Print this Article


සිනහවෙන් හෝ කතාවෙන් මිනිසකු මනින්නට බැහැ

සිනහවෙන් හෝ කතාවෙන් මිනිසකු මනින්නට බැහැ

මිනිසකුගේ සිරුරේ පැහැයෙන් හෝ හැඩයෙන් හෝ ඔහු කෙබඳු කෙනකු දැ’යි මැනැවින් තේරුම් ගත නොහැකි ය. එබැවින් පුද්ගලයකු දුටු පමණින් ඔහු ගැන විශ්වාස නොකළ යුතු ය. සිනහවෙන් හෝ කථාවෙන් හෝ මිනිසකුගේ සැබෑ ස්වභාව, ගතිසිරිත්, සිතුම් පැතුම් වටහා ගන්නට අපහසු ය. එයට හේතුව අසංවර, නපුරු අදහස් ඇති මිනිසුන් හොඳ හැසිරීමක් හා උසස් ගතිගුණ ඇති අය මෙන් බොරුවට හැසිරෙන නිසයි.

පසේනදී කොසොල් රජු බුදුරජාණන් වහන්සේ සමඟ ඉතා සමීප ඇසුරක් පැවැත්වීය. විවේකයක් ලැබුණ සෑම අවස්ථාවකම ඔහු බුදුරදුන් හමුවට පැමිණ මෙලොව හා පරලොවෙහි දියුණුව ගෙන දෙන වැදගත් කාරණා ගැන උන්වහන්සේගෙන් විමසයි.

ඔබවහන්සේත්, මමත් කෝසල රාජ්‍යයට අයත් ය.අප දෙදෙනාම සමාන වයස ඇත්තෝ යැ’යි පවසමින් සතුටින් පිළිසඳරෙහි යෙදීම ඔහුගේ පුරුද්දකි. උදරය මහත්වීම නිසා දැනෙන ශාරීරික අපහසුතාවට ද පිළියමක් කොසොල් රජු හට බුදුරජාණන් වහන්සේ කියා දුන් සේක. ශාරීරික සුවය සඳහා, ආහාර ගැනීම සීමා කරන්නැ’යි උන්වහන්සේ රජුට උපදෙස් දුන් සේක. ආහාර ගන්නා වේලාවට අඩුවෙන් වළඳන්නැ’යි සිහිපත් කරවීම සඳහා ඇමැතියකුටද පැවැරුණි. බුදුරදුන්ගේ උපදෙස් අනුගමනය කළ කොසොල් රජු සිරුර සැහැල්ලු බවට පත්වීමෙන් මහත් පහසුවක් අත්වින්ඳේය. ඔබ වහන්සේ මට පරලොවට පමණක් නොව මෙලොව ජීවිතයටත් වැඩදායක උපදෙසක් දුන්නා යැ’යි රජු තම සතුට ප්‍රකාශ කළේය.

එක් දවසක පූර්වාරාමයේ දොරටුවෙන් පිටත මළුවක බුදුරජාණන් වහන්සේ වැඩ සිටින වේලාවේ කොසොල් රජු සිරිත් පරිදි එහි පැමිණ පසෙක වාඩි වුණි. එවිට කෙස් රවුල් දිගට වවාගත් ජටිල නමින් හැඳින්වෙන ආගමිකයන් සත්දෙනෙක් ද නිරුවතින් හැසිරෙන නිගණ්ඨයන් සත් දෙනෙක්ද එතැනින් ගමන් කළහ. කොසොල් රජු වහාම උතුරු සළුව අතට ගෙන දණ නමා ඔවුන්ට නමස්කාර කළේය. ඉන්පසු ඔහු බුදුරදුන් දෙසට හැරී, ස්වාමීනි, මේ ලෝකයේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගෙන රහත් බවට පත් පිරිසක් සිටිනවා නම්, දැන් මෙතැනින් නිරුවතින් හා කෙස් රවුල් වවාගෙන වැඩියේ ඒ අයගෙන් කිහිපදෙනෙක් යැයි පැවසුවේය.

මහරජතුමනි, අඹුදරුවන් රකිමින් පස්කම් සැප විඳිමින් ජීවිතය ගතකරන ඔබ වැනි ගිහියකුට කෙනකු රහත් ද නැද්ද කියා දැනගැනීම ඉතා අමාරුය. එම නිසා තමන් රහත් යැ’යි හඟවමින් හැසිරෙන අයට ඔබ මුළාවීම පුදුමයක් නොවේ යැ’යි බුදුරජාණන් වහන්සේ කොසොල් රජුට පැවසූ සේක. ඒ ගැන තවදුරටත් පැහැදිලි කරමින් සත්තජටිල සූත්‍රය රජුට දේශනා කළ සේක. පුද්ගලයෙකුගේ ස්වභාව දැන ගැනීම සඳහා විමසිලිමත් විය යුතු කරුණු හතරක් එහි ඇතුළත් වෙයි.

1. සංවාසෙන ඛො මහාරාජ සීලං වේදිතබ්බං - පුද්ගලයකු සමඟ එකට ජීවත්වීමෙන් ඔහුගේ සිල්වත්කම තේරුම් ගත යුතුය. එය කෙටි කාලයකින් කළනොහැකි දෙයකි. එසේම නුවණින් යුතුව විමසිලිමත්ව දැන ගත යුතු දෙයකි.

2. සංවොහාරෙන ඛො මහාරාජ සොචෙය්‍යං වේදිතබ්බං - පුද්ගලයකු සමඟ කථාබහ කිරීමෙන් ඔහුගේ පිරිසුදු බව දැනගත යුතු වෙයි. එද කළ හැකි වන්නේ දිගු කාලයක් තිස්සේ නුවණින් විමසා බලමින් කටයුතු කළහොත් පමණි.

3. ආපදාසු ඛො මහාරාජ ථාමො වෙදිතබ්බො - විපත් සිදුවන අවස්ථාවල කෙනකු නුවණින් යුතුව කටයුතු කරන හැටි හොඳින් විමසා බලා ඔහු උපායශීලි නුවණැති කෙනකු දැයි තේරුම් ගත යුතුය.

4. සාකච්ඡාය ඛො මහාරාජ පඤ්ඤා වේදිතබ්බා – සාකච්ඡා කිරීමෙන් කෙනෙකුගේ නුවණ තේරුම් ගත යුතුය. මම මොහුගේ බුද්ධිමත්කම පරික්ෂා කරමි යන හැඟීමෙන් කටයුතු කළ යුතුය. එය කළ හැක්කේ නුවණැති කෙනකුට පමණි.

මිනිසකුගේ සිරුරේ පැහැයෙන් හෝ හැඩයෙන් ඔහු කෙබඳු කෙනකු දැ’යි මැනැවින් තේරුම් ගත නොහැක. පුද්ගලයකු දුටු පමණින් ඔහු ගැන විශ්වාස නොකළ යුතුය. සිනාවෙන් හෝ කථාවෙන් මිනිසකුගේ සැබෑ ස්වභාව, ගතිසිරිත්, සිතුම් පැතුම් වටහා ගන්නට අපහසුය. එයට හේතුව අසංවර, නපුරු අදහස් ඇති මිනිසුන් හොඳ හැසිරීමක් හා උසස් ගතිගුණ ඇති අය මෙන් බොරුවට හැසිරෙන නිසයි. රන් පැහැයෙන් යුතු මැටි හා ලෝහ ආභරණ කහවනුවලින් තැනුවාක් මෙන් පෙනේ. ඇතැම් අය මතුපිටින් යහපත් බවක් මවා පාමින් කටයුතු කළත් ඔවුන්ගේ හදවත්වල ඇති අදහස් නපුරුය. ක්‍රියාවන් භයානකය.ඒ නිසා පුද්ගලයකු දුටු පමණින් ඔහු පිළිබඳව විශ්වාසය තබා කටයුතු නොකරන්නැ’යි බුදුරජාණන් වහන්සේ කොසොල් රජුට උපදෙස් දුන් සේක.

බුදුරජාණන් වහන්සේ සත්තජටිල සූත්‍රයෙන් පෙන්වා දුන් කරුණූ අපට ද ඉතා වැදගත්ය. අපේ සමාජයේ බොහෝ දෙනා පුද්ගලයන් ගැන හොඳින් පරික්ෂාකාරී නොවී ඔවුන් පිළිබඳව විශ්වාසය තැබීම නිසා නොයෙකුත් අර්බුදවලට මැදිවෙති. ජීවිතය පවා අහිමි කරගනිති. මුදල් ගනුදෙනු, නිවාස ඉඩකඩම් බදුදීම, ආදරවන්තයන් තෝරාගැනීම, විවාහ ගිවිස ගැනීම ආදි සෑම කරුණකදීම පුද්ගලයන් ගැන හොඳින් විමසා බලා කටයුතු කළ යුතුයි. තමන්ට හදිසියේ මඟතොට දී හමුවන අය ගැන විශ්වාසය තැබීමෙන් නොයෙකුත් විපත්වලට ගොදුරුවන තරුණ තරුණියන් ගැන අපට නිතර තොරතුරු අසන්නට ලැබේ. තමන් සමඟ ජීවත්වන සියලු දෙනා කෙරෙහිම සැකයෙන් බැලිය යුතු යැ’යි මෙයින් කියැවෙන්නේ නැත. වඩා වැදගත් වන්නේ කෙබඳු පුද්ගලයන්දැ’යි හොඳින් හඳුනාගෙන ඇසුරු කිරීමයි. පහත් ගතිගුණ ඇති පුද්ගලයන් ඇසුරු කිරීමෙන් තමන්ගේද ගුණදහම් පිරිහෙන්නට ඉඩ තිබේ. උසස් ගතිගුණ ඇති අය ඇසුරු කිරීම දියුණුවටහේතුවෙයි.

සාමාන්‍ය ජීවිතයේදි මෙන්ම ආගමික ජීවිතය සම්බන්ධ කටයුතුවලදීද, යම් යම් පුද්ගලයන් දෙන උපදෙස්, කියන කතා ගැන හොඳින් විමසා බැලිය යුතුය. රහතුන් මෙන් පෙනී සිටිමින් දේශනා පවත්වන පුද්ගලයන් තුළ සැබෑ වශයෙන් ම එම ගුණයන් තිබෙනවා දැ’යි වටහාගැනීම අවශ්‍ය වෙයි. එසේ නොවුණහොත්, ධර්මය විකෘති කරන, වංචනික පුද්ගලයන්ට රැවටෙන්නට පුළුවන. එවැනි වංචාකාරි දේශකයන් අනුගමනය කරන අය මිසදිටුවන් වන්නේ තමන් නොදැනුවත්වම ය. අන්ධ භක්තියෙන් ඔවුන්ට ඇහුම්කන් දෙන නිසා සත්‍යය නොවැටහෙයි. වර්තමාන අපේ බෞද්ධ සමාජයේ එය බහුලව සිදුවෙයි. සත්ත ජටිල සූත්‍රයේ දැක්වෙන උපදෙස් අප පිළිපදින්නේ නම්, සමාජයේ ජීවත්වන විට කපටි, දරුණු පුද්ගලයන්ට අප රැවටෙන්නේ නැත.