්තරෝ ) නෑදෑ
හිතවතුන් රෝගී වූ අවස්ථාවල ඔවුන් බලන්නට යාම ඔවුන්ගේ මානසික සුවයට
හේතුවෙයි. එවිට තමන් තනිවී නොමැති බව රෝගියාට වැටහෙයි. රෝගයකින් පෙළෙන
තැනැත්තා කල් ගෙවන්නේ ජීවිතය ගැන කලකිරීමකිනි. ජීවිතයේ ස්වභාවය ගැන
පැහැදිලි කර දී ඔහුගේ සිත්තැවුල් දුරු කිරීම උපස්ථායකයාගේ වගකීමකි.
රෝගීන්ට උවටැන් කිරීමේ වටිනාකම බුදුරදුන් ආදර්ශයෙන් පෙන්වා දුන් අවස්ථා
ගණනාවක් ත්‍රිපිටකයේ දැක්වේ. පූතිගත්ත තෙරුන්ගේ කථාව ඒ අතර ඉතා ප්‍රකට
ය. යමෙක් ගිලනකුට උවටැන් කරයි නම්, හෙතෙම බුදුරදුන්ට උවටැන් කරන්නෙක්
යැ යි උන්වහන්සේ පැවසූහ. ගුරුවරයා ගිලන් වූ විට, රැක බලා ගැනීම
ශිෂ්‍යයාගේ වගකීමකි. එසේම අසනීපයෙන් පෙළෙන ශිෂ්‍යයාට උවටැන් කිරීම
ගුරුවරයාගේ වගකීමකි. කිසියම් භික්ෂුවකට පැවිදි ගුරුවරයකු හෝ ශිෂ්‍යයකු
නොමැති නම්, ඒ භික්ෂුවට සෙසු භික්ෂූන් උවටැන් කළයුතු ය. යනු විනය නියමය
යි.
දුක සැප විමසීම
දැඩි ලෙස ගිලන්ව සිටි වක්කලී තෙරුන්ගේ සැපදුක් විමසා බලන්නට චුන්ද සහ
සැරියුත් මහ තෙරවරු වැඩියහ. වේදනාව බලවත් ය. ඉවසිය නොහැකි ය. පිහියකින්
දිවි තොරකර ගන්නට සිතෙන බව වක්කලී හිමි පැවසීය. ආයුෂ්මතුනි, එසේ කරන්නට
නොසිතන්න. ඔබට පිඬු සිඟා යාමට නොහැකි නම්, මම ඔබට ආහාර ගෙනවුත් දෙමි.
උපස්ථායකයකු නොමැතිනම්, මම ඔබට උපස්ථාන කරමි. ජීවිතයේ සැබෑ තත්ත්වය ගැන
මෙනෙහි කොට දුක්වේදනා තුනී කරගන්න යැයි සැරියුත් තෙරණුවෝ පැවැසූහ.
වක්කලී තෙරණුවන් බුදුරදුන් දකින්නට කැමැත්තෙන් සිටින බව දැනගත්
බුදුරජාණන් වහන්සේ තෙරුන් සමීපයට ගොස් වක්කලී, ඔබට වේදනාව ඉවසිය හැකිද
? එය තදබලව දැනෙහි ද? යනුවෙන් විමසූහ. ස්වාමීනි, ඔබ වහන්සේ දකින්නට
ලැබීම මගේ සිතට සැනසීමක් යැයි තෙරණුවෝ පිළිතුරු දුන්හ. වක්කලි, යමෙක්
ධර්මය දකියි නම්, ඔහු ඒ ධර්මය තුළින් මා දකියි. එබැවින් ධර්මය අනුව
කටයුතු කරන්න යනුවෙන් බුදුහු උපදෙස් දුන්හ. රහත් තෙරවරුන් හා බුදුරදුන්
රෝගීන් කෙරෙහි ඉතා කරුණාවෙන් ඔවුන්ගේ දුක සැප බලන්නට ගිය අයුරුත්, ඒ
අයගේ සිත් සැනසූ අයුරුත් එම කථාවෙන් පැහැදිලි වෙයි.
