Print this Article


ශ්‍රේෂ්ඨ දානයක අනුසස් පිළින්දවච්ඡ මහ රහත්  චරිතාපදානය

ශ්‍රේෂ්ඨ දානයක අනුසස් පිළින්දවච්ඡ මහ රහත්  චරිතාපදානය

මෙවර අපගේ සාකච්ඡාවට බඳුන් වනුයේ ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ මහරහතන් වහන්සේ නමක් වූ පිළින්දවච්ඡ මහරහතන් වහන්සේගේ චරිතාපදානයයි. මෙහි සඳහන් වන්නේ උන්වහන්සේ පෙර ආත්මයක බුදුපාමොක් මහසඟන උදෙසා පිරිනැමූ ශ්‍රේෂ්ඨ දානයක විපුල ආනිශංසයන් ය. පිළින්දවච්ඡ මහරහතන් වහන්සේ විසින් එම දානය හා ආනිශංසයන් ප්‍රකාශ කරන්නේ මෙසේය

මම හංසවතී නගරයෙහි දොරටු පාලයෙක් වීමි. මාගේ ගෘහයෙහි රැස්කරන ලද නිරවුල් අපමණ භෝග සම්පත් ද විය. මම එකල්හි පහයෙහි වාඩිවී විවේකව හිඳ සිත පහදවා මෙසේ සිතීමි. ‘

මා විසින් භෝග සම්පත්තීහු ලබන ලදහ. මාගේ අන්තො නගරය සමෘ_ය, පෘථිවිශ්වරවු ආනන්ද රජ තෙමේ ද ( බුදුරජුන් ප්‍රධාන සංඝයාට දානය සඳහා ආරාධනය කළේය. “සර්වඥ තෙම ලෝවැඩ සඳහා පහළවන්නේ වේ. මේ සව¢ඥ තෙම ලොව පහළ විය. මාගේ භෝගයෝ ද විද්‍යාමාන වෙත්. ශාස්තෘන් වහන්සේට දනක් දෙන්නෙමි, පදුම නම් රාජ පුත්‍රයා විසින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි උතුම් දානයක් දෙන ලදී. ( එම දානයෙහි ) හස්තිරාජයන්ද, පය¸ඞ්කයන් ද, හේත්තුවන ඇඳි ද යන බොහෝ දේ වෙයි. “මම ද උතුම් වූ සංඝයා කෙරෙහි දනක් දුන්නෙමි. අනුන් විසින් නොදුන් විරූ’ ( දෑ දීමෙහි ) ආදි කර්මිකයෙක් වන්නෙමි. “ යමක් පිළිබඳවූ දීමෙහි සැපවත්වූ විපාකයක් ඇද්ද, මම (ඒ විපාකයන්) නන් අයුරින් සිතා මාගේ අදහස් සපුරාලන පරිෂ්කාර දානය (මේ මේයයි) දුටිමි. උතුම් වූ සංඝයා කෙරෙහි පිරිකර දෙන්නෙමි. අනුන් විසින් නොදුන් විරූ (දෑ දීමෙහි) ආදි කර්මිකයෙක් වන්නෙමි. “එකෙණෙහි කුළු පොත්තන් ( බට ලී කර්මාන්ත කරන්නන් ) වෙත එළඹ ඡත්‍රයක් කරවීමි. (එබඳු) ඡත්‍ර ලක්‍ෂයක් එක්රැස් කළෙමි. (එසේම) වස්ත්‍ර ලක්‍ෂයක් ද එක්රැස් කළෙමි. පාත්‍ර ලක්‍ෂයක් ද එක්රැස් කෙළෙමි.” වෑද, කුඩ, පිහියද, හිඳිකටුද, නියපොතු කපනා පිහියද ඊට සුදුසු ලෙස කරවා කුඩය යට ( පැත්තෙහි ) එල්බවීමි.

පවන් අතුද, වටාපත්ද, මොනර පියාපත්ද, සෙමර වල්ගද, පෙරහන්කඩ ද, තෙල් බඳුන් ද එයට සුදුසු ලෙස කරවීමි. “ඉඳීකටු ගුලාද, උරහිසේ එල්ලන (අංසකඩ) පටිද, එසේම හිණ බඳනා පටද, කුඩා මේස, කනප්ප, පාත්‍ර අඩි ආදි මැනවින් ආධාරකද එයට සුදුසු ලෙස කරවීමි. පරිභෝගයට ගන්නා බඳුන්ද, එසේම ලොහො තලිද, බෙහෙත් (වර්‍ග) වලින් පුරවා මම ඡත්‍රය යට තැබීමි. ( කිනම් බෙහෙත්ද යත් ? ) වද කසාය, සැවැන්න (විෂ්ණුක්‍රාන්ති) මුල්ය, දඬුවෙල්බෑ මීය, පිප්පිලි නොහොත් පුලිලය, මිරිස්ය, අරළුය, හිඟුරුය යන මේ සියල්ල බඳුන්හි පිරවීමි. සෙරෙප්පුද, මිරිවැඩිද, එසේම නෑමෙන් පසු දිය පිසනා දිය පිස්නාවන්ද, මැනවින් කළ සැරයටිද එයට සුදුසු ලෙස කරවීමි. බෙහෙත් අඳුන් නාලිකා (භාජනද), බෙහෙත් ගෑම් ආදිය සඳහා ගන්නා ලොහොකුරු හෝ උණ පතුරුද, දම් කොතුරු (පැන් කෙණ්ඩිය) ද, කෙසි (යතුරු) ද, පස් වර්‍ණයකින් ( පාට පසකින්) වසා කළ කෙසිගුලා හෙවත් යතුරු දමන කොපුද, යමක් එල්ලා ගැනීම සඳහා උරහිසේ යොදන පටිද, දුම් (බොන) පයිප්පද, දල්වන පහන්ද නොහොත් පහන් එල්ලන කොකුද, ධාන්‍ය මැනීමට ගන්නා තඹ නම් මිණුම්ද, කරඬුද එයට සුදුසු ලෙස කරවීමි. හඬුද, කතුරුද, යළිදු මළ හරනා හඬුද, බෙහෙත් දමනා පසුම්බිද, එයට සුදුසු ලෙස කරවීමි. දිත්හඟලා පුටුද, කුඩා පුටුද, ඇඳි නැති ( පා සතරකින් යුත් ) අසුන් ද, මම එයට සුදුසු ලෙස කරවා ඡත්‍රයට තැබීමි. එළු ලොම් පිරවූ ගුදිරිද, පුලුන් පිරවූ ගුදිරිද, යළි පුටුවලට දමන ගුදිරිද, මැනවින් කරන ලද මෙට්ටද, එයට සුදුසු ලෙස කරවීය. කුරුවින්දක පාෂාණද, මී ඉටිද, (තල) තෙල්ද, ඇඟ ඉලීමට ගන්නා පෙණද, (ඇඟ ඉලීමට ගන්නා මට කළ) ගල් පතුරුද, සෙනසුන්ද, පාපිසිද, සෙනසුන්හි පරිභෝගයට ගන්නා (සැරයටි ආදී) දඬුද, දැහැටිද, ආටලී නම් ද්‍රව්‍යයද, හිසෙහි ගල්වන ගන්ධ (තෛලාදිය) ද, ගිනිගානා දඬුද, පිදුරු යොදා කළ පුටුද, පාත්‍රයන් වහන පියන් හා තලිද, දිය ගන්නා පිණිස යොදන කිණිසිද, සුණු වර්‍ගද, පඬු ඕරුද, (හමදනා) මුස්නුද, දිය බඳුන්ද, එසේම වැසි සළුද, හිඳිනා ඇතිරිලිද, වණ බඳින රෙදි පටිද, හඳනද, තනිපට සිවුරු හා දෙපට සිවුරුද, නශ්‍ය කරණ ද්‍රව්‍යද, මුව දෝනා බඳුන්ද, ඇඹුල්කාඩ් ( විනාකිරි) ද, ලුණුද, බොහෝවූ මීද, දිහියෙන් කළ පාන වර්‍ගද, දුම් අල්ලන ද්‍රව්‍යද, ඉටිද, රෙදි කැබලි (පාන්කඩ) ද, මුව පිස්නා (ලේන්සු) හා නූල් දැයි (මෙසේ) දියයුතු යමක් ඇද්ද, (ඒ) යමක් ශාස්තෘන් වහන්සේට කැපද, මේ සියල්ල රැස් කරවා මහර්ඝීවූ බුදුරජුන්ගේ පියාවූ ආනන්ද රජු වෙත එළඹියෙමි. එළඹ, හිස නමා වැඳ, මෙම වචනය කීමි, ( කෙසේද යත් ?) ( අප දෙදෙන) එකට ඉපිද, එකට වැඩුනෝ වෙමු. දෙදෙනාගේ සිතද එක්වම පවතී. දෙදෙනා පිළිබඳව සුවදුක් දෙදෙනාටම සාධාරණය. (දෙදෙනාම ඔවුනොවුනට) අනුව පවත්නෝ වෙමු. සතුරන් මඩනාවූ රජතුමනි, මාගේ සිතෙහි තොප අයත් හෙවත්, තොප විසින් මැඩලිය යුතු දුකක් නැත. ක්‍ෂත්‍රියයාණෙනි, ඉදින් හැකිවෙහි නම් එම දුක දුරු කරන්නෙහිය කියායි. ඔබගේ දුක මගේ දුකය, දෙදෙනාගේම සිත එක් බඳුය. ඉදින් තාගේ දුක මා අයත්නම් හෙවත් මා විසින් මැඩලිය හැක්කක් නම්, එය අවසන්වීයයි දැනගනුව. මහරජතුමනි, මගේ දුරුකළ නොහැකි එක් උතුම් දෙයකැයි දැනගනුව. එය කිරීමෙහි පොහොසත් වන්නේ නම් ( කරන බවට ) ගර්ජනය කරනු මැනවි. විජිතය (පිළිබඳ) යම්තාක් දේ ඇද්ද, ඉදින් මෙකී දෙයකින් ඔබට ප්‍රයෝජන නම් කම්පා නොවූයේ ම ( එය ) දෙන්නෙමි. දේවයන් වහන්ස, ඔබ විසින් ( එසේ කරණ බවට) ගජ¡නය කරන ලදී. එබඳු බොහෝ ගර්ජිතයන් ( ඇතැම් විට) බොරු වන්නේය. අද ඔබ සියලු ධර්‍මයන්හි පිහිටියෙක්දැයි දැන ගත්තෙමි. (ඇති) යමක් දෙන්නාවූ මා ( ඔබ) දැඩි ලෙස පෙළන්නෙහිය. මා පෙළීමෙන් ඔබට ඇති ප්‍රයෝජනය කිම? තා විසින් පතන ලද්ද මට කියව. මහරජතුමනි, මම අනුත්තරවූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ කැමැත්තෙමි. සම්බුදුරජුන් වළඳවන්නෙමි. ජීවිතය (බඳු) මාගේ වචනය (අන්ලෙසකින් ) නොවේවා, මම ඔබට අනික් වරයක් දෙමි. තථාගතයන් වහන්සේ නොඉල්ලනු මැනව. ජොතිරස නම් මැණික වැනිවූ බුදුරදුන් තෙම කිසිවෙකුට නොදිය යුත්තෙකි. දේවයන්වහන්ස ඔබ විසින් තමාගේ ජීවිතය වුවද දෙමැයි ගර්ජනය කරන ලදුයේ නොවේද? ජීවිතය දෙන්නාහු විසින් බුදුරදුන් දීම සුදුසුය. බුදුරජ තෙම ( වෙන්කොට ) තැබිය යුතුය. සව¢ඥතෙම කිසිවෙකුට නොදිය යුතු වේ. මා විසින් බුදුරජතෙම දෙමැයි පිළිවදන් නොදෙන ලදී. (අනික් කැමැතිතාක් ) අපමණවූ ධනය ඉල්ලනු මැනව අධිකරණයට පැමිණෙමු. අධිකරණයෙහිදී (කරුණු) විචාරන්නෙමු. රජුන් අත්ගෙන විනිශ්චය (උසාවියට) ගියෙමි. විනිසකරුවන් ඉදිරියෙහි මෙම වචනය කීමි. විනිසකරුවෝ මාගේ (වචනය) අසත්වා. කිසිවක් නොතබා මට රජතෙම වරයක් දුන්නේය. ජීවිතය පවා පැවරිය හෙවත් කැමැතිවුවහොත් දෙන බව කීය.

මට (එසේ) වර දුන් මම බුදුරදුන් ඉල්ලීමි. මම බුදුරජතෙම මැනවින් දෙන ලද්දේ වේද, එසේ නොදෙන ලද්දේ නම් ( එය වරදකැයි) මාගේ සැකයකි. තාගේ වචනයද, පෘථිවි පාලකවූ රජුගේ වචනයද අසන්නෙමු. දෙදෙනාගේම වචන අසා මෙහි සැක දුරු කරන්නෙමු. දේවයන් වහන්ස, කිසිවක් තබා නොගෙන, සියල්ලම ගතයුතු සේ කොට, (ඒ) සියල්ල ඔබ වහන්සේ විසින් මොහුට දෙන ලදද, ජීවිතය ( දෙන බව කියා) පැවරීද? (හෙතෙම) කරදරයට පැමිණියෙක්ව, උතුම් වරයක් ඉල්ලීය. අතිශයින් දුකට පත් මොහු දැන ( කැමැති සියල්ලක්ම දෙමැයි ) සර්වග්‍රාහිකකොට වරයක් දුනිමි. දේවයන් වහන්ස, පරාජය ඔබ වහන්සේටය, බුදුරජතෙම ඔහුට දිය යුතුය. දෙදෙනාගේම සැක පසිඳන ලදී. සත්‍යයෙහි සිටිනු මැනවි.

රජතෙම එහිම සිටගෙන විනිසකරුවනට මෙය කීය. මිත්‍රවරුනි, මටද තෙපි ( වරයක් ) දෙන්නහු නම් නැවත මම බුදුරදුන් ( ආපසු ) ලබමි. තාගේ අදහස් සම්පූර්‍ණකොටගෙන, තථාගතයන් වළඳවා, ආනන්ද රජුහට නැවත බුදුරදුන් දෙන්නෙහිය. මම විනිසකරුවනටද, රජතුමාට ද වැඳ සතුටුවූයේ, ප්‍රමුදිතවූයේම බුදුරජුන් වෙත එළඹියෙමි. චතුරෝඝයන් තරණය කළාවූ, ආශ්‍රව රහිතවූ සම්බුදුරදුන් වෙත එළඹ හිස නමා වැඳ මෙම වචනය කීමි. පසැස් ඇත්තාණන් වහන්ස, රහතුන් ලක්‍ෂයක් දෙනා වහන්සේ සමඟ (මාගේ දානය) ඉවසා වදාළ මැනව. මාගේ සිත සතුටු කරමින් මාගේ නිවසට වඩිනු මැනව. මතු සම්බන්ධයි

සටහන: බණ්ඩාර පිළවල