Print this Article


පරිභෝජනය පිළිබඳ බෞද්ධ ප්‍රතිපදාව

පරිභෝජනය පිළිබඳ බෞද්ධ ප්‍රතිපදාව

බුදුසමයට අනුව පුද්ගලයෙකුගේ වටිනාකම තීරණය වන්නේ ඔහු හෝ ඇය භාවිත කරන භෞතික මෙවලම් මත නොවේ. ඔහු හෝ ඇය තුළ පිහිටා තිබෙන ආධ්‍යාත්මික වටිනාකම් මතය. ප්‍රමාණවත් ධනයක් තිබේ නම් සුවපහසු ජීවිතයක් ගත කිරීමට බුදුසමයට අනුව කිසිම තහනමක් නැත. උසස් භාණ්ඩ මෙන්ම වෙනත් දෑ පරිහරණය කිරීමට අවශ්‍ය ධන ශක්තිය තිබුණ පමණින්ම අහේතුකව ධනය වැය කිරීම බෞද්ධ පිළිවෙත නොවේ. තමන් තෝරාගන්නා කවර භාණ්ඩයක් හෝ වස්තුවක් වුවද එය තමන්ගේ සමාජ තත්ත්වයට සංස්කෘතියට හා ආර්ථිකයට ගැළපෙන දෙයක් විය යුතු යි.

උත්සාහයෙන් ධර්මානුකූලව සොයා සපයාගත් ධනය පරිභෝජනය කිරීමේ දී නුවණින් යුක්තව ක්‍රියා කළ යුතු වේ. යම් ධනයක් හෝ වස්තුවක් ඉපයීමට ගන්නා තරමේ මහන්සියක් හෝ වෙහෙසක් ධනය වැය කිරීම සඳහා අවශ්‍ය නොවේ. එය නිරුත්සාහකවම විනාශයට පත්විය හැකිය. බුදුසමය ධනය ඉපැයීමට ධාර්මික පිළිවෙතක් දක්වන අතරම එය වැය කිරීම පිණිසද ධර්මානුකූල පිළිවෙතක් හඳුන්වාදෙයි. මෙම පිළිවෙත කෙසේද? යන්න සංයුත්ත නිකායේ රාසිය සූත්‍රය, අංගුත්තර නිකායේ කාමභෝගී සූත්‍රය හා පත්තකම්ම සූත්‍ර මඟින් පැහැදිලි කෙරේ. මෙම ඉගැන්වීම් බෞද්ධයෙකුට පමණක් නොව අන්‍ය ආගමිකයෙකුට වුවද අනුගමනය කළ හැකි වේ. ධනය හෝ වෙනත් කවර වස්තුවක් වුවද පරිහරණය කිරීමේ දී නිසි දැක්මක් අවබෝධයක් ඇති කරගත යුතු වේ. මෙම දැක්ම පැහැදිලි කිරීම සඳහා රාසිය හා කාමභෝගී සූත්‍ර දෙකෙහි අගථිත, අමුච්ඡිත, අනජඣාපන්න, ආදිනව දස්සාවි, නිස්සරණපඤ්ඤ යනුවෙන් වචන පහක් ඉදිරිපත් කරයි. මෙම වචන මඟින් ඉදිරිපත් කෙරෙන්නේ කවරක්දැයි පැහැදිලි කර ගත් විට බෞද්ධ පරිභෝජන දර්ශනය පහසුවෙන් හඳුනාගත හැකි වේ.