අසනීපයෙන් සිටි අනේපිඬු සිටුවරයා තමන්ට වේදනාව දැඩිව දැනෙන බව සැරියුත්
තෙරණුවන්ට කී විට උන්වහන්සේ පැවසුවේ, ධාර්මික ජීවිතයක් ගත කළ ඔබ
ශාරීරික වේදනාව ගැන සිතමින් පසුතැවිලි නොවන්න. තෙරුවන් මෙනෙහි කරන්න
යනුවෙනි. ඒ උපදසේ අනුව ක්‍රියා කිරීමෙන් රෝග වේදනා නැති කරගත් සිටුවරයා
සතුටින් යහනෙන් නැඟිට තමන්ගේ ආහාරය තෙරුන්ට පිදුවේය. අනේපිඬු සිටුවරයා
අසනීපයෙන් සිටි අවස්ථාවක ඔහු බලන්නට වැඩිය ආනන්ද තෙරුන්ගෙන් බණ අසා
සෝවාන් ඵලයට පත් වූ බව සෝතාපත්ති සංයුත්තයේ සඳහන් වෙයි.
සමාජ සිරිත
ස්වාමියා හෝ බිරිඳ රෝගී වූ විට කරුණාවෙන් එකිනෙකාට ඇප උපස්ථාන කරගත
යුතු ය. අයහපත් ජීවිතයක් ගත කළ කෙනෙකු වුව ද, රෝගීව මරණාසන්න අවස්ථාවක
පසුවෙනවා නම්, ඔහුගේ යහපත් ක්‍රියාවන් සිහියට නැංවීම භික්ෂූන්ගේ
කාර්යයකි. මරණාසන්න ධර්මදේශනා මගින් සිදුකරන්නේ මතුභවය යහපත් කර ගැනීමට
මාර්ගය සැලසීමකි. එය බෞද්ධ සමාජයේ සිරිතකි.
රෝගාබාධවලින් පෙලුනත් අප කටයුතු කළයුත්තේ ජීවිතයේ සාරධර්ම නොනැසෙන ලෙස
ඉතා පරිස්සමෙනි. මජ්ජිම නිකායේ කථාවක දැක්වෙන පරිදි රෝගීව සිටි මවක්
හාවකුගේ මස් කෑමට වුවමනා බව පුතාට පවසයි. මවගේ ඉල්ලීම අනුව කටයුතු කළ
පුතා හාවකු සොයා ගත්තත් ඌ මැරීම පාපයක් බව කල්පනා කර සතා නිදහස් කරයි.
අනතුරුව තමාගේ ශීලයේ බලයෙන් අධිෂ්ඨාන කොට මවට සුවය ලබාදෙයි. එවැනි
හාස්කම් ගැන ද අපට සමාජයෙන් අසන්නට ලැබේ. මෙත්තානිසංස සූත්‍රයේ
දැක්වෙන්නේ මෙත් සිතිවිලි මනසේ පවතියි නම්, සර්පයන් දෂ්ඨ කිරීමෙන්
ජීවිත හානියක් නොවන බවයි. පිරිත් දේශනාවෙන් සිදුකෙරෙන්නේ ධර්මය වෙතට
මනස යොමු කරවීමෙන් වේදනා තුනීකර ගැනීමකි. බුදුරදුන් හා රහත් බව ලැබූ
උතුමන් ඒ ක්‍රමය අනුගමනය කළ බව බොජ්ඞංග සහ ගිරිමානන්ද සූත්‍රයෙන්
පැහැදිලි වෙයි. ඒ නිසා රෝගීව සිටින කෙනෙකුට පිරිත් අසන්නට සැලැස්වීම
ඉතා ප්‍රයෝජනවත් ය.
උපදේශනය හා මෝහනය මගින් රෝගීන් සුව කරන අවස්ථා දක්නට ඇත. එය දේව
හාස්කමකින් සිදුකරන දෙයක් බව කියා අන්‍යාගමිකයන් තම ආගමට බිලිබා ගන්නා
ආගමික කණ්ඩායම් ද ඇත. ඒවාට මුලා නොවිය යුතු ය. ඇතැම් වෛද්‍යවරු සුවයට
පත් නොකර මුදල් ඉපයීමේ අරමුණින් රෝගීන් දිගින් දිගට ම තමන් වෙතට
කැඳවති. එය ඉතා පහත් ක්‍රියාවකි. ධම්මපදයේ මුලින්ම සඳහන් වන චක්ඛුපාල
තෙරුන්ගේ කථාවට අනුව උන්වහන්සේ රහත් බව ලැබුවත්, ඇස් අන්ධ වුණේ වෙදකු
ලෙස ඉපදී සිටි පෙර භවයකදී ධනය උපයා ගැනීම සඳහා කෙනකුගේ ඇස් අන්ධ කිරීමේ
පාපකර්මය හේතුවෙනි. රෝගියකුගේ ප්‍රාණය පවතින තුරු කරුණාවෙන් ඔහු රැකබලා
ගැනීම වෙදකමේ හා හෙදකමේ යෙදෙන අයගේ වගකීමකි. |