Print this Article


ජපානයේ බොදු පුබුදුව නංවන අගොන්ශු වෙහෙර අසිරිය

ජපානයේ බොදු පුබුදුව නංවන අගොන්ශු වෙහෙර අසිරිය

ජපානය වර්තමාන ලෝකයේ තාක්ෂණය හා ආර්ථිකය අතින් බලවත් රාජ්‍යයකි. ෆූජියාමා වැනි කඳු පන්තීන්ගෙන් සමලංකෘත වූ සකුරා මලින් ගැවසී ගත් ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් ලෙස ජපානය හඳුන්වා දිය හැකිය.

ඓතිහාසික වාර්තාවලට අනුව පෙනෙන්නේ ක්‍රි.ව. සයවන සියවස මැද භාගය පමණ වන විට බුදුසමය නිල වශයෙන් ජපානයට පැමිණි බවයි. පළමුවෙන්ම ජපානයට බුදුදහම හඳුන්වා දුන්නේ කොරියාවෙනි. කොරියාවේ පයික්චේ රජු ලෝහ බුදු පිළිමයක් හා ධර්ම ග්‍රන්ථ කිහිපයක් විශේෂ පණිවුඩයක් ද සමඟ එවකට ජපන් අධිරාජයා වූ කිම්මෙයි රජුට එවීය. එම පණිවුඩයේ සඳහන් වූයේ “අවබෝධ කරගැනීම අතිශයින් දුෂ්කර වුවත්, සියලු ඉගැන්වීම්වලට වඩා පරමෝත්තම වූත්, ලෝකයේ යථා ස්වභාවය ඉතා නිවැරැදිව පෙන්වා දෙන්නා වූත්,මේ ධර්මය පිළිගනු මැනවැ”යි යනුවෙනි. මෙම ත්‍යාග හා පණිවුඩය ලැබීමෙන් කිම්මෙයි අධිරාජයා ඉමහත් සොම්නසට පත් වූයේය. ජපානයට මෙවන් උත්තරීතර හඳුන්වාදීමක් සිදුකළ කොරියාව බුදු සමය හඳුනාගත්තේ චීනයෙනි. ඒ අනුව චීනයෙන් කොරියාවටත්,කොරියාවෙන් ජපානයටත්, බුදුසමය පැමිණි බව පැහැදිලිය.


සෙයියු කිරියමා
මහ නා හිමි

චීනයේත්, කොරියාවේත් පවතින්නේ මහායාන බුදුසමය බව අපි දනිමු. ඒ අනුව එකී රටවල ආභාෂයෙන් ජපානයට ලැබුණේ ද මහායාන බුදු සමයයි. බුදු සමය වඩාත් ස්ථාවර පදනමක් මත ජපානයේ ප්‍රධාන ආගමෙහි තත්ත්වයට පත් කිරීමට පුරෝගාමි වූයේ ෂෝතෝකුතයිෂී කුමරුය.

ක්‍රි.ව. 710 න් ඇරැඹෙන ‘නරා යුගය’ ජපන් බුදු සමයේ පෝෂණයෙහිලා විවිධ අංශයන්ගෙන් වැදගත්වෙයි. ජපන් ඉතිහාසයේ දෙවැනි යුගය වූයේ “හෙයියන් යුගය” යි මෙකල අගනුවර නරාවලින් කීයොතෝ නුවරට ගෙනයාම සුවිශේෂි සිදුවීමකි. කියොතෝ නුවර හෙයි අන් ක්යෝ (සාමයේ හා සැනසීමේ නගරය) වශයෙන් නම් කෙරිණි.මේ වන විට කියොතෝ හි බෞද්ධ ආරාම විශාල දේපොළක් හිමි මධ්‍යස්ථාන බවට පත් වී තිබුණි. ඒ නිසා එකී ආරාමයන් තුළින් සුවිශාල ආගමික හා සමාජ සේවාවක් සිදු වුණි.

එදා මෙදා තුර අඛණ්ඩව ජපානයේ සෑම නගරයක සේම කියොතෝ නගරය ආශි‍්‍රතව ද බෞද්ධ විහාරස්ථාන ඉදි කෙරිණි. ඉතා මෑත යුගයේ ජපානයේ කියොතො නුවර කේන්ද්‍ර කරගෙන බිහි වු සුවිශාල බෞද්ධ විහාරයක් ලෙස කියොතෝ හි අගොන්ශු විහාරය හඳුන්වා දිය හැකිය. 1978 දි ජපානයෙ බිහි වූ අගොන්ශු නිකායේ මූලස්ථානය වනුයේද මෙම අගොන්ශු විහාරයයි. අගොන්ශු නිකායේ හා තදනුබද්ධ අගොන්ශු විහාර සමූහයේ නිර්මාතෘ වනුයේ සෙයියු කිරියමා (ven.seiyu kiriyama) ස්වාමීන් වහන්සේය.

ජපානයේ මහායාන බෞද්ධයකු ලෙස උපත ලැබූ සෙයියු කිිරියමා මහ නාහිමියෝ බුදුරදුන් ගේ නිර්මල ඉගැන්වීම් පිළිබඳ රටවල් ගණනාවකට ගොස් පුළුල් පර්යේෂණවල නිරත වූහ. මහායාන බුදු දහමට අමතරව ථෙරවාද බුදු දහමද තිබ්බතයේ පවත්නා ගුප්ත බුදු දහම ද පිළිබඳ ප්‍රාමාණික පර්යේෂණයන්හි නිරතව එකී සම්ප්‍රදාය ත්‍රිත්වයේ සංකලනයක් ලෙස අගොන්ශු බෞද්ධ සම්ප්‍රදාය ජපානයේ ස්ථාපිත කොට එය ලොව පුරා ප්‍රචලිත කරවීමේ කාර්යභාරයෙහි නිරතව සිටිති.1980 අග භාගයේදි ආරම්භ කොට වසර තුන හමාරක් තිස්සේ ශිල්පීන් දහස් ගණනකගේ් සහභාගිත්වයෙන් ඵෙතිහාසික ජපන් විහාර සම්ප්‍රදායට අනුව නිම වූ අගොන්ශු ප්‍රධාන විහාරස්ථානය 20 වැනි සියවසේදි ජපානය තුළ දැව භාවිතයෙන් ඉදි කළ විශාලම ගොඩනැගිල්ල සේ සැලකේ.

අගොන්ශු විහාරයේ මෙහෙයවීම ඇරැඹි ශ්‍රී‍්‍ර ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනම පිළිබඳව ද මෙහි දි වෙසෙසින් සඳහන් කළ යුතුය.මෙම පදනම බිහිවූයේ 1994 ජනවාරි 12 වැනිදාය. එය අගොන්ශු විහාරය කේන්ද්‍රකර ගනිමින් සෙයියු කිරියමා මහනාහිමි විසින් ආරම්භ කරන ලදුව ජපන් භාෂාව හා සංස්කෘතිය පිළිබඳ ප්‍රාමාණික දැනුම් සම්භාරයකින් හෙබි සෝමසිරි අද්දරපතිරණගේ මහතාණන් වෙත භාර කෙරිණි. ඒ අනුව අනාදිමත් කාලයක පටන් පැවැති ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්වය තහවුරු කිරීමට අගොන්ශු විහාරය දක්වා ඇත්තේ මාහැඟි දායකත්වයකි.

ශ්‍රී‍්‍ර ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනම හරහා මෙරට ජීවත්වන ආර්ථික අපහසුතා සහිත සිංහල බෞද්ධ දරු දැරියන් වෙත අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම, දුෂ්කර බෞද්ධ සිද්ධස්ථාන නගා සිටුවීම තරුණ තරුණියන් ඉලක්ක කරගත් වෘත්තීය අධ්‍යාපනය යනාදි සමාජ සුබසාධක ක්‍රියාවන් රාශියක් සිදු කෙරෙයි. මෙතෙක් මෙම පදනම හරහා ලබාදී තිබෙන අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රමාණය 10,710 ක් වන අතර මෙවර ඔක්තෝම්බර් 20 වැනිදා පැවැත්වෙන 21 වැනි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදි ශිෂ්‍යත්ව 735 ක් ලබාදීමට අපේක්ෂිතය. ඒ අනුව 2014 මුළු වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රමාණය 11,445 ක් දක්වා ඉහළ යයි.

කොළඹ 07 මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි ඔක්තෝබර් 20 වැනිදා ප.ව. 2. ඇරැඹෙන 21 වැනි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ මුලසුන දරණුයේ සියම් මහා නිකායේ ඌව පාර්ශ්වයේ මහානායක අඹේවෙල ශ්‍රී පඤ්ඤාසාර මහ නාහිමියන්ය. ජපානයේ අගොන්ශු නිකායේ අනුනායක ෆූකද සෙයිඅ හිමි ප්‍රමුඛ ජපන් විශේෂ දූත පිරිසක්ද මීට එක්වෙති. කතානායක චමල් රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන එම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ අධ්‍යක්ෂ ජනරාල් සෝමසිරි අද්දරපතිරණගේ මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් අගොන්ශු මිත්‍රත්ව පදනමේ මෙහෙයීමෙන් සංවිධානය කෙරේ.