“ගථිත” යනුවෙන් අදහස් කෙරෙන්නේ තමා පරිහරණය කෙරෙන ධනයට හෝ වස්තුවට නැතහොත් දේපළවලට තිබෙන දැඩි ලෙස ඇලීමයි. තමා සන්තක දේට දැඩිලෙස ඇලී ගැලී කටයුතු කරන පුද්ගලයා නොදැනීම අධිපරිභෝජනයෙහි යෙදේ. අධිපරිභෝජනය ගැටලු ඇතිකරන්නක් බව ගෝලීය වශයෙන් ද සාකච්ඡාවට භාජනය වෙමින් තිබේ. මෙම ගැටලු අතර එක් ප්‍රධාන ගැටලුවක් වන්නේ ගෝලීය වශයෙන් මිනිසා මුහුණ දෙන විවිධ කායික රෝගයන්ය. දියවැඩියාව, අධික රුධිරපීඩනය හා රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළයාම හා ස්ථුලතාව දැවෙන සෞඛ්‍ය ප්‍රශ්න බවට පත් වී තිබේ. ගිහි පැවිදි දෙපක්‍ෂයම ආහාර පාන සම්බන්ධයෙන් පමණ දැන (භොජනෙ මත්තඤ්ඤුතා) පරිභෝජනය කළයුතුය යන්න බුදුසමය දෙන උපදේශයයි. පාරිසරික සම්පත් විනාශ වීම කෙරෙහිද අධිපරිභෝජනය හේතුවන බව ගෝලීය වශයෙන් පිළිගත් කරුණකි. ඇතැම් ස්වාභාවික සම්පත් මිහිතලයෙන් අතුරුදහන්වෙමින් පවතී. මෙය අනාගත මිනිසාට මුහුණ දීමට සිදුවන ප්‍රබල අභියෝගයක් බව විද්‍යාඥයන් විසින් පෙන්වාදෙනු ලැබේ. මේ නිසා සම්පත් විනාශ නොකර පරිහරණය කිරීමේ ශික්‍ෂණය වර්තමාන සමාජයට පුහුණු කිරීම උදෙසා විවිධ වැඩසටහන් ඉදිරිපත්කරනු ලැබේ. යුරෝපීය රටවල ව්‍යාප්තව තිබෙන කොළ බුද්ධාගම එවැනි එක් සංවිධානයකි. (Green Buddhism) බුදුසමයේ ඉගැන්වෙන පාරිසරික ප්‍රතිපත්තිය මෙම සංවිධානය විසින් ලෝකයට පැහැදිලි කරන අතර ලෝක ප්‍රජාව සම පරිභෝජනයකට උනන්දුකරනු ලැබේ. මේ අනුව ධනය හෝ වස්තුව පරිහරණය කිරීමේ දී දැඩි ඇලීමකින් හා දැඩි තෘෂ්ණාවෙන් තොරව පරිහරණය කිරීමේ පළමු ආකල්පය ‘අගථිත’ යනුවෙන් දැක්වේ.

තමා පරිහරණය කරන සම්පත් කෙරෙහි මුලා නොවී (අමුච්ඡිත) පරිහරණය කිරීම පරිභෝජනය දෙවන ආකල්පයයි. මෙයින් අදහස් කෙරෙන්නේ සම්පත් පරිහරණයේ අරමුණු කවරේදැයි වටහාගෙන කටයුතු කිරීමයි. සම්පත් පරිහරණයේ දී පුද්ගලයෙකුට අවශ්‍යතා, වුවමනා සහ ආශාවන් පිළිබඳ මනා වැටහීමක් අවශ්‍ය වේ. මේ පිළිබඳ අවබෝධයක් ඇතිකරගත් පුද්ගලයාට, අධිපරිභෝජනය උදෙසා නිරන්තරයෙන්ම සමාජය පොළඹවන වෙළෙඳ දැන්වීම්වලින් මෙන්ම තරගකාරීත්වයෙන් හා අනුකරණයෙන් මිදී තම ආදායමට හා සමාජ සංස්කෘතික වටිනාකම්වලට ගැළපෙන ආකාරයට සම්පත් පරිභෝජනය පිළිබඳ දර්ශනයක් ගොඩ නඟාගත හැකිවේ.

පරිභෝජනයේ තුන්වන ආකල්පය වන්නේ අනජඣාපන්නයි. මෙයින් අදහස් කෙරෙන්නේ තමා පරිහරණය කෙරෙන දේ සම්බන්ධයෙන් ඇති කරගන්නා වූ දැඩි බැස ගැනීමකින් තොරව කටයුතු කිරීමයි. මෙහි ප්‍රතිවිරුද්ධ තත්ත්වය ඇබ්බැහි වීම යනුවෙන් හැඳින්වීම සුදුසු ය. කිසියම් දෙයකට ඇබ්බැහි වූ පුද්ගලයාට අවට ලෝකය පිළිබඳ අවබෝධයක් නොමැත. අධික තෘෂ්ණාවෙන් මත්ව සිටින මෙවැනි පුද්ගලයන් අතින් දරුණු අපරාධ, ස්ත්‍රී දූෂණ, බාල අපරාධ, සියදිවි නසාගැනීම්, දේපළ කොල්ලකෑම ආදි අපරාධ බහුල වශයෙන් සිදුවේ. ආහාර පාන හෝ වෙනත් දේකට අධික ලෙස ඇබ්බැහි වීමෙන් සිදුවන්නේ පුද්ගලයා සෞඛ්‍ය අතින් මෙන්ම ධනය අතින්ද පරිහානියට පත්වීමයි.

සිව්වන ආකල්පය වන ආදීනව දස්සාවි යනුවෙන් අදහස් කෙරෙන්නේ පරිභෝජනය සම්බන්ධයෙන් ඇලීමෙන් (ගථිත) මුලාවට පත්වීමෙන් (මුච්ඡිත) ඇබ්බැහි වීමෙන් (අජඣාපන්න) සිදුවන අයහපත අවබෝධ කරගැනීමයි. මෙකී අවබෝධය ඇති පුද්ගලයා පරිභෝජනයේ සීමාවන් හඳුනාගෙන ක්‍රියා කරයි. සෑම දෙයක් සම්බන්ධයෙන්ම ආශ්වාදයක් මෙන්ම එයට සමාන ආදීනවයක් තිබෙන බව බුදුසමයේ පිළිගැනීමයි. මෙනිසා පුද්ගලයා විවිධ දේ පරිහරණයෙන් සතුටු වන අතරම ඒවායෙන් ඇතිකෙරෙන ආදීනව මඟින් ද දුකට පත්වේ. මෙම තත්ත්වය ඇතිවන්නේ අප පරිහරණය කරනු ලබන සියලුම ද්‍රව්‍ය මෙන්ම ඒවායින් ලැබෙන ආශ්වාදය ද වහා වෙනස්වන, අනිත්‍යතාව ස්වභාව කොට ඇති බැවිනි. පුද්ගලයා හැම විටම අපේක්‍ෂා කරන්නේ එකම ආකාරයේ වෙනස්නොවන සුවදායක වින්දනයකි. සියල්ලෝම දුක පිළිකුල් කරන අතර සැප කැමැත්තෝ වෙති (සුඛකාමා දුක්ඛාපටික්කුලා) සියල්ල පවතින්නේ හේතුඵල සන්තතියකට අනුවය. අප කොතරම් උත්සාහ ගත්ත ද ඒ කිසිවක් අපගේ ආධිපත්‍යයට යටත් කළ නොහැකිය. මෙසේ භෞතික වස්තූන් තුළ පවතින යථා ස්වභාවය වටහා ගැනීම ආදීනව දැකීම (ආදීනව දස්සාවි) යනුවෙන් හැඳින්වේ. ආදීනව වටහාගත් පුද්ගලයා තුළ සම්පත් පරිභෝජනයේ අරමුණ කුමක්දැයි නිසි අවබෝධයක් ඇතිවේ. එම අවබෝධය නිසා ඕනෑම අවස්ථාවක වුවද ඒවායින් ඉවත්වීමේ හැකියාව ඔහු සතුවේ. මෙම අවබෝධය ‘නිස්සරණ පඤ්ඤ’ යනුවෙන් දැක්වේ. එය පරිභෝජනය පිළිබඳ බෞද්ධ දර්ශනයේ විශේෂ අවස්ථාවයි. මෙකී අවබෝධය සහිත පුද්ගලයා තමා පරිහරණය කරන කවර වස්තුවක් වුවද විනාශ නොකර ඒ කෙරෙහි හිතානුකම්පීව රොන් රස උරාගන්නා බඹරෙකු සේ ක්‍රියා කරයි. අනිත්‍යතාව හා ආදීනව වටහා ගැනීම යනු සම්පත් පරිහරණය කිරීමෙන් වැළකී සිටීම නොවේ. එසේම එය ජීවිතය හා ලෝකය දෙස අශුභවාදීව බැලීමක්ද නොවේ. යථා ස්වභාව අවබෝධකරගත් පුද්ගලයාට ලෝකයේ සුන්දරත්වය මැනවින් වින්දනය කළ හැකිය යන්න ථෙර ථෙරී භාව ගීත ඇතුළත් ථෙරීගාථා ථෙරගාථාවලින් පැහැදිලි වේ. මෙම භාවගීත වලින් විමුක්තිලාභි උතුමන් ලෝකය කවර ආකාරයෙන් වින්දනය කර තිබේද යන්න පැහැදිලි වේ.

ඉහතින් දැක්වූ පරිභෝජන දර්ශනයෙන් අපට පෙන්වා දෙන්නේ සම්පත් පරිහරණය කිරීමේ දී පුද්ගලයෙකු තුළ වර්ධනය කරගත යුතු දැක්මයි. මෙම දැක්ම සහිත පුද්ගලයා වෙතින් අනවශ්‍ය ආකාරයෙන් වස්තුව ගොඩගසා ගැනීමේ ආකල්පය ඉවත් වේ. වර්තමානයේ අධිපරිභෝජන සමාජයක් දක්නට ලැබෙන්නේ මෙකී පරිභෝජන දර්ශනයක් පුද්ගලයා තුළ නොමැති බැවිනි. වාණිජ ලෝකය විසින් නිරන්තරයෙන්ම වැඩි භාණ්ඩ ප්‍රමාණයක් පරිභෝජනය කිරීම සඳහා පුද්ගලයා පොළඹවනු ලබන අතර ඔහු තුළ පවතින සහජ අතෘප්තිකර බව තවදුරටත් ඔහුගේ ජීවිතය අවුල්සහගත තත්ත්වයට ඇදදමා තිබේ. කහවනු වැස්සක් වැටුණත් පුද්ගලයා තුළ තෘප්තිමත් බවක් ඇති නොවේ. (නකහාපන වසෙසන තිත්ති කාමෙසු නවිජජති)

සම්පත් පරිහරණයේ දී, ඇතිකරගතයුතු ගුණයක් වශයෙන් ‘සුභරතාව‘ හෙවත් පහසුවෙන් පෝෂණය කළ හැකි වීම වැදගත් වේ. (සුභරොච) පහසුවෙන් පෝෂණය කළ හැකි පුද්ගලයා සමාජයට හා පරිසරයට බරක් නොවේ. පවුලේ සාමාජිකයන් ඔවුනොවුන් එකිනෙකා පහසුවෙන් පෝෂණය කළ හැකි අය බවට පත්වන්නේ නම් එකී පවුල තුළ ආර්ථික සංවර්ධනය පහසුවක් වේ. දුබර පුද්ගලයා කිසිවකින් සෑහීමකට පත් නොවන නිසා එක් අතකින් ඔහු පෞද්ගලිකව මානසික අසහනයට පත්වන අතර අන් අයද අපහසුතාවයට පත් කරයි. පරිභෝජනයේ දී ඇතිකරගතයුතු තවත් විශේෂ ගුණාංගයක් වන්නේ අල්පේච්ඡතාවයි (අප්පිච්ඡතා) මෙම ගුණය එක් අතකින් සුභරතාව හා සමාන වේ. මහිච්ඡතාව හෙවත් බොහෝ කොට කැමැති වීම ආර්ථික වශයෙන් මෙන්ම සාමාජික වශයෙන් ද ගැටලු ඇති කරයි. ඇතැම් පුද්ගලයන් ඇසූ දුටු දෙය අනුකරණය කරමින් කටයුතු කිරීමට යෑම නිසා ධනය විනාශ කරගන්නා අතරම සමාජ අපවාදයට ලක්වේ. තම අවශ්‍යතාවට වඩා අන් අයට ප්‍රදර්ශනය කිරීමට යම් යම් දේ මිලදී ගැනීමත් හේතුවෙන් බොහෝ දෙනෙක් ආර්ථික වශයෙන් පරිහානියට පත් වී තිබෙන අයුරු සමාජ සිදුවීම් දෙස බැලීමේ දී පැහැදිලි වේ. අනුකරණය යහපත් අරමුණකින් සිදුවන්නේ නම් එය ඵලදායි ආකාරයට ජීවිතයට සම්බන්ධකරගත හැකිවේ. මිනිස් වටිනාකම් හා දියුණුව පිණිස උපයෝගී කරගත හැකි උදාර ගුණාංග අනුකරණය කිරීම උසස් අයෙකු බවට පත්වීමට හේතුවේ. එහෙත් වර්තමානයේ දී අපට දකින්නට අසන්නට ලැබෙන්නේ එකී උදාර අරමුණෙන් අනුකරණය කිරීම් නොවේ. බොහෝ දුරට අපට හමුවන්නේ අන්ධානුකරණය කරන පිරිසකි.

සම්පත් පරිභෝජනයේ දී අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ පරිභෝජනය කෙරෙන භාණ්ඩ හෝ වෙනත් දෑ මත පුද්ගලයෙකුගේ වටිනාකම් තීරණය කිරීමේ සාවද්‍ය පිළිවෙතයි. බොහෝ දෙනෙක් කෙනෙකුගේ මිනිස් වටිනාකම්, බුද්ධිමය හා සදාචාරමය පැවැත්ම කෙරෙහි නොසලකන ඔවුන් පරිහරණය කෙරෙන රථවාහන ගෙවල් දොරවල් ඇඳුම් පැළඳුම් කෙරෙහි රැවටී ගරු බුහුමන් දක්වති. මෙම තත්ත්වය නිසා විවිධ සමාජ අපරාධ සිදුකරන ඇතැම් පුද්ගලයන් අයථා පරිදි ධනය සොයා සපයාගෙන බාහිර ආටෝපය මඟින් සිය දුර්ගුණ වසා ගනිමින් සමාජ සම්භාවනාවට පත්වීමට උත්සාහගන්නා අයුරු දක්නට පුළුවන. බුදුසමයට අනුව පුද්ගලයෙකුගේ වටිනාකම තීරණය වන්නේ ඔහු හෝ ඇය භාවිත කරන භෞතික මෙවලම් මත නොවේ. ඔහු හෝ ඇය තුළ පිහිටා තිබෙන ආධ්‍යාත්මික වටිනාකම් මතය. ප්‍රමාණවත් ධනයක් තිබේ නම් සුවපහසු ජීවිතයක් ගත කිරීමට බුදුසමයට අනුව කිසිම තහනමක් නැත. උසස් භාණ්ඩ මෙන්ම වෙනත් දෑ පරිහරණය කිරීමට අවශ්‍ය ධන ශක්තිය තිබුණ පමණින්ම අහේතුකව ධනය වැය කිරීම බෞද්ධ පිළිවෙත නොවේ. තමන් තෝරාගන්නා කවර භාණ්ඩයක් හෝ වස්තුවක් වුවද එය තමන්ගේ සමාජ තත්ත්වයට සංස්කෘතියට හා ආර්ථිකයට ගැළපෙන දෙයක් විය යුතු යි. කාමභෝගී ගිහි ජීවිතය සුන්දර එකක් වන්නේ ඉහතින් දැක් වූ බෞද්ධ පරිභෝජන දර්ශනය මත පිහිටා සංයමයෙන් යුක්තව සම්පත් පරිභෝජනය කරන්නේ නම් පමණි